ෂර්ලොක් හෝම්ස් අද කාලෙ ජීවත් වෙලා හිටියා නම් කොහොම වෙයිද කියන අදහස මුල්කරගෙන "Sherlock" TV series එක හැදුණා වගේ Edgar Allen Poe ගේ කෙටි කතාවල චරිත සහ සමහර සිදුවීම් වර්තමාන කලයට අනුගත කරලා හැදුණ, Netflix හරහා විකාශනය වුණ, horror/ thriller වර්ගයේ, episode 8 ක drama mini series එකක් තමා The fall of the house of Usher කියන්නෙ. මේකෙ විශේෂත්වය තමයි නූතනත්වය කියන කාරණව මූලිකවශයෙන්ම තේමා කරගෙන නිර්මාණය කර තිබීම. ඒ කියන්නෙ අද ලෝකයේ වෙළඳපොළ ක්‍රමය මුල් කරගත්ත ධනවාදය සහ අධික පරිභෝජනය මත පවතින නූතනත්වය. ලෝකයෙ අති බහුතරයක් එදා වේල කන්න නැතිව හාමතේ දුක් විඳිද්දී තව සීමිත පිරිසක් ඩොලර් මිලියන බිලියන ගණන් වලින් එදිනෙදා ගනුදෙනු කතා කරන නූතනත්වය. තිමොති ෂලොමේ, බිලී අයිලිෂ් වගේ අය රඟපාන සින්දු කියන නූතනත්වය. මේ Tv series එක හැදෙන්නේ අර ඩොලර් මිලියන ගණන්වලින් වැඩ කරන අති සුඛෝපභෝගී ජීවිත ගත කරන සීමිත පිරිස මුල් කරගෙන.
Tuesday, October 31, 2023
The fall of the House of Usher (2023)
Monday, October 23, 2023
සෝබනකාරයා
Tuesday, October 17, 2023
Anatomy of a Fall (2023)
මනුස්සයෙක් වැටෙනව කිව්වම ඒකට නොයෙක් විදිහෙ අර්ථකතන දෙන්න පුළුවන්. එකක් භෞතික වශයෙන් මොකක් හරි දෙයකින් බිමට ඇදගෙන වැටීම. අනිත් එක කෙනෙකුට මනුස්සයෙක් විදිහට මානසික වශයෙන් වැටෙන එක. පළවෙනි වැටීම බැලු බැල්මටම ඉතාම සරලයි, මතුපිටින් පේනවට වැඩි දෙයක් නෑ. දරුණු ගණයේ වැටීමක් නොවුණා නම්, ඇතිවෙන තුවාල ඉක්මණින්ම සුව කරගන්න හැකියාව තියනවා. ඒත් දෙවනි වැටීම එහෙම නෑ, ඒක ඉතාම සංකීර්ණයි, ඒක සමහර විට ජීවත කාලයක් පුරා ක්‍රමාණුකූලව වෙන සිද්ධි දාමයක ප්‍රථිඵලයක් වශයෙන් ඇති වෙන දෙයක්. හැබැයි එහෙම වැටුණාම ඉන්පස්සෙ ඇතිවෙන තුවාල සුව කරන්නත් ලේසි නෑ.
Anatomy of a fall කියන්නෙ නමෙන් කියවෙන ආකාරයටම වැටීමක් සම්බන්ධ කතාවක්. නමුත්, කොයි ආකාරයකින් බැලුවත් සෑහෙන තීරණාත්මක ගණයේ වැටීමක්. මෙතනදී කලින් කියපු ආකාරයේ වැටීම් දෙකම සිද්ධවෙලා තියෙන ආකාරය අපිට හඳුනාගන්න පුළුවන්. මුලින්ම අපි දකින්නේ මනුස්සයෙක් තමන්ගෙම ගෙදර, ඉහළම තට්ටුවෙන් පහළට වැටිලා මියගිහින් තියෙන හැටි. ඒ තමා පළමු වැටීම. මේ භෞතික වැටීමේ යම් අපරාධමය ස්වභාවක් තියෙන්න පුළුවන් කියන සැකය අනුව, නීතියේ බලපෑමෙන්, මේ සිද්ධිය වැඩිදුර පරික්ෂා කෙරෙද්දී, ඒ වැටුණු පුද්ගලයාගේ පවුල ඇතුළේ තිබුණ යම් ගැටුම්කාරී තත්ත්වයන් ගැන අනාවරණය වෙන්න පටන් ගන්නවා. දෙවන වැටීමක් ගැන කරුණු එළියට එන්නේ එතනදී. Anatomy of a Fall කියන්නේ ඒ ඇදවැටීමේ ඉතිහාසය සොයා යන කතාව.
