Tuesday, September 17, 2019

ගංගා

මිතුරෙකු ගෙ රාත්‍රී සාදෙක
නිවෙන දැල්වෙන විදුලි එළි මැද
ගංගා.. ඒ තමා මුල් දවස
අපේ අතැඟිලි පැටලුණ..

යන්තම් හිනාවක් විසිකර
කන්තෝරු කාමරේ ලිපිගොනු අමුණන
අතැඟිලි සියුමැලි ද මෙච්චර 
එදා තමා මට හිතුනේ මුල් වරට..

අමුත්තෙක් වුණත් මම තරමක
අමුත්තක් නැතුවම නැටු හැටි ඔයා
මගේ අත ගෙන...

සංගීතේ නාද දුන්නා
සාදයේ මහ සෙනඟ මැද..
ඒත් මගේ ලෝකය
නතර වී තිබුණා ඔයා ලඟ..

එදායින් පස්සෙ
කන්තෝරු කාමරේ ඝන වීදුරු විනිවිද
පාවුණා අපේ රහස් ඇස් පණිවිඩ..
............................

"ඔන්න ඉතින් බලන්න
නැටුමක් ගිය දුර..."
මුණගැහුණ දවසක
ඔයා කිව්වෙ මගෙ අත්ලෙ 
ජීවන රේඛාව පිරිමැද මැද
"නැටුමමත් නෙමේ
ගංගාවකට වැටුණම
ඕනැ මිනිහෙක් ගහගෙන යනව දුර"
..........................................
"ගිලිල ඉවරයි ඔයා
ආයෙ නෑ යෑමක් ගොඩ"
ඔයා කිව්වෙ ඇස් හීනි කර
"කමක් නෑ ගිලිල මැරුණත්
මේ ගංගාවෙ නං මට"
වීරයෙක් වගෙ කිව්වත් මම
දැන උන්නෙ නෑ කොහෙට ගලාවිද
මේ ගඟ...

බස් රථවල 
උද්‍යාන බංකු වල
දෙනෝදහසක ඇස් වසා
ගංගා..අපේ අත් පැටලුණා 
කීප වතාවක් තව..

එක දවසක් හවසක
මුහුදු වෙරළක් ළඟ
හැන්දෑවක් දියවී යනකොට
"ඉතින් ඔයා ගංගා නම්
මං නිස්සංක ද?" 
ඇහුව මම 
විහිලුවට වගෙ නිකමට..

කිසිවක්ම නොකියා ඔයා
බලාගෙන උන්නා
මුහුද දිහාවම ඈත..

ගංගා ඔයා
ගලායාමට නියමිතව තිබුණා 
සයුරට...

"කියන්න මට
ඇත්තටම අපි ආදරේ කලා ද?
නැත්නම් මේ මොකක්ද ?"
කොයිතරම් හෙව්වත් අපි
කවදාවත් ලැබුණෙ නෑ
ඒ පැණ වලට උත්තර....

සමුගන්න දවසේ ඔයා
කන්තෝරුවෙන් සදහට
"යන්නම්" කියා අත දෙනකොට
රැඳී තිබුනා ඇරයුම්පතක්
ඔයාගේ විවාමඟුලට
"හොඳින් ඉන්න" යි කියනකොට මම
හිතූ බව ඇත්තයි
නො එන බව ඔය විවාමගුලට...

නොපෙනී ගියා ඔයා
මගේ ලෝකෙනුත් සදහට
කාලයත් ගෙවුණා බොහොම
තනි නොතනියට තවත් දෑතක් පැටලී 
රන් මුදුවක් පැලඳවී තිබුණා
මගෙත් අතැගිල්ලක.

...........................................

වන උයනක් මැදින් දවසක
ඈ එක්ක ඇවිදන් යනකොට
ගඟක් ගලමින් තිබුණා
අපි යන පෙර මඟ.

"අනේ කොයිතරම් ලස්සනද මේ ගඟ"
ඈ ගලන දියපාරේ දෝතක් අරගෙන
මුහු කලා සුලඟට..
ගඟක් ගලමින් තිබුණා 
මගෙ හිතෙත් ඉවුරු බිඳගෙන..

"ලස්සන වුණත් මේ ගඟ
බලන්නකො වතුරෙ හීතල"
කියමින් ඈ තව 
තුරුළු වෙනවා දැන් මට..

අන්න එතකොට
දිය රළක් නිස්කාරණේ මතු වුණ
ඇවිත් හැපුණා වේගෙන්
ගං ඉවුරක...




Monday, September 16, 2019

Maheshinte Prathikaaram (2016 - භාෂාව - මලයාලම්)


Maheshinte Prathikaaram මේක සිංහලට පරිවර්තනය වෙන්නෙ "මහේෂ් ගේ පළිගැනීම" නමින්. පළිගැනීම කිව්ව ගමන් හිතේ ඇඳෙන්නෙ මහ භයානක චිත්‍රයක්. මුලින්ම නම දුටුව ගමන් මම පවා බැලුවෙ මේක crime/ thriller එකක් දෝ යන හැඟීමෙන්. ඇත්තටම ඒක පළිගැනීමක් තමා නමුත් ඒ හැමදෙයක් ම අවසානෙ කෙළවර වෙන්නෙ හරි අපූරු තැනකින්. ජීවිතේ හැමදෙයක්ම කඩා වැටිල, එපා වෙලා ඉන්නකොට හැම දෙයක්ම අනිත් පැත්ත හැරවෙන්න පුලුවන් එක අහඹු සිදුවීමකින්. ඒ වගේම මේක සත්‍ය කතාපුවතක් බව චිත්‍රපටය ආරම්භයේ දි ම සඳහන් වෙනව. 

මේ කතාවෙ ප්‍රධාන චරිත තුනක් මම හඳුන්වා දෙන්නම්. 

මහේෂ්..

කැමරාවක් කරේ එල්ලාගෙන විවාහ උත්සව, උපන්දින සාද, අවමංගල අවථාවල සැරිසරන තරුණයා. කවුරුත් දන්න විදිහට කිව්වොත් ස්ටුඩියෝ එකේ මහේෂ්. මහේෂ් ගෙ ජීවිතයෙ ලොකුම ආසාම ඡායාරූප ගැනීම තමයි. තමන්ගෙම කියල ස්ටුඩියෝවක් පවත්වාගෙන යන මේ මහේෂ් වැඩි කතාබහ නැති බොහොම නිහඬ චරිතයක්. ඡායාරූප කලාවෙ තමන් දන්නා ප්‍රමාණය ඉතාම ස්වල්පයක් බවත් තවත් බොහොම දුරක් ඔහුට යාමට ඇති බවත් මහේෂ් වටහා ගන්නෙ එක සිදුවීමකින් පස්සෙ.

"ෆොටෝග්‍රැෆි කියන එක උගන්නන්න බෑ පුතා. ඒක තමන්ම ඉගෙනගන්න ඕන දෙයක්"

තාත්තා කිව්ව ඒ කතාව මහේෂ් ට මතක් වෙන්නෙ ඒ වෙලාවේදි. මහේෂ් ජීවත් වෙන්නෙ තමන්ගෙ තාත්ත එක්ක. නමුත් එක දවසක් එක සිදුවීමකින් පස්සෙ ඔහුගෙ නිහඬ ජීවිතය සම්පූර්ණයෙන් කණපිට පෙරලෙනව.

සෞම්‍යා..

ගුරුතුමිය කළුලෑල්ලේ යමක් ලියමින් ඉන්නව. සෞම්‍යා.. ඈ ඉන්නෙ ගැහැණු ළමයි ඉන්න පෝලිමේ මැද... එක වරම කවුදෝ මහ හඬින් කෑගහනව..

"ටීචර්.... මෙන්න මෙයා සෞම්‍යා ට කැමතියි ලූ...."

සද්දෙ ඇහෙන්නෙ පිරිමි ළමයි ඉන්න පැත්තෙන්. මුලු පන්තියම හිනා සාගරේක ගිලෙනව. "කවුද ඔය.. මොකක්ද වෙන්නෙ ඔතන" ගුරුතුමියට කේන්ති ගිහින්. "මෙන්න මෙයා සෞම්‍යා ට කැමතියි කිව්ව ටීච" පන්තියෙ ඉන්නෙ කටකාරයෙක් එහාපැත්තෙන් ඉන්න අහිංසක පෙනුමක් තියෙන පිරිමි ළමයෙක් පෙන්වමින් කියනව. සෞම්‍යා හිස හරවල ඒ දිහා බලනව.

"මහේෂ්.!!!"

ගුරුතුමිය අතින් මහේෂ් ට වේවැල්පාර කීපයක් වදිනව. ඔහු හිස හරවල සෞම්‍යා දිහා බලනව. මහේෂ් .. සෞම්‍යා .. ආදර අන්දරය පටන් ගන්නෙ එතනින්.. කාලය ගෙවිල යනව.. සෞම්‍යා ගෙ ගෙදරින් මහේෂ් ට කැමති වෙන්නෙ නෑ. ඒත් රහසින් දෙදෙනාම මුණගැහෙනව කතාබහ කරනව. අවසානෙ සෞම්‍යා වෙනත් කෙනෙකුට විවාහ කර දෙන්න තීරණය වෙනව. ඇයටත් කළහැකි දෙයක් නෑ. සෞම්‍යා ගෙ ගෙදරින් මහේෂ් මුණගැහෙන්න ඇවිත් මේ විස්තරය කියල ඔවුන්ගේ සම්බන්ධය නවත්වන්න ඉල්ලාහිටිනව. මහේෂ් කලබලකාරී, ආවේගශීලි පුද්ගලයෙක් නෙමෙයි. ඔහු සම්බන්ධය නවත්වන්න එකඟ වෙනව.

සෞම්‍යා ගෙ විවාහ දවස. පල්ලියෙ දෙවියන් ඉදිරියෙ පොරොන්දු දෙන නව යුවල ගෙදර එනව. ගෙදර ලොකු උත්සවයක් හැම දෙයක්ම ඉහළින්ම සූදානම් කරල. දවසේ මනාලිය සෞම්‍යා.. යම් කටයුත්තකට ගෙදරින් එළියට එනව.. එතකොට ඈ දකිනව බොහොම ඈතක ඉඳන් කව්දෝ කෙනෙක් තමන් දිහා බලා ඉන්න බව. ඒ වෙන කවුරුත් නෙවෙයි මහේෂ්.....

ජිම්සි..

වචනෙයෙ පරිසමාප්ත අර්ථයෙන්ම කෙළිලොල් දඟකාර නව යෞවනියක් ජිම්සි. ජිම්සි එක මොහොතක් එකතැන ඉන්නෙ නෑ.. එක්කො මහ හඬින් හිනාවෙමින්, කුරුල්ලන්, සත්තු පිටිපස්සෙ පන්නමින්.. තරුණකම උතුරා යන මනුස්ස ජීවියෙක් ඇය... ඒ වගේම ඈ සුන්දරයි.. ලස්සන හැඩ රුවට සමාජයේ ඉහළින් බැබළෙන හීනයක් ඈටත් තියනව. සඟරාවක කවරයට ඡායාරූප යවන තරඟයක් ගැන ජිම්සි දැනගන්නෙ මේ අතරෙ. තමන්ගෙ මූණ සඟරාවක කවරයෙ දමා ගැනීමෙ උමතුවක් ඈට වැළඳෙනව. ඉතින් ඈ ඡායාරූප ශිල්පියෙක් සොයා යනව. "මහේෂ් ස්ටුඩියෝ" එතන තමයි ජිම්සි අවසානෙ නවතින්නෙ. ඒත් මේ ඡායාරූප ශිල්පියා මහේෂ් ඇගේ පින්තුර ගන්න ආකාරය ගැන ඈට සෑහීමකට පත්වෙන්න බෑ. 

"අයියෙ.. ඔයාට මේ වැඩ ගැන එච්චර තේරුමක් නෑ වගේ නේ.." 

ජිම්සි කියන්නෙ නෝක්කාඩුවට වගේ තමා. ඒත් මහේෂ් ට මේ වචනය දරුණුවට වදිනව. කොහොමද හරියට මේ කෙල්ලගෙ පින්තූරයක් ගන්නෙ. දැන් මහේෂ් ගෙ ප්‍රශ්නය වෙන්න ඔන්න ඕක..

Maheshinte Prathikaaram චිත්‍රපටය ඇතුලට මේ ත්‍රිකෝණය ගැලපෙන්නෙ කොහොමද සහ "මහේෂ් ගේ පළිගැනීම" මොකක්ද කියන කාරණා මම නොකියා ඉන්නම්. සුන්දර පසුතල.. කණට ඉමිහිරි සංගීතය. සොබාදහම එක්ක මුහුවුණ රූප රාමු.. තාත්වික රඟපෑම්... මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කතාව ලොකු ගැඹුරකට නොගියත් සරල සුන්දර feel good චිත්‍රපටයක්. ඉතින් මලයාලි සිනමාවෙ මේ අපූරුවත්වය නොවිඳ ඉන්නෙ කොහොමද...





Saturday, September 14, 2019

Certified copy (2010 - භාෂාව - ප්‍රංශ, ඉතාලි, ඉංග්‍රීසි)


මිනිස්සු හරි කැමතියි දේවල් ගැන පරමාදර්ශ ගොඩනගාගන්න. ආදරය, මනුශ්‍ය සම්බන්ධතා ඉඳල වෙනත් බොහෝ දේවල් වලට "ඒක මෙන්න මෙහෙම වෙන්න ඕන" කියල පූර්ව නිශ්චිත "ප්ලෙටෝනික" හැඩතලයක් අපි නිර්මාණය කරගන්නව. ප්ලෙටෝනික කියන්නෙ මොකක්ද ? ප්ලෙටෝ කියන දාර්ශනිකයා කියනව සොබාදහමෙ තියන හැම වස්තුවකටම ඊට අදාල පරමාදර්ශී වස්තුවක් පවතිනව කියන. උදාහරණයක් විදිහට "අශ්වයා" කිව්වම අශ්වයෙකු සතුවිය යුතු කියල සම්මමත සියලු දේවලින් පරිපූර්ණ සංකල්පමය අශ්වයෙක් ඉන්නව. අපි දකින හැම අශ්වයෙක් ම මේ සංකල්පමය අශ්වයගෙ කොපියක්. අශ්වයෙක් අඳින්න කිව්වොත් ඔයා අඳින්නෙ අර ප්ලේටෝ විස්තර කල සංකල්පමය, පරිපූර්ණ අශ්වයව. ඒ තමා ප්ලෙටෝනික අශ්වය. ඉතින් පුද්ගලයන්ට, සම්බන්ධතා වලට, ආදරයට මෙහෙම "ප්ලෙටෝනික" එහෙම නැත්නම් සංකල්පමය වශයෙන් පරිපූර්ණ පරමාදර්ශ තියෙන්න පුලුවන් ද.. අපි එහෙම පරිපූර්ණ මිනිස් සබඳතාවන් ගැන විශ්වාස කරනවනම් අපි අත්විඳින හැම සම්බන්ධතාවක ම කොපියක්, මෙහෙම "ආදර කොපි" පවතින්න පුලුවන්ද , "ඔරිජිනල්" ආදරයක් කොහෙද තියෙන්නෙ එහෙනම්?

