මහ ගසක
පාමුල සිට
ඉහළට වැඩෙන
කුඩා ගසක්
මහ ගසෙහි
උස් වියන දෙස
බලාගත්වනම
මුමුණන්නේ මෙලෙස....
" මනරම් ද
කොයිතරම්
ඉහළ..
නේක වර්ණැති
සියොතුන්
ලෙහෙනුන් ද
අන් සතුන්
රොන් සොයා යන
වන බිඟුන්
සොයොව
සපැමිණ
නතර වන්නේ
එතැන....
අනෙක් තුරු
අතරෙන් උස්ව
පෙනේ ය
බොහො ඈතට
මේ ගසෙයි
තෙද මහිම....
අනේ මමද
මතුයම් දිනෙක
වන්නෙමැයි
මේ වන් ගසක්"
මේ දකින
මහා ගස
සිතන්නේ...
"නොදුටුවා වැනිය ඔහු
කාලයේ සුළිසුළඟ
මා බඳෙහි ඉතිරි කල
ඉරි තැළුම්...
දකින්නෙද කෙළෙස
සැඟව ඇති බැවින්
පොතු යට..
නික්මයත්
මේ සැවොම
සැඳෑකල...
සතුන් ද
සියොතුන් ද
සියලු දෙන...
ඉන් පසුව
මා හදෙහි
ඉතිරි වන
හිස් හැඟුම
පවසන්න
වචන නැත
මා සතුව...
බාල විය ලද
සිහිල් සෙවණද
ළතෙත් පවන ද
නොමැත මෙහි....
පාත වියනේ සිට
උස් සිහින දකින
කුඩා තුර....
පහළදී
ඔබ පෙළන
ඔබ දවන
සියලු දෑ
තිබේ මෙහිද..
වඩාත් උස් ව...
ගොඩාක් ලස්සනයි. තේරුම් ගොඩක් තියනවා නේද? දුකකුත් දැනෙනවා.
ReplyDeleteස්තූතියි :) අපි යමක් දකින ආකාරය සහ ඇත්තටම එතන පවතින ආකාරය අතර පරතරයක් තියෙන්න පුලුවන්.....
Delete