මේ ඉහළ ඉඳන් ඇදගෙන වැටෙන මනුස්සයා වැටෙන්නෙ ගෙදර ඉද්දීමයි. ගෙයකින් සංකේතවත් වෙනවා පවුලක්, පවුල කියන්නෙ කෙනෙකුගේ ජීවිතේ මානව සම්බන්ධතාවල කේන්ද්‍රය, ජීවිතේට වැඩිපුරම බලපෑමක් කළ හැකි කේන්ද්‍රය, මේ කේන්ද්‍රයේ දෙදරුම්, කම්පනයන් ඇති වෙද්දී ඒවාට සමගාමීව ඉරිතැලුම් ඇති වෙන්නේ ජීවිතේ ම තමයි. සමහර විට ලොකු දේවල් වෙන්න ඕන නෑ. දෛනික වශයෙන් සිද්ධ වෙන පොඩි පොඩි සිද්ධි, ඒවායෙ බලපෑම් ක්‍රම ක්‍රමයෙන් එකතු වෙලා, වැඩි වර්ධනය වෙලා, අවසානෙ පුපුරලා යන්නෙ නොහිතනම වෙලාවල, නොහිතනම තැන්වලින්. ගෘහස්ථ හිංසනය කියල කියන්නෙ ගොඩක් විට මෙහෙම දේවල්. මට මතක විදිහට ෆ්‍රොයිඩ් හරි කාල් යුංග් හරි කියලා තියනව අපිට ඇතිවෙන මේ පොඩි හිත් රිදවීම් හිතෙන් බැහැර වෙන්නේ නෑ කියලා. ඒව අපිට නොදැනී, අපේම මනසේ අවිඥානිකව, ඒ කියන්නේ එහෙම තියෙන බව අපි නොදන්නා ආකාරයෙන්, තැන්පත්වෙලා තිබිලා අපිම කරන කියන දේවල් එක්ක නොදැනීම එළියට එනවා කියලා. (මේ අවිඥානය, ඒ කියන්නේ මනසේ තියන අපේ දැනුමෙන් පරිබාහිර කලාපය, අපි කරන කියන දේවල් හැඩගස්වන්න ලොකු බලපෑමක් කරනවා. මිනිස්සු විදිහට අපි ජීවිතේ හැමදෙයක්ම කරන්නෙ හොඳට හිතලා අවධානයෙන් නොවෙයි, ස්වභාවිකවම අපි ඒ දේවල් කරන්න පුරුදු වෙලා තියෙන ආකාරයකටයි අපි දේවල් කරන්නේ, එතනදි අපි වැඩ කරන්නේ මනසේ අපේ අනුදැනුමෙන් තොරව පවතින අවිඥානික කලාපයේ බලපෑම මත බවයි කියවෙන්නේ. ෆ්‍රොයිඩ් සහ යුංග් තමා මේ ගැන මුලින්ම ලෝකෙට අනාවරණය කළ පුරෝගාමීන්) විවාහය වගේ මූලික මිනිස් සබඳතාවක් වුණත්, සමාජෙ අතිශ්‍ය බහුතර දෙනාට තිත්ත කසායක් වෙලා තියෙන්නේ අපේ මේ ගති ස්වභාවයන් එක්ක කියලා මට හිතෙනවා. ඊර්ෂ්‍යාව, වෛරය, පළිගැනීම, මේවා පුහුදුන් මිනිස් මනසේ ස්වභාවයන්. විවාහය කියන්නෙ දෙන්නෙක් එකිනෙකාට සමීප වෙන උපරිම සීමාව. අපේ ඇත්ත ගතිගුණවලට අනෙකා නිරාවරණය වෙන්න පටන් ගන්නෙ මෙතනදි. මේවත් එක්ක ලොකු ඉවසීමකින් වැඩ කරන්න තරම් හොඳ සංයමයක් නැති නම් මැරීඩ් married කියන්නෙ මැරි මැරී ජීවත් වීමක් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි.
ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා දෙකම ඇතුළත් වෙන Anatomy of a Fall මේ අවුරුද්දේ කාන්ස් සිනමා උළලේ ඉහළම සම්මානය වුණු Palme d'Or දිනාගත්ත හින්දා ගොඩ දෙනෙකුට මේ චිත්‍රපටිය ගැන උනන්දුවක් ඇති වෙලා තියන බව දැක්කා. හැබැයි සාම්ප්‍රදායික අපරාධ පරීක්ෂණ කතාවක් ඔලුවේ තියාගෙන මේක බලන කෙනෙකුට නම් වෙන්නෙ බලාපොරොත්තු කඩකර ගන්න. මොකද ඇත්තටම මේක අපරාධ පරීක්ෂණ කතාවල තියෙන ත්‍රාසය, කුතුහලය පිරුණු අබිරහස්මය ගතියෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා ජීවිතේ ගැන මනුස්ස හැගීම් ගැන සියුම්ව කතා කරන චිත්‍රපටයක් වීම නිසා. ලොකු කුතුහලයක් ඇති කරන්නේ නැති, බොහොම හෙමින් ගලා යන නාටකීය වර්ගයේ චිත්‍රපටයක්. courtroom දර්ශන වලදි නම් සෑහෙන උනන්දුවෙන් බලාගෙන ඉන්න පුලුවන් ගතියක් තිබුණා. courtroom drama වලට කැමති කෙනෙකුට නම් මේක හොඳටම හරියාවි. අවසානේ ලොකු Climax එකක් වෙලා අබිරහසක් විසදේවි කියලා මේකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අන්තිමට සියල්ලෝ සතුටින් විසිර යන අවසානයක් මෙකේ තිබුණට ඒත් ඇත්තටම ඒක එහෙමද කියලා හිතන්න ඉඩක් තියලා තියන විවෘත අවසානයක්. ඒ හින්දා slow burn, art house වර්ගේ චිත්‍රපටි දරාගන්න පුලුවන් කෙනෙකුට බලන්න වඩාත් හොඳයි කියලා නිර්දේශ කරනවා.