අබ්බාස් කිරොස්තාමි ගෙ Certified copy චිත්‍රපටය ඇතුලෙ කතාබහ කරන්නෙ මේ "ඔරිජිනල්" ගැටලුව සම්බන්ධව. ඉංග්‍රීසි ජාතික ලේඛකයෙක් සහ ප්‍රංශ ජාතික ගැහැණියක් අතර ඇතිවෙන සම්බන්ධතාවයක් ආශ්‍රයෙන් මේ කාරණාව අපි ඉදිරියට එන්නෙ. ඔවුන් කවුද, ඔවුන්ගෙ ඉතිහාසය මොකක්ද, මීට කලින් ඉඳන් ඔවුන් දෙදෙනා හඳුනනවද. මේ කිසි දෙයක් අපි දන්නෙ නෑ. නමුත් ඉතා ඉක්මනින් ඔවුන් අතරෙ සමීප ලෙංගතුබවක් ඇතිවෙන බවක් අපි දකින්නෙ. කොහේ යනවද නොදැන වාහනයක නැගිල ඔහේ යන ඔහුත් ඇයත් නතර වෙන්නෙ කොතනද කියන දෙයට වඩා ඒ අතර මැද ඔවුන් අතරෙ කියවෙන දෙබස් ජීවිතය ගැන අලුතෙන් හිතන්න පුංචි කවුලුවක් විවර කර දෙනව. පාර දෙපැතෙතෙ සයිප්‍රස් ගස් වැඩිල. මැවෙන්නෙ හරි සුන්දර දර්ශනයක්. ඒත් ඒ එක සයිප්‍රස් ගහක් තව එකකට සමාන වෙන්නෙ නෑ. හැම ගහකටම ඊටම ආවේණික සුවිශේෂී හැඩයක් තියනව. කලාගාරයක් ඇතුලෙ නොතියා මහපාරෙ තියන නිසා කවුරුත් මේ බව වටහගන්නෙ නෑ. ඉතින් ගහක් නම් ඒක ප්ලෙටෝනික ගහක් වියයුතු නෑ. 

ඔහුත් ඇයත් අතරෙ ඇතිවෙන මේ අපූරු බැඳියාව ඉක්මනින් විවිධාකාර ස්වරූප වලට හුවමාරු වෙනව. හරි සුන්දර සුරංගනා සිහින ලෝක මැවෙන ආරම්භක අවධිය, වචනයක් එහෙමෙහෙ වෙනකොට ගැටුම් ඇතිකරගන්න, එකිනෙකා නුරුස්සන්න පටන් ගන්න අහසින් පොළවට වැටෙන අවධිය, දරුණු විදිහට වචන හුවමාරු වෙන සංග්‍රාමික අවධිය, අවසානයෙ එකිනෙකාගෙ පැවැත්මට එකිනෙකා අවශ්‍ය බව වටහගන්න අවබෝධයේ අවධිය. සම්බන්ධතාවක සියලුම යුගයන් පැය කිහිපයකින් අපි ඉදිරියෙ මැවෙනව. ඒ අතරෙ රූපරාමුවක ෆෝකස් වෙන ප්‍රධාන වස්තුවට පසුබිමෙන් විවාහයක යුවළවල් දකින්න ලැබීම මේ උත්ප්‍රාසය තව තීව්‍ර කරනව. 

චිත්‍රපටය ගොඩනැගෙන්නෙ ඉතාලියානු පරිසරයක් පසුබිම් කරගෙන. යුරෝපියානු කලාව, ගෘහනිර්මාණ ශිල්පය, සොබාදහම, සංගීතය බොහොම අපූරුවට මේ සිනමාපටය ඇතුලෙ භාවිතා කරල තියනව. ඒ වගේම කැමරාව. සමහර වෙලාවක හැබෑ සිදුවීමක් මැද්දට කැමරාව ගෙනත් තියපු ස්වභාවයක් අපි දකින්නෙ. ප්‍රංශ ගැහැණිය ගෙ චරිතය නිරූපණය කරන Juliet Binoche ගේ රංගනය ඉතාම සිත් ඇදගන්නාසුළු යි. මුහුණේ පළවෙන සියුම් හැඟීම් ඈ ඉතාම හොඳින් ඉදිරිපත් කරනවා. Certified copy, කලාකෘතියක Originality එක ආශ්‍රයෙන් මනුශ්‍ය බැඳීමක පරිපූර්ණත්වය ප්‍රශ්න කරන සහ අවශ්‍ය වෙන්නෙ අපි ඒ මොහොතේ අදාළ පුද්ගලයන්ට විවෘත වීම සහ අපිටම අවංක වීම බව යෝජනා කරන සිනමා නිර්මාණයක් බව මගේ අදහස.






Memories of Murder (2003 - භාෂාව - කොරියන්)


Oldboy, Taxi Driver, The Host, I saw the devil වගේ චිත්‍රපට රහ වැටුණ කෙනෙකුට කොරියානු සිනමා උමතුවක් වැළඳෙන එක අමුතුවෙන් අහන්න දෙයක් නෙමෙයි නෙ. මේ ජපන්, කොරියානු, ඉන්දියානු සිනමා නිර්මාණ එක්ක අපිට තියන ළබැඳියාව මොකක්ද කියන එක වෙනම කතා කළයුතු දෙයක්. කොහොමත්, කොරියානු සිනමාව ගත්තොත්, නිර්මාණශීලිත්වය අතින් ඒ අය හොළිවුඩය එක්ක කරට කර සමහර විට ඊටත් ඉහළින් ඉන්න බව නම් ඇත්ත.

