Monday, October 14, 2019

Midsommar (2019)


මෑතක ඉඳන් නිර්මාණයවෙන horror චිත්‍රපටි වලට එල්ලවෙන ලොකුම චෝදනාවක් තමා ඒවට බය හිතෙන්නෙ නෑ කියන එක. නමුත් මේ ඒකාකාරිත්වයෙන් මිදුණු සුවිශේෂි නිර්මාණ කීපයකුත් ඉඳහිට අපිට හමුවෙනව. Hereditary කියන්නෙ අන්න ඒ වගේ සිනමා රසිකයන් අතරෙ සෑහෙන ජනප්‍රියත්වයක් හිමිකරගත්ත සාර්ථක නිර්මාණයක්. Hereditary නිර්මාණය කළ Ari Aster ගෙ අලුත්ම සිනමාපටය Midsommar. Horror අත්දැකීම කිසිසේත්ම එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි පරිසරයකින් මතු කරගන්න ඉතාම සුවිශේෂී නිර්මාණයක් Midsommar. භීතිය කියන දෙය මට මේ චිත්‍රපටය ඇතුලෙ හොඳින්ම දැනුන. ඇත්තටම මම ඒකට බය වුණා....!

Dani කියන්නෙ උසස් පාසල් ශිෂ්‍යාවක්. ඇගෙ සහෝදරිය, දෙමව්පියන් මරා දමල තමනුත් දිවි නසාගන්නව. මේ සිද්ධිය Dani ට බොහොම තදින් බලපානව. ඇය සම්පූර්ණයෙන්ම මානසිකව කඩාවැටෙනව. මානව විද්‍යාව හදාරන ඇගෙ පෙම්වතා Christian ගෙන් ඇයට සහයෝගයක් ලැබෙන්නෙ නෑ. මේ අතර Christian ගෙ මිතුරු කණ්ඩායමෙන් කෙනෙක් වුණ ස්වීඩන් ජාතික Pele ගෙන් ඔවුන්ට ආරාධනාවක් ලැබෙනව. ඒ ස්වීඩනයේ එක් පිටිසර ගමක පැවැත්වෙන උත්සවයකට සහභාගිවෙන්න. Christian ඇතුලු මිතුරන් පිරිස මේ ඇරයුම බාරගන්නව. Dani ත් ඔවුන් එක්ක එකතුවෙනව. ස්වීඩනයෙ අදාළ ගම්මානයට යන මිතුරන් කණ්ඩායම දකින්නෙ තැනිතලා බිම් පුරා මල් පිපුණු ගහකොළ පිරුණු බොහොම සුන්දර පරිසරයක්. ඒ වගේම තනි සුදු ඇඳුම් ඇඳගත්ත මිත්‍රශීලී මිනිසුන් කණ්ඩායමක්. නමුත් ටික දවසක් මේ ගම්මානයේ වාසය කරද්දි ඔවුන්ට දකින්න ලැබෙන්නෙ එතන තව දුරටත් ඉන්න හිතෙන දේවල් නම් නොවෙයි....!

Midsommar පැය තුනකට ආසන්න කාලයක් පුරා දිවෙන දීර්ඝ චිත්‍රපටයක්. ඒ වගේම බොහොම මන්දගාමී ස්වභාවයෙන් මේ කතාව ගලා යන්නෙ. Horror චිත්‍රපට වල බොහෝවිට දකින්න ලැබෙන උද්වේගකාරී බව මේක ඇතුලෙ දකින්න නැති තරම්. ඒ වෙනුවට චිත්‍රපටය පුරා තැවරෙන්නෙ පාලු, මූසල, ශෝකී ස්වරූපයක්. හෙමින් සීරුවේ භාවනාවකය සමවැදෙන ආකාරයෙන් බලා ඉන්න හැකි රූපරාමු අතරේ සියුම්ව භීතිය ඇඟට දැනෙන්න පටන්ගන්නව. සයිකඩෙලික ලෝකයක අතරමං වෙන ආකාරයෙන් මේ මායාමය බියකරු බව එක්ක හුදකලා වෙන්න පුලුවන්. 