මේ අවුරුද්දට මම මෙතෙක් දැකපු හොදම Female lead performance එක දැක්කේ මේ චිත්‍රපටයේ Sandra Hüller ගෙන්. මේකෙ එක තැනක තියනවා සැමියා සහ බිරිඳ අතර ඇති වෙන කතාබහක් ක්‍රමයෙන් දුර දිග ගිහින් අවසානෙ ඉතාම උද්වේගකාරී තැනකට එන හැටි ඇතුළත් වෙන දර්ශනයක්. දීර්ඝ දෙබස් තියන සෑහෙන දීර්ඝ දර්ශනයක් ඒක. මුළු සීන් එකම වන් ටේක් අරගත්තද කියන්න දන්නෙ නෑ. හැබැයි එහෙම කළා නම් ඔච්චර දෙබස් ගොඩක් මතක තියන් ඔය සීන් එක කළාටම සම්මානයක් දෙන්න වටිනවා. (Marriage Story ෆිල්ම් එකෙත් ඔහොම දර්ශනයක් තිබ්බා වගේ මතකයි. Anatomy of a Fall බලනකොට සෑහෙන මතක් වුණා Marriage Story ෆිල්ම් එක සහ ඒ වගේම බර්ග්මාන් ගේ scenes from a marriage. දෙකෙන්ම උත්සාහ කරලා තිබුණේ විවාහ ජීවිතේ අඳුරු පැත්ත ගැන කතා කරන්න.)
Anatomy of a Fall ගැන කතා කරද්දි කෙනෙක් ලියලා තිබුණා "One has to grow into this movie" කියලා. ඇත්තට මේ චිත්‍රපටියෙන් කරන්නේ එක්තරා ආකාරයකට ජීවිත අත්දැකීමක් සමග මුහුණට මුණගැහෙන්න නරඹන්නාට ඉඩක් හදලා දීම. ස්ක්‍රීන් එකේ දකින්න ලැබෙන කතාව එක්ක තමන්ගේ ජීවිත අත්දැකීම් අනුව ඒකාත්මික වීම. හැම අභිරහසක්ම විසදෙන පරිපූර්ණ රහස් පරීක්ෂක කතාවක් අපිට මේකෙන් දකින්න නොලැබෙන්නේ ඒ නිසා. මොකද ඒ තමා ඇත්ත ජීවිතේ. ඇත්ත ජීවිතේදි ගොඩක් දේවල්වලට සදාකාලික විසඳුම් නැහැ. එකම දෙයක් මම දකින්නෙ එක විදිහකට, තව කෙනෙක් ඒක දිහා බලන්නේ වෙනස්ම ආකාරයකට, ඔතනදි තමා ගැටුම ඇති වෙන්නෙ. ෆිල්ම් එකේ courtroom සීන් වලදී මේ දෙන්නෙකුගේ දෘෂ්ටිකෝණ අතර වෙනස් කම සහ ඒවා එකිනෙක ගැටෙන හැටි, මිනිස්සු දේවල් තමන්ට අනුව සාධාරණීකරණය කරගන්න හැටි හරි අපූරුවට පෙන්නල දීලා තිබුණා. ඒ ගැටුම හැමදාටම එහෙම තියනවා. විවාහය, පවුල, අඹු දරුවෝ ගැන චිත්‍රපටි හදන, කතා ලියන අය කොයිතරම් කතන්දර ලිව්වත්, චිත්‍රපටි හැදුවත් ඉදිරියටත් තව ලියන්න කියන්න දේවල් ඉතිරි වෙලා තියෙනවා කියලා මම හිතනවා.
