Saturday, January 30, 2021

අපේ කෙටි පිළිසඳර කෙළවර

අපේ කෙටි පිළිසඳර කෙළවර
ඔබ නික්ම ගිය පසු තරු අතරට
යළිත් ගොස් මුහු වෙමි
දහස් ගණනක් ගොඩනැගිලි මැද
නගරයේ අඳුරු සෙවණැලි අතරට...

හිම මිදෙන සීතල තවරගෙන
අනිවාරතේ හාත්පස පැටලෙන
මීදුම් සළුව විනිවිද
එළිය වෙයි වීදි ලාම්පුවක හදවත
යාන්තම් නිවි නිවී දැල්වෙන..

හැප්පී යකඩ දඬු එකිනෙක
මොටෝරථ කෑ ගසා හඬනා
විසල් හිස් ඝෝෂාව අතරේ
දෝංකාරය දී ඇසෙන්නේ මට තව
ඔබේ තෙත්බරිත කටහඬ..

අනන්තය තෙක් විසිරෙන
නිමක් නැති දහසකුත් තරු මැද
පෙනෙන්නේ මට තවම
නිල් පාට සිහින් එළි විහිදන
ඔබේ ඇස් දෙක..

රාත්‍රිය බැවින් පෙනෙන තෙක් මානෙක
නැති බැවින් සළකුණක්
හෙටයි යැයි දවසක
ඇවිද යමි බර වූ හදින්
වදන් නොහඳුනනා එකෙකු ලෙසින්
මුහුවී සහසකුත් මිනිස් ගංගාවක ...

රළ වුණත් බිඳෙයි 
හැපුණු පසු වෙරළක..
නවාතැනක් ම නොවෙයි ඇත්තේ
හැම පටු වීදියකම කෙළවර..
නිල් පාට එළියෙන් 
එළිය දුන්නත් ඈතට
පොළවට කඩා වැටී නැත
තරු කිසිම දවසක...



Thursday, January 28, 2021

අඹ ගසක නිදහස

ඔබ ගියදා පටන්
ගෙ උයනේ තැනින් තැන
කොළ වියැළි මැලවෙන
බඳුන් ගත පොඩි පැල වලට
දිය ඉසිමි වරින් වර...

දැන් ඒවා
වියළි කොළ හංගා
පෙන්වයි මට
යන්තමින් මතුවන 
සිහින් ලා දළු..

හැන්දෑවට
සාංකාවෙන් හිත පිරෙන යාමෙට
ඇවිදින් මිදුලට
බලා ඉන්නෙමි
අතුපතර විහිදුන
විසල් අඹ ගස දෙස..

කොයිතරම් ප්‍රීතිමත් ද
ඇන්තූරියම් පැළයක ජීවිතය 
දිය බින්දු කීපයකින් සැනහෙන
විසිතුරු මලක් දෙකක් පෙන්වා
මියැදෙන...

කාලේ අකාලේ
ආකාසයෙන් වට
වැහි දියෙන් සෑහිය යුතු..
හිස් අහස දක්වා
අතුපතර විහිදා
බොහො උස්ව වැඩිය යුතු..
කලට මල් පිබිදිය යුතු..
කොයිතරම් බරද
නිදහස
අඹගසක් සතු..



Monday, January 25, 2021

Promising young woman (2020)

කැසී සහ මැඩිසන් වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙන ගත් මිතුරියන්. මැඩිසන් සාර්ථකව අධ්‍යාපනය නිමා කරල වෛද්‍ය වෘතියේ ඉදිරියටම ගමන් කරමින් ඉන්නව. නමුත් කැසී තමන්ගෙ අද්‍යාපනය අතර මග නතර කරල, විද්‍යාලය හැර දමල ඇවිත් කෝපි අවන්හලක බොහොම කුඩා රැකියාවක් කරමින් ජීවතය ගෙවාදමනව. කැසී සහ මැඩිසන් මේ මුණ ගැහෙන්නේ වසර හතකට පස්සෙ. ඉතින් ඒතරම් කාලෙකින් සිදුවන මිතුරු හමුවීමක් කොයිතරම් උත්කර්ෂවත් එකක් වෙන්න ඕන ද? මැඩිසන් සහ කැසී කලකට පසුව එකිනෙකා දැක ගැනීමේ ප්‍රීතියෙන් විස්කි බඳුන් කීපයක්ම හිස් කරනව. ආ ගිය තොරතුරු හුවමාරු වෙන සුහද කතාබහ අතරේ මුහුවෙන මධුමත එක්ක මිතුරු කතාබහ ක්‍රමයෙන් අඳුරු ඉසව්වකට ඇදී යන බව පෙනෙන්නට පටන් ගන්නව. වැළලී ගිය අතීතයක යම් යම් වේදනාත්මක මතකයන් කතා බහ තුළින් මතු වෙනව. නමුත් මැඩිසන් සීමාව ඉක්මවා යමින් මධුවිතෙහි ගිලී යන බවයි දකින්නට ලැබෙන්නෙ. කැසී ඉතාම ඉවසිලිවන්තව ඇගෙන් අතීත තොරතුරු විමසනව. එක් තැනකදි මැඩිසන් අතින් මධුවිත බඳුන ගිලිහී වැටිල ඇය සිහි නැති තත්ත්වයට පත්වෙනව. කැසී අවට යම් තරුණයෙකුට ඇයව පෙන්වල එතැනින් පිටවී එනව. ඇත්තට එතැන සිදුවුණේ මොකක්ද?

2020 අවුරුද්දේ තිරගත වුණ  promising young woman චිත්‍රපටය ඇතුළත් වෙන්නෙ    dark comedy/ thriller ගණයට. drama සහ romantic රසයත් චිත්‍රපටය  පුරා විඳගන්න පුලුවන්. ඇමරිකාව වැනි අතිශය නිදහස්කාමී සාමාජයක වුණත් ගැහැණියකට මුහුණදෙන්න සිදුවන පීඩා කාරී තත්ත්වයන් චිත්‍රපටය තේමා වෙන්නෙ. ඇය පිරිමියා පිනවන ආශාවේ වස්තුව වීම, ඒ හරහා ඇයට මුහුණ දෙන්න සිදුවන අයුක්තිය අසාධාරණය හමුවේ නීතිය ඉදිරිපිට පවා ඇය අසරණ වන ආකාරය චිත්‍රපටය තුළින් දකින්න ලැබෙන්නෙ. අදාළ වස්තු විෂය ඒ තරම් ගැඹුරින් නැතත් කුතුහලය වගේම සංවේගදායක බව මතුකරමින් චිත්‍රපටය නිර්මාණය කර තිබෙනව. නිතර සිනමාපට නරඹන පුරුදු රසිකයෙකුට නම් සමහර අවස්ථාවල ඊලඟට සිදුවන්නේ මොනවගේ සිදුවීමක්ද කියල පැහැදිලිව අනුමාන කර හැකියි. ඒ ආකාරයේ ලේසියෙන් අනුමාන කළ හැකි තැන් කීපයක් චිත්‍රපටයෙ තිබුණා. නමුත් චිත්‍රපටය අවසානයට ගමන් කරන්නෙ නොසිතන මොහොතක, නොසිතන ආකාරයේ ක්ෂණික කම්පනයක් ප්‍රේක්ෂකයා තුළ ඇති කරමින්.

Promising young woman  තවත් ආකාරයකට සුවිශේෂයි. ඒ මෙය නිර්මාණය වෙන්න සිනමා ක්ෂේත්‍රයේ ප්‍රභල කාන්තාවන් තුන්දෙනෙක් මූලිකත්වය අරගෙන තිබීම.  පළමුවෙන්ම  ප්‍රධාන චරිතය හෙවත් කැසී ගේ චරිතය නිරූපණය කරන‍ Carey Mulligan. මේ ආකාරයේ කැපී පෙනෙන චරිතයකින් ඇය අපට හමුවෙන්නෙ යම් කලකට පසුව. ඉතිහාසගත කතාපුවත්වල ප්‍රේමණීය ගැහැණියගේ ස්වභාවයෙන් ප්‍රේක්ෂකාගරයට සමීප වුණු ඇය මේ චිත්‍රපටයෙන් අයුක්තිය හමුවේ නීතිය අතටගෙන නැගී සිටිනා හුදෙකලා ගැහැනියක් විදිහට නැවත හමු වෙනව. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන Margot Robbie  දෙවැනියට මෙයට දායක වන ප්‍රබල කාන්තා චරිතය විදිහට හඳුනා ගත හැකියි. ඇයගේ LuckyChap Entertainment ආයතනය මගින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ. තුන්වැනියට Promising Young Woman  පිටපත ලියා අධ්‍යක්ෂණය කරන Emerald Fennell. ඇය The Crown, වැනි රූපවාහිනී නාටක ගණනාවක  නිළියක්, පිටපත් රචිකාවියක් විදිහට වැඩ කර තිබෙනව. මේ අධ්‍යක්ෂවරියක් විදිහට ඇයගේ පළමු සිනමා නිර්මාණය. මේ ගැහැනු තුන් දෙනා එකතුව, ගැහැනිය වස්තු විෂය කරගෙන ගොඩනැගුණු සරල නමුත් කුතුහලය පිරුණු කතා පුවතක් විදිහට promising young woman හඳුන්වාදිය හැකියි.




Friday, January 22, 2021

එකම හිස් අසුන

කොයිතරම් නපුරුද
බස් රථයෙහි
ඔබේ පසෙකින් ඉඩ තබන
එකම හිස් අසුන.

කොයිතරම් දරුණුද
විලවුන් සුවඳ ගෙන
දස අත හමන සුළඟ.

කොයිතරම් වැරදිකාරද
මේ වැනි මොහොතක
වික්ටර් ගෙ ප්‍රේමගීයක් ගයන
රේඩියෝව..



