Tuesday, January 4, 2022

The lost daughter (2021)

 "අම්මේ.. ගිනිකන්ද කියන වචනෙ ලියන්නෙ කොහොමද?"

බියන්කා එයාගෙ අම්මගෙන් ඇහුව. අම්මාට නම් ඒ ප්‍රශ්නෙ ඇහුණෙවත් නැති පාටයි. අම්මා එයාගෙ මේසය ලඟ වාඩිවෙලා කඩදාසියක මොනවාදෝ දිගට දිගට ලියනව. පුංචි බියන්කා ආයෙමත් කලින් ප්‍රශ්නෙම ඇහුව. ඒත් අම්මට වගක් නෑ. එයාට බියන්කා කියන කිසිදෙයක් ඇහෙන්නෙ නෑ. එයා මුළු අවදානයම තමන්ගේ වැඩේට යොදවල ඉන්නෙ. බියන්කා ආයෙමත් ඇහුව "අම්මෙ.. ගිනිකන්ද කියන වචනෙ ලියන්නෙ කොහොමද කියල". ඒ පාර බියන්කා ප්‍රශ්නය ඇහුවේ බොහෝම වේගෙන් අම්මගෙ පිට හරහා පාරක් ගහන ගමන්මයි. ඒ පාරවත් අම්මට ඇහෙයිනෙ කියල එයා හිතුව. අම්මට ඒ පාර දැනුනා. "ඔහොම කරන්න එපා" එයා පුංචි බියන්කාට කිව්ව. බියන්කා හිනාවෙලා ආයෙමත් අම්මට පාරක් ගැහුව. "එපා" අම්ම කිව්ව. ඒත් බියන්කාට නම් ඒක විනෝදය ගේන වැඩක් වුණා වගේ. "ආයෙමත් සැරයක් ඕක කරන්න බලන්න" අම්ම කිව්වෙ තරහෙන්. බියන්කාට ගාණක් නෑ. ඒ පාර අම්මා බියන්කාගෙ කම්මුල හරහා යන්න වේගවත් පාරක් දුන්න "අම්මට අත තියන්නෑ තේරුණාද". අම්ම කිව්ව "මට තේරුන්නෑ" එහෙම කියමින් බියන්කා අඬන්න පටන් ගත්ත. "මෙතනින් යනව යන්න" අම්ම එයාව එලවගන්න හැදුව ඒත් එයා ගියේ නෑ. ඒ පාර අම්ම බියන්කාව කාමරේකට දාල බොහොම හයියෙන් දොරත් වහල එන්න ආව.
.
.

ග්‍රීසියේ නගරාශ්‍රිත එක් මුහුදු වෙරළක් දවාලේ ගිණියම් හිරුරැසින් නෑවී යමින් තිබුණා. ඈ උන්නේ ඒ වෙරළ අද්දර විවේක සුවය විඳිමින්. ඇගේ නම ලීඩා. ඈ සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරියක්. ඇමරිකාවේ සිට පැමිණි ඈ ග්‍රීසියේ මේ වෙරළබඩ නගරේ තමන්ගේ නිවාඩුව ගතකරන්න තෝරාගෙන තිබුණා. ලීඩා යන නම එන්නේ ග්‍රීක් මිත්‍යා කතාවල. ලීඩා නමින් හැඳින්වෙන්නේ ග්‍රීසියේ ස්පාටා නගරේ උන් එක් රැජිණක්. මිත්‍යාකතාවේ එන ලීඩා ට දියණියන් දෙදෙනෙක් උන්නා. එක් අයෙක් පසුකාලීනව ලොව සුරූපීම ගැහැනිය නම් විරුදාවලිය ලබන හෙලන්. ට්‍රෝජන් නගරෙයේ සුප්‍රකට යුද්ධය ඇති වෙන්නෙ මේ හෙලන් මුල් කරගෙන. දෙවැන්නා හෙලන් තරම් සුරූපී නැති ක්ලයිටම්නෙස්ට්‍රා. දෛවෝපගත විදිහට මහාචාර්ය ලීඩා ටත් උන්නේ දියනියන් දෙදෙනෙක් වගේම ඒ දෙදෙනාගෙනුත් කෙනෙක් ඉතාම සුරූපී වෙන අතරේ අනෙකාට තිබුණෙ සාමාන්‍ය පෙනුමක්. 

