Wednesday, August 31, 2022

ගෙය

එහා පැත්තෙ ගෙදර දැක්කම
දුක හිතෙනවා මට හරියට...
ඒ ගෙදර මනුස්සයයි එයාගෙ බිරිඳයි
උදේම නැගිටල යනව වැඩට..
හවස් වුණාම වේලාසන
එනවා දෙන්නම ගෙදර...
පොඩි දුවෙකුයි පුතෙකුයි ඉන්නව එයාලට...
හරියට ‍රෑ නමය වෙනකොට
නිවාදමල ගෙදර ලයිට් ඔක්කොම
ඒ අය යනව නින්දට...

පහුවෙනිදට
ආපහු නැගිටල උදේම
දෙන්නම වැඩට යනවා...
හවසට ආපහු
ඒ අය ගෙදර එනවා...
ආයෙත් රෑ නමයට ලයිට් නිමෙනවා...

එහා පැත්තෙ ගෙදර දැක්කම
දුක හිතෙනවා මට හරියට...
හරිම හොඳ මිනිස්සු ඒ දෙන්නම
මමත් අකමැත්තක් නෑ ඒ අයට...

ඒත් මට දැනෙනවා
ඒ අය ගිලිල යනව
ජීවිතේ පතුලට..
මට ගොඩ ගන්න බැරි තරමට..

ඒ ගොල්ලො අසරණයින් නොවෙයි
ඉන්න ගෙයක් දොරක් නැති අය නොවෙයි..

ඒත් ඒ වෙනුවෙන්
ගෙවන්න වෙලා තියන දෙය
සෑහෙන දරුණුයි ...

සමහර විට දවාලට
ඒ ගෙදර දිහා මම බලාගෙන ඉන්නවා...
ගෙයත් ඒ වෙලාවට මගෙ දිහා 
බලාගෙන ඉන්නවා...
එතකොට ගෙය අඬනවා..
ඔව්.. ගෙය එහෙම කරනවා
මට දැනෙනවා..
.
.
.
 Charles Bukowsky විසින් රචිත Safe නම් පැදිය ඇසුරෙන්



Thursday, August 25, 2022

මගෙ හද

ඔබ කියයි
මගෙ හද
අඳුරු කුටියක් බව...

බොහෝ අය යන එන
නගරයක සේම කලබල..
උස ගොඩනැගිලි බහුල..
පටු දිගු වීදි වලින්
සැදී ඇති බව..

සිහිලස නමුත් උදෑසන
මීදුමක සේ පෙනෙන නොපෙනෙන
බොඳවුණු දසුන් ඇති බව..

සැබෑවකි එය
අඳුරු කුටියකි මේ හද.....

එහෙත් එහි ඝනකම් බිත්ති
සැදී ඇත්තේ කැඩපත්වලිනි...
එ තුළ ඇත්තේද
කුඩා දේ කිහිපයකි..
ඔබ දකින අන් හැම 
ඒවායේ පිළිබිඹු පමණි...



Tuesday, August 23, 2022

Tell no one (2006)

 අපි මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් මියයනව ඒ කියන්නෙ සදහටම ජීවිතෙන් සමුගෙන යනව කියන කාරණය ඒ තරම් පහසුවෙන් දරාගන්න පුලුවන් යමක් නොවෙයි. හැබැයි ඒ මරණය කොහොම, කොයි ආකාරයකින්, කවුරුන් අතින් වුණාද කියල හොයා ගන්න බැරි විදිහෙ මහ අබිරහස් එකක් නම් තවත් ඒක ඉවසගන්න අමාරු වෙයි. ඒ මරණය ගැන සැකය යොමු වෙන්නෙ තමන්ගෙ පැත්තට නම් ඉතින් ඊටත් වඩා ඉවසන්න සෑහෙන අමාරු වෙයි. ළමා රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක් වෙන ප්‍රංශ ජාතික ඇලෙක්ස්ටත් එයා පණ වගේ ආදරය කළ බිරිඳ මාගොට් ගෙ මරණය ගැන දැනුනෙ එහෙම. ඇලෙක්ස් සහ මාගොට් කියන්නෙ වැලි සෙල්ලම් කරන කාලෙ පටන් එකට හැදුණු වැඩුණු දෙන්නෙක්. මාගොට් තරම් ඇල්ක්ස්ව හඳුනන කෙනෙක් තව හිටියෙ නෑ. ඒ හින්ද පහු කාලෙක ඇලෙක්ස් මාගොට්ව තමන්ගෙ බිරිඳ කරගත්ත කාලෙකත් ඇය තරම් මේ ලෝකෙ කිසිම කෙනෙකුට ඔහු ආදරය කලේ නෑ. ඒ හින්දම ඇයව අබිරහස් ආකාරයට මරා දමා තිබීම ඔහුව ඇද දැම්මෙ දුකින් වේදනාවෙන් පිරුණු ජීවිතයකට. ඇයගෙ මරණෙට ඔහුත් සැකකාරයෙක් වීම ඔහුට තව තවත් පීඩා කළා. මේ බිරිඳගෙ මරණයට සමකාලීනව සිද්ද වුණු තවත් අබිරහස් මරණ ගණනාවකටම වගකිවයුතු දාම ඝාතකයෙක් (Serial killer) පොලීසිය අල්ලාගන්න සමත් වුණත් මාගොට් ගේ මරණයට තමන් සම්බන්ධයක් නැති බවට ඔහු පාපොච්චාරණය කර තිබුණා. 

මේ ආකාරයෙ වේදනාත්මක අවුරුදු අටක් කෙළවර හැමදෙයක්ම අනික් පැත්ත හැරෙන්න පටන් ගන්න එක සිදුවීමක් වෙනව. අවුරුදු අටකට පස්සෙ, ඇලෙක්ස්ට ඔවුන්ගෙ විවාහ සංවත්සර දවසෙදි මාගොට් ගෙන් ඊ මේල් පණිවුඩයක් ලැබෙනව. එතැන පටන් ඇය මිය ගියේ නැති බවත් කොහේ හෝ තැනක ඇය තවමත් ජීවතුන් අතර ඉන්නා බවත් ඇලෙක්ස් විශ්වාස කරන්න පටන් ගන්නව. නමුත් මාගොට් මරා දමල, ඇගේ අවසන් කටයුතුත් කරල ඇයව මිහිදන් කරලත් අවසානයි. ඒත් මිය ගිය කෙනෙක් ගෙන් කොහොමද තවත් කෙනෙකුට ඊ මේල් පණිවුඩයක් ලැබෙන්නෙ? ඇය වෙනුවන් ඉපදුණු ආදරයේ උමතුවෙන් තවදුරටත් ඇගෙ මරණය ගැන සොයා යන ඇලෙක්ස්ට තමන් කිසිදාක නොදැනසිටි රහස් ගණනාවක්ම අනාවරණය කරගන්න ලැබෙනව. ඇත්තටම මාගොට් මිය ගියා ද? ඇයව මරා දැම්මෙ කවුද? එහෙම නම් මියගිය මාගොට් ගෙන් ඇලෙක්ස්ට ඊ මේල් පණිවුඩයක් ලැබෙන්නෙ කොහොම ද? මේ ප්‍රශ්නටිකට උත්තර හොයාගන්න නම් ඔබට 2006 අවුරුද්දේ ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය වුණ Tell no one චිත්‍රපටය බලන්න වෙනව.