Noroi (2005)

ජපන් ජාතික මසෆුමි කොබයාෂි, ජපානය පුරා සිදුවෙන, කිසි කෙනෙකුට පැහැදිලි කල නොහැකි අත්භූත සිදුවීම් සොයා යමින් ගවේෂණය කරන්නෙක්. ස්වාභාවිකත්වය ඉක්මවා යන සිදුවීම් ගැන තොරතුරු රැස් කරමින් පොත පත, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන්නෙක්. දවසක් ජුන්කෝ නම් එක් ගැහැනියක් අසල්වැසි නිවසෙන් මතුවෙන අබිරහස් හඬක් ගැන කොබයාෂි ට දැනුම් දෙනව. හිටිගමන් ළදරුවෙක් හඬන ආකාරයෙ හඬක් ඒ නිවසෙන් ඇසෙන බවත්, එහි වාසය කරන්නන්ගෙ ස්වභාවය අමුතු බවත් ඇය කියනව. ඇගෙ ප්‍රකාශය අනුව මේ හඬ පටිගත කරගන්න කොබයාෂි ඒ අසල්වාසින්ගෙන් ප්‍රශ්න කරමින් මේ සිදුවීම ගැන වැඩිදුර සොයා බලනව. ටික කලකින්ම එක රැයකදි කොබයාෂි ගේ නිවසේ හදිස්සියේ ගින්නක් ඇති වෙනව. ගින්න නිවා දමන්න බොහෝ අය උත්සාහ දැරුවත් එය සාර්ථක වෙන්නෙ නෑ. අවසානෙ නිවසේ සුන් බුන් අතරේ ගින්නෙන් දැවීගිය කොබයාෂි ගෙ බිරිඳ ගේ මළසිරුර හමුවෙනවා. නමුත් කොබයාෂිට සිදුවුණ දෙයක් නැහැ. ඔහු ගැන කොසිම හෝඩුවාවක් නැහැ. ඔහු ගේ කැමරාකරු ලඟ ඇති, ඔහු අවසාන වතාවට සොයාබලමින් සිටි පරීක්ෂණයේ පටිගත කල වීඩියෝ දර්ශන තමයි Noroi නම් චිත්‍රපටයක් විදිහට පෙළගැහෙන්නෙ.

Noroi (ජපන් භාෂාවෙන් සාපය) චිත්‍රපටය found footage නැතිනම් සැබෑ සිදුවීමකින් පසුව සොයාගන්නා වීඩියෝ දර්ශනවලින් සැදුනු චිත්‍රපටයක් ආකාරයෙන් නිර්මාණය කර තිබෙන්නෙ. මේ සැබෑ සිදුවීමක් ආකාරයෙන් නිර්මාණය කර තිබීම නිසා මේ කතාපුවතේ භයංකර බව දෙගුණ තෙගුණ කර තිබෙනව. මෙය නරඹන්නේ රාත්‍රියක හුදෙකලාවේ නම් සැකයක් නැහැ ඒ හැඟීම උපරිමයෙන් ඔබට විඳගන්න පුලුවන්. ජපානය Horror චිත්‍රපට අංශයෙන් ඉතාම ඉදිරියෙන් ඉන්න රටක්. ඒ මළවුන් ඇදහීම ඒ සම්බන්ධ සිරිත් විරිත් වගේම මරණයෙන් නැවත නැගිටින ආත්ම ගැන සාම්ප්‍රදායිකව එන, අත්භූත රසය දනවන ජනකතා සාහිත්‍යක් ජපානයට උරුම වී තිබෙන නිසා බව අපිට හිතන්න හැකියි. ඔවුන් එවැනි දේ සිනමාව ඇතුලෙ ඉතා නිර්මාණශීලීව භාවිත කරනව. හොඳම උදාහරණයක් මේ noroi චිත්‍රපටය. මම හිතනව අපේ සිනමාකරුන්ට මේ චිත්‍රපට හොඳ ආදර්ශයක්, සංකීර්ණ මතවාදයන් වෙනුවට සරලව, පාරම්පරික ඇදහිලි විශ්වාසයන්ගෙන්, සංස්කෘතිකාංගවලින්, ජන සාහිත්‍යයෙන්, කොයිතරම් ප්‍රයෝජනයක් සිනමාව වෙනුවෙන් අරගන්න පුලුවන්ද කියන කාරණය සම්බන්ධයෙන්. Horror චිත්‍රපට රසිකයෙක් නම් මඟහැර නොගත යුතු සිනමා අත්දැකීමක් විදිහට noroi චිත්‍රපටය නම් කරන්න පුලුවන්.



Wednesday, January 20, 2021

කුහුඹු පෙම

අතු පතර විහිද ගිය
දහසකුත් පත් දරන
ඔබ විසල් තුර..

එක කුඩා තුරු පතක
ලෝකයක් ගොඩ නගන
මගෙ කුහුඹු පෙම.



Monday, January 18, 2021

මම කුඩා නගරයක්..

මම
කුඩා නගරයක්
පටු වීදි කිහිපයකින් සැදි
සියලු දේ බෙදා නම්කොට තිබෙන..

ඔබ
මහද්වීපයක්
අනන්තය තෙක් විහිදෙන 
අසීමිත භූවිෂමතා ලක්ෂණ දරන
පය තැබූ කල
අතරමං වීමට සිතෙන..