මුහුදු වෙරළට එන නානාප්‍රකාර මිනිසුන් අතරෙ එක පවුලක් වෙත ලීඩා ගේ ඇස් යොමු වුණා. හරියටම කිව්වොත් ඔවුන් අතරේ හිටි නීනා නම් තරුණ මවත් ඇගෙ දියණිය එලේනාත් දිහා ඈ බලා උන්නේ. සමහරවිට තමන්ගේ ජීවිතේ තුරුණු අවධිය ඈට සිහිපත් වුණා වෙන්න පුලුවන්. පුංචි එලේනා ගේ දඟකාරකම් දිහා බලාගෙන තමන්ගේ දියනියන් ගේ බාල අවධිය ඈ මතකයේ මවාගත්තා වෙන්න පුලුවන්. වෙරළේ ඇතිවුණේ එක්වරම කලබලකාරි තත්ත්වයක්. පුංචි එලේනා ආගිය අතක් නෑ. ඈ පණ වගේ ආදරේ කරන සෙල්ලම් බෝනික්කාත් පේන්න නැහැ. වහාම උන් තැනින් නැගී ඉන්නා ලීඩා, එලේනාව හොයන පිරිසට එකතු වෙනව.

මේ කතාව විස්තරාත්මකව ඔබට නරඹන්න පුලුවන් The lost daughter චිත්‍රපටයෙන්. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මේ නමින්ම ලියවුණු නවකතාවක් මුල් කරගෙන. නවකතාව රචනා කර තිබෙන්නේ Elena Farranate නම් ඉතාලි ජාතික ලේඛිකාවක්. මේ ඇගේ සැබෑ නාමය නොවෙයි, අන්වර්ථ නාමයක්. කොහොම වුණත් නවකතාව චිත්‍රපටයක් බවට පත්කරන්න ඈ අවසර දෙන්නේ එක් කොන්දේසියක් උඩ. එනම් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළයුත්තේ ගැහැනියක විසින් යන කාරනාව මුල්කරගෙන. අනුවර්තිත පිටපත වගේම චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයත් කරන්න නියමිතව තිබුණෙ සුප්‍රකට හොළිවුඩ් නිළියක් වුණු Maggie Gyllenhaal අතින්. ඒ නිසා ඒ කොන්දේසිය ගැටලුවක් වුණේ නැහැ. මේ Maggie ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය. ඔව් ඇය හොලිවුඩ් චිත්‍රපටවලට ආදරය කරන ඔබ අපි කවුරුත් දන්න Jake Gyllenhaal ගේ වැඩිමල් සහෝදරිය. 

The lost daughter, ගැහැනියකගෙ ජිවිතය, ආදරය, මාතෘත්වය, මේ කරුණු කාරණා පදනම් කරගත්ත කෘතියක්. Elena Farranate කලින් සඳහන් කලා වගේ කොන්දේසියක් පනවන්න ඇත්තේ මේ නිසා වෙන්න පුලුවන්. ගැහැනියකගෙ සිතුම් පැතුම් නිවැරැදිව තේරුම් ගෙන එය තිරය මත මැවිය හැක්කේ තවත් ගැහැනියකට පමණක් බව ඈ හිතුවා වෙන්න පුලුවන්. කොහොම වුණත් The lost daughter නරඹන කෙනෙකුට සෑහෙන ප්‍රබල සිනමා අත්දැකීමක් විඳගන්න සලස්වන බව ඇත්තක්.

