Monday, August 1, 2022

Taste of Cherry (1997)

 මේක මං කොහෙන් හරි කියවා තියන කතාවක්. එක්තරා ගමක හිටිය තරුණයෙක්. මෙයාට ජීවිතේ දුක්බර, කටුක අත්දැකීම් එකදිගට විඳින්න සිද්දවුණා. සැනසීමක් පේන මානෙක දකින්න ලැබුණෙ නෑ. දවසක් ඔහු ඒ දේවල් වලින් හොඳටම හෙම්බත් වෙලා මේ දුක් වේදනාවන් කොහොම හරි අවසාන කරගන්න හිතුව. එදා ඔහු පාරට බැස්සෙ ජීවිතය නැති කර ගැනීමෙ අරමුණෙන්. මේ ගමේ තිබුණ මහ සුවිසාල වැවක්. වැව පතුලේ තමන්ගෙ ජීවිතය දිය කර හරින්නයි ඔහු හිතුවෙ. 


තරුණයා වැව කිට්ටුවට ආව. වැව් ඉස්මත්තෙ කවුදෝ වයසක මනුස්සයෙක් වාඩි වෙලා උන්න. තරුණයත් ඒ කිට්ටුවෙන්ම ගිහින් වාඩි වුණා. තමන් වින්ද දුක්ගැහැට ගැන පීඩාකාරි සිතුවිලි ඔහුගේ හිත ඇතුලෙ තෙරපෙමින් තිබුණා. "හැම දෙයක්ම ඉක්මණින්ම ඉවර කරගන්න ඕන" ඔහු හිතුව. තරුණය අර වයසක මනුස්සය දිහා බැලුව. එයා තමන්ගෙ පාඩුවේ වාඩි වෙලා උන්න මිසක් මොනවත් කතා කලේ නෑ. තරුණයගේ හිතේ පීඩාකාරී ස්වභාවය උත්සන්න වෙමින් තිබුණා.

"මට ජීවත්වෙලා වැඩක් නෑ. මේක මහ දුක් ගොඩක්"

වයසක මනුස්සය ලඟට ආව තරුණය මහ හයියෙන් කෑගහල කිව්ව. ඒ මනුස්සය ලඟ තිබුණ ගමන් මල්ලක්. කොහෙහරි දුර බැහැරක යන කෙනෙක් වගේ. කිසි කතාවක් නැතුව ගමන් මල්ලට අත දාල එයා වීදුරු කෝප්පයක් අරගත්ත. 

"මට මේකට වතුර ටිකක් පුරවන් එන්න"

එයා කිව්ව. තරුණය ටිකක් වෙලා පුදුමෙන් වගේ බලා හිටිය. මොකක්ද මේ වෙන්නෙ කියල. මෙයාට වතුර පිපාස ඇති කියල හිතල එයා වැවෙන් වතුර ටිකක් කෝප්පෙට අරන් ගෙනත් දුන්න. 

"ඔයා ඕක බොන්න" 

මනුස්සය කිව්ව. තරුණයත් පුදුමෙන් වගේ බලා ඉඳල කෝප්පෙ තිබුණ වතුර ටික බිව්ව.

"මට තව වතුර එකක් අරගෙන එන්න" 

වයසක මනුස්සය කිව්ව. තරුණය ආයෙත් මොකවත් හිතාගන්න බැරුව කෝප්පෙට වතුර එකක් පුරවගෙන ආව. මනුසය ඒ පාර ගමන් මල්ලට අත දාල අරගත්‍ත ලුණු අහුරක්. ඒක අරන් වතුරට දාල හොඳට කලවම් කරා. 

"දැන් මේක බොන්න"

වතුර ටික කටේ තිබ්බ ගමන් තරුණයා ඒ ටික ඔක්කොම කටින් හැලුව.

"අපෝ කටේ තියන්න බෑ ලුණු රහයි"

වයසක මනුස්සය තරුණයගෙ අතින් අල්ලගෙන වැව කිට්ටුවට ආව. 

"දැන් ඔයා මේ වැවෙන් වතුර ටිකක් අරගෙන බොන්න ඕන"

"ඇයි මට මෙහෙම වතුර පොවන්නෙ. මේක මොකක් හරි සෙල්ලමක් ද"

තරුණය ඇහුවෙ තරමක කෝපයෙන්

"මම කියන්නම්. ඉස්සෙල්ල ඔයා වැවෙන් වතුර ටිකක් අරන් බොන්නකො"

තරුණයා වැවෙන් දිය දෝතක් අරන් බිව්ව.

ඉන්පස්සෙ වයසක මනුස්සය ආයෙත් ලුණු අහුරක් අරන් වැවට විසි කරා.

"දැන් ආයෙත් වතාවක් වතුර ටිකක් බීල බලන්න"

තරුණයා ආයෙත් වතාවක් වැවෙන් වතුර අරන් බිව්ව

"වෙනසක් දැනුණද?"

වයසක මනුස්සය ඇහුව.

"නැහැ කිසිම වෙනසක් නෑ"

තරුණයා උත්තර දුන්න.

ඉන්පස්සෙ ඒ වයසක මනුස්සය තරුණයාට මෙහෙම කිව්ව.