Tell no one චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ 2001 අවුරුද්දේ Harlan Coben නම් ඇමරිකානු ලේඛකයා මේ නමින්ම ලියා පළ කළ නවකතාව ආශ්‍රයෙන්. Tell no one ආදායම් අතින් වගේම ප්‍රේක්ෂක/ විචාරක කණ්ඩායම් අතිනුත් සෑහෙන හොඳ ප්‍රතිචාර ලබනව. ඒ වගේම 2007 ප්‍රංශයේ ජාතික සිනමා සම්මාන උළලේ (César Awards) මේ චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය ( Guillaume Canet) හොඳම නලුවා (ඇලෙක්ස් ගේ චරිතය වෙනුවෙන් François Cluzet), හොඳම සංස්කරණය, හොඳම පසුබිම් සංගීතය කියන සම්මාන හතරම ලැබෙනව. Mystery/ Thriller ගණයේ චිත්‍රපටයකට සාමාන්‍යයෙන් නොලැබෙන තරම් සාර්ථකත්වයක් Tell no one හිමි කරගන්නව. ඊට හේතු වෙන්නෙ හුදෙක්ම කුතුහලය උපරිම තලයකට අරගෙන ඒමට එහා ගිය ජීවන දර්ශනයක් මේ චිත්‍රපටයෙන් විවරණය වීම කියල මම හිතනව. ඔබ කෙනෙකුට ඇත්තටම ආදරෙයි නම් ඒ ආදරයේ නොසැලී ඉඳීම කියන ගුණාංගයෙ තියන වටිනාකම මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනව. මොකද ආදරය කියන්නෙ හැමවෙලාවෙම මල් පෙතු ඇතිරුණ සුවපහසු මාවතක් නොවෙයි. තව කෙනෙකුට ආදරේ කරන්න පටන් ගන්නව කියන්නෙම අපි බාරගන්නෙ විශාල අභියෝගයක්. තමන් කරන ආදරයක් වෙනුවෙන් ජීවිතේ ඕනෑම අමාරුකමක් දරාගන්න පුලුවන්කම අපිට තියනවද කියන ප්‍රශ්නය අපිට අපෙන්ම අහගන්න චිත්‍රපටය අවසානෙ ඉඩ ඉතුරු කරනව. අනෙක් පැත්තෙන් ධනය සහ බලය නිසා දූෂිතව ගිය සමාජයෙ එක්තරා පැලැන්තියක් ගැන තරමක දේශපාලනිකත්වයට අනාවරණයක්  චිත්‍රපටයෙන් කරනව. අවසානය වෙනකම් උපරිම කුතුගලයකින් නරඹන්න පුලුවන් වගේම හදවතට දැනෙන සංවේදී කතාපුවතක් ඇතුළත් වෙන පරිපූර්ණ සිනමා අත්දැකීමක් ලබාගත හැකි චිත්‍රපටයක් විදිහට Tell no one හඳුන්වා දෙන්න කැමතියි.




Thursday, August 18, 2022

Darlings (2022)

 ආදරේ සම්බන්ධයෙන් මේ සෝෂල්මීඩියා ඇතුළෙ ශෙයා වෙන සමහර දේවල් සහ ඒවට බොහෝම තරුණ තරුණියන් දෙන ප්‍රතිචාර දිහා බැලුවම නම් සිනා පහළවෙන එක වළක්වන්න බැරි බව ඇත්ත. නමුත් මේ අදහස් කියවන අයගෙ මනසට කොයිතරම් භයානක විදිහට නරක බලපෑමක් කරන්න පුලුවන්ද කියල හිතෙනකොට හිනාවෙනවට වඩා අඬන්න තමයි තියෙන්නෙ. "ගහ මරාගෙන හරි එකට ඉන්න එක තමා ආදරේ කියන්නෙ", "දවසක් හරි බෝයිෆ්‍රෙන්ඩ් ගෙ ඔලුව කෑවෙ නැත්නම් නින්ද යන්නෑ අනේ" "මට ඕන මම පොල් ගහක් පෙන්නල කොස් ගහක් කිව්වත් ඒක පිලිගන්න කෙල්ලෙක්ව" "කමෙන්ට් කරන්න එපා බෝයිෆ්‍රෙන්ඩ් සැරයි".. මතක් වෙන විදිහට මෙහෙම ටිකක් සඳහන් කලාට සෝෂල් මීඩියා ඇතුලෙ නිතරම ඉන්න ඔබ නම් ඕන තරම් මේවගෙ දේවල් දැකල ඇති. කොයිතරම් ලොකු අනාරක්ෂිත කමක්, හීනමානයක්, පීඩනයක් මේ අදහස් ඇතුළෙ තියනවද කියල ඔබට නේතේරුණොත් පුදුමයක්. මේ සයිබර් අවකාශයෙත් ඉන් පිටත් මේ ආදරේ කියල ලේබල් ගහගත්ත පීඩාකාරී ජීවිත කතන්දර ඕන තරම් අපිට අහන්න දකින්න පුලුවන්. 

ඕෂෝ එයාගෙ දේශනාවකදි මේ විදිහෙ ආදර සම්බන්ධකම් ගැන හරි අපූරුවට විග්‍රහ කරනව. ඕෂෝ ඒවට කියනව ආදරයට වඩා දේශපාලන සම්බන්ධකම් කියල. දේශපාලනය කියන්නෙ නිතරම බලය සහ අධිපතිත්වය සම්බන්ධ කාරණාවක්. මෙහෙම ආදරයක දි වැඩිපුරම සිද්ධවෙන්නෙ අනෙකාව තමන්ගෙ බලගතුකමට යටත් කරගෙන තමන්ට ඕන විදිහට පාලනය කරන්න උත්සහ කිරීම. අනෙකාට වඩා තමන් බලවත් කියන තත්ත්වය පවත්වා ගැනීම. "ඔයා ඔය විදිහට අඳින්න  එපා. ඔයා එහෙම ඇඳුම් අඳිනවට මම කැමති නෑ" "කවුරු එක්කද අර කතා කර කර හිටියෙ. මම කියල තියනව නේද ඕකුන් එක්ක කතාවට යන්න එපා කියල" "යාලුවො එක්ක ඇවිදින්න යන්න. ඔයාට ඕන නම් යන්න. හැබැයි අදින් පස්සෙ මම ඔයාට නෑ කියල හිතාගන්න" "අර මනුස්සය ඔයාගෙ ෆොටෝ වලට කමෙන්ට් කරනව නේද. මම ඒකට කැමති නෑ.".. "ඔයා අරෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා, ඔයා එහෙම කරනවට මම කැමති නෑ" ඕව තමා බල දේශපාලනික බැඳීමක් ඇතුළෙ වැඩිපුරම අහන්න ලැබෙන වචන. තමන් කැමති අකමැති දේ ඇතුළෙ අනෙකාව හිර කරල තියා ගැනීම, මට ඕන විදිහට එයාව හදා ගැනීම, ඕක තමා මේ ආකාරයෙ බැඳීමක් ඇතුලෙ සිද්දවෙන්නෙ. ගොඩක් වෙලාවට ගෑනු ලමයි හිතනව පෙම්වතාගෙ බලයට නතු වෙලා එයාට ඕන විදිහට තමන් වෙනස් වීම තමයි ආදරේ කියන්නෙ කියල. අනවශ්‍ය විදිහට බනින කොට, සැරකරන කොට, නීති දානකොට හිතනව ආදරේ නාමෙන් ඒව ඉවසගෙන ඉන්න ඕන කියල. අනෙක් පාර්ශවයෙනුත් මේක මෙහෙමම වෙනව. සමහර ගෑනු ලමයිනුත් මෙහෙම තමන්ගෙ පෙම්වතාව මැනිපියුලේට් කරනව. ඒව ආදරේ ලේබල් එක ගහගත්ත බල දේශපාලනය මිස ආදරය නොවෙන බව ඕෂෝ කියනව.

ආදරය කියන්නෙ මෙහෙම පීඩාකාරී දෙයක් නෙමෙයි. ඒක ලස්සන සුන්දර දෙයක්. ආදරේ කරන අය ඇතුළෙ ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ කියන දේ නොවෙයි කියන්නෙ. නමුත් ආදරය කියන්නෙ ඇත්තටම අනෙකාව ඒ ආකාරයෙන්ම බාරගන්න තැන. විනිශ්චය නොකරන තැන. ඕෂෝ කියනව මේ ආදරය ඇතුළෙ තියෙන්නෙ ආදරය බෙදාගැනීමේ සතුට පමණයි කියල. ඒක "මට ඕන විදිහට හදාගැනීමට" එහා ගිය යමක්. මේවගේ සමාන අවබෝධයක් තියන දෙන්නෙකු අතර තමයි හොඳ ආදර සම්බන්ධකමක් දළුලන්න පුලුවන්.