2019 Cannes සම්මාන උළලේ දි ටැරන්ටිනෝ පවා පරාජය කරමින් සම්මානය දිනාගත් Parasite සිනමාපටයෙ අධ්‍යක්ෂ Bong Joon-ho ගෙ නිර්මාණයක් Memories of Murder. 80 -90 දශක වල දකුණු කොරියාවේ Hwaseong ප්‍රදේශය සංත්‍රාසයට පත් කළ ඝාතන පෙළක් මුල් කරගෙන චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. මේ හැම අවස්ථාවකම ඝාතනයට ලක්වෙන්නෙ තරුණ ගැහැණු ලමයෙක්. හැම අවස්ථාවකම මළ සිරුර අත් පය ගැටගහල පාලු තැනක දමා ගිහින් තියෙද්දි සොයාගන්නෙ. මේ අපරාධ සම්බන්ධයෙන් පරික්ෂණ කරන පොලිස් නිලධාරින් තුන් දෙනෙක් ඉන්නව. ගමේ ගොඩේ ටිකක් මෝඩ පහේ නිලධාරියෙක්, කුකුල් කේන්ති කාරයෙක්, නගරයෙන් එන බුද්ධිමත් තරුණයෙක් විදිහට මේ තුන්දෙනා තුන් ආකාරයක්. ඉතින් මේ තුන් දෙනා කොහොමද මේ දරුණු ගණයේ අපරාධකරුවාව සොයායන්නෙ?

ඉල ඇදෙන තරමට හිනා යන තැන්, ඊළඟට මොනව වේවි ද කියන කුතුහලය උපරිමයට ගේන තැන් මේ චිත්‍රපටයෙ බහුලයි. ඒත් බලන්න අපහසු බිහිසුණු දර්ශන මේකෙ ඇතුළත් වෙලා නෑ. මුල් දර්ශනයෙ Cinematographyය ඉතාම සුන්දර එකක්. කීප වතාවක් ම ඒ දර්ශනය ආයෙ ආයෙ නැරඹුවා. චිත්‍රපටය පුරාම ඉස්තරම්ම ආකාරයෙ Cinematography එකක් අත්විඳින්න පුලුවන්. ඒ වගේම අවස්ථා සහ සිද්ධි ගොඩනැගීම බොහොම ප්‍රබලව මේ ඇතුලෙ සිද්දවෙලා තියනව. ස්පොයිල් නොකර මේ වගේ චිත්‍රපටයක් ගැන කතා කරන එක ටිකක් අමාරු වැඩක්. කොහොම වුණත් සැබෑ ලෝකයෙදි මේ මිනීමරුවාව අල්ලාගන්න කිසිවෙක් සමත් වෙන්නෙ නෑ. හරියට Zodiac ඝාතකයා වගේ. එය නොවිසඳුණු අභිරහසක් විදිහට ඉතිරිවෙනව. චිත්‍රපටයෙ අවසානෙ ඒ ප්‍රශ්ණාර්ථය ඉතිරිවෙන්නෙ කොහොමද කියන කාරණය මේක නරඹලම වටහාගන්න. මෑතකදි බැලුව මං කැමතිම සිනමාපට අතරට Memories of Murder එකතු වෙනව.





Thursday, September 12, 2019

ඉපැරණි කැළල


වම් අතේ
මැණික් කටුවට යටින්
සුවවෙමින් තිබුණ ඒ කැළල
පෑරුණා ආයෙම
බස් රථේ
පිටුපස ආසනේ ඉඳන් 
හරියටම තුන් වෙනි අසුනේ හැපීමෙන්..

කැළල මත්තෙන්
සීරුවට වැඩෙමින් තිබුණ
සියුම් සම සිඳ බිඳ
වෑහුණා
ඇතුළත කැටිගැහෙමින් තිබුණ
රතු ලේ බින්දු බින්දු
අතැඟිලි දිගේ පහළට...

ගෙදර ගිය පසුව
සුසිනිඳු පුළුන් කැබැල්ලකින් පිස
බෙහෙත් ගල්වාවි ඈ
සුවවෙන්න නැවත..

"කොහොම ඇති වුණා ද මේ කැළල"
ඈ අහන පැන වලට
දෙන්න පිළිතුරක්
සිතා නැත තවම..




Wednesday, September 11, 2019

සිතමි ඔබ ගැන...


සිතමි නිතරම
සිතමි සිය දහස් වර
කොහේ කොතැනක
කුමක් කරමින් ඇත් ද
දැන් ඔබ..

මුමුණමින් ද
ගීතයක පද පෙළක්
මිහිරිම හඬින් ඔබේ
මා මත් කළ..
අර එකල
ආදරේ ඉතිරුණම දවස්වල 
මිමිණුවා වගේ 
මගේ සවනත..

කුරුටුගාමින් ද
කවි පෙළක් 
බෝල අත් අකුරෙන්
සුදු පැහැ කඩදාසියක
පොතක පිටු අතර දැවටී
පොත් රාක්කේ කොණක
සැඟවයාමට නියමිත...

නැත්නම්
ලියමින් ද
නවකතාවක් 
සිහින මැව්වා වගේ
ඒ දවස් වල..
ලියවී ඇත් ද 
යම් දෙයක් එහි 
ප්‍රේමයක් ගැන 
බැඳී නොබැඳුන
නොබැඳී බැඳුන..




Thursday, September 5, 2019

A Clockwork Orange (1971)


ටික කාලෙක ඉඳන් ලඟ තිබුණත් Stanley Kubrick ගෙ Clockwork Orange බලන්න ලැබුණෙ දැන් තමයි. "බලන්න ලැබුණ" කියනවට වඩා "බලන්න හිතුණ" කිව්වොත් වඩා නිවැරදියි. මොකද පස්සෙ හෙමිං සැරේ බලන්න ඕන කියල පැත්තකින් තියල හිමිං සැරේ අවුරුද්දක විතර කාලයක් ගතවෙනකං මේක බලන්න හිතුනෙ නැති නිසා. ඒ මේ චිත්‍රපටය ගැන කියවෙන කතන්දර නිසාත් වෙන්න ඇති. නමුත් කොහොම හරි අවසානෙ මං Clockwork Orange බලනව. "චිත්‍රපටය ගැන කියවෙන කතන්දර" කියල කලින් කිව්වෙ මොනවගේ දෙයක් ද කියල සඳහන් කරන්න ඕන. සාමාන්‍යයෙන් චිත්‍රපටි ගැන ටිකක් හොයල බලන අය මේ ගැන අනිවාර්යයෙන් අහල ඇති. A clockwork orange එදාමෙදාතුර බිහිවුණ නරඹන්න අපහසුම චිත්‍රපට අතර එකක් විදිහට සලකනව. ප්‍රචණ්ඩත්වය, කෲරත්වය මේකෙ මුල භාගයෙදි යොදාගෙන තියෙන්නෙ ඉතාම තාත්විකව, ඇඟ කිලිපොළායන විදිහට. රටවල් කීපයකම මේ චිත්‍රපටය ප්‍රසිද්ධියෙ ප්‍රදර්ශනය පවා තහනම් කර තියනව. නිර්මාණකරුවෙක් විදිහට Kubrik ගෙ හිතුවක්කාර, අසම්මත සිනමා භාවිතාවක් මේ චිත්‍රපටයෙන් දකින්නෙ. නිරුවත, ලිංගිකත්වය සම්මතයේ සීමා මායිම් බිඳ දමමින් ඔහු සිනමාව ඇතුලෙ භාවිතා කරනව.

මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Anthony Burgess කියන ලේඛකයා ගෙ මෙ නමින්ම ලියවුණ නවකතාව පදනම් කරගෙන. කතාවට අනුව මේ සිදුවීම් සිදුවෙන්නෙ අනාගත කාලයෙදි. අනාගත කාලයෙ එක අමුතුම අවන්හලක දි බොන්න ලැබෙන අමුතුම පානයකින් උත්තේජනය වෙන Alex කියන තරුණයා සහ ඔහුගෙ මිතුරන් බොහොම කෲර විදිහෙ අපරාධ රැසක් කරන්න පෙළඹෙනව. Alex ගේ උඩඟු මහන්තත්වය නිසා ඔහුව එපා වෙන මිතුරන් ඔහුව පොලීසියට අහුවෙන්න වැඩ සලස්වනව. Alex සිරගත වෙනව. සිරගෙදරදි ඔහුට අහන්න ලැබෙන්නෙ අමුතුම පුවතක්. අපරාධකරුවෙක් නැවත කිසිදාක අපරාධයක් කල නොහැකි මිනිසෙක් බවට පත්කරන ක්‍රමවේදයක් එක් විද්‍යාඥයෙක් සොයාගෙන ඇති බවත් රජය මේ විදිහට අපරාධකරුවන් නැවත සකස් කරල සමාජයට මුදාහරින්න සූදානම් වෙන බව Alex ට අහන්න ලැබෙනව. නමුත් මෙය තවම තියෙන්නෙ පරීක්ෂණ මට්ටමෙ. ඉදිරියට මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන බවයි කියැවෙන්නෙ. තමාව මේ පරීක්ෂණයට යොදාගන්න කියල Alex ඉල්ලාහිටිනව. ඔහුගෙ ඉල්ලීම ඉටුවෙනව. පරීක්ෂණයට පෙනී ඉන්න Alex මුහුණදෙන්නෙ සිහිනෙන්වත් නොසිතූ අත්දැකීමකට.

මේ කතාවෙන් කියවෙන්නෙ මෙන්න මෙහෙම දෙයක් කියල නිශ්චිතවම ඇඟිල්ල දික්කර පෙන්වන්න බැරි වුණත් එය ඉතාම දේශපාලනික කතා තේමාවක් බව පැහැදිලියි. දෙශපාලකයන් තමන්ගේ බලපැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ගෙ සිතුම් පැතුම්, බලාපොරොත්තු, පළිගැනීමේ චේතනාවන්, වෛරී සිතුවිලි, බියජනක හැඟීම් Tool එකක් විදිහට භාවිතා කරනවාද, නැත්නම් මිනිස් සිතුවිලි, ආවේගයන් විසින් දේශපාලනය මෙහෙයවනවාද කියන ගැටලුව විතරක් මම ඉතිරි කරන්නම්. 

Clockwork Orange කියන නමෙන් කියවෙන්නෙ මොනවගේ දෙයක්ද කියන කාරණය ගැන අදහස් ගණනාවක් ම තියනව. මම හිතනව එතන කියැවෙන්නෙ මිනිසා තමන්ගේම සිතුවිලි ඉවත් කරල ඔහු නිදහස් අදහස් වලින් තොර යාන්ත්‍රික (Clockwork ) තැනැත්තෙක් බවට පත් කිරීමක් කියල. මෙහෙම යාන්ත්‍රික මිනිසෙකුට තමන්ගෙම කියල නිදහස් කැමැත්තක් (free will) නැහැ. ඔහු අනෙක් මිනිසුන්ගෙ (දේශපාලකයන් ගෙ?) අවශ්‍යතා අනුව නැටවෙන රූකඩයක් හා සමානයි.. 

බොහොමයක් විචාරකයින් මේක ඉතාම විශිෂ්ඨ ගණයේ නිර්මාණාත්මක සිනමා කෘතියක් විදිහට හඳුන්වන අතරෙ මේක "තේරුමක් නැති මල විකාරයක්" විදිහට නම් කරන අයත් නැතුව නෙමෙයි. මේ වගේ සම්මතයන් කඩා බිඳ දමන අසම්මත කලා කෘති බහුතර සමාජයෙන් එහෙම දරුණු විවේචන වලට ලක්වෙන එක තමයි සාමාන්‍යන් සිද්දවෙන්නෙ . (අපේ රටේ මෙහෙම දෙයක් හැදුව නම් අද්‍යක්ෂවරයාට මරණ දඬුවම නියම කරාවි). 

මෙහෙම බහුතර කැමැත්ත දිනාගත්ත ප්‍රධාන ධාරාවෙන් මිදුනු පොඩි පොඩි සංස්කෘතිමය අංග, කලා කෘති, හඳුන්වන්නෙ cult නමින්. තදින්ම බැඳුනු, වෙනස් නොවන සීමිත ප්‍රේක්ෂකාගාරයක් පැවතීම කල්ට් වල ලක්ෂණයක්. ප්‍රධාන ධාරාවෙ සම්මතයක් කඩා බිඳ දමල ඒව නැවත ප්‍රශ්නකිරීම කල්ට් කලාවෙන් සිද්ධවෙන්නෙ. Clockwork Orange කියන්නෙ Cult classic එකක්. මේ සිනමාපටයෙන් හොඳ නරක, සදාචාරය ගැන මිනිස්සු පිහිටුවාගත්ත සම්මතයන් කොයිතරම් නිවැරදි ද කියන කාරණය බොහොම දරුණු විදිහට ප්‍රශ්න කරන බව මම හිතනව. "හොඳ" නමින් සමාජය පිළිගත්ත දෙයක "නරක" තියෙන්න බැරි ද ? "නරක" නමින් හඳුන්වන දෙයක "හොඳ" තියෙන්න බැරි ද? ඉතාම නිර්මාණාත්මකව මේ ප්‍රශ්න අපෙන්ම නැවත අහන්න පොළඹවන සිනමා නිර්මාණයක් විදිහට A clockwork orange හඳුන්වාදෙන්න කැමතියි.






Tuesday, September 3, 2019

Lost in Translation (2003)


ආදරය කියන්නෙ මහ පුදුමාකාර විදිහට ජීවිතයත් එක්ක බැඳිලා තියන දෙයක්. ඒ තරම් අතිශ්‍ය සාමාන්‍ය දෙයක් තවත් නැතුව ඇති. ඒ තරම් සුවිශේෂී දෙයකුත් තවත් නැතුව ඇති. මනුස්සයෙක් තමන් සතු සියලුම දේ අතහැරල අතහැරල අවසානෙ අතහැරගන්න බැරුව ඉතුරුවෙන දෙයක් තියනව නම් ඒ ආදරය ලැබීමට, ආදරය විඳීමට තියන දැඩි ආශාව වෙන්න ඕන. මොන සමාජ තත්ත්වයක හිටියත්, මොන වයසක හිටියත් අපිට ආදරය අවශ්‍යයි. මිනිස්සු කවදාවත්, හීනෙකින්වත් නොහිතන දේවල් කරන්න පෙළඹෙනව මේ ආදරය නිසා. ඒත් ආදරයෙදි මහ ලොකු දේවල් නෙමේ අපිට ඕනැ කරන්නෙ. රාත්‍රී විදුලි එළි මැද්දෙ ඔහේ ඇවිදගෙන යාමක්, ජීවිතේ ගැන මේ ලෝකය ගැන අපේ අදහස් බෙදාහදාගන්න ටිකක් බරසාර දාර්ශනික කතාබහක්, එක මොහොතකට හරි කිසිම සැකයකින් බියකින් තොරව හිස තියාගෙන ඉන්න උරහිසක්. සමහර වෙලාවට මෙන්න මේ වගේ දේවල් ටිකක් විතරයි අපිට ඕන. 

ලූෂන් බුලත්සිංහල මහත්මය ලියුව ගීයක තියනව මෙහෙම පදවැල් කීපයක්. 

අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නෑ ඔබ ගැන සිතේ ඇතී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු  වූ දා.

මේක ආදරය ගැන වඩා දියුණු යෝජනවක් විදිහට ඉදිරිපත් වෙන්නෙ. ඔහු කියනව

"මං හින්දා ඔබෙ නෙතගින් කඳුළක් හෙලන්නෙපා" කියල.

"ගිවිසා ගනිමු අපි, පෙම් යුවළක් සේ කිසිදා එක් නොවෙනා"

ආදරෙයි කියන්නෙ ගිවිසුම් ගහල, කොළයක් අත්සන් කරල, මගෙයි කියල අතින් අල්ලල සීමා වැටකොටු දාල අනෙකාව හිරකරල තැබීම නොවෙයි ඊට එහා ගිය නිදහස් අවකාශයක පවතින දෙයක් බව මේ පදමාලාවෙන් කියන්නෙ. අනෙකා අනෙකා වශයෙන්ම බාර ගැනීම මෙතන තියෙන්නෙ. 

ප්‍රේමකීර්ති "තනි තරුවේ" ගීයේ ලියනව

"ඔබත් ඔහොම ඔතැන ඉන්න, 
මමත් මෙහෙම මෙතැන ඉන්නවා" කියල. 

ඔයා තරුවක් තමයි....මං පොළෝවාසී මිනිසෙක් තමයි.... ඒත් ඔයා ඉන්න ඔයාගෙ තැන ඔයාගෙ විදිහටම.... මං ඉන්නම් මම විදිහටම....අපි මූණ මූණ බලාගෙන ඉන්න අවකාශෙ තමා අපිට පොදු දෙයක් විදිහට තියෙන්නෙ...... ඔයාට බැහැ අහසින් මිදිල මං ඉන්න පොළවට එන්න.....සමහර විට එහෙම ආවොත් මට ඔයාව මෙහෙමවත් නැති වේවි.....අපේ මේ මොහොත අපිට අහිමි වේවි....ඒ නිසා ඔයා ඔතන ඉන්න ඔයා විදිහටම....මම ඉන්නම් මෙතනම....

ඔබ ඔතන ඉන්න පමණයි ඕන. වෙන දෙයක් නොවෙයි. ආදරේ බව නිතර කියන්න අවශ්‍ය නෑ, හරියට අපිට ඒක අමතක වෙලා යන දෙයක් වගේ මතක් කළයුතු නෑ. සමහර විටක ආදරය පවතිනව "මං ආදරෙයි" කියල වචනෙන් වත් නොකියන තැනක. ගැටලු මතු වෙන්නෙ අපි ඒ ආදරේ රාමුගත කරල සමාජ සම්මතයන්ට අනුගත වෙන්න ගියාම. මොකද ඕනෑම බැඳීමක යම් තැනක් තියනව එතනින් එහාට ඒ බැඳීම පැවැත්මක් නැති වෙන. අපි පවතනව මොකද අපි පැවතිය යුතු නිසා. කාලයත් එක්ක ළතෙත් බව වියළිලා කර්කශ වුණ පොළවක කෝ ආදරය දලු දමන්න ඉඩක්?

ඉතින් දුර ඈත රටක, නාඳුනන නගරෙක වෙනස් මිනිස්සු රොත්තක් මැද, ආදරය ගැන සිඳී වියළුණු අත්දැකීමක ඉන්න "එක වගේ වෙනස්" දෙන්නෙකුට බෙදාගන්න කොයිතරම් දේවල් තියෙන්න පුලුවන්ද..එක අතකින් ඔහු. ජීවිතේ මැදියම් වයසේ.. මුදල් .. ජනප්‍රියත්වය මැද්දෙ.. නීරස නමුත් ගෙවාදැමිය යුතු නිසා ජීවිතේ ගෙවා දමමින්.. අනික් අතින් ඇය...තරුණ බව උතුරා යමින්.. රැකියාවම ජීවිතය කරගත්ත සැමියෙක් සමග.. කළ යුතු යමක් නැතිව.. සතුටින් සිනහ වන බව අඟවමින්... එකම නවාතැන්පළක, වෙන වෙනම කුටි දෙකක, එකම ඉරණම විඳින දෙදෙනෙක්, සංගීත නාදය සමග මධු බඳුන් වල මධු පිරෙන අවන්හලක අහම්බෙන් හමුවීමේ අහඹුව කොයිතරම් අපූරු එකක්ද.. මේ අහඹු හමුවීම ඔවුන්ගේ ජීවිත වල කොයිවිදිහක බලපෑමක් කරයි ද..

අවසානෙ නොහිතු දෙයක් වේවි, දැන් වේවි කියල පොඩි ත්‍රිල් ස්වභාවයක් දුන්නත් චිත්‍රපටයෙ අවසානය ඒ ත්‍රිල් එක කුඩුපට්ටම් කරල දාන්නෙ මේක ඉතාම සාමාන්‍ය කතාවක් බවට පත් කරමින්. ඒත් අපි ගතකරන ජීවිතේ ඒක නොවෙයි ද? ඊළඟ මොහොතෙ මොකක් හරි මැජික් එකකින් යම් දෙයක් වේවි කියල බලාපොරොත්තු වුණත් එහෙම නොවීමම නේද ජීවිතේ? හරි සරලයි.. මැජික් නෑ.. ඒත් ඒක ඇත්තක්..! මැජික් නොවී අපි අත්විඳින ජීවිතය එක්ක සමපාත වීමමයි මැජික් එක. ඒක තමා හැබෑම අවසානය. පෙති විහිදල විකසිත වුණ මලක නටුවෙන් නික්ම යෑම...

අන්තිමට කිට්ටු වෙද්දි මම බොබ් හැරිස්ට හිතින් බැන්න. "මොකක්ද මිනිහො ඔය කරන්නෙ. ඔය කාළකන්නි තැනින් ඈතට දුවපන් ! කාත් කවුරුත් නොදන්න නගරෙ ඈතට දුවල අතුරුදහන් වෙයං!" කියල මං බැන්න. ඒත් ඇයි ඔහු එහෙම කළේ? (එහෙම නොකළෙ?)

මේ ගැටලුවට පිළිතුර විදිහට මම තෝරාගන්නෙ කවි පේළි දෙකක්. මේ කවියෙ අයිතිය රන්සර බණ්ඩාර ට. ඒ පේළි දෙකෙන්මයි මේ සටහනත් අවසන් කරන්නෙ.

පෑරෙනා තරමටයි
සමහර මතක මිහිරැති
ඒ නිසාමයි සමහරු
හිත හදා ගන්න අකමැති..

`````







Monday, September 2, 2019

පුරුදු සුවඳක්



ඔබ සිටින දෙසින් එන
සුළඟ ඉවකර බලමි

තිබේදැයි යම්කිසි
පුරුදු සුවඳක් තවම.