Monday, April 20, 2020

Labour of Love (2014)

මේ බෙංගාලි චිත්‍රපටයෙ ඉන්නෙ චරිත දෙකයි. දෙබස් ඇත්තෙම නැහැ. පසුබිම් සංගීතයක් නැති තරම්. කතාවක් කියල දෙයක් මේකෙ එහෙම හොයාගන්න නෑ. එහෙනම් මොනවද මේකෙ තියෙන්නෙ.?

සාමාන්‍ය එදිනෙදා ගෙදරදොර වැඩ කරන, රස්සාවට යන, පොළට යන, කන බොන, කම්මැලි හිතුණම පොඩ්ඩක් නිදියන.. සැමියෙක් සහ බිරිඳක්..එත් පොඩි විශේෂත්වයක් තියනව. මේ දෙන්න එකිනෙකා මුණගැහෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ කොහොමද ?

කෙනෙකුට මේක වාර්තා චිත්‍රපටයක් වගේ කියල හිතුනොත් වරදක් නෑ. මොකද නිකම් ගෙදරක මැද්දෙ කැමරාවක් තිබ්බ වගේ හරිම සාමාන්‍ය රූපරාමු පෙළක් දිගහැරෙන නිසා. ඒත් ඉන් එහාට බොහෝම සියුම්ව සහ සංකේතරූපීව අරුත් මතුවෙන විදිහට කැමරාව මෙහෙයවපු තැන් හොයාගන්න පුලුවන්.

ඒත් Labour of love ඇතුලෙ තියන ඒ හිස් බව අපිට චිත්‍රපටයට ඇතුලුවෙන්න දොරගුලු විවර කරල දෙනව. කිසිදෙයක් නොකියා දේවල් දිහා බලා ඉන්න සැලැස්වීමෙන් ගෘහ ජීවිතේ අපේ අත්දැකීම් එක්ක අපි චිත්‍රපටය එක්ක බැඳෙන්න පටන්ගන්නව.

අවසාන සිහිනමය මොහොත මුලු සිනමාපටයම උපරිම තැනට ගේනව. ඒක චිත්‍රපටයකින් කලාතුරකින් විඳගන්න ලැබෙන අති සියුම් ප්‍රහර්ශයක්. සමහරවිට ජීවිතේම රසබර වෙන්නෙ එක මොහොතකින් නැත්නම් දෙකකින්. ඒ තමයි මේ නමක් නැති යුවළටත් අපිටත් බොහෝ වෙලාවට පොදුවෙන ජීවිත යථාර්ථය.

ආදරයක් විවාහයක් බවට පත්වුණාට පස්සෙ ටිකෙන් ටිකෙන් වගකීම් යුතුකම් එක්ක ජීවිතේ සංකීර්ණ වෙනකොට ආදරය වෙනුවෙන් තියන ඉඩකඩ ක්‍රමයෙන් අඩුවෙනවද? නැත්නම් මේ තරඟකාරී සමාජ ක්‍රමය හමුවේ අපි ආර්ථික පීඩාවෙන් ගැලවෙන්න තරඟෙට දුවනවා මිස විඳගත හැකි සැබෑ ජීවිතය අපෙන් මගහැරෙනව ද? Labour of Love චිත්‍රපටය නැරඹුවොත් ඔය ප්‍රශ්න වලට පිළිතුරු කෙසේ වෙතත් ප්‍රශ්න දිහා වෙනත් මානයකින් අපිට බලන්න පුලුවන් වේවි.

චිත්‍රපටය බලන්න ඕන කෙනෙකුට මේකෙ බෙංගාලි නම Asha Jaoar Majhe , youtube සෙවීමෙන් චිත්‍රපටය බලන්න පුලුවන්



Babel (2006)


කිසිම න්‍යාය ධර්මයකින් ජීවිතය මුළුමනින්ම පැහැදිලි කරන්න බැහැ. අපි සතුව තියන නිර්වචනයන්, පැහැදිලිකිරීම් එක්ක අපි අල්ලාගන්න උත්සහ කරන "කුඩා කුඩා ජීවිත කොටස්" වලින් එහාට සමස්ත චිත්‍රය අසීමිතව, විශාල පරාසයක් පුරා පැතිරී තියනව.

ජීවිතයේ ඇති මේ සංකීර්ණත්වයට හේතු සාධක වෙන්නෙ සමස්තයක් විදිහට මිනිස් පැවැත්ම නොයෙක් ආකාරයට විභේදනයට ලක්වෙලා තියන හින්ද ද? මනුස්ස සත්ත්වයාට තියෙන්නෙ සාමුහික පැවැත්මක්. එකිනෙකාගෙන් වෙන්වුණු හුදෙකලා පැවැත්මක් අපිට නෑ. විශේෂයෙන්ම මේ ලෝක ව්‍යාප්ත වසංගත තත්ත්වය ඇතුලෙ අපිට ඒ කාරණාව හොඳින්ම පැහැදිලි කරගන්න පුලුවන්. නමුත් මුළු ශිෂ්ටාචාරය ඇතුලේ ආගම්, ජාතීන්, භාෂාවන් වශයෙන් තියෙන මේ බෙදීම් එකිනෙකාට ඇතිකර බලපෑම කොයිතරම් ප්‍රබල ද.

මිනිස් සංහතිය මේ විදිහට බෙදීයාම ගැන බයිබලයෙ සඳහන් වෙනව අපූරු කතාවක්. ලෝක ආරම්භයෙ පටන් සියලු මිනිසුන් එක භාෂාවක් කතා කරන එක ජාතියකට අයිති අය වුණා. ඉතින් මේ මිනිස්සු එකතුවෙලා දවසක් පොළවේ ඉඳන් ස්වර්ගයට ළංවෙන්න පුලුවන් විශාල කුළුණක් නිර්මාණය කරන්න පටන් ගත්ත. හැම දෙනෙක්ම එකම භාෂාව කතාකරන නිසා වැඩේ ගොඩක් කාර්‍යක්ෂම වුණා. දවසක් දෙවියන්වහන්සේ මේ සිදුවීම දැක්ක. මිනිසා ටිකෙන් ටික දෙවියන්ගෙ බලපරාක්‍රමයට කිට්ටුවෙන බව උන්වහන්සේ තීරණය කලා.

බයිබලයෙ උප්පත්ති පොතේ 11කොටසෙ 6 - 10 දක්වා ඉන් එහාට සිදුවීම සඳහන් වෙන්නෙ මෙහෙම.

"ස්වාමීන්වහන්සේද: බලව, ඔව්හු එක සෙනඟක්ය, ඔවුන් සියල්ලන්ට ඇත්තේ එක භාෂාවක්ය; ඔවුන් කරන්ට පටන්ගන්නා දේ මේය; ඉදින් ඔවුන් කරන්ට අදහස්කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය. යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කී සේක. මෙසේ ස්වාමීන්වහන්සේ එතැනින් මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක. 
ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට බාබෙල් එනම්, අවුල්කිරීම. නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක."

අවුල්කිරීම හෙවත් බාබෙල් නම ලැබුණ කුලුණේ කතාව එහෙමයි.

මැක්සිකානු ජාතික සිනමාකරු Alejandro González Iñárritu ගේ Babel චිත්‍රපටයට නම අරගන්නෙ ඔය බයිබල් පසුබිමෙන්.

Babel චිත්‍රපටය Iñárritu ගේ Death trialogy නම් චිත්‍රපටි ත්‍රිත්වයෙ තුන්වැන්න විදිහටයි හඳුනගන්න ලැබෙන්නෙ.

Amores Perros (2000)
21 Grams (2003)
Babel (2006)

වෙනස් රටවල් හතරක නමුත් එකිනෙකට සම්බන්ධවෙන සිදුවීම් මාලාවක් මුල් කරගෙන Babel නිර්මාණය වෙන්නෙ. 

චිත්‍රපට ඇතුලෙ දකින්න ලැබෙන ප්‍රධානම කාරණාවක් තමා භාෂාමය සහ ජාතීන් වශයෙන් වෙන්වීමෙන් මතුවන සංකීර්ණතාව. නාඳුනන සමාජීය පරිසරයක පිටස්තරයෙකු වීමට සිදුවීම.

මොරොක්කෝවේ ඇමරිකානු ජාතික යුවළ.

ඇමරිකාවේ සේවය කරන මැක්සිකානු ගෘහසේවිකාව.

මැක්සිකෝවේ ඇමරිකානු ළමුන් දෙදෙනා.

ජපානයේ ගොලු බිහිරි තරුණිය. (මෙතනදි ඇගෙ ආබාධිත බව ඇයව පුරුදු සමාජයෙ වුණත් පිටස්තරයෙකු බවට පත්කරනව)

සංස්කෘතික සහ භාෂාමය විෂමතාවන් මැද වුණත් පොදුවේ සියලු මනුෂ්‍යන්‍ අත්විඳින සංවේදනාවන් බොහෝම සංවේදීව චිත්‍රපටයෙන් මතුකරනව. 

ආදරය රැකවරණය එක්ක ජීවිතයට මග පෙන්වීමක් අපිට ඕන, කඩා වැටෙන මොහොතක අල්ලගන්න සවිමත් දෑතක් අපිට ඕන. ඒ වගේම හැම කෙනෙකුම තමන්ගේ දරුවන්ට දෙමාපියන්ට ආදරෙයි. ලෝකයෙ කොතැනත් කාට වුණත් ඒ කාරණා පොදුයි.

උද්වේගකාරී බව, කුතුහලය, ප්‍රේමණීය බව, මේ හැම දෙයක්ම Babel චිත්‍රපටය ඇතුලෙ විඳගන්න පුලුවන්. මම හිතන්නෙ කෙනෙකු ජීවිත කාලය ඇතුලෙ අනිවාර්යයෙන්ම විඳගතයුතු සිනමා අත්දැකීමක් Babel



Thursday, April 16, 2020

Just Mercy (2020)

මාව අත්අඩංගුවට ගත්ත දවසෙ මං හිතුව මට අවුලක් වෙන එකක් නෑ කියල, මොකද මම වරදක් නොකල බව දැනගෙන හිටපු නිසා.

මං එක්ක හිටපු හැම කෙනෙකුටම කතාකලාට පස්සෙ මට යන්න දෙනව ඇරෙන්න ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.

ඒත් පොලීසිය මට දිගටම මීනීමරුවෙක් කියල කතාකරන්න පටන්ගත්ත..

කවුද මිනිහෙක් මම ඒක කරන හැටි දැක්ක බවට සාක්කි දුන්න.

ප්‍රවෘත්ති වලින් මාව මිනීමරුවෙක් කලා.

උසාවිය මාව වැරදිකාරයෙක් විදිහට තීන්දු කලා.

දැන් මම ඉන්නව හිරගෙදර.

ඇත්ත තවදුරටත් පැහැදිලි වෙන්නෙ නෑ.

මුන් මට කරන දෙයක් කරයි..

ඒත් හෙට මාව පෝරකේට ගෙනිච්චත් මම යනව හිනාවෙමින්. මොකද ඇත්ත මං ගාව තියන නිසා. ඔයා මට, මගෙ පවුලේ අයට ජීවිතේ ගැන බලාපොරොත්තුවක් දුන්න. ඒක මගෙන් උදුරගන්න කාටවත් බෑ. 
..............

Green mile චිත්‍රපටය අපි බොහෝ දෙනෙක් නරඹල තියනව. කලු ජාතිකයෙක් වීම නිසා අනන්තවත් අපහාස උපහාසයන්ට ලක්වෙන මනුස්සයෙක් අපි දැක්ක. අවසානෙ කිසිම වරදක් නොකල අහිංසකයෙක් විදුලි පුටුවක වාඩි කරවල අවසන් ගමන් යන හැටි දැකල අපි ඇස්වල කඳුළු පුරව ගත්ත.

2020 ජනවාරි මාසෙ තිරගතවීම ආරම්භකරපු Just Mercy චිත්‍රපටයෙ අවසානෙ මෙහෙම දෙයක් කියවෙනව.

"ඇමරිකාව තුළ මරණීය දණ්ඩයට නියමවෙන සෑම 9 දෙනෙකුගෙන්ම එක් අයෙක් නිවැරදිකරුවෙකි"

ඒක සුලුපටු වැරැද්දක් නෙමේ. නිරපරාදේ අහිංසකයින් කීදෙනෙක් ජීවිතෙන් වන්දිගෙවල ඇත්ද? දෙමව්පියන්ට දරුවන්ට.. පවුලකට පියෙක් ස්වාමිපුරුෂයෙක් අහිමි කරල ඇත්ද? ඇයි මෙහෙම වෙන්නෙ? 

පොලීසිය ඉදිරියෙ තියෙනව විසඳාගන්න බැරි ඉතාම සංකීර්ණ අපරාධයක්. සාක්ෂි කිසිම දෙයක් නෑ. අපරාධය ඔප්පු කරගන්න හැකියාවක් නෑ. ඉතින් ඔවුන් කරන්නෙ දුප්පත් අසරණයෙක්, බොහෝ විට කලු ජාතිකයෙක් අත්අඩංගුවට අරගෙන බොරු සාක්ෂි ඉදිරිපත් කරල ඔහුව වරදකරුවෙක් බවට පත්කිරීම. ඉතින් වරදක් නොකල අහිංසකයෙක් නිරපරාදේ චෝදනා ලබනව.

ඇයි ඔවුන්ට එහෙම වෙන්නෙ? මුදලක් ගෙවල නීතිඥ සහාය ලබාගන්න තරම් හැකියාවක් ඔවුන්ට නෑ. නීතියේ දෙවඟන පියාසලන්නෙ මේ මිනිස්සුන්ගෙ ඔලුවට ඉහළින්.

මෙන්න මේ වැනි වෙලාවක තමයි Bryan Stevenson ඒ අයගෙ සහයට එන්නෙ. Bryan ඇමරිකානු නීතිඥයෙක්, සමාජ ක්‍රියාකාරිකයෙක්. මරණ දඬුවම ලැබුව නමුත් වරදක් නොකල අය සොයාගිහින් ඔවුන්ගෙ නිවැරදි බව සාක්ෂි සහිතව ඔප්පු කර ඒ අය නිදහස් කර ගැනීමයි Bryan සිදුකරන්නෙ. ඔහු මේ දේවල් කරන්නෙ ලාභ අපේක්ෂාවෙන් තොරවයි. Bryan විසින් Equal Justice Initiative ආයතනය පිහිටුවන්නෙ වාර්ගික පදනම මත සහ ආර්ථික අගහිඟකම් නිසා, වරදක් නොකර නමුත් නීතිය ඉදිරියේ චෝදනා ලැබූවන් ඉන් මුදවාගැනීම වෙනුවෙන්.

Bryan Steven, 1989 දි, සුදු ජාතික තරුණියක් ඝාතනය කිරීම වෙනුවෙන් බොරු චෝදනාවකට අසුකර සිරගත කල Walter McMillian නැත්නම් Johnny D නැමති පුද්ගලයාගෙ නිර්දෝෂී බව ඔප්පු කර ඔහු මරණ දඬුවමෙන් ගලවා ගැනීමේ සිදුවීම පදනම් කරගෙන Just Mercy චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. මුලින්ම සඳහන් කර තියන සංවාදය උපුටාගන්නෙ Just Mercy චිත්‍රපටයෙන්.

කොයිතරම් නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී විදිහට හැඳින්වුණත් ඇමරිකානු සමාජය ඇතුලෙ වර්ගවාදය බොහොම සියුම්ව ක්‍රියාත්මක වෙන හැටි මේ චිත්‍රපටයෙන් අපිට පෙන්වාදෙනව. නිදහසත්, ජීවිතය පිළිබඳ අයිතියත්, නිර්දෝෂී බව ඔප්පු කරගැනීමේ යුක්ති සහගත බවත් බොහෝවිට මිල අධිකයි. ඒ මිල ගෙවාගත නොහැකිනම් ලැබෙන ප්‍රතිඵලය කණගාටුදායකයි. Bryan Steven වැනි කෙනෙක් ගැන ගෞරවණීