Thursday, August 18, 2022

Darlings (2022)

 ආදරේ සම්බන්ධයෙන් මේ සෝෂල්මීඩියා ඇතුළෙ ශෙයා වෙන සමහර දේවල් සහ ඒවට බොහෝම තරුණ තරුණියන් දෙන ප්‍රතිචාර දිහා බැලුවම නම් සිනා පහළවෙන එක වළක්වන්න බැරි බව ඇත්ත. නමුත් මේ අදහස් කියවන අයගෙ මනසට කොයිතරම් භයානක විදිහට නරක බලපෑමක් කරන්න පුලුවන්ද කියල හිතෙනකොට හිනාවෙනවට වඩා අඬන්න තමයි තියෙන්නෙ. "ගහ මරාගෙන හරි එකට ඉන්න එක තමා ආදරේ කියන්නෙ", "දවසක් හරි බෝයිෆ්‍රෙන්ඩ් ගෙ ඔලුව කෑවෙ නැත්නම් නින්ද යන්නෑ අනේ" "මට ඕන මම පොල් ගහක් පෙන්නල කොස් ගහක් කිව්වත් ඒක පිලිගන්න කෙල්ලෙක්ව" "කමෙන්ට් කරන්න එපා බෝයිෆ්‍රෙන්ඩ් සැරයි".. මතක් වෙන විදිහට මෙහෙම ටිකක් සඳහන් කලාට සෝෂල් මීඩියා ඇතුලෙ නිතරම ඉන්න ඔබ නම් ඕන තරම් මේවගෙ දේවල් දැකල ඇති. කොයිතරම් ලොකු අනාරක්ෂිත කමක්, හීනමානයක්, පීඩනයක් මේ අදහස් ඇතුළෙ තියනවද කියල ඔබට නේතේරුණොත් පුදුමයක්. මේ සයිබර් අවකාශයෙත් ඉන් පිටත් මේ ආදරේ කියල ලේබල් ගහගත්ත පීඩාකාරී ජීවිත කතන්දර ඕන තරම් අපිට අහන්න දකින්න පුලුවන්. 

ඕෂෝ එයාගෙ දේශනාවකදි මේ විදිහෙ ආදර සම්බන්ධකම් ගැන හරි අපූරුවට විග්‍රහ කරනව. ඕෂෝ ඒවට කියනව ආදරයට වඩා දේශපාලන සම්බන්ධකම් කියල. දේශපාලනය කියන්නෙ නිතරම බලය සහ අධිපතිත්වය සම්බන්ධ කාරණාවක්. මෙහෙම ආදරයක දි වැඩිපුරම සිද්ධවෙන්නෙ අනෙකාව තමන්ගෙ බලගතුකමට යටත් කරගෙන තමන්ට ඕන විදිහට පාලනය කරන්න උත්සහ කිරීම. අනෙකාට වඩා තමන් බලවත් කියන තත්ත්වය පවත්වා ගැනීම. "ඔයා ඔය විදිහට අඳින්න  එපා. ඔයා එහෙම ඇඳුම් අඳිනවට මම කැමති නෑ" "කවුරු එක්කද අර කතා කර කර හිටියෙ. මම කියල තියනව නේද ඕකුන් එක්ක කතාවට යන්න එපා කියල" "යාලුවො එක්ක ඇවිදින්න යන්න. ඔයාට ඕන නම් යන්න. හැබැයි අදින් පස්සෙ මම ඔයාට නෑ කියල හිතාගන්න" "අර මනුස්සය ඔයාගෙ ෆොටෝ වලට කමෙන්ට් කරනව නේද. මම ඒකට කැමති නෑ.".. "ඔයා අරෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා, ඔයා එහෙම කරනවට මම කැමති නෑ" ඕව තමා බල දේශපාලනික බැඳීමක් ඇතුළෙ වැඩිපුරම අහන්න ලැබෙන වචන. තමන් කැමති අකමැති දේ ඇතුළෙ අනෙකාව හිර කරල තියා ගැනීම, මට ඕන විදිහට එයාව හදා ගැනීම, ඕක තමා මේ ආකාරයෙ බැඳීමක් ඇතුලෙ සිද්දවෙන්නෙ. ගොඩක් වෙලාවට ගෑනු ලමයි හිතනව පෙම්වතාගෙ බලයට නතු වෙලා එයාට ඕන විදිහට තමන් වෙනස් වීම තමයි ආදරේ කියන්නෙ කියල. අනවශ්‍ය විදිහට බනින කොට, සැරකරන කොට, නීති දානකොට හිතනව ආදරේ නාමෙන් ඒව ඉවසගෙන ඉන්න ඕන කියල. අනෙක් පාර්ශවයෙනුත් මේක මෙහෙමම වෙනව. සමහර ගෑනු ලමයිනුත් මෙහෙම තමන්ගෙ පෙම්වතාව මැනිපියුලේට් කරනව. ඒව ආදරේ ලේබල් එක ගහගත්ත බල දේශපාලනය මිස ආදරය නොවෙන බව ඕෂෝ කියනව.