"දැන් ඔයාට තේරෙන්න ඇති මම කළේ මොකක්ද කියල. මේ වතුර ටික තමා කෙනෙකුගෙ ජීවිත අවබෝධය. දුක්, කරදර තමා ලුණු අහුර. ජීවිතේ අපි කාටත් මුහුණ දෙන්න වෙන ප්‍රශ්න බොහෝ වෙලාවට එක සමානයි. අපි හැමකෙනෙකුටම උපතින්ම මේ දේවල් උරුමයි. කාටවත් ඒකෙන් ගැලවෙන්න බෑ. ඒත් ඔයා අර වතුර වීදුරුව වගේ පටු සීමාවක හිරවෙලා ජීවිතය දිහා බලන්න පුරුදු වුණොත් ඔයාට හිතේවි මට තමා හැම දෙයක්ම වෙන්නෙ. මම තමා හැම වෙලාවෙම දුක් විඳින්නෙ කියල. ඔයාට ජීවිතේ තිත්ත වේවි. ඔයා ඉක්මණින්ම කළකිරේවි. ඍණාත්මක සිතුවිලි වලින් ඔයා පිරේවි. ඒත් ජීවිතේ ගැන හොඳට අත්දැකීම් ලබපු. ඒවයින් පන්නරය ලබපු මිනිස්සු දන්නව. දුක වේදනාව කාටත් පොදුයි කියල. කඩා වැටුණත් ආපහු නැගීහිටින්න ඒ අය දන්නව. දුක් වේදනා වලට බෑ ඒ අයව විනාශ කරන්න. ඒ නිසා කෙනෙකුගේ ජීවිත පරිමාව විශාල වෙන තරමට ජීවිතේ විඳවමින් නාස්ති කරදැමිය යුතු දෙයක් නොවන බවට අවබෝධය ලැබෙනව. ඉතින් පොඩි වතුර වීදුරුවක් වෙනවද නැත්නම් මහ වැවක් වෙනවද කියන එක ඔයාම තීරණේ කරන්න"

ඉරානයෙ මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමි ගෙ Taste of Cherry චිත්‍රපටයෙ ඇතුළත් වෙන කතාව මේකම නොවුණත් සිනමාපටයෙ හරය මම අහල තියන මේ කතාව එක්ක සෑහෙන සමාන බවයි මට දැනුණෙ. 1997 දි ප්‍රංශයෙ කාන්ස් සම්මාන උළලෙ Palme d'Or සම්මානයෙන් පිදුම් ලබන Taste of Cherry මෙතෙක් නිමැවුණු හොඳම කලාත්මක බවින් ඉහළම චිත්‍රපට අතර ඉහළින්ම රැඳවෙනව (Palme d'Or දිනුව මුල්ම ඉරාන චිත්‍රපටය Taste of Cherry මතක විදිහට). කියරොස්තාමි බොහෝම අවමවාදී ශෛලියක් භාවිත කරන්නෙ මේ චිත්‍රපටය නිර්මාණය කරද්දි. සීමිත චරිත ප්‍රමාණයක්, එකම දර්ශන තල. එකම Long takes ඇතුළෙ දීර්ඝ සංවාද, මුල මැද අද නැති අසම්පූර්ණ කතාපුවතක් වගේ ස්වල්ප දේවලින් ඔහු මේක නිර්මාණය කර තිබෙන්නෙ. ඒවගේම නිශ්චිත පිටපතක් වත් චිත්‍රපටයට තිබිල නැහැ. ඒ ඒ අවස්ථාවල චරිත අතරෙ හුවමාරු වෙන සංවාද ආශ්‍රයෙනුයි මේ වෙන්නෙ මොකක්ද කියන දෙය නරඹන්නෙකුට වටහගන්න සිද්දවෙන්නෙ. නමුත් මේ කුඩා දේවල් ටිකකින් ඔහු මවන ජීවිත ගැඹුර මහ සුවිසාල එකක්. 

ඉරානයෙ ටෙහෙරාන් නගරයෙ දූවිලි පිරුණු කඳුපාරවල් දිගේ ඔලිව් ගස් අතරින් හුදෙකලාව වාහනය පදවාගෙන යන එක් මිනිසෙක්. ඔහුට මුණගැහෙන අනික් මිනිස්සු අතර ඇති වෙන සංවාද. Taste of Cherry සමන්විත වෙන්නෙ මේවයින්. එකම ප්‍රශ්නය වුණත් මිනිස්සු තම තමන් පැළඳ ඉන්න පාට කණ්නාඩි වලට පේන ආකාරය අනුව විග්‍රහ කරගන්න හැටි මේ චිත්‍රපටයෙන් අපූරුවට දැක ගන්න පුලුවන්. අත්දැකීම් එක්ක දැනුම අවබෝධය ලැබෙන තරමට මනුස්සයෙක් පරිණත බව ලබන්නෙ කොහොමද කියන දේ ඒ ආශ්‍රයෙන් වටහගන්න පුලුවන්. Taste of Cherry කියන්නෙ ඒවගේ වතාවක් නැරඹුව කෙනෙකුට නිකම්ම ආපහු නැගිටල යන්නෙ නැතුව මොකක්ද මම බැලුවෙ කියල තමන්ගෙ පරිකල්පනය මෙහෙයවල හිතන්න පොළඹවන සිනමාවක්. වර්තමානයෙදි වාණිජත්වයම අරමුණු කරගත්ත රසවින්දනාත්මක චිත්‍රපට වැඩියෙන් නිර්මාණය වෙන යුගයක ඒ ජනප්‍රියවාදී සළුපිලි උනා දමල ජීවිතේ ඒ අයුරින්ම දකින්න පොළඹවන Taste of Cherry වගේ කලාත්මක සිනමාපට මේ වෙළඳ ඝෝෂාව ඇතුළෙ සැඟවී යන්න ඉඩ නොතැබිය යුතුයි කියල මම හිතනව.



No comments:

Post a Comment