Thursday, December 23, 2021

The Worst person in the World (2021)

 "මම දන්නව ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියල...ඒත් තව කාලයක් අපි මෙහෙම හිටියොත් මට ඔයා ගැන ආදරේ හිතේවි.. එතකොට හැමදේකටම ප්‍රමාද වැඩි වෙලා තියේවි. මම හිතන්නෙ අපිට ආයෙත් හමුනොවී ඉන්න පුලුවන් නම් හොඳයි. ඇත්තටම කිව්වොත් මෙතන තියන ප්‍රශ්නෙ තමා අපි දෙන්න අතර තියන වයස පරතරය.. ඒක අවුරුදු පහළවක්!. ඔයා මට වඩා සෑහෙන තරුණයි. මට දැන් හතළිහත් පැනල. මෙතනින් පස්සෙ ජීවිතේ සෑහෙන වෙනස්. ඒත් ඔයාට එහෙම නෑ. ඔයාට තව කාලය අවශ්‍යයි හැමදෙයක්ම තේරුම් ගන්න. ඔයාගෙ නිදහස නැති කරන්න මට බෑ. මට බයයි අන්තිමට අපි දෙන්න එකිනෙකාට රිද්දාගනීවිද කියල."

ඔහු ඇයට එහෙම කිව්ව. ඇය ඔහුගෙ නවාතැනේ දොර වසා දමල එන්න පිටත් වුණා. නිවසෙ පඩිපේළිය බැහැල එනවෙලාවෙ ඇගෙ මනසේ යමක් ඇඳිල ගියා විදුලියක් වගේ.. ඇත්තට ඇයට හිතුණෙ මොකක්ද? 

නිදහස්කාමී, සුරූපී යෞවනියක් වුණු Julie ට ජීවිතේ මැදිවයසේ පසුවෙන චිත්‍ර කතා රචකයෙක් වුණු Aksel ව  මුණගැහෙන්නේ ඇගේ  අරමුණක් නැති ජීවිත චාරිකාවේ අතරමැද්දක අහම්බයක් විදිහට. ඒ හමුවීම ආගන්තුක බවේ සීමාවන් අතික්‍රමණය කරන්නෙ බොහොම ඉක්මණින්. එදා ඒ හමුවීමෙන් පස්සෙ ඈ ඔහුගෙ නිවසින් නික්ම එනකොට තමන්ට මුණගැහුණු අපූරු මනුශ්‍යයා ගැන ඈ හිතමින් එන්න ඇති. සමවයස් තරුණයන් අතරේ නොදකින විශේෂ යමක් ඈ ඔහුගෙන් දකින්න ඇති. කොහොම වුණත් ඔහුගෙ නවාතැනින් නික්මිලා එන ඒ ගමන ක්ෂණිකව නවත්වන්න තරම් ඒ හැඟීම බලවත් වුණා. ඇය ආපසු හැරුණා. "ඔහු තමයි නිවැරදිම කෙනා. මම ඔහුට ආදරෙයි. මට ඔහු නැතුව බෑ" ඇයට එහෙම හිතුණ. ආපසු හැරුණු ඇය නැවතුණේ ඔහුගේ නවාතැනේ දොර ළඟ..

මේ තමා ජූලි ගේ කතාව... හරියටම කිව්වොත් පරිච්ඡේද දොළහකින් සමන්විත දිගු කතාවක එක් පරිච්ඡේදයක එන එක් සිදුවීමක් පමණයි මේ මුණගැහීම. සම්පූර්ණ කතාවම දැනගන්න නම් ඔබට සිද්දවෙනව 2021 වසරෙ දි නෝර්වේජියානු භාෂාවෙන් නිර්මාණය වුණු  The Worst person in the World චිත්‍රපටය නරඹන්න. 

The Worst person in the World .  2022 අවුරුද්දේ පැවැත්වීමට නියමිත 94 වන ඔස්කාර් සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපට අංශයේ නෝර්වේ රටේ නියෝජනය. නොර්වේජියානු සිනමාකරු Joachim Trier ගේ "Oslo Trilogy". නම් චිත්‍රපට ත්‍රිත්වයේ තුන්වැන්න. (Reprise,  Oslo, 31 August අනෙක් චිත්‍රපට දෙක). Julie ගේ චරිතය නිරූපණය කරන Renate Reinsve, 2021 Cannes චිත්‍රපට උළලේදි වසරේ හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබනව.  ඇගේ රඟපෑම ඇත්තටම පැසසිය යුතුමයි. මම හිතන්නෙ මේ අවුරුද්දේ දකින්න ලැබෙන ආකර්ෂණීයම රඟපෑමක් ඒ. චිත්‍රපටය බැලුවොත් සැකයක් නැතුව ඔබත් ජුලී ට ආදරය කරන්න පටන් ගනීවි. 

The Worst person in the World කියන්නේ Romantic comedy වර්ගයේ චිත්‍රපටයක්. අධ්‍යක්ෂ Joachim Trier කියන්නෙ ඔහුට ගතානුගතික රොමාන්තික සිනමාවෙන් එහා ගිහින් ප්‍රේමය ගැන වඩා යථාර්ථවාදී චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණු බව. ඔහුගේම වචනයෙන් කියනව නම් ඔහු කියන්නේ මෙවැනි අදහසක්..

"මට ප්‍රේමය ගැන චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවශ්‍යවී තිබුණේ බොහොම කාලෙක පටන්. අපිට නිතර දකින්න ලැබෙන අති සරල සහ පහසුවෙන්ම තේරුම්ගන්න පුලුවන් සාමාන්‍ය  ප්‍රේම කතාවකට වඩා ගැඹුරට යන යමක් මට නිර්මාණය කරන්න වුවමනා වුණේ. යමෙකුට, තමන්ගේම ජීවිතය ගැනත් ස්ථීරභාවයක්, යා යුතු මාවතක්, නිශ්චිත ඉලක්කයක් අරමුණක් සොයාගන්න අරගල කරන මොහොතක තවත් කෙනෙකු සමඟ බැඳීමක් පවත්වාගැනීමේ දුෂ්කර බව ගැන මේ චිත්‍රපටයෙන් කතා කරනව. කොයිතරම් ආත්මවිශ්වාසයක් තිබුණත්, කොයිතරම් තාර්කිකව කටයුතු කළත්, ආදරය හමුවේ මිනිසුන් කොයිතරම් සුවකළ නොහැකි සහ අවිනිශ්චිත භාවයට පත්වනවාද කියන් කාරණය මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනව. ප්‍රේමය ඇතුළෙ තමන්ගෙ සිහින ඉටුවුණත් ප්‍රේමවන්තයින් කොයිතරම් අසීරුතාවන්ට මුහුණදෙනවාද කියන දෙයත් මට පෙන්වාදෙන්න අවශ්‍ය වුණා"

ඒ අතරෙ අන්ගාමී ස්ත්‍රීවාදයට හීනියට කනේපාරක් දෙන හැටිත් මේ චිත්‍රපටයෙ දැක ගතහැකියි. මේ කරුණු කාරණා නිසා The Worst person .. එක් ආකාරයකට විනෝදාත්මක සහ කලාත්මක අංශ දෙකම සමබර කරගත්ත චිත්‍රපටයක් විදිහට හඳුන්වාදෙන්න පුලුවන්. අපේ කතා නායිකාව, ජූලිගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙන පරිච්ඡේදය දොළහකට වෙන්කරල, වෙන වෙනම මාතෘකාවලින් ඒ පරිච්ඡේදය නම් කරල චිත්‍රපටය ඇතුළෙ පෙළගස්වල තිබුණු විදිහ ඉතාම නිර්මාණාත්මකයි. යෞවනයේ පසුවුණත් නැතත් අපි හැමකෙනෙකුටම ජූලි වගේම මේ ජීවිත අභියෝගයන්ට මුහුණදෙන්න සිද්දවෙනව. වෘත්තියභාවය ඇතුළෙ වගේම ප්‍රේමයේදිත් අපි කොහොමද නිවැරදි ම තෝරාගැනීම් කරන්නෙ, වයස භේදයකින් තොරව මේ අපි කවුරුත් මුහුණදෙන ගැටලු. ජූලිගෙ කතාව ඒ නිසා අපි කාටත් අපේම කරගන්න සෑහෙන පහසු බවයි මම හිතන්නෙ. මේ හැමදෙයක්ම එක්ක The Worst person in the World  වසරේ මඟහැර නොගත යුතුම චිත්‍රපටයක් විදිහට හැඳින්වූවොත් වඩා නිවැරැදියි. 



3 comments:

  1. හරිම වැදගත් ලිපියක්. චිත්‍රපටය බලන්න පහසු විදියක් හොයනවා. දිගටම ලියන්න. ඊළග ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා. ඔබට නිරෝගීමත් නව වසරක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියෙ මේක ටෙලිග්රෑම් එකෙන් ගත්තෙ මං..ලබන්න නියමිත අවුරුද්ද වෙනුවෙන් සුබ පතනව... සුබ නවවසරක් වේවා!

      Delete