Monday, October 16, 2023
Sapta Sagaradaache Ello - side A (සප්ත සයුරෙන් එහා තැනක) (2023)
කැසට් කියන්නෙ 80, 90 දශකවල ළමා කාලෙ ගත කෙරුව අපි කාටත් තියන නොස්ටැල්ජික මතකයක්. මං හිතන්නෙ ඔය කාලෙදි කැසට් පටි ඇදගෙන සෙල්ලම් නොකරපු, ටේප් රෙකෝඩර්වලින් අපේම කටහඬවල් රෙකෝඩ් කර කර නොඅහපු කවුරුත් නැතුව ඇති. ඒකාලෙ අලුත්ම ගායක ගායිකාවො, අලුත් සින්දු අපි අතරට ආවෙ කැසට්පීස් වලින්. ඉන්ටර්නෙට්, යූටියුබ් එන්න කලින් යුගයේ ඒ තරම් ජීවිතේ එක්ක සම්බන්ධ දෙයක් වෙලා තිබ්බා කැසට් එක අපිට. හැබැයි මේ වගේ කැසට් එකක් කෙනෙකුට ජීවිතේ තියන එකම වටිනම වස්තුව බවට පත්වෙන්න පුළුවන් සමහරවිට. ඒක වෙන්නෙ කොහොමද කියල දැනගන්න නම් Sapta Sagaradaache Ello - side A කන්නඩ චිත්‍රපටය බලන්න වෙනව.
Tuesday, September 26, 2023
Snowpiercer (2013)
දැන් මේ පොළවේ මහා පරිමාණයෙන් කරගෙන යන පරිසර විනාශයත් එක්ක මිනිස් වර්ගයාගෙ අනාගතය ලොකු ඛේදවාචකයක තියන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති, සක්සුදක් සේ බොහෝම පැහැදිලි කාරණාවක්. මේ පුපුරන්න නියමිත ගිනි කන්ද උඩට වෙලා අපිට බාබෙකිව් පාටි දාන්න ඉතුරු වෙලා තියන්නෙ කොයිතරම් කාලයක් ද කියන ප්‍රශ්නය පමණයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ. දැනට වයස අනූගණනක් වෙන (අනූ හතක් හරියටම කිව්වොත්) සහ තවමත් මිහිතලයේ යහපැවැත්ම වෙනුවෙන් සක්‍රීයව තමන්ගෙ දායකත්වය දෙන ශ්‍රේෂ්ඨ ගණයේ පරිසර විද්‍යාඥයෙක් වන David Attenboroug මහත්මයා ඉදිරිපත් කරන Life on our planet වාර්තා චිත්‍රපටය බලන්න කියල මම ඔබට යෝජනා කරනව. එතනදි මේ පොළවට අතීතයේ පටන් මිනිස් වර්ගයා විසින් කරමින් ආ විනාසය කොයි වගේද සහ ඉදිරියට වෙන්න නියමිත මොකක්ද කියන කාරණේ ඔහු හරි ලස්සනට පැහැදිලි කරනව. ( පෘථිවියේ නොයෙක් පරිසර පද්ධතීන් ගැන Attenboroug මහත්මයා ඉදිරිපත් කළ Planet earth වැඩසටහන් මාලාවේ නවතම කතාංගයන් මේ දිනවල රූගත කෙරෙමින් තිබෙන බවට ආරංචියකුත් ලැබී තියනව)
නමුත් ප්‍රඥාවන්ත මිනිස්සුන්ගෙ වචන කොයිතරම් අර්ථවත් වුණත් ඒවා හුළඟේ ගසාගෙන යන්න නියමිත බවයි පෙනෙන්නට තිබෙන්නෙ. ආර්ථිකමය වශයෙන් වඩා ලාභදායී මොකක්ද කියන කාරණේ උඩයි හැම දෙයක්ම අවසානෙදි තීරණේ වෙන්නෙ. ගහක් ගහක් විදිහට තියනවට වඩා, තල්මහෙක් තල්මහෙක් විදිහට ජීවත්වෙනවට වඩා ගහ කපාදැමීම, තල්මසා මරා දැමීම ආර්ථිකමය වශයෙන් වාසි සහගතයි. ඒ නිසා මිනිස්සු පරිසරය විනාශ වෙන බව දැන දැනම දැවැන්ත පරිමාණවලින් ගස් කපනවා, තල්මස්සු මරනවා. හරියට මත්ද්‍රව්‍ය ගන්න ඇබ්බැහි වුණ කෙනෙක් මේකෙන් තමන්ට වෙන්නෙ ලොකු විනාසයක් බව දැන දැන වුණත් මත්ද්‍රව්‍ය ශරීරගත කරගන්නවා වගේ, තමන් කරන දේවලින් පරිසරය විනාශවෙලා යන බව දැන දැනම මිනිස්සු ඉක්මණ් ආර්ථික සමෘද්ධිය සහ වෙනත් දේශපාලන වාසි තකා ඉවක් බවක් නැතිව වනාන්තර ගංගා ඇළ දොළ, සාගරය ඇතුළු පරිසර පද්ධතීන් දූෂණය කරමින් ඉන්නවා. දවසින් දවස ජනගණය ඉහළ යමින් තියෙද්දි, මිනිස්සු දැන් හැඩගැහිල තියන අධි පරිභෝජනවාදී ජීවිත රටාවත් එක්ක, පරිසරය සම්බන්ධ ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරෙමින් තියනව. ඉතින් මේ වගේ වාතාවරණයක මිනිස් වර්ගයාගෙ පැවැත්ම ලොකු අර්බුදයක තියෙන බව හොඳටම පැහැදිලියි.