ආදරය කියන්නෙ මෙහෙම පීඩාකාරී දෙයක් නෙමෙයි. ඒක ලස්සන සුන්දර දෙයක්. ආදරේ කරන අය ඇතුළෙ ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑ කියන දේ නොවෙයි කියන්නෙ. නමුත් ආදරය කියන්නෙ ඇත්තටම අනෙකාව ඒ ආකාරයෙන්ම බාරගන්න තැන. විනිශ්චය නොකරන තැන. ඕෂෝ කියනව මේ ආදරය ඇතුළෙ තියෙන්නෙ ආදරය බෙදාගැනීමේ සතුට පමණයි කියල. ඒක "මට ඕන විදිහට හදාගැනීමට" එහා ගිය යමක්. මේවගේ සමාන අවබෝධයක් තියන දෙන්නෙකු අතර තමයි හොඳ ආදර සම්බන්ධකමක් දළුලන්න පුලුවන්.

ඔය ගහ මරාගෙන හරි එකට ඉන්න ඕන, මම එයාව කොහොම හරි හදාගන්නව කියල හිතන අයට බලන්න වටින චිත්‍රපටයක් ඉන්දියානු බොලිවුඩ් සිනමාව ඇතුළෙ බොහෝම ලඟදි නිකුත් වුණා. චිත්‍රපටයෙ නම Darlings. Darlings චිත්‍රපටය ඇතුළෙ තියෙන්නෙ මෙහෙම එකිනෙකාට පීඩා කරගැනීම ආදරේ කියල බාර අරගෙන ජීවත් වෙන විවාහක යුවළක් මුල් කරගෙන. මේ කතාවෙ ගෑනු ලමයගෙ අම්මගෙ චරිතය ගැන සඳහන් කරන්නම ඕන. අම්ම තමන්ගෙ දරුවට කියන්නෙ නැහැ. "මොනා උනත් තමන්ගෙ මනුස්සය නෙ. රටේ ලෝකෙ මිනිස්සු මොනව කියයි ද අපිට. කොහොම හරි ඒ මිනිහ එක්ක ඉන්න බලපන්" කියල. ඒ වෙනුවට ඒ අම්ම කියන්නෙ "ඌ එක්ක ඉන්න බැරි නම් මෙන්න මෙහාට වරෙං. මට පුලුවන් විදිහට උඹව බලාගන්නම්" කියල. මෙන්න මේ විදිහට රටේ මිනිස්සු මොනා කියයිද කියල හිතාගෙන, ලෝකෙට පේන්න එකට ජීවත් වෙන අයට හොඳ උත්තරයක් මේ චිත්‍රපටයෙ තියනව.

චිත්‍රපටය දිහාට හැරුණොත් බිරිඳ ගේ චරිතය රඟපාන Alia bhatt සුපුරුදු විදිහට ඒ චරිතය ඇතුළෙ ජීවත් වෙමින් අතිවිශිෂ්ට මට්ටමේ රංගනයක යෙදෙනව. 2022 කියන්නෙ ආලියාට නම් සෑහෙන හොඳ අවුරුද්දක් වෙන්න ඕන. මොකද 2022 මුල් භාගයෙ ඇය ප්‍රධාන චරිතය කළ "Gangubhai kathiawadi"   තිරගත වුණා. Gangubhai ආදායම් අතින් ඒ තරම් සාර්ථක නොවුණත් චිත්‍රපටය නරඹපු ප්‍රේක්ෂක, විචාරක බොහෝම දෙනා ආලියා ගෙ රඟපෑම සෑහෙන අගය කර තිබුණා. මොකද Gangubhai චිත්‍රපටය මුලුමනින්ම වගෙ රැඳී තිබුණේ ඈ නිරූපනය කල චරිතය මත. ඇයට රඟපාන්න ලොකු පරාසයක් ඒ චරිතය පුරා විහිදී තිබුණ. ආලියා ඒ අභියෝගය ජයගෙන තිබුණෙ බොහෝම ඉහළින්. ආලියා වගේ බොලිවුඩ්වල නැගී එන තරුවකට මේ වගේ විවිධත්වයකින් යුතු චරිත නිරූපණය සෑහෙන වැදගත්. මෙතනදිත් ඇය මේ ගෘහස්ථ හිංසනයට ලක්වෙන භාර්‍යාව ගේ චරිතය ඉතාම හොඳට ප්‍රතිනිර්මාණය කරල තිබුණ. Darlings ආලියාට වැදගත් වෙන්නෙ තවත් අතකින් ඇය නිෂ්පාදකවරියක් විදිහට එළිදකින්නෙ මේ චිත්‍රපටයෙන් වීම. සැමියාගේ චරිතය කරන Vijay Varma බොහෝම වෙලාවට චිත්‍රපට වල පොඩි චරිත වලින් ඔබ දැකල ඇති. මම හිතන්නෙ ප්‍රථම වතාවටයි ඔහුට ප්‍රධාන චරිතයක් ලැබෙන්නෙ. තමන්ට ලැබුණු මේ අවස්ථාවෙන් ඔහු බොහෝම හොඳට ප්‍රයෝජන ගෙන තියන බව කියන්න ඕන. මේ අවස්ථාව හොඳට මෙහෙයව ගත්තොත් ඉර්ෆාන්, නවසුදීන්, මනෝජ් බජ්පායි, නසරුදීන් ෂා වගේ බොලිවුඩයෙ චරිතාංග රංගනයෙ විශිෂ්ඨයන් අතර විජේ වර්මා නාමයත් රැඳවේවි. ඒවගේම මලයාලම් සිනමාවෙ නමක් දිනාගෙන ඉන්න රොෂාන් මැතිව් මේ චිත්‍රපටයෙන් ඔබට දැකගන්න පුලුවන්. Darlings නිර්මාණය කරන්නෙ ශාරුක් ගේ Red Chilies සමාගමෙන්. චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත කෙරුණෙ නෑ දන්න තරමින්. Netflix හරහා online platform වලටයි මෙය මුදා හැරුණෙ.

බොලිවුඩය කියන්නෙ අද සෑහෙන ලොකු අර්බුදයකට මුහුණ දීල තියන කර්මාන්තයක් බවට රහසක් නොවෙයි. හොඳ පිටපත් නොමැති වීමේ ලොකු ගැටලුවක් බොලිවුඩ් චිත්‍රපටවලින් දැන් පේනව. රීමේක්වලින්, බයෝපික්, කොමඩි වලින් ගොඩ යන තැනට බොලිවුඩය පත්වෙලා. අනික් අතින් ආගම් වාදී, ජාතිවාදී කණ්ඩායම් මේ ආගමික, සංස්කෘතිය කාරණා නිසා සමහර චිත්‍රපට වාරණය කරන්නත්, ජාතිවාදී අදහස් මතුකරවන චිත්‍රපට අනවශ්‍ය තරම් උත්කර්ශයට නංවන්නත් පෙළඹිලා තියන නිසා නිර්මාණ කරුවන් ලොකු අවුලකට වැටිල. අනෙක් අතින් දකුණු ඉන්දියානු චිත්‍රපට මුළු ඉන්දියාවම හොල්ලන තැනට අද ඇවිත්. දමිල, තෙලිඟු, කන්නඩ වගේ භාෂාවලින් big scale මසාලා ඇක්ෂන් සිනමාවත්. මලයාලම් භාෂාවෙන් එදිනෙදා ජීවිතයට සමීප යථාර්ථවාදී සිනමාවත්, ඉන්දියාවත් ඉන් පිටතත් රසික සමාජය දිනාගන්න සමත්වෙලා තියනව. Darlings මම  දකින්නෙ මේ මලයාලම් යථාර්ථවාදී සිනමාවට සමපාතව නමුත් Dark comedy පැත්තට බරවෙන්න නිර්මාණය කල බොලිවුඩ් චිත්‍රපටයක් විදිහට. මලයාලම් සිනමාපටවල අපි දකින නිර්මාණශීලිත්වය එක්ක  Darlings සසඳන්න පුලුවන්ද කියන එක වෙනම කාරණයක්. නමුත් සමස්තයක් විදිහට හොඳ උත්සාහයක්. විශේෂයෙන් අර මුලින් සඳහන් කලා වගේ පීඩාකාරී බැඳීම් ආදරේ කියල නම් කරගෙන ඉන්න සමාජ වටපිටාවක, නෑ ඒක එහෙම නොවෙයි කියල පෙන්වා දෙන, ඇස් අරවන නිර්මාණාත්මක ප්‍රයත්නයක්. ඒ නිසා Darlings කියන්නෙ මගනොහැර බලන්න වටින හොඳ චිත්‍රපටයක්.



No comments:

Post a Comment