Monday, November 21, 2022

All Quite on the Western Front (2022)

1930 ගණන්වල ජර්මනියේ ආඥාදායක හිට්ලර්ගේ පාලන සමයේ සිදුවුණු පොත් පුළුස්සා දැමීමේ මහා ව්‍යාපාරය ලෝක ඉතිහාසයෙම එක්තරා අපකීර්තිමත්ම සිදුවීමක් විදිහට නම් කළ හැකියි. නාසිවාදී අදහස්වලට ප්‍රතිවිරුද්ධ, යුදෙව් ජාතිකයින් අතින් ලියවුණු වගේම සමාජවාදය, ලිබරල්වාදය, ලිංගිකත්වය වගේ කරුණු කාරණා ගැන විවෘතව රචනාවුණු පොත් පත් ප්‍රසිද්ධ ස්ථානවල දහස් ගණනින් ගොඩගසල පුළුස්සා දැමීමයි මෙතනදි වුණේ. කාල් මාක්ස්, ඇල්බට් අයින්ස්ටයින්, හෙලන් කීලර් වගේ අයගෙ පොත් පවා මේ ආකාරයෙන් තොග පිටින් පුලුස්සා දැමීමට ලක්වුණා. මේ පොත් විනාශ කිරීමේ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවෙ ජර්මනියේ නාසිවාදී ශිෂ්‍ය ව්‍යාපාරය විසින්. All Quite on the Western Front කියන්නෙ මේ විදිහට පුලුස්සා දැමූ පොත් අතරට අනිවාර්යයෙන්ම ඇතුළත් වුණු ප්‍රසිද්ධ නවකතාවක්. පළමු ලෝක යුද්ධයෙ අත්දැකීම් ආශ්‍රයෙන් 1929 අවුරුද්දේ දි Erich Maria Remarque නම් ජර්මානු ජාතික ලේඛකයා ජර්මානු බසින් රචනා කල මේ නවකතාව පසුව ලෝකයෙ භාෂා ගණනාවකටම පරිවර්තනය වෙලා සෑහෙන ජනප්‍රියත්වයට පත්වුණා. තවමත් මේ පොත එදාමෙදාතුර ලියවුණු හොඳම යුධ විරෝධී නවකතාවක් විදිහට සැලකෙනව. 1930 දි පොත මුල් කරගෙන එම නමින්ම නිර්මාණය වෙන හොලිවුඩ් චිත්‍රපටයත් සම්මානනීයත්වයට පත්වෙමින් ඇමරිකානු සිනමා ඉතිහාසයෙ ඉහළම කෘතියක් විදිහට සැලකුම් ලබනව. 2022 අවුරුද්දේ නිර්මාණය වුණු All quite on the western front කියන්නෙ මේ නවකතාවෙම ජර්මානු ප්‍රතිනිර්මාණය. 2023 අවුරුද්දේ පවත්වන්න නියමිත 95 වන ඔස්කාර් සම්මාන උළලේ විදෙස් භාෂා අංශයෙ ජර්මානු නියෝජනය විදිහට මේ චිත්‍රපටය දැනටමත් තෝරාගෙන තිබෙනව. All quite on the western front සුවිශාල දර්ශන තල, ගණනින් විශාල අතිරේක නලු නිලියන් ප්‍රමාණයක්, සුවිශේෂ කැමරා කෝණ වගේ දේවල් එක්කල, වචනෙ අර්ථයෙන්ම දැවැන්ත නිර්මාණයක්. චිත්‍රපටය බැලුවොත් මේ දැවැන්ත බව ඔබට දැකගන්න ලැබේවි. Saving Private Rayan නැත්නම් Hacksaw Ridge වල වගෙ පුපුරන බෝම්බ වෙඩිවරුසා මැද්දෙ යුදබිමේ හිටගෙන ඉන්න බවක් ඔබට දැනේවි. ඒ මේ චිත්‍රපටයෙ එක විශේෂත්වයක්.

චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1917 පළමු ලෝක යුද්ධයේ අවසාන කාල සීමාව. පාසල් වයස නිමා කරන යාලුවන් හතර දෙනෙක්, ඉස්කෝලෙදි නිතරම අහන්න ලැබෙන දේශප්‍රේමී කතා වලින් උද්දාමයට පත්වෙලා රට වෙනුවෙන් යුතුකම ඉෂ්ටකරන්න සොල්දාදුවන් විදිහට යුධ සේවයට බැඳෙන්න තීරණය කරනව. නමුත් යුදබිමේදි මේ තරුණයන්ට දකින්න ලැබෙන්නෙ නොයෙක් කතන්දරවලින් මෙතෙක් ඔවුන්ගෙ මනස් තුළ මැවූ චිත්‍රයට වඩා හාත්පසින්ම වෙනස්, ලේ ගඳ ගහන කටුක යථාර්ථයක්. දේශාභිමානයෙන් ඔද වැඩුණු තරුණයන් අත්දකින සැබෑම යුද්ධ භූමිය තමයි All quite on the western front චිත්‍රපටයෙ දකින්න ලැබෙන්නෙ. ජෙනරල් ෆ්‍රෙඩ්‍රික් වගේ බලලෝභීන් ගේ දේශපාලන අරමුණු ඉෂ්ටකරගන්න සදාකල් ඔවුන් රජ පුටුවල වැජඹෙන්න පෝල් ලා, ලුඩ්විග් ලා, ඇල්බර්ට් ලා වගේ තරුණයින් බිල්ලට දීම යුද්ධ නමින් නම් කරන්න පුලුවන්. ජාතික රණ දෙරණ මත ගැටී වැටී මැරෙන සැබෑම මොහොත ඒ ගැන ලියවෙන කවි සින්දුවල කියවෙනවට වඩා බොහෝම වෙනස් එකක්. 1917 ජර්මනිය පමණක් නොවෙයි  2000 ගණන්වල මේ ශ්‍රී ලංකාද්වීපයේ කතාවත් ඕකම බව ටිකක් හිතා බැලුවොත් ඔබට වැටහෙන්න ඕන.



1 comment:

  1. හැත්තෑව දශකයේ අග භාගයේත් මේ කතාව පදනම් කරගෙන චිත්‍රපටයක් නිර්මාණය වී තිබුනා මතකයි. මේ නිර්මාණ කිහිපය සසඳමින් හැඳින්වීමක් තිබුණා නම් වඩාත් හොඳයි.

    ReplyDelete