Snowpiercer කියන්නෙ මෙන්න මේ වගේ අනාගතයක් පසුබිම් කරගෙන ලියවුණු Graphic නවකතාවක් ආශ්‍රයෙන් නිමැවවුණ චිත්‍රපටයක්. Snowpiercer අධ්‍යක්ෂණය කරන්නෙ Memories of Murder, Parasite, The Host වගේ සුපිරි ගණයෙ කොරියානු චිත්‍රපට නිර්මාණය කළ කොරියානු ජාතික අධ්‍යක්ෂ Bong Jon Ho. Snowpiercer කියන්නෙ Bong Jon Ho හොලිවුඩය වෙනුවෙන් කළ වැඩක්. චිත්‍රපටයෙ කියවෙන විදිහට ගෝලීය උෂ්ණත්වය පාලනය කරන්න විද්‍යාඥයින් ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට උෂණත්වය අසාමාන්‍ය විදිහට අඩුවෙලා මුළු පෘථවියම හිමෙන් වැහිලා ගිහින් සියළුම ජීවීන් පොළවෙන් වඳ වෙලා අයිස් යුගයක් උදාවෙනවා. මේ විනාශය කලින් දකින නව නිපැයුම්කාර ධනවතෙකු වෙන විල්ෆ්‍රඩ් නමැති පුද්ගලයා, සියලු පහසුකම් සහිත අතිවිශාල දුම්රියක් නිර්මාණය කරනව. මුළු පෘථවියම සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයක් නිර්මාණය කරන විල්ෆ්‍රඩ්, දුම්රිය හිමෙන් මිදීම වලක්වාගන්න ඒ මාර්ගයේ නොනවත්වා දුම්රිය ධාවනය කරමින් තියනව. පණ බේරාගන්න සමත්වුණු මිනිස්සු යම් පිරිසක් විතරක් මේ විල්ෆ්‍රඩ්ගේ දුම්රියේ ඉතිරි වෙනවා.
දුම්රිය ඇතුළේ වැඩ කටයුතු සිද්ධවෙන්නෙ එක්තරා ක්‍රමයකට. මෙතනදි දුම්රිය කාණ්ඩ 5කට බෙදන්න පුළුවන්.
මුලින්ම දුම්රියේ අතිශ්‍ය වැදගත් සහ දිව්‍යමය වටිනාකමක් ඇති බව සැලකෙන ඉදිරිපස කොටස. "ඩිවයින් එන්ජින්" විදිහට මේක හඳුන්වනවා. දුම්රියේ නිර්මාතෘ සහ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන විල්ෆ්‍රඩ් ඇතුළු ඔහුගේ පිරිස වාසය කරන්නේ මෙතැන. මේ කොටසට පිටස්තර කිසි කෙනෙකුට ඇතුළු වෙන්න බැහැ. සහ විල්ෆ්‍රඩ් ගේ පණිවුඩ අනෙක් මැදිරිවලට සන්නිවේදනය වෙන්නෙ මෙතැන ඉඳන්.
ඉන්පස්සෙ ඉන්නව විනෝදකාමී කණ්ඩායම. ලෝකෙට මොන දේ වුණත් ඒ අයට ගාණක් නෑ. ඒ අයට ඕන කාල බීල සැපේ ඉන්න පමණයි.
ඉන්පස්සෙ ඉන්නව අතරමැදි කණ්ඩායම. මෙයාල දුම්රිය ඇතුළේ සාපේක්ෂව සැපවත් ජීවිතයක් ගතකරනව. මෙයාලාගෙ ළමයින් දුම්රිය පාසලේ ඉගෙන ගන්නව. ශ්‍රේෂ්ඨ විල්ෆ්‍රඩ් උතුමන් ගැන සහ අපි එයාට කොයිතරම් ණය ගැතිද කියන කාරණේ දුම්රිය ඇතුළේ ළමයින්ට උගන්වනවා. (දුම්රිය ධාවනය වෙන්න පටන් අරන් අවුරුදු 17ක් ගතවෙලා තියෙන නිසා මේ ළමයි දුම්රියෙ ම ඉපදිලා හැදුණු වැඩුණු අය)
ඊටත් පස්සෙ ඉන්නව ආරක්ෂකයින්. අවි ආයුධ දරන්නන්. නමුත් මෙයාලගෙ අවි එසවෙන්නෙ ඊටත් පහළින් ඉන්න කාණ්ඩයට එරෙහිව පමණයි. මෙයාල කරන්නෙ විල්ෆ්‍රඩ් ඇතුළු ඉහළ පාන්තිකයින්ව ආරක්ෂා කරීම.
ඉන්පස්සෙ ඉන්නව දුම්රිය ඇතුළෙ වඩාත්ම ඛේදජනක ඉරණමට ලක් වුණ කාණ්ඩය. ඒ තමා පීඩිතයින්. තමන්ට කියල කිසිදෙයක් නැති දුගී දුප්පතුන්. මෙයාලා ඉන්නෙ දුම්රියේ අවසාන මැදිරිවල. මෙතැන හැමෝටම කන්න ලැබෙන්නෙ ආරක්ෂකයින් විසින් දවස ගාණේ බෙදාදෙන කළුපාට ප්‍රෝටීන් කුට්ටියක් බැගින් පමණයි. හැම දවසකම එකම රස, එකම කෑම. ඒත් දුම්රියේ නීතිවලට එරෙහිව එක වචනයක්වත් කතා කරන්න මේ අයට තහනම්. මේ ක්‍රමයට විරුද්ධවන්නන්ට දෙන දඬුවම ප්‍රසිද්ධියේ අතපය කපා දැමීම. පීඩිතයින්ගෙ ජීවිතය ඒ තරම් පීඩාකාරියි.
නමුත් ඒ සමගම ඔබට තේරුම්ගන්න පුළුවන් වෙයි මේ අපි ජීවත් වන සමාජයේම හරස්කඩක් බව. දුම්රිය නිරෑපණය කරන්නෙ අපි ජීවත්වන මේ ආර්ථික දේශපාලන පසුබිම මයි.
අපේ කතාවේ වීරයා, අසාධාරණයට, අයුක්තියට එරෙහිව සටන්වදින ඒ පුද්ගලයා ඔබට හමුවෙන්නෙ චිත්‍රපටය ආරම්භයෙ පටන්මයි. ඔහුගෙ නම කර්ටිස්, (Chris Evens) ඔහු සිදුවෙන හැම දෙයක්ම ඉතා සියුම්ව නිරීක්ෂණය කරන, තියුණු බුද්ධියකින් හෙබි කෙනෙක් බවයි අපි දකින්නෙ. ඔහුට තියනව සැලැස්මක්, දුගී දුප්පතුන් පෙළන මේ දුෂ්ට දුර්ජන සමාජ ක්‍රමය පෙරළා දමා සියලු දෙනාට සමාන අයිතිවාසිකම් දිනාගත හැකි මගක්, ඔහුට අවශ්‍ය එය ක්‍රියාත්මක කරන්න. නමුත් ඔය විදිහට හිතු එකම පුද්ගලයා කර්ට් පමණක් නොවෙයි. මීට කලිනුත් නොයෙක් අය දුම්රියේ මේ විෂමාචාරි ක්‍රමය වෙනස් කරන්න උත්සාහ දරා තිබෙනවා. නමුත් ඒ කිසි කෙනෙකුට මේ අරමුණ ජයගන්න හැකි වුණේ නෑ. අපේ විප්ලවකාරී වීරයාටත් අවසානෙ ඒ ඉරණමම අත්වේවිද? නැතිනම් යුක්තිය සාධාරණය රජකරන ලෝකය (දුම්රිය) ගොඩනගන්න ඔහුට පුළුවන් වේවි ද? Snowpiercer බැලුවොත් ඔබට ඒ ගැන දැනගන්න ලැබේවි.
Snowpiercer කියන්නෙ වැදගත් සමාජ දේශපාලන කාරණාවක් ඉතාම නිර්මාණාත්මකව විවරණය කරන චිත්‍රපටයක් වගේම Science Fiction/ Thriller සහ Action චිත්‍රපටයක් විදිහටත් ඉහළ මට්ටමක තියන්න පුලුවන් සිනමාපටයක්. මං හිතන්නෙ පහුගිය දශකයෙන් බිහිවුණු හොඳම සිනමාපට අතරට Snowpiercer නම් කළ හැකියි. හේතුව දැන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත ධනේශ්වර ආර්ථික ක්‍රමය ඇතුළෙ අධ්‍යාපනය, නීතිය හා සාමය, ශ්‍රමය වැනි දේවල් අවභාවිත වෙන ආකාරය, ඇති නැති සමාජ පන්ති අතර ඇති නොවතින ගැටුම සහ බලය පවත්වාගැනීම කියන කාරණයෙදි මිනිස්සු කොයිතරම් සූක්ෂමව ක්‍රියාත්මක වෙනවද කියන කරණා මේ චිත්‍රපටයෙන් මැනවින් පෙන්වාදී තිබීම. හොලිවුඩ් නළු Chris Evans ගේ හොඳම රඟපෑම මම දුටුවේ මේ චිත්‍රපටයෙන්. ඒ වගේම Bong Joon Ho ගෙ චිත්‍රපට වල නැතුවම බැරි රංගවේදියා, කොරියානු නළු Song Kang Ho ගේ රඟ නොපා රඟපාන සුපුරුදු විලාසයෙන්ම දැකගන්න පුලුවන්.
මේ මොහොත වෙනකොට අපේ රටේ පවතින විෂමාචාරි දේශපාලන ක්‍රමය සහ සැලැස්මක් නැති ආර්ථිකය එක්ක රටම අවුල් සහගත තත්ත්වයකට පත්වෙලා ඉන්න වෙලාවෙ (රටේ බහුතරය කෝච්චියේ අන්තිම පෙට්ටියෙ ජනතාව තමයි) මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල හතර අතින්ම උදේ හවස මේ සමාජෙ ඇතුළෙ දෝංකාර දිදී ඇහෙනව. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බටහිර රටවලින් අපිට ලැබුණට තාම අපේ ඔලුගෙඩි වැඩවසම් සීමාවෙන් ගැලවිල නෑ. අපේ දේශපාලකයින් මිනිස් ජීවිත බිල්ලට දීල හරි තමන්ගෙ බල පැවැත්ම ආරක්ෂා කරගන්න වෙහෙසෙන අතරේ අපේ මිනිස්සු පුරුද්දට වගේ දේශපාලකයින්ට බැන බැන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව මිස අපි ඉන්නෙ සාමුහික ක්‍රමයක් ඇතුළෙ බව තේරුම් අරගෙන නෑ. ක්‍රමය වෙනස් වෙන්න නම් මිනිස්සුන්ගෙ ආකල්පවලින් සහ හිතන පතන විදිහෙන්මයි ඒක එන්න ඕන. මේ වගේ චිත්‍රපට එතැනදි වැදගත් කාර්‍යයක් ඉෂ්ට කරනව කියලා මම හිතනව.
Thursday, September 21, 2023
Past Lives (2023)
Tuesday, September 19, 2023
Talk to me (2022)
The Monkey's Paw කියන්නේ 1902 අවුරුද්දේ W.W. Jacobs නම් ලේඛකයා විසින් රචනාකළ, ලෝකයෙ භාෂා ගණනකට පරිවර්තනය වුණු සහ බොහොමයක් නාට්‍ය නිර්මාණ වලටත් පාදක කරගත්තු horror/ thriller ගණයේ සුප්‍රකට කෙටි කතාවක්. මේ කතාවෙ කියවෙන්නෙ හිතන පතන ඕනම දෙයක් ලබා දෙන වඳුරු අතක් ගැන. කතාවෙ හැටියට මේ අතින් අල්ලලා දෙයක් ඉල්ලුවාම ඒ දෙය කොහොම හරි ලැබෙනව. නමුත් එක දෙයක් තියනව, ඉල්ලන දේ ලැබෙන්නෙ නොහිතූම විදිහට, ඊට සමානවම වටිනාකමක් තියන තවත් දෙයක් නැති වෙලා, නැත්නම් බලාපොරොත්තු නොවන විදිහේ ඛේදජනක ආකාරයකට. උදාහරණයක් විදිහට කතාවෙ ඉන්න වයිට් මහත්මයා වඳුරු අතින් අල්ලලා යම් මුදලක් ඉල්ලුවාම, ඒ මුදල ලැබෙන්නේ ඒ මහත්මයාගෙ පුතා වැඩපළේ අනතුරක් වෙලා මියගිහින් ලැබෙන වන්දියක් විදිහට. ඉතින් සිතූ පැතූ දේවල් ලබා දුන්නත් වදුරු අත කියන්නේ බොහොම භයානක වස්තුවක්. මම හිතන්නෙ මේ කතාවෙන් නිරූපණය කරන්නෙ තෘෂ්ණාව නිසා ඉක්මණ් කෙටි ක්‍රම වලින් ධනය, බලය ලබා ගන්න යන මිනිස්සුන්ට වෙන විනාසය ගැන.
2022 Australian supernatural horror film එකක් වුණු Talk to Me බලද්දී හිතුණේ මේකටත් Monkey's Paw කතාවෙ මොකක් හරි බලපෑමක් තියනවද කියල. Talk to Me වලත් තියෙන්නෙ එක්තරා අරුම පුදුම අතක් ගැන තමයි. හැබැයි මේක සෙරමික් වලින් හැදූ මිනිස් අතක අනුරුවක්, තියෙන්නෙ එක්තරා තරුණයෙක් ගාව, එයාට මේක ලැබෙන්නෙ එයාගෙ තවත් යාළුවෙක්ගෙන්. සෙරමික් අත ඇතුළෙ තියෙන්නෙ හැබෑම මිනිස් අතක් බව තමයි කියවෙන්නෙ. හැබැයි කිසි කෙනෙක් ඒ ගැන හරියටම දන්නෙ නෑ. නමුත් මේ අතට තියනව එක්තරා අමුතු බලයක්. මේ තරුණයා කරන්නෙ එයාගෙ තවත් යාළුවො කණ්ඩායමක් එකතු කරගෙන මේ අතෙන් අපූරු සෙල්ලමක් කරන එක. සෙල්ලම මේකයි. ඉදිරිපත් වෙන කෙනාව මුලින්ම පුටුවකට තියලා ගැටගහනවා. ඉන්පස්සෙ අර අතින් අල්ලලා Talk to Me කියන්න ඕන. ඉන්පස්සෙ අතින් අල්ලාගෙන ඉන්න කෙනාට පේනන පටන් ගන්නවා මළගිය ආත්මයක් තමන් ඉස්සරහට ඇවිත් ඉන්න හැටි. ඉන්පස්සෙ අතින් අල්ලන් ඉන්න කෙනා I let you in කිව්වම අර භූතාත්මය එයාගෙ ඇඟට වැහිලා අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නව. තප්පර ගාණක් මෙහෙම භුතාත්මයක් ඇඟ ඇතුළෙ තියන් ඉඳලා අර අත අතහරින්න ඕන. එතකොට ඒ ආත්මය ඇඟෙන් අයින් වෙලා යනව. බලන් ඉන්න අයට මේක ලොකු විනෝදයක් තමයි, හැබැයි මළවුන් එක්ක සෙල්ලම් ලෙල්ලම් වෙන්න යන්නෙ බොහෝම පොඩි වෙලාවයි.
මෑතක ඉඳන් horror චිත්‍රපටවල ලොකු පසුබෑමක් තිබෙන බව ඇත්ත. ඒ කියන්නෙ හොද මට්ටමේ horror චිත්‍රපට මෑතක ආවෙ බොහොම ටිකයි. Talk to Me ඒ අතරට සැකයක් නැතුවම එකතු කරන්න පුළුවන් වැඩක්. විශේෂයෙන් jump scare, අමුතු සත්තු, ලේ වැගිරීම් වලට සීමා නොවී හොද storyline එකක් එක්ක ශක්තිමත් චරිත ගොඩනැංවීමක් අන්තර්ගත වීම මේ චිත්‍රපටය සාර්ථක වෙන්න හේතුවෙලා තියෙනව. කවදත් මඟහැර නොගතයුතු හොඳ දේවල්ම අරගෙන එන A24 ෆිල්ම්ස් වලින් තමයි මේක බෙදාහරින්නෙ. (Evening everywhere all at once, Hereditary, Midsummer, X, Beau is afraid, The Whale, After sun) ඩොලර් මිලියන 4ක වගේ අවම පිරිවැයකින් ඩොලර් මිලියන 67ක ආදායමක් ලබන්න Talk to Me සමත් වෙලා තියෙනව. දැනට A24 වල පස්වෙනියට වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටය. ඒ වගේම මේකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් සෑහෙන හොඳයි. විශේෂයෙන් ප්‍රධාන චරිතය Mia ට රඟපාන Sophie Wild ගේ රඟපෑම ඉස්තරම්. මේ ඇයගෙ වගේම චිත්‍රපටයෙ අධ්‍යක්ෂ දෙපළ Danny Phillippou, Micheal Phillippou ගෙත් මුල්ම චිත්‍රපටය වීම විශේෂයක්.
තරුණ වයසේ අවදානම් දේවල් කරලා අත්දැකීම් ගන්න යෞවන යෞවනියන් ගොඩක් කැමතියි. නමුත් ජීවිතය අනතුරේ දාගෙන කරන සමහර වැඩ හින්දා සහ එයින් ඇඟට දැනෙන අමුතු කික් එකට ඇබ්බැහිවෙලා ලොකු ඛේදවාචකයකට ගමන් කරන තරුණ ජීවිත මේ චිත්‍රපටයෙ මූලික තේමාව විදිහට ගන්න පුලුවන් කිව්වොත් මං හිතන්නෙ වරදක් නැති වෙයි. ඒ වගේම දෙමාපිය දූදරු සම්බන්ධතාව ගැනත් මේ චිත්‍රපටයෙ කතා කරනව. කලිනුත් කිව්ව වගේ ප්‍රේක්ෂකයාව බය කරන්න අනවශ්‍ය දේවල් නොකර හොඳ story එකක් සහ චරිත ගොඩ නැංවීමක් එක්ක ඇඟ හිරි වැටිලා යන භයානක ගතියක් හරි ගාණට mix කරලා අරගෙන එන හොඳ horror චිත්‍රපටයක් විදිහට Talk to me හඳුන්වා දෙන්න පුලුවන්.