බියකරු බව එක්ක Midsommar ජීවිතයේ වේදනාකාරී ස්වභාවය නිරූපණය කරනව. දෙමව්පියන්ගෙ මරණය එක්ක ලෝකයේ හුදකලා වෙන Dani ට ඉතිරි වෙන්නෙ ඇගේ පෙම්වතා පමණයි. ඇයට අවශ්‍යයි ඔහුගෙ ආදරය. නමුත් ඔහු කැමති ඇයව යම් දුරකින් තබාගන්න. මේ දුරස්ථ බව ඇයට විශාල පීඩනයක්.. ඇයට ඕන ඔහුත් සමීපයේ ඉඳන් ආදරය ලබන්න, ආදරය විඳින්න. නමුත් ඔහුගේ නොසැලකිලිමත් ස්වභාවය නිසා ඇයට ඉතිරි වන්නේ බලාපොරොත්තු කඩවීම පමණයි. (කොහොම වුණත් චිත්‍රපටයෙ අවසාන දර්ශනයෙන් මට සමාජ පීඩනය හමුවේ ප්‍රතිවීර ස්වභාවයෙන් නැගී සිට තමන්ට සිනාසුණ සමාජයට පෙරළා සිනාසුණු මිනිසා Joker සිහි වීම නම් වළක්වන්න බැරිවුණා)

Midsommar චිත්‍රපටයෙ Cinematography එක සැකයක් නැතුවම මෑතක දැක්ක හොඳම Cinematography එකක්. රූපරාමුවක Emphasize වෙන ප්‍රධාන object වලට අමතරව පසුබිමේ Objects පවා රංගනයක යෙදෙනව. එයින් මැවෙන රූපරාමුව පැතලි ස්වභාවයෙන් මිදුණු, යම් ගැඹුරක් සහිත එකක්. චිත්‍රපටයෙ සාර්ථකත්වයෙන් වැඩි ප්‍රමාණයක් මේ cinematography එක දරා ඉන්නව. චිත්‍රපටයෙ බහුලව භාවිත කරන ඇහැට ප්‍රිය සුදු පැහැයට හුරු වර්ණ රටාවත්, මධ්‍යතන යුගයට සමාන පසුබිමත් නිසා මේකෙ සයිකඩෙලික බව තවත් වැඩිවෙනව. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේකෙ සංගීතය. ඒ Horror බව තවත් දෙගුණ තෙගුණ කරවන්න සමත් එකක්..!

ලොව පුරා ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයෙන්ම පැසසුමට ලක්වුණු චිත්‍රපටයක් Midsommar. කලින් කිව්ව වගේ මේක ඉවසිලිමත් අවධානයක් ඉල්ලා සිටින චිත්‍රපටයක්. දීර්ඝ මන්දගාමී ස්වභාවය ඇතුලෙ බියකරු බව නියමාකාරයෙන් අත්විඳින්න ඒ ඉවසිලිමත් බව අවශ්‍යයි. නමුත් වෙනස්ම ආකාරයේ Horror අත්දැකීමක් විඳගන්න කැමති කෙනෙකුට නම් මේක බොහොම අපූරුවට ගැළපේවි.





5 comments:

  1. Your blog is very nice, thanks I didn't know this movie exists, will watch in day time soon!

    ReplyDelete
    Replies
    1. Thatx alot for the compliment :) its a cult horror.. If you into that kind of movies this will work for you...!

      Delete
    2. Finally watched it, nice movie. Such communities (not crazy like this) exist in USA so I can relate it, have you watched the comedy Wanderlust which also has a crazy community? (only if you are into comedy movies)

      Delete
    3. Glad you like it :) Ill check that out... If you into much creepy stuff check out Rosemary baby... its another good cult horror stuff...

      Delete
    4. Thanks Hashan, I'll check that out too. By the way, I like your blog because its unique.

      Delete