ඔය ගහ මරාගෙන හරි එකට ඉන්න ඕන, මම එයාව කොහොම හරි හදාගන්නව කියල හිතන අයට බලන්න වටින චිත්‍රපටයක් ඉන්දියානු බොලිවුඩ් සිනමාව ඇතුළෙ බොහෝම ලඟදි නිකුත් වුණා. චිත්‍රපටයෙ නම Darlings. Darlings චිත්‍රපටය ඇතුළෙ තියෙන්නෙ මෙහෙම එකිනෙකාට පීඩා කරගැනීම ආදරේ කියල බාර අරගෙන ජීවත් වෙන විවාහක යුවළක් මුල් කරගෙන. මේ කතාවෙ ගෑනු ලමයගෙ අම්මගෙ චරිතය ගැන සඳහන් කරන්නම ඕන. අම්ම තමන්ගෙ දරුවට කියන්නෙ නැහැ. "මොනා උනත් තමන්ගෙ මනුස්සය නෙ. රටේ ලෝකෙ මිනිස්සු මොනව කියයි ද අපිට. කොහොම හරි ඒ මිනිහ එක්ක ඉන්න බලපන්" කියල. ඒ වෙනුවට ඒ අම්ම කියන්නෙ "ඌ එක්ක ඉන්න බැරි නම් මෙන්න මෙහාට වරෙං. මට පුලුවන් විදිහට උඹව බලාගන්නම්" කියල. මෙන්න මේ විදිහට රටේ මිනිස්සු මොනා කියයිද කියල හිතාගෙන, ලෝකෙට පේන්න එකට ජීවත් වෙන අයට හොඳ උත්තරයක් මේ චිත්‍රපටයෙ තියනව.

චිත්‍රපටය දිහාට හැරුණොත් බිරිඳ ගේ චරිතය රඟපාන Alia bhatt සුපුරුදු විදිහට ඒ චරිතය ඇතුළෙ ජීවත් වෙමින් අතිවිශිෂ්ට මට්ටමේ රංගනයක යෙදෙනව. 2022 කියන්නෙ ආලියාට නම් සෑහෙන හොඳ අවුරුද්දක් වෙන්න ඕන. මොකද 2022 මුල් භාගයෙ ඇය ප්‍රධාන චරිතය කළ "Gangubhai kathiawadi"   තිරගත වුණා. Gangubhai ආදායම් අතින් ඒ තරම් සාර්ථක නොවුණත් චිත්‍රපටය නරඹපු ප්‍රේක්ෂක, විචාරක බොහෝම දෙනා ආලියා ගෙ රඟපෑම සෑහෙන අගය කර තිබුණා. මොකද Gangubhai චිත්‍රපටය මුලුමනින්ම වගෙ රැඳී තිබුණේ ඈ නිරූපනය කල චරිතය මත. ඇයට රඟපාන්න ලොකු පරාසයක් ඒ චරිතය පුරා විහිදී තිබුණ. ආලියා ඒ අභියෝගය ජයගෙන තිබුණෙ බොහෝම ඉහළින්. ආලියා වගේ බොලිවුඩ්වල නැගී එන තරුවකට මේ වගේ විවිධත්වයකින් යුතු චරිත නිරූපණය සෑහෙන වැදගත්. මෙතනදිත් ඇය මේ ගෘහස්ථ හිංසනයට ලක්වෙන භාර්‍යාව ගේ චරිතය ඉතාම හොඳට ප්‍රතිනිර්මාණය කරල තිබුණ. Darlings ආලියාට වැදගත් වෙන්නෙ තවත් අතකින් ඇය නිෂ්පාදකවරියක් විදිහට එළිදකින්නෙ මේ චිත්‍රපටයෙන් වීම. සැමියාගේ චරිතය කරන Vijay Varma බොහෝම වෙලාවට චිත්‍රපට වල පොඩි චරිත වලින් ඔබ දැකල ඇති. මම හිතන්නෙ ප්‍රථම වතාවටයි ඔහුට ප්‍රධාන චරිතයක් ලැබෙන්නෙ. තමන්ට ලැබුණු මේ අවස්ථාවෙන් ඔහු බොහෝම හොඳට ප්‍රයෝජන ගෙන තියන බව කියන්න ඕන. මේ අවස්ථාව හොඳට මෙහෙයව ගත්තොත් ඉර්ෆාන්, නවසුදීන්, මනෝජ් බජ්පායි, නසරුදීන් ෂා වගේ බොලිවුඩයෙ චරිතාංග රංගනයෙ විශිෂ්ඨයන් අතර විජේ වර්මා නාමයත් රැඳවේවි. ඒවගේම මලයාලම් සිනමාවෙ නමක් දිනාගෙන ඉන්න රොෂාන් මැතිව් මේ චිත්‍රපටයෙන් ඔබට දැකගන්න පුලුවන්. Darlings නිර්මාණය කරන්නෙ ශාරුක් ගේ Red Chilies සමාගමෙන්. චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත කෙරුණෙ නෑ දන්න තරමින්. Netflix හරහා online platform වලටයි මෙය මුදා හැරුණෙ.

බොලිවුඩය කියන්නෙ අද සෑහෙන ලොකු අර්බුදයකට මුහුණ දීල තියන කර්මාන්තයක් බවට රහසක් නොවෙයි. හොඳ පිටපත් නොමැති වීමේ ලොකු ගැටලුවක් බොලිවුඩ් චිත්‍රපටවලින් දැන් පේනව. රීමේක්වලින්, බයෝපික්, කොමඩි වලින් ගොඩ යන තැනට බොලිවුඩය පත්වෙලා. අනික් අතින් ආගම් වාදී, ජාතිවාදී කණ්ඩායම් මේ ආගමික, සංස්කෘතිය කාරණා නිසා සමහර චිත්‍රපට වාරණය කරන්නත්, ජාතිවාදී අදහස් මතුකරවන චිත්‍රපට අනවශ්‍ය තරම් උත්කර්ශයට නංවන්නත් පෙළඹිලා තියන නිසා නිර්මාණ කරුවන් ලොකු අවුලකට වැටිල. අනෙක් අතින් දකුණු ඉන්දියානු චිත්‍රපට මුළු ඉන්දියාවම හොල්ලන තැනට අද ඇවිත්. දමිල, තෙලිඟු, කන්නඩ වගේ භාෂාවලින් big scale මසාලා ඇක්ෂන් සිනමාවත්. මලයාලම් භාෂාවෙන් එදිනෙදා ජීවිතයට සමීප යථාර්ථවාදී සිනමාවත්, ඉන්දියාවත් ඉන් පිටතත් රසික සමාජය දිනාගන්න සමත්වෙලා තියනව. Darlings මම  දකින්නෙ මේ මලයාලම් යථාර්ථවාදී සිනමාවට සමපාතව නමුත් Dark comedy පැත්තට බරවෙන්න නිර්මාණය කල බොලිවුඩ් චිත්‍රපටයක් විදිහට. මලයාලම් සිනමාපටවල අපි දකින නිර්මාණශීලිත්වය එක්ක  Darlings සසඳන්න පුලුවන්ද කියන එක වෙනම කාරණයක්. නමුත් සමස්තයක් විදිහට හොඳ උත්සාහයක්. විශේෂයෙන් අර මුලින් සඳහන් කලා වගේ පීඩාකාරී බැඳීම් ආදරේ කියල නම් කරගෙන ඉන්න සමාජ වටපිටාවක, නෑ ඒක එහෙම නොවෙයි කියල පෙන්වා දෙන, ඇස් අරවන නිර්මාණාත්මක ප්‍රයත්නයක්. ඒ නිසා Darlings කියන්නෙ මගනොහැර බලන්න වටින හොඳ චිත්‍රපටයක්.



Wednesday, August 17, 2022

වියැකී යන්න මතකෙන් - Let It Be Forgotten

ඉඩ දෙන්න එය හට
වියැකී යන්න මතකෙන්..
පෙති එකින් එක හැලී විසිරී,
පරවී යන මලක මෙන්...
එළිය දී දැල්වී සුළඟේ,
නිවී යන පහන් දැල්ලක් මෙන්..
ඉඩ දෙන්න එය හට,
වියැකී යන්න මතකෙන් සදහට...
කාලය නම් ගුණැති මිතුරෙකි...
ඇවිදයන කළ ඔහු සමඟ,
වියපත්ව යනු ඇත අප ද...

මතු දිනක
ඇසුවොතින් යම් කෙනෙකු ඔබගෙන්..
කියන්න මා අමතක බව...
බොහෝ කලකට එපිටින්,
පරව ගිය මලක මෙන්..
නිවී ගිය පහන් දැල්ලක් මෙන්..
කියන්න මඟහැරීගිය බව,
සීත හිම පියලි මතුපිට
ඉතිරි වුණු පා සටහනක් මෙන්....
.
.
.

Sara Teasdale



Tuesday, August 16, 2022

Gifted (2017)

හැම දරුවෙක්ම විශේෂයි, නමුත් සමහර දරුවන් ඉන්නව ටිකක් වැඩිපුර විශේෂයි. විශේෂයි කියන්නෙ මේ දරුවන්ට සහජයෙන්ම පිහිටල තියන බුද්ධිමය හැකියාව මේ වයසෙ අනෙක් දරුවන්ට සාපේක්ෂව සෑහෙන ඉහළයි. මේ වැනි අය ගැන තියන බොහෝම ප්‍රසිද්ධම උදාහරණය කවුරුත් දන්න මෝසාර්ට් නම් සංගීතඥයා ගෙ ජීවිතය. මෝසාර්ට් තමන්ගෙ මුල්ම සංගීත නිර්මාණය කරන්න පටන් ගන්නෙ අවුරුදු පහේ දි. රටේ ඉන්න සුප්‍රසිද්ධම පියානෝ වාදකයෙක් බවට මෝසාර්ට් පත්වෙන්නෙ අවුරුදු දහය වෙනකොට . හොයල බැලුවොත් ඉතිහාසය පුරාම මේ වගේ නොයෙක් විෂය ක්ෂේත්‍රවල දක්ෂකම් පෙන්නුව දරුවන් හිටිය බව සොයාගන්න පුලුවන්. 

මේරි කියන්නෙත් එහෙම විශේෂ බුද්ධිමය හැකියාවක් තියන පුංචි ගෑනු ලමයෙක්. මේරිගෙ වයස අවුරුදු හතයි. හැබැයි මේරිට තියන ගණිතමය හැකියාව නම් අවුරුදු විසි හතක නෙමේ පනස් හතක කෙනෙකුටවත් කිට්ටු කරන්න බැරි මට්ටමේ එකක්. මේරිගේ තාත්ත පොඩි කාලෙම එයාව දාල ගිහින්. මේරිගෙ අම්ම Diane ප්‍රසිද්ධ ගණිතඥවරියක්. අම්මත් මේරි කුඩා කාලෙම ජීවිතේ හැර ගිහින්. නමුත් අම්ම මිය යන්න කලින් මේරිව එයාගෙ එකම සහෝදරය, මේරිගෙ මාම Frank ට බාර දෙනව. එතැන ඉඳන් මේරි හැදී වැඩෙන්නෙ එයාගෙ මාම ලඟ. මේරිට වයස හත වෙනකොට Diane ගෙත් Frank ගෙත් අම්ම වෙන සහ මේරි ගෙ ආච්චි එව්ලින්, Frank ව මුණගැහෙන්න එනව. මේරිව හදා වඩා ගන්න අයිතිය ඉල්ලමින් එව්ලින් තමන්ගෙ පුතා Frank හමුවෙන්නෙ. ඇය ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය පසුබිමත් හදාගෙනයි එන්නෙ. 

ඇත්තටම මේරි Frank ලඟ ඉන්නෙ බොහෝම සතුටෙන්. මාමගෙයි දියණනියගෙයි බැඳීම බොහෝම සමීප එකක්. තනිකඩයෙක් වුණු Frank මේරිට හරිම ආදරෙයි. නමුත් දැන් Frankට මේරිව අතහරින්න වෙලා. ඔහුට මේරිගෙ අයිතිය වෙනුවෙන් නීතිය ඉදිරියට යන්න වෙලා. හරියට හුණුවටයෙ කතාවෙදි වගේ එක දරුවෙක් වෙනුන් අයිතිය කියන දෙපාර්ශවයක් මේ කතාවෙ අපිට දකින්න ලැබෙන්නෙ. මේරිගෙ මිත්තනිය එව්ලින් කියන්නෙ ධනය බලය අතින් සමාජයෙ ඉහළින් වැජඹෙන තැනැත්තියක්. මේරිගේ ගණිතමය හැකියාව වැඩිදියුණු කරල ඇයව ලෝකයෙ ශ්‍රේෂ්ඨ ගණිතඥවරියක් කිරිමයි එව්ලින් ගෙ අරමුණ. නමුත් Frank කියන්නෙ එහෙම විශේෂ බලවත් කමක් නැති, එදාවේල හොයාගෙන ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්. ඔහුට අවශ්‍ය නෑ වයසට නොගැලපෙන අධ්‍යාපනයක් මේරිට පොවල ඇගේ ළමා වයස ඇයට අහිමි කරන්න. ඇයත් අනෙක් ලමයින්ව ආශ්‍රය කරන ඔවුන් එක්ක සෙල්ලම් කරන දුවන පනින සාමාන්‍ය ලමයෙක් කරන්නයි Frank ට ඕන. ඉතින් ඔය දෙපාර්ශවයෙන් අවසානෙ කාට මේරිව ලැබෙයි ද. ඇගෙ ඉරණම කොහොම විසඳෙයි ද. ඒ ගැන දැනගන්න නම් Gifted චිත්‍රපටය බලන්න. 

මේරි ගෙ චරිතය නිරූපණය කරන Mckenna Grace ගෙන් ඒ චරිතයට ගැලපෙන හොඳ රඟපෑමක් ලබාගන්න අධ්‍යක්ෂවරයා සමත්වෙලා තියනව. ඒවගේම Chris Evans සුපුරුදු සුපිරි වීර චරිත වලට එහා ගිහින් ඕනෑම ආකාරයෙ රංගනයක් තමන්ට කලහැකි බව පෙන්වා තියනව. මේ මාමාත් දියණියත් අතර chemistry එක චිත්‍රපටය ඇතුළෙ ගොඩනංවනව බොහොම ලස්සනට. ජීවිතේ ගැන සමාජයෙ තියන මතවාද එහෙම පිටින්ම දරුවාගෙ ඔලුවට දාන්නෙ නැතුව තමන්ගෙ බුද්ධියෙන් හිතල තමන්ගෙම අවබෝධයෙන් ජීවිතේ තේරුම් ගන්න ඔහු ඇයව මෙහෙයවන හැටි බලන්න වටිනව. ලමයි කියන්නෙ පොත් කටපාඩම් කරන්න, විභාග පාස් කරන්න ඉන්න මැෂින් වගේ කොටසක් කියල හිතන, ඉන්පස්සෙ කොහොම හරි කරල දරුවන්ව සමාජෙ ඉහලට යවන එක තමන්ගෙ එකම වගකීම කියල හිතන් ඉන්න දෙමව්පියො ඉන්න  සමාජෙකට Gifted හොඳ පාඩමක් කියාදෙන චිත්‍රපටයක් බවයි මම හිතන්නෙ.

Gifted (2017)

- Directed by

Marc Webb

- Written by

Tom Flynn

- Starring

Chris Evans

Mckenna Grace

Lindsay Duncan

Jenny Slate

Octavia Spencer



Friday, August 12, 2022

Elvis (2022)

"Before Elvis, there was nothing" බීට්ල්ස් බෑන්ඩ් එකේ John Lennon කියන විදිහට එල්විස් ප්‍රෙස්ලිට කලින් ලෝකයෙ ජනප්‍රිය සංගීතය ඇතුළෙ කිසිම දෙයක් තිබුණෙ නෑ. නමුත් ඇත්තටම ප්‍රෙස්ලිට කලින් වැදගත් චරිත ගණනාවක් ම ඇමරිකානු සංගීත ක්ෂේත්‍රයේ හිටිය. එහෙනම් ප්‍රෙස්ලි විතරක් විශේෂ වෙන්නෙ ඇයි? 

වහල් සේවාව වෙනුවෙන් අප්‍රිකාවේ ඉඳන් ඇමරිකාවට ගෙනා කලු ජාතිකයින්ව මේ වහල් සේවයෙ යොදවාගැනීම තහනම් කරල ඔවුන්ට නිදහස් මිනිස්සු විදිහට පිළිගැනීම ලැබිල සියවසක් පමණ ගතවුණත් ඇත්තටම ඇමරිකානු සමාජයෙ මේ කලු ජාතිකයින්ට හිමි වෙලා තිබුණෙ අඩු තැනක්. 1900 ගණන්වල මුල් භාගයෙදි මේ කලු ඇමරිකානුවන් තමන්ගෙ අප්‍රිකානු මුල් වලින් ලැබුණු ජන සංගීතයත් ඇමරිකාවේ සාම්ප්‍රදායික country සංගීතයත් එක්ක මුහු කරගෙන Jazz, Blues, Soul, Southern Gospel music වගේ සංගීත ක්‍රම ගණනාවක් නිර්මාණය කරගෙන තිබුණ. ඔවුන්ගෙ මේ Jazz/ Blues සංගීතයට සුදු ජාතිකයන් අතරෙ පිළිගැනීමක් ලැබුණෙ නෑ. සුදු මිනිස්සුන්ගේ සංගීතය වුණේ Country music වගේ දෙයක්. අසම්මත නාද රටාවන් එක්ක උච්ච ස්වර වලින් කෑගහන දඟලන "යක්ෂයාගෙ සංගීතයක්" විදිහටයි බහුතර සුදු මිනිස්සු මේ Jazz/ Blues සැලකුවෙ. Jazz/ Blues උපදින්නෙ කලු ජාතිකන් වැඩිවශයෙන් හිටපු ඇමරිකාවේ දකුණට වෙන්න මිසිසිපි, ලුසියානා වගේ ප්‍රාන්තවල. 1940/50 වගෙ වෙනකොට මේ blues තාලෙට තරමක් වැඩි වේගයෙන් ගායනා වෙන Rock n Roll සංගීත ක්‍රමය Chuck Berry වගේ කෙනෙක් ඉදිරියට අරගෙන ආව. ඔය අතරෙයි මේ blues හැදුණ මිසිසිපි පලාතෙන් එන එල්විස් ප්‍රෙස්ලි නම් අපූරු කඩවසම් තරුණය තමන්ගෙ උණුහුම් ගැඹුරු කටහඬින් Rock n Roll සින්දු කියන්න පටන් ගන්නෙ. වැදගත්ම දේ ඔහු සුදු හමක් ඇති කෙනෙක් වීම. "කලු හම ඇති උන්ගෙ විකාරසහගත පිස්සු සංගීතයක්" විදිහට අවමන් ලැබුණු සහ සුදු ජාතිකයන්ට නොගැලපෙන තරම් පහත් දෙයක් විදිහට කොන් කරල තිබුණු Jazz/blues රිද්මයට ජාති බේදයක් නැතුවම හැමෝම ආකර්ශණය වෙන්න පටන් ගත්තෙ ඉන් පස්සෙ. විශේෂයෙන් නව යෞවන තරුණයො වර්ණභේද වාදය පැත්තකට දාල Rock n Roll වටා එකතු වුණා. කලු සුදු කියල මිනිස්සු වෙන් කරල තිබ්බ සංස්කෘතික සීමාවක් එල්විස් ප්‍රෙස්ලි කඩා බිඳල දැම්ම. ඔහු ඇමරිකානු සමාජෙ සංස්කෘතික icon එකක් වුණා. ඒ සංගීතය විතරක් නෙමේ, ඇඳුම් පැලඳුම්, නිදහස් අදහස් සමාජයට ලොකු බලපෑමක් වුණා. ඇමරිකානු සංස්කෘතියට ඔහු කල මේ බලපෑම අදටත් ජීවමානව පවතින යමක්. එහෙම බලද්දි එල්විස් කියන්නෙ නිකම් ගායකයෙකුටත් වඩා ගතානුගතිකව ආපු සම්ප්‍රදායන් සුනුවිසුණු කරල දාපු සංස්කෘතික විප්ලවකාරයෙක් කිව්වොත් වරදක් නැති වෙයි. Jazz/ Blues/ Rock n Roll සංගීතයට මුලු ලෝකෙම අවධානය ලැබුණෙ එල්විස් ගෙන් පස්සෙයි. පසුකාලීනව Rock music වගේ සංගීත ක්‍රමයක් හැදෙන්නත් එල්විස් ඇති කල මේ බලපෑම සෑහෙන හේතු වුණා. තමන්ට කලින් බොහෝ අය හිටියත් එල්විස් ඉන්පස්සෙත් පරම්පරා ගාණකට අලුතෙන් හිතන්න පාරවල් විවර කරල දුන්න. ලෝකයෙ වැඩිම ගීත ප්‍රමාණයක් අලෙවි වුණු කලාකරුව විදිහට හඳුනාගැනෙන්නෙ එල්විස් ව (over 500 million records). බොහෝ අය ඔහුව එදාමෙදාතුර බිහිවුණු හොඳම ගායකය best performer විදිහට නම් කරනව. ලෝකය පුරා අදහන ආගමක් තරමට ප්‍රබල නමක් එල්විස් කියන්නෙ. "Before Elvis, there was nothing" කියල John Lennon කියන කතාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ මේ ඉතිහාසය දිහා බලනකොටයි.

2022 ඔස්ට්‍රේලියානු නිශ්පාදනයක් විදිහට තිරගත වෙන Elvis චිත්‍රපටය නැරඹුවොත් මේ එල්විස් ඇති කල සමාජ බලපෑම කොහොම එකක්ද කියන දෙය ඔබට වටහගන්න ලැබෙයි. චිත්‍රපටය ගොඩනැඟෙන්නේ එල්විස් ගේ පුද්ගලික කළමනාකාරවරයා වුණු Tom Parke ගේ දෘෂ්ටි කෝණයෙන්. ඔහුට මුලින්ම මේ තරුණයාව මුණගැහෙන්නෙ කොහොමද, ඉන්පස්සෙ දෙදෙනම එකතුවෙලා එල්විස් ගේ සංගීත ගමන මෙහෙයවගන්නෙ කොහොමද කියන දෙය මූලිකවම චිත්‍රපටයට ඇතුළත් වෙන්නෙ. චිත්‍රපටය පුරාම කැපිල පේන්නෙ එල්විස් ගෙ චරිතය රඟදක්වන Austin Butler ගේ රඟපෑම. 2018 දි Bohemian Rhapsody චිත්‍රපටයෙ රමී මලෙක් Freddy Mercury ගෙ චරිතය ප්‍රතිනිර්මාණය කල හැටි ඔබට මතක නම් Austin ගේ එල්විස් ප්‍රතිනිර්මාණයත් ඊට නොදෙවනි බවයි කියන්න තියෙන්නෙ. Austin තමන්ගෙ චරිතය හොඳින් කරන්න මුලින්ම රමීගෙන් උපදෙස් ගත්ත බව කියා තිබුණ. බොහෝ විට ඉදිරියෙදි පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලකදි වගේ ඔහුගෙ නම අපිට ආපහු අහන්න ලැබේවි. Tom Parke ගෙ චරිතය කරන Tom Hanks සුපුරුදු විදිහට රඟපාන බව නොදැනෙන රඟපෑමක් කරනව. Elvis ආදායම් අතින් පවා සෑහෙන හොඳ සාර්ථකත්වයක් ලබාගන්න සමත්වෙනව. සංගීතයම ආත්මය කරගත්ත මනුස්සයෙකුගේ ජීවිත කතාවක් හින්ද සංගීතය කියන්නෙ මේ වගේ චිත්‍රපටයක බොහෝම වැදගත් කොටසක්. විශේෂයෙන් එල්විස් ගේ ගීත චිත්‍රපටයෙ රසවින්දනාත්මක බව උපරිම වෙන විදිහට යොදාගෙන තිබුණ කියලයි මට දැනුනෙ. තරුණ එල්විස්ගෙ ගයනාවන් වෙනුවෙන් ඒ චරිතය රඟපාන Austin Butler ගෙ හඬ යොදාගෙන තියනව. එල්විස් ගේ පසුකාලීන ගායනාවන් වෙනුවෙන් භාවිතා කරල තියෙන්නෙ එල්විස්ගේ ම හඬ බවයි චිත්‍රපටයෙ අධ්‍යක්ෂ Baz Luhrmann කියන්නෙ.

එල්විස් කියන්නෙ තරු දාහක් මැද එකම හඳක් වගේ බැබලුණු චරිතයක් වුණත් තමන්ගෙම ඇතුළාන්ත අඳුරකින් ඔහු පීඩාවින්ද. එක හේතුවක් තරුණ වයසේදිම ඔහු බොහෝම ආදරය කල ඔහුගේ මව මියයාම. අනෙක් පැත්තෙන් කාර්‍යබහුල බව නිසා බිරිඳ හා දරුවන් එක්ක නිදහසේ ගතකරන්න වෙලාවක් නැති වීම. මේ අවිවේකී පීඩාකාරී ජීවිත රටාව හින්ද එල්විස් බොහෝ තදබල විදිහට වෙහෙසට පත්වුණා. මේ වේදනාවන්ගෙන් මිදෙන්න ඔහු මත්ද්‍රව්‍ය වල පිහිට හොයාගෙන ගියා. සමහර වෙලාවට තමන් විඳින ඇත්ත වේදනාවන් සංගීත ප්‍රසංගයක සජීවී ඉදිරිපත් කිරීමක් ඇතුලෙ ඔහු මුදාහැරිය. ආදරය මොන තරම් හොඳ දෙයක් වුණත් තමන්ගේ කලාව වෙනුවෙනුත් තමන් වටා ගොඩ නැගෙන යෝධ මිනිස් පවුර වෙනුවෙනුත් තියන ආදරය එල්විස් ගේ ජීවිතය ඉක්මණින්ම ඔහුගෙන් උදුරා ගත්ත කියලයි මම හිතන්නෙ. ඒ ආදරයම ඔහුගෙ ශාරීරික සහ මානසික සෞඛ්‍ය බිඳ දැම්ම. හඳක්ම වගේ ලෝකය ඉදිරියෙ බැබලුණු ඔහු ඒ වගේ ඉක්මණින්ම අඳුරු වළාවක සැඟවිලා ගියා. නමුත් ඔහු කල කී දේවල් ඉතිහාසය තිබෙන තුරුම මිනිස්සු අතර පවතීවි. Music වලින්ම ඔහු කල සමාජ සංස්කෘතිය විප්ලවය කොයිවගේ එකක්ද කියල දැකගන්න නම් මේ චිත්‍රපටය බලන්න. මේව නම් big screen ම බලන්න ඕන චිත්‍රපට වුණත් ඒ අවස්ථාව අපිට ලැබුණේ නෑ. කොහොම වුණත් Elvis කියන්නෙ අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ලබාගන්න පුලුවන් රසවින්දනාත්මකම සිනමා අත්දැකීමක් බවට සැකයක් නෑ.



Wednesday, August 10, 2022

කොයිතරම් සුන්දරද ඔබ

කොයිතරම් සුන්දරද ඔබ
මෘදු සිනිඳු නළලතින් 
නිදහසේ රූරා හැලෙන කළ
මනා සේ පීරූ කෙහෙරොද..

පමණටත් වඩා වැඩියෙන්
කෙටි ගවොමෙන්ද පහළත
නිරාවරණිත දණිස් යුගලය
දිස්නෙ දෙන කළ හිරු එළියේ
කහට ළා දම් පැහැයට...

වසන්තයෙ මඳ සුළඟේ
අහසක් සේම දිදුළන
ඒ නිල් පැහැති ඇඳුමට
කොයිතරම් හැඩ ද ඔබ...

සුදු පාට මල් පිපෙන
අරලියා ගස් රැසකි....
පිළිවෙලින් කපා දැමූ
හරිත පැහැ තණපිටියකි..
ඔබ සිටින තැන පින්තූරයේ...
හිස පැලැන්දූ සුදු මල ද
ඔබේ මදහාසයට
පරදිනා සැටියකි....

එහෙත් හිතවති
දෑස් යට අඳුරු පැහැතිව
ගිලී ගිය සියුම් රේඛාවද..
කැමරා ඇසට එපිටින් 
හෙළනා නුඹේ හිස් බැල්මද...
මතුවී පෙනෙනු ඇයි
අන් හැමදෙයකටම වැඩියෙන්
ඒ පින්තූරයේ මට...



Monday, August 8, 2022

Wild Strawberries (1957)

 මතකය නම් වූ මළපොත පෙරළල මළගිය ඊයේ සිහිපත් කරද්දි, පැතූ පැතුම් අත්මිට මිට මොළවාගත්ත දෑතේ දසැඟිලි දිගහැරල බලනකොට දැක්ගන්න ලැබෙන්නෙ කිසිවක් නොමැති හිස්කමක් පමණක් බව ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මය ගීයක පද අතරෙ ලියනව. පහුවෙලා ගිය අතීතය ගැන දැන් ආපහු හිතනකොට, රෑ නින්දෙදි දුටුව හීනයක් වගේ ඒ කාලය නොදැනීම ගෙවිල ගිහින් නේද කියල හිතෙන බව ඇත්ත. නමුත් ඕනැම කෙනෙකුට, මේ මොහොතෙ මම කියන්නෙ, මීට කලින් ගෙවුණු මොහොතෙ මම කල කී දේවල් වල ප්‍රතිඵලයක් නොවෙද කියන ගැටලුව මතුවෙන්න පුලුවන්. ඇත්තටම හිතල බැලුවොත් ඒ ගෙවුණු කාලය ඇතුළෙ මම කරපු, කියපු, හිතපු දේ හේතු කරගෙන තමයි දැන් ඉන්න මේ මාව නිර්මාණය වෙලා තියෙන්නෙ. එතකොට, වර්තමාන කලය එක්ක සංසංදනය කරද්දි අතීතය කියන්නෙ නිකම්ම හිස් තැනක් නොවෙයි. දැනටමත් ගතවෙලා ඉවර වුණු කාලය වුණත් මතකය එක්ක තවමත් අපි තුළ ජීවමානව පවතින්නෙ නැද්ද. සාපේක්ෂව කාලය මැනගන්න අපි ඔරලෝසු බැඳගෙන හිටියට කටුවලින් ලකුණු කරල පෙන්නන්න බැරි කාලය එක්ක නේද අපි බොහෝ වෙලාවට ජීවිතේ ගෙවාදමන්නෙ. බර්ග්මාන් ගෙ Wild Strawberries චිත්‍රපටයෙත් දකින්න ලැබෙන්නෙ මෙන්න මේ විදිහට ජීවිතේ එක අගිස්සක ඉන්න මනුස්සයෙකුගේ මතකාවර්ජනයක්. 


Wild Strawberries ලියන්න මුල් වුණු හේතුකාරණාව ගැන සඳහන් කරනකොට ස්වීඩනයේ ඒ මහා සිනමාකරුව බර්ග්මාන් කියනව එයාගෙ ළමා කාලෙ හැදුණු වැඩුණු නිවසක් ගැන මතකය අවදිවෙන එක් සිදුවීමක් එක්ක ඒ පිටපත ලිව්ව කියල. බර්ග්මාන්ට පමණක් නොවෙයි ඕනෑම කෙනෙක්ට ජීවිතේ අතීතකාමී නොස්ටැල්ජියානු මතක එක්ක තියෙන්නෙ ලොකු බැඳීමක්. විශේෂයෙන් අපේ පරම්පරාවට නම් අනූව දශකය කාලෙ අහපු දැකපු කැසට්, රෝඩියෝ, vhs චිත්‍රපට වගේ දේවල් ඒ යුගය ගැන මතක ආයෙමත් අවදි කරනව. දැන් ආපහු හිතනකොට, අතීතයේ නොවැදගත් කියල හිතන කුඩා දෙයක් වුණත් අපේ ජීවිතේ මේ මොහොත හැඩගස්වන්න කොයි විදිහකින් හරි දායක වෙලා තියනව නේද කියල පෙනෙන්න පටන් ගන්නව. යම් සිදුවීමක් එක්ක අවුරුදු හැත්තෑ අටක් වයස, ස්වීඩන් ජාතික මහාචාර්ය වරයෙක් වුණු ඉසාක්ට ජීවිතේ එක අගිස්සකදි ගෙවී ගිය අතීතය ආපහු මතක්වෙන්න පටන්ගන්නව. වන මලින් සැරසුණු ගෙඋයනක්, කොළපාට සිහිල් තුරු සෙවණක්, හමා එන සීතල සුළං අහුරක්, කැලෑ ස්ට්‍රෝබෙරි පඳුරු හැදුණු බිම් කඩක්, මලක් වගේම සුන්දර හිනාවක් තියන ගැහැනු ලමයෙක්. මෙන්න මේවයිනුයි මහලු මනුශ්‍යයා තුළින් අවදිවන සිහිනමය මතක ලෝකය හැදිල තියෙන්නෙ. මේ සිහින සහ වර්තමානයෙ ඔහුගෙ බිරිඳ දරුවන් ඇතුලු පවුලත් මුල් කරගත්ත ජීවිත කතාවක් wild strawberries චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙ.

මහලු ඉසාක් ගේ චරිතය රඟදක්වන්නෙ ස්වීඩන් සිනමාවේ පුරෝගාමී අධ්‍යක්ෂවරයෙක් සහ නලුවෙක් වුණු Victor Sjöström. චිත්‍රපට රූගත කරනකොට ඔහු ඇත්තටම අවුරුදු 78 වයසේ පසුවුණා කියනව. බර්ග්මාන් ගේ එක් සිහිනයක් මේ තමන්ගේ රටේ සිනමාවේ සුවිශේෂ චරිතයක් වුණු Victor ව චිත්‍රපටයකට දායක කරගැනීම. ඒ සිහිනය බර්ග්මාන් සැබෑකරගන්නෙ Wild Strawberries හරහා. මේ වයස කියන්නෙ කෙනෙකුට වෙහෙස මහන්සි වෙලා වැඩකරන්න තරමක් අපහසු කාලයක්. ඒ හින්ද Victorට වැඩිපුර වෙහෙසක් නොදැනෙන්න බොහෝම මන්දගාමීව චිත්‍රපටය රූගත කරල තියෙන්නෙ. Victor මේ චිත්‍රපටය රඟපාන බවක් අපි දකින්නෙ නෑ. ඔහු ඉසාක් ඇතුළෙ ජීවත් වෙනව. Victor සහ ඉසාක් කියන්නෙ දෙදෙනෙක් නොවෙයි එක්කෙනෙක් බවට පත් වෙනව. පුලුවන් තරම් සිනමාව වෙනුවෙන් වැඩ කරල ජීවිතේ අවසාන භාගයෙ පසුවෙන මනුස්සයෙකුගෙන් මේ ආකරයෙන් තමන්ට අවශ්‍ය චරිතය මතු කරගැනීම කියන්නෙ අධ්‍යක්ෂවරයෙක් විදිහට බර්ග්මාන් ගේ දක්ෂතාවය තමයි. බර්ග්මාන් ගෙ චිත්‍රපටවල වැඩිපුර දැකගන්න ලැබෙන Bibi Andersson, Ingrid Thulin රංගවේදිනියන් දෙදෙනාත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනව. 

Wild Strawberries සිනමා විචාරකයන් අතින් සෑහෙන ප්‍රශංසාවට ලක්වෙන්නෙ රඟපෑමට අමතරව කැමරාකරණයේ තියෙන රූපමය සෞන්දර්ය වෙනුවෙන්. විශේෂයෙන් සිහිනමය දර්ශන වලදි කැමරාව වැඩකරල තියන අපූර්වත්වය හොඳින්ම පැහැදිලි වෙනව. චිත්‍රපටයෙ අවසාන දර්ශනයත් සෑහෙන විශේෂ එකක්. බර්ග්මාන් කියනව ඔහුගෙ ජීවිතේටම අරගත්ත සුන්දරතම රූපරාමුව ඒක කියල. චිත්‍රපටය මේ තරම් දුරක් ඇවිල්ල අවසානෙදි කූටප්‍රාප්තියට පත්වෙන්නෙ ඒ දර්ශනයත් එක්ක. ඒ හින්ද අවසාන රූපරාමුව තවත් එක දර්ශනයක් නොවී චිත්‍රපටයෙ සමස්ත අර්ථ ගැඹුර මතුකරන්නක් වෙනව. Stanley Kubrick, Andrei Tarkovsky වගේ මහා සිනමාකරුවන් එදාමෙදාතුර තමන්ගෙ ප්‍රියතම චිත්‍රපට අතරට Wild Strawberries ඇතුළත් කරනව. නමුත් මේ චිත්‍රපටයට විවේචනාත්මක ප්‍රතිචාර දක්වන විචාරකයන් නැතුවා නොවෙයි. කිසිවක් වටහා ගත නොහැකි ප්‍රෙහෙලිකාමය ස්වභාවය නිසා බොහෝම වෙලාවට මේ චිත්‍රපටය විවේචනයට ලක්වෙන්නෙ. තාර්කිකව හිතල  බලල Wild Strawberries කියන්නෙ මහලු මනුස්සයෙකුගෙ දවල් හීනයක් කියල නාමකරණය කරන්න බොහෝම ලේසි වුණත් ඒ අතුලෙ කියවෙන ජීවිත පරිමාව සෑහෙන විශාල එකක්. Wild Strawberries, සිනමා ඉතිහාසයෙ විශිෂ්ටතම කලාකෘති අතරට එක් වී තිබෙන්නෙ සියුම් භාවයන් ප්‍රකාශවෙන රංගනයන් ගෙනුත්, කැමරාව සහ රූපමය ප්‍රතිනිර්මාණය අතිනුත් වගේම ජීවිතේ ගැඹුරු අරුත් මතුකරන ගුණය හින්ද. සිනමාව නම් විෂය ඇතුළෙ බර්ග්මාන් නම් චරිතය "මහා සිනමාකරුවෙක්" විදිහට නාමකරණය වෙන්නෙ ඔහු මේ ආකරයෙ කලාත්මක සහ අර්ථවත් බවින් ඉහළ නිර්මාණකරණයක් වෙනුවෙන් කැපවුණු කෙනෙක් හින්ද.



Monday, August 1, 2022

Taste of Cherry (1997)

 මේක මං කොහෙන් හරි කියවා තියන කතාවක්. එක්තරා ගමක හිටිය තරුණයෙක්. මෙයාට ජීවිතේ දුක්බර, කටුක අත්දැකීම් එකදිගට විඳින්න සිද්දවුණා. සැනසීමක් පේන මානෙක දකින්න ලැබුණෙ නෑ. දවසක් ඔහු ඒ දේවල් වලින් හොඳටම හෙම්බත් වෙලා මේ දුක් වේදනාවන් කොහොම හරි අවසාන කරගන්න හිතුව. එදා ඔහු පාරට බැස්සෙ ජීවිතය නැති කර ගැනීමෙ අරමුණෙන්. මේ ගමේ තිබුණ මහ සුවිසාල වැවක්. වැව පතුලේ තමන්ගෙ ජීවිතය දිය කර හරින්නයි ඔහු හිතුවෙ. 


තරුණයා වැව කිට්ටුවට ආව. වැව් ඉස්මත්තෙ කවුදෝ වයසක මනුස්සයෙක් වාඩි වෙලා උන්න. තරුණයත් ඒ කිට්ටුවෙන්ම ගිහින් වාඩි වුණා. තමන් වින්ද දුක්ගැහැට ගැන පීඩාකාරි සිතුවිලි ඔහුගේ හිත ඇතුලෙ තෙරපෙමින් තිබුණා. "හැම දෙයක්ම ඉක්මණින්ම ඉවර කරගන්න ඕන" ඔහු හිතුව. තරුණය අර වයසක මනුස්සය දිහා බැලුව. එයා තමන්ගෙ පාඩුවේ වාඩි වෙලා උන්න මිසක් මොනවත් කතා කලේ නෑ. තරුණයගේ හිතේ පීඩාකාරී ස්වභාවය උත්සන්න වෙමින් තිබුණා.

"මට ජීවත්වෙලා වැඩක් නෑ. මේක මහ දුක් ගොඩක්"

වයසක මනුස්සය ලඟට ආව තරුණය මහ හයියෙන් කෑගහල කිව්ව. ඒ මනුස්සය ලඟ තිබුණ ගමන් මල්ලක්. කොහෙහරි දුර බැහැරක යන කෙනෙක් වගේ. කිසි කතාවක් නැතුව ගමන් මල්ලට අත දාල එයා වීදුරු කෝප්පයක් අරගත්ත. 

"මට මේකට වතුර ටිකක් පුරවන් එන්න"

එයා කිව්ව. තරුණය ටිකක් වෙලා පුදුමෙන් වගේ බලා හිටිය. මොකක්ද මේ වෙන්නෙ කියල. මෙයාට වතුර පිපාස ඇති කියල හිතල එයා වැවෙන් වතුර ටිකක් කෝප්පෙට අරන් ගෙනත් දුන්න. 

"ඔයා ඕක බොන්න" 

මනුස්සය කිව්ව. තරුණයත් පුදුමෙන් වගේ බලා ඉඳල කෝප්පෙ තිබුණ වතුර ටික බිව්ව.

"මට තව වතුර එකක් අරගෙන එන්න" 

වයසක මනුස්සය කිව්ව. තරුණය ආයෙත් මොකවත් හිතාගන්න බැරුව කෝප්පෙට වතුර එකක් පුරවගෙන ආව. මනුසය ඒ පාර ගමන් මල්ලට අත දාල අරගත්‍ත ලුණු අහුරක්. ඒක අරන් වතුරට දාල හොඳට කලවම් කරා. 

"දැන් මේක බොන්න"

වතුර ටික කටේ තිබ්බ ගමන් තරුණයා ඒ ටික ඔක්කොම කටින් හැලුව.

"අපෝ කටේ තියන්න බෑ ලුණු රහයි"

වයසක මනුස්සය තරුණයගෙ අතින් අල්ලගෙන වැව කිට්ටුවට ආව. 

"දැන් ඔයා මේ වැවෙන් වතුර ටිකක් අරගෙන බොන්න ඕන"

"ඇයි මට මෙහෙම වතුර පොවන්නෙ. මේක මොකක් හරි සෙල්ලමක් ද"

තරුණය ඇහුවෙ තරමක කෝපයෙන්

"මම කියන්නම්. ඉස්සෙල්ල ඔයා වැවෙන් වතුර ටිකක් අරන් බොන්නකො"

තරුණයා වැවෙන් දිය දෝතක් අරන් බිව්ව.

ඉන්පස්සෙ වයසක මනුස්සය ආයෙත් ලුණු අහුරක් අරන් වැවට විසි කරා.

"දැන් ආයෙත් වතාවක් වතුර ටිකක් බීල බලන්න"

තරුණයා ආයෙත් වතාවක් වැවෙන් වතුර අරන් බිව්ව

"වෙනසක් දැනුණද?"

වයසක මනුස්සය ඇහුව.

"නැහැ කිසිම වෙනසක් නෑ"

තරුණයා උත්තර දුන්න.

ඉන්පස්සෙ ඒ වයසක මනුස්සය තරුණයාට මෙහෙම කිව්ව.

"දැන් ඔයාට තේරෙන්න ඇති මම කළේ මොකක්ද කියල. මේ වතුර ටික තමා කෙනෙකුගෙ ජීවිත අවබෝධය. දුක්, කරදර තමා ලුණු අහුර. ජීවිතේ අපි කාටත් මුහුණ දෙන්න වෙන ප්‍රශ්න බොහෝ වෙලාවට එක සමානයි. අපි හැමකෙනෙකුටම උපතින්ම මේ දේවල් උරුමයි. කාටවත් ඒකෙන් ගැලවෙන්න බෑ. ඒත් ඔයා අර වතුර වීදුරුව වගේ පටු සීමාවක හිරවෙලා ජීවිතය දිහා බලන්න පුරුදු වුණොත් ඔයාට හිතේවි මට තමා හැම දෙයක්ම වෙන්නෙ. මම තමා හැම වෙලාවෙම දුක් විඳින්නෙ කියල. ඔයාට ජීවිතේ තිත්ත වේවි. ඔයා ඉක්මණින්ම කළකිරේවි. ඍණාත්මක සිතුවිලි වලින් ඔයා පිරේවි. ඒත් ජීවිතේ ගැන හොඳට අත්දැකීම් ලබපු. ඒවයින් පන්නරය ලබපු මිනිස්සු දන්නව. දුක වේදනාව කාටත් පොදුයි කියල. කඩා වැටුණත් ආපහු නැගීහිටින්න ඒ අය දන්නව. දුක් වේදනා වලට බෑ ඒ අයව විනාශ කරන්න. ඒ නිසා කෙනෙකුගේ ජීවිත පරිමාව විශාල වෙන තරමට ජීවිතේ විඳවමින් නාස්ති කරදැමිය යුතු දෙයක් නොවන බවට අවබෝධය ලැබෙනව. ඉතින් පොඩි වතුර වීදුරුවක් වෙනවද නැත්නම් මහ වැවක් වෙනවද කියන එක ඔයාම තීරණේ කරන්න"

ඉරානයෙ මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමි ගෙ Taste of Cherry චිත්‍රපටයෙ ඇතුළත් වෙන කතාව මේකම නොවුණත් සිනමාපටයෙ හරය මම අහල තියන මේ කතාව එක්ක සෑහෙන සමාන බවයි මට දැනුණෙ. 1997 දි ප්‍රංශයෙ කාන්ස් සම්මාන උළලෙ Palme d'Or සම්මානයෙන් පිදුම් ලබන Taste of Cherry මෙතෙක් නිමැවුණු හොඳම කලාත්මක බවින් ඉහළම චිත්‍රපට අතර ඉහළින්ම රැඳවෙනව (Palme d'Or දිනුව මුල්ම ඉරාන චිත්‍රපටය Taste of Cherry මතක විදිහට). කියරොස්තාමි බොහෝම අවමවාදී ශෛලියක් භාවිත කරන්නෙ මේ චිත්‍රපටය නිර්මාණය කරද්දි. සීමිත චරිත ප්‍රමාණයක්, එකම දර්ශන තල. එකම Long takes ඇතුළෙ දීර්ඝ සංවාද, මුල මැද අද නැති අසම්පූර්ණ කතාපුවතක් වගේ ස්වල්ප දේවලින් ඔහු මේක නිර්මාණය කර තිබෙන්නෙ. ඒවගේම නිශ්චිත පිටපතක් වත් චිත්‍රපටයට තිබිල නැහැ. ඒ ඒ අවස්ථාවල චරිත අතරෙ හුවමාරු වෙන සංවාද ආශ්‍රයෙනුයි මේ වෙන්නෙ මොකක්ද කියන දෙය නරඹන්නෙකුට වටහගන්න සිද්දවෙන්නෙ. නමුත් මේ කුඩා දේවල් ටිකකින් ඔහු මවන ජීවිත ගැඹුර මහ සුවිසාල එකක්. 

ඉරානයෙ ටෙහෙරාන් නගරයෙ දූවිලි පිරුණු කඳුපාරවල් දිගේ ඔලිව් ගස් අතරින් හුදෙකලාව වාහනය පදවාගෙන යන එක් මිනිසෙක්. ඔහුට මුණගැහෙන අනික් මිනිස්සු අතර ඇති වෙන සංවාද. Taste of Cherry සමන්විත වෙන්නෙ මේවයින්. එකම ප්‍රශ්නය වුණත් මිනිස්සු තම තමන් පැළඳ ඉන්න පාට කණ්නාඩි වලට පේන ආකාරය අනුව විග්‍රහ කරගන්න හැටි මේ චිත්‍රපටයෙන් අපූරුවට දැක ගන්න පුලුවන්. අත්දැකීම් එක්ක දැනුම අවබෝධය ලැබෙන තරමට මනුස්සයෙක් පරිණත බව ලබන්නෙ කොහොමද කියන දේ ඒ ආශ්‍රයෙන් වටහගන්න පුලුවන්. Taste of Cherry කියන්නෙ ඒවගේ වතාවක් නැරඹුව කෙනෙකුට නිකම්ම ආපහු නැගිටල යන්නෙ නැතුව මොකක්ද මම බැලුවෙ කියල තමන්ගෙ පරිකල්පනය මෙහෙයවල හිතන්න පොළඹවන සිනමාවක්. වර්තමානයෙදි වාණිජත්වයම අරමුණු කරගත්ත රසවින්දනාත්මක චිත්‍රපට වැඩියෙන් නිර්මාණය වෙන යුගයක ඒ ජනප්‍රියවාදී සළුපිලි උනා දමල ජීවිතේ ඒ අයුරින්ම දකින්න පොළඹවන Taste of Cherry වගේ කලාත්මක සිනමාපට මේ වෙළඳ ඝෝෂාව ඇතුළෙ සැඟවී යන්න ඉඩ නොතැබිය යුතුයි කියල මම හිතනව.