Monday, December 30, 2019

The Seventh Seal (1957)

පැවැත්මක් ඇති ඕනෑම දෙයකට අවසානයක් තියනව. ජීවිතයක් තියනව නම් එතැන මරණයත් තියනව. ජීවිත කාලය ඇතුලෙ මොන සෙල්ලම් දැම්මත් මේ මරණයෙන් ගැලවෙන්න කිසි කෙනෙකුට බැහැ. 

"දිනේ පැමිණි විට මරුවා සිනාසේ"

අපේ පරණ ගායකයෙක් බොහොම සැහැල්ලු ස්වරයෙන් කියා තිබෙන්නෙ මේ සත්‍යතාවයම යි. නමුත් මරණයක් කිව්ව ගමන් අපේ ඔලුවෙ ඇඳෙන්නෙ රෝගියෙක්, මහලු මිනිසෙක්ව. මරණය කියන්නෙ ජීවිතයත් එක්ක අත්වැල් බැඳගත්ත දෙයක් බවත් ජීවිතය පවතින හැම තැනකම මරණය පවතින බවත් සිරී ගුණසිංහ කවියා "මරණය නොසැලී හිමාලයක් සේ" කවි පෙලෙන් කියනව. ස්වීඩන් සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන් මේ මාරයට කලු ලෝගුවක් අන්දවල මිනිස් ස්වරූපයක් විදිහල පණ දීල රිදී තිරය මැද්දට ගේනව. ඒ The Seventh Seal චිත්‍රපටයෙන්. ජීවිතේ යථාර්ථයන් කැමරාවට හසුකරගන්න වෙහෙස වුණු සිනමාකරුවෙක් විදිහටයි බර්ග්මාන් හඳුනාගන්න ලැබෙන්නෙ. ඔහු සිනමාවෙ දාර්ශනිකයෙක්. බර්ග්මාන් ගෙ චිත්‍රපටයක් කියන්නෙ වතාවක් බලල අමතක කල හැකි නිර්මාණයක් නොවෙයි. ඔහුගෙ චිත්‍රපට වලින් බොහෝ දුරට පිළිඹිබු වෙන්නෙ ජීවිතේ වේදනාකාරී, දුක්ඛදායක, අනිත්‍ය ස්වභාවය. ඔහුගෙ චිත්‍රපට නැවත නැවතත් මනස මෙහෙයවල සිහිපත් කල හැකි කමටහන් වගේ. මේ නිසා ඔහු කතන්දර කියන්නෙකුට එහා ගිහින් දාර්ශනිකයෙකුට ළං වෙනව. The Seventh Seal චිත්‍රපටයෙන් ඔහු ජීවිතයත් මරණයත් අතර ඇති අවියෝජනීය බැඳීම සිනමාවට ගේනව.

චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ මධ්‍යතන යුගයේ යුරෝපය. "කළු මරණය" නමින් හඳුන්වන මහාමාරිය වසංගතය ස්වීඩනය පුරා පැතිර ගිහින්. මිනිසුන් දහස් ගණන් මියයනව. ඉතිරි අය ජීවිතය ගලවාගන්න තැනින් තැන සංචාරය කරනව. මේ අතරෙ කතෝලික පල්ලිය ආගමට විරුද්ධ අදහස් දරන්නන්ව බොහොම දරුණු විදිහට මර්ධනය කරමින් ඉන්නව. මේ අතර කුරුස යුද්ධයට සහභාගි වුණ ඇන්ටෝනියස් බ්ලොක් නම් නයිට් වරයා වසර දහයකට පස්සෙ ආපහු තමන්ගෙ රටට එනව. මරණය ඔහු මුණගැහෙන්න එන්නෙ එතනදි. ඇන්ටෝනියස් ගේ කාලය අවසන් කියල මරණය ඔහුට දැනුම් දෙනව. ඒත් ඔහු සූදානම් නෑ එච්චර ලේසියෙන් මරණය වැළඳගන්න. ඇන්ටෝනියස් මරණයට තමන් එක්ක චෙස් ක්‍රීඩාවට එන්න ආරාධනා කරනව. මාරයා ක්‍රීඩාවෙන් දිනුවොත් පමණයි ඇන්ටෝනියස්ට මිය යන්න සිද්දවෙන්නෙ. ඇන්ටෝනියස් ගේ අරමුණ වෙන්නෙ උපායෙන් මරණය කල්දමා ගැනීම. මරණය ඇන්ටෝනියස් එක්ක චෙස් ක්‍රීඩාවට වාඩිවෙනව.

මිනිස්සුන්ට ජීවිත කාලයෙ ඇතුලෙ කුමක් හෝ ජය ගන්න තියෙන නොසංසිඳෙන ආශාව මේ චෙස් ක්‍රීඩාවෙන් සංකේතවත් වෙනවා විය හැකියි. උපතින් පස්සෙ අධ්‍යාපනය, රැකියාව, ආදරය, විවාහය, දරු පවුල නඩත්තු කිරීම, මේ හැම තැනකදිම මිනිස්සු යම් දෙයක් අත්පත් කරගැනීමෙ නොනවතින තරඟයක යෙදිල ඉන්නෙ. මිනිස්සු බොහෝ විට විශාල අතෘප්තියකින් ජීවත්වෙන්නෙ, මොනදේ ලැබුණත් ඇති නොවෙන හැඟීමකින්. ඇන්ටෝනියස්ටත් ජීවිතය ගැන තියෙන්නෙ මහ හිස් හැඟීමක්. තමන් මෙතෙක් කල් කල කී දේවල් ගැන අතෘප්තිකර බවක්. ඔහු දෙවියන් ගේ පැවැත්මත් ප්‍රශ්න කරනව. ජීවිතය ගැන සාංදෘෂ්ටික දැක්මක් ඔහුට තියෙන්නෙ. සාංදෘෂ්ටික වාදය කියන්නෙ මූලිකවම මිනිසාගේ පැවැත්ම, ආගම, දෙවියන්, නිදහස, ජීවිතයේ අර්ථය වගේ කරුණු ගැන ප්‍රශ්න කරන, සංවාද විවාද කරන දාර්ශනික ප්‍රවාහයක්. මේක දර්ශනවාදය ඇතුලෙ තරමක් ජනප්‍රිය කොටසක්. The Seventh Seal චිත්‍රපටයත් ජීවිතය දිහා යම් සාංදෘෂ්ටික දැක්මකින් බලන චිත්‍රපටයක් විදිහට හඳුනගන්න පුලුවන්.

Seventh Seal යෙදුම එන්නෙ බයිබලයෙන්. බයිබලයේ අවසානයේ තියනව "එළිදරව්ව" නමින් කොටසක් (Book of Revelation). ශු. ජොහාන් තුමාට ලෝක අවසානය ගැන සිහිනයක් මාර්ගයෙන් දෙවියන් වහන්සෙ කල එළිදරව්වක් තමා බයිබලයේ මේ කොටසෙන් විස්තර වෙන්නෙ. එළිදරව්වෙ එක් තැනකදි මුද්‍රා හතක් සහිත පොතක් ස්වර්ගයේ පහල වෙනව. මේ මුද්‍රා හත විවෘත කරන්න සුදුසු කිසිම කෙනෙක් ස්වර්ගයෙ වත් පොළවේවත් නැහැ. අං හතකුත් ඇස් හතකුත් ඇති බැටලු පැටවෙක් මේ මුද්‍රා එකින් එක විවර කරනව අවසානෙ හත්වෙනි මුද්‍රාව (Seventh Seal) විවර කලාම ලෝකය විනාශ වීම ආරම්භ වෙනව. Seventh Seal යෙදුම "විනාශ වීම" "මරණය" අර්ථයෙන් යෙදුව කියල අනුමාන කල හැකියි.

The Seventh Seal ලෝක සිනමාවෙ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් විදිහට සැලකුණත් මේක ඇතුලෙ නිශ්චිත කතාවක් ඇතුලත් වෙලා නැහැ. කලින් සඳහන් කලා වගේ බර්ග්මාන් මෙතනදි කතන්දරයක් කීමෙන් බැහැර වෙලා ජීවිතය දිහා සමීපව බලන්න අපිව යොමුකරනව. චිත්‍රපටයෙ තැනක, යක්දෙස්සියක් විදිහට නම් කරල මරන්න නියම කල තරුණියක් ලඟට යන නයිට් වරයා අහනව 

"ඔබ යක්ෂයා දුටුවද" කියල

ඇගේ පිළිතුර 

"මගෙ ඇස් දෙක දිහා බලන්න"

මේ චිත්‍රපටයත් ඒ වගෙයි. විශේෂයෙන් කලු සුදු මාධ්‍යයෙන් මිනිස් හැඟීම් කොයිතරම් ප්‍රබලව නිරූපණය කරන්න පුලුවන්ද කියන කාරණය හොඳින්ම පෙන්වා දෙන චිත්‍රපටයක් Seventh Seal ..

දවසක කළු ලෝගුවක් ඇඳගත්ත මාරයා ඇවිත් "ඔබේ කාලය අවසානයි, එන්න යන්න මාත් එක්ක" කියුවොතින් ඔබට මට දෙන්න තියන පිළිතුර මොකක්ද ?






No comments:

Post a Comment