ලීඩා ගේ චරිතය රඟදක්වන්නෙ බ්‍රිතාන්‍ය ජාතික නිළි Olivia Colman. ඇගේ සැබෑ නම Sarah Caroline Sinclair වුණත් වෘත්තිය ඇතුළේ ඇය භාවිත කරන්නෙ ඔලීවියා කෝල්මන් යන නාමය. 2018 අවුරුද්දේ The favorite චිත්‍රපටයෙ ඈන් රැජිණිය ගෙ චරිතය නිරූපණය වෙනුවෙන් ඈ BAFTA, Golden globe , Academy award (Oscar) යන මේ සියලුම ප්‍රධාන පෙළේ සම්මානවලින් පිදුම් ලැබුවා. ඉන්පසුව ඈ රඟපෑ The Father චිත්‍රපටය වෙනුවෙනුත් ඔලීවියා ප්‍රධාන පෙළේ සම්මාන වෙනුවෙන් නාමයෝජනා ලැබුවා. ඇගේ නවතම චිත්‍රපටය දකිනවිටත් හිතෙන්නෙ නැවතත් ඇගේ නම මේ සම්මාන උළෙලවල  අහන්න ලැබෙන ඉඩ බොහෝම වැඩි බව. ඒ වගේම නීනා විදිහට සුරූපී Dakota Johnson සහ තරුණ ලීඩා විදිහට Jessie Buckley ගේ රංගනයත් ඉහළම මට්ටමක තිබුණ බව කියන්න අවශ්‍යයි.

කලිනුත් සඳහන් කල ආකාරයට The lost daughter මාතෘත්වය පදනම් කරගත් කෘතියක් තමයි. ජිවිතය පවත්වාගැනීම පහසු දෙයක් නොවෙයි. විශේෂයෙන් යෞවනය පහුකරන් වැඩිහිටි වියට එලඹෙනව කියන්නෙ ජීවිතේ බර නොහිතු විදිහට ඔලුවට වැටෙන කාලයක්. අපි කිසිම කෙනෙක් කැමති නැහැ ජිවිතේ අමාරුයි කියල විඳවමින් ගතකරන්න. මොහොතකට හරි හිතට සහනයක් තමා අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නෙ. නමුත් විශේෂයෙන් මව් පිය පදවි ලැබීමත් එක්ක එතතින් එහා ජීවිතේ සෑහෙන වෙනසක් වෙනව. මොකද දරුවෙක් කියන්නෙ ජීවිතයක්. තවත් ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න බැහැ. දරුවෙක් ගෙ වගකීම කියන්නෙ ජීවිතේ පුරාම අතහරින්න බැරි මහ බරක්. එක පැත්‍තකින් මේ දරුවන්ගෙ බරත් එක්ක වෘත්තිය, විවාහය ඇතුලු ජීවිතේ නොයෙක් හැලහැප්පීම් වගේම තව අතකින් නිර්මාණය කටයුතු වෙනුවෙන් හිත යොමුකළ ගැහැනියකට කරන්න සිදුවෙන මානසික අරගලය මූලිකවම මේ චිත්‍රපටයට වස්තු විෂය වෙන බවයි මම හිතන්නෙ. බොහොම වෙලාවට ඒ ආකාරයෙ මානසිකත්වයකින් පීඩාවිඳින කෙනෙක් කරන කියන දේවල් ගන්න තීරණ එක්ක අපිට එකඟ වෙන්න බැරි වෙන්න පුලුවන්. නමුත් කෙනෙකු කොයිතරම් හොඳ ද නරකද කියන දේ විනිශ්චය කරනවට වඩා ඒ මනුෂ්‍යාව තේරුම්ගන්න හැකි නම් එය වටිනව. මේ චිත්‍රපටයෙන් කරන්නෙ ඒ වෙනුවෙන් පොඩි කවුළුවක් විවරකර දීම බව මම හිතනව. The lost daughter අනිවාර්යයෙන් ගෙවීගිය 2021 වසරේ හොඳම චිත්‍රපටයක් බවට නම් කල හැකියි.



No comments:

Post a Comment