Friday, January 22, 2021

Noroi (2005)

ජපන් ජාතික මසෆුමි කොබයාෂි, ජපානය පුරා සිදුවෙන, කිසි කෙනෙකුට පැහැදිලි කල නොහැකි අත්භූත සිදුවීම් සොයා යමින් ගවේෂණය කරන්නෙක්. ස්වාභාවිකත්වය ඉක්මවා යන සිදුවීම් ගැන තොරතුරු රැස් කරමින් පොත පත, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන්නෙක්. දවසක් ජුන්කෝ නම් එක් ගැහැනියක් අසල්වැසි නිවසෙන් මතුවෙන අබිරහස් හඬක් ගැන කොබයාෂි ට දැනුම් දෙනව. හිටිගමන් ළදරුවෙක් හඬන ආකාරයෙ හඬක් ඒ නිවසෙන් ඇසෙන බවත්, එහි වාසය කරන්නන්ගෙ ස්වභාවය අමුතු බවත් ඇය කියනව. ඇගෙ ප්‍රකාශය අනුව මේ හඬ පටිගත කරගන්න කොබයාෂි ඒ අසල්වාසින්ගෙන් ප්‍රශ්න කරමින් මේ සිදුවීම ගැන වැඩිදුර සොයා බලනව. ටික කලකින්ම එක රැයකදි කොබයාෂි ගේ නිවසේ හදිස්සියේ ගින්නක් ඇති වෙනව. ගින්න නිවා දමන්න බොහෝ අය උත්සාහ දැරුවත් එය සාර්ථක වෙන්නෙ නෑ. අවසානෙ නිවසේ සුන් බුන් අතරේ ගින්නෙන් දැවීගිය කොබයාෂි ගෙ බිරිඳ ගේ මළසිරුර හමුවෙනවා. නමුත් කොබයාෂිට සිදුවුණ දෙයක් නැහැ. ඔහු ගැන කොසිම හෝඩුවාවක් නැහැ. ඔහු ගේ කැමරාකරු ලඟ ඇති, ඔහු අවසාන වතාවට සොයාබලමින් සිටි පරීක්ෂණයේ පටිගත කල වීඩියෝ දර්ශන තමයි Noroi නම් චිත්‍රපටයක් විදිහට පෙළගැහෙන්නෙ.

Noroi (ජපන් භාෂාවෙන් සාපය) චිත්‍රපටය found footage නැතිනම් සැබෑ සිදුවීමකින් පසුව සොයාගන්නා වීඩියෝ දර්ශනවලින් සැදුනු චිත්‍රපටයක් ආකාරයෙන් නිර්මාණය කර තිබෙන්නෙ. මේ සැබෑ සිදුවීමක් ආකාරයෙන් නිර්මාණය කර තිබීම නිසා මේ කතාපුවතේ භයංකර බව දෙගුණ තෙගුණ කර තිබෙනව. මෙය නරඹන්නේ රාත්‍රියක හුදෙකලාවේ නම් සැකයක් නැහැ ඒ හැඟීම උපරිමයෙන් ඔබට විඳගන්න පුලුවන්. ජපානය Horror චිත්‍රපට අංශයෙන් ඉතාම ඉදිරියෙන් ඉන්න රටක්. ඒ මළවුන් ඇදහීම ඒ සම්බන්ධ සිරිත් විරිත් වගේම මරණයෙන් නැවත නැගිටින ආත්ම ගැන සාම්ප්‍රදායිකව එන, අත්භූත රසය දනවන ජනකතා සාහිත්‍යක් ජපානයට උරුම වී තිබෙන නිසා බව අපිට හිතන්න හැකියි. ඔවුන් එවැනි දේ සිනමාව ඇතුලෙ ඉතා නිර්මාණශීලීව භාවිත කරනව. හොඳම උදාහරණයක් මේ noroi චිත්‍රපටය. මම හිතනව අපේ සිනමාකරුන්ට මේ චිත්‍රපට හොඳ ආදර්ශයක්, සංකීර්ණ මතවාදයන් වෙනුවට සරලව, පාරම්පරික ඇදහිලි විශ්වාසයන්ගෙන්, සංස්කෘතිකාංගවලින්, ජන සාහිත්‍යයෙන්, කොයිතරම් ප්‍රයෝජනයක් සිනමාව වෙනුවෙන් අරගන්න පුලුවන්ද කියන කාරණය සම්බන්ධයෙන්. Horror චිත්‍රපට රසිකයෙක් නම් මඟහැර නොගත යුතු සිනමා අත්දැකීමක් විදිහට noroi චිත්‍රපටය නම් කරන්න පුලුවන්.



No comments:

Post a Comment