Monday, January 25, 2021

Promising young woman (2020)

කැසී සහ මැඩිසන් වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙන ගත් මිතුරියන්. මැඩිසන් සාර්ථකව අධ්‍යාපනය නිමා කරල වෛද්‍ය වෘතියේ ඉදිරියටම ගමන් කරමින් ඉන්නව. නමුත් කැසී තමන්ගෙ අද්‍යාපනය අතර මග නතර කරල, විද්‍යාලය හැර දමල ඇවිත් කෝපි අවන්හලක බොහොම කුඩා රැකියාවක් කරමින් ජීවතය ගෙවාදමනව. කැසී සහ මැඩිසන් මේ මුණ ගැහෙන්නේ වසර හතකට පස්සෙ. ඉතින් ඒතරම් කාලෙකින් සිදුවන මිතුරු හමුවීමක් කොයිතරම් උත්කර්ෂවත් එකක් වෙන්න ඕන ද? මැඩිසන් සහ කැසී කලකට පසුව එකිනෙකා දැක ගැනීමේ ප්‍රීතියෙන් විස්කි බඳුන් කීපයක්ම හිස් කරනව. ආ ගිය තොරතුරු හුවමාරු වෙන සුහද කතාබහ අතරේ මුහුවෙන මධුමත එක්ක මිතුරු කතාබහ ක්‍රමයෙන් අඳුරු ඉසව්වකට ඇදී යන බව පෙනෙන්නට පටන් ගන්නව. වැළලී ගිය අතීතයක යම් යම් වේදනාත්මක මතකයන් කතා බහ තුළින් මතු වෙනව. නමුත් මැඩිසන් සීමාව ඉක්මවා යමින් මධුවිතෙහි ගිලී යන බවයි දකින්නට ලැබෙන්නෙ. කැසී ඉතාම ඉවසිලිවන්තව ඇගෙන් අතීත තොරතුරු විමසනව. එක් තැනකදි මැඩිසන් අතින් මධුවිත බඳුන ගිලිහී වැටිල ඇය සිහි නැති තත්ත්වයට පත්වෙනව. කැසී අවට යම් තරුණයෙකුට ඇයව පෙන්වල එතැනින් පිටවී එනව. ඇත්තට එතැන සිදුවුණේ මොකක්ද?

2020 අවුරුද්දේ තිරගත වුණ  promising young woman චිත්‍රපටය ඇතුළත් වෙන්නෙ    dark comedy/ thriller ගණයට. drama සහ romantic රසයත් චිත්‍රපටය  පුරා විඳගන්න පුලුවන්. ඇමරිකාව වැනි අතිශය නිදහස්කාමී සාමාජයක වුණත් ගැහැණියකට මුහුණදෙන්න සිදුවන පීඩා කාරී තත්ත්වයන් චිත්‍රපටය තේමා වෙන්නෙ. ඇය පිරිමියා පිනවන ආශාවේ වස්තුව වීම, ඒ හරහා ඇයට මුහුණ දෙන්න සිදුවන අයුක්තිය අසාධාරණය හමුවේ නීතිය ඉදිරිපිට පවා ඇය අසරණ වන ආකාරය චිත්‍රපටය තුළින් දකින්න ලැබෙන්නෙ. අදාළ වස්තු විෂය ඒ තරම් ගැඹුරින් නැතත් කුතුහලය වගේම සංවේගදායක බව මතුකරමින් චිත්‍රපටය නිර්මාණය කර තිබෙනව. නිතර සිනමාපට නරඹන පුරුදු රසිකයෙකුට නම් සමහර අවස්ථාවල ඊලඟට සිදුවන්නේ මොනවගේ සිදුවීමක්ද කියල පැහැදිලිව අනුමාන කර හැකියි. ඒ ආකාරයේ ලේසියෙන් අනුමාන කළ හැකි තැන් කීපයක් චිත්‍රපටයෙ තිබුණා. නමුත් චිත්‍රපටය අවසානයට ගමන් කරන්නෙ නොසිතන මොහොතක, නොසිතන ආකාරයේ ක්ෂණික කම්පනයක් ප්‍රේක්ෂකයා තුළ ඇති කරමින්.

Promising young woman  තවත් ආකාරයකට සුවිශේෂයි. ඒ මෙය නිර්මාණය වෙන්න සිනමා ක්ෂේත්‍රයේ ප්‍රභල කාන්තාවන් තුන්දෙනෙක් මූලිකත්වය අරගෙන තිබීම.  පළමුවෙන්ම  ප්‍රධාන චරිතය හෙවත් කැසී ගේ චරිතය නිරූපණය කරන‍ Carey Mulligan. මේ ආකාරයේ කැපී පෙනෙන චරිතයකින් ඇය අපට හමුවෙන්නෙ යම් කලකට පසුව. ඉතිහාසගත කතාපුවත්වල ප්‍රේමණීය ගැහැණියගේ ස්වභාවයෙන් ප්‍රේක්ෂකාගරයට සමීප වුණු ඇය මේ චිත්‍රපටයෙන් අයුක්තිය හමුවේ නීතිය අතටගෙන නැගී සිටිනා හුදෙකලා ගැහැනියක් විදිහට නැවත හමු වෙනව. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන Margot Robbie  දෙවැනියට මෙයට දායක වන ප්‍රබල කාන්තා චරිතය විදිහට හඳුනා ගත හැකියි. ඇයගේ LuckyChap Entertainment ආයතනය මගින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ. තුන්වැනියට Promising Young Woman  පිටපත ලියා අධ්‍යක්ෂණය කරන Emerald Fennell. ඇය The Crown, වැනි රූපවාහිනී නාටක ගණනාවක  නිළියක්, පිටපත් රචිකාවියක් විදිහට වැඩ කර තිබෙනව. මේ අධ්‍යක්ෂවරියක් විදිහට ඇයගේ පළමු සිනමා නිර්මාණය. මේ ගැහැනු තුන් දෙනා එකතුව, ගැහැනිය වස්තු විෂය කරගෙන ගොඩනැගුණු සරල නමුත් කුතුහලය පිරුණු කතා පුවතක් විදිහට promising young woman හඳුන්වාදිය හැකියි.




No comments:

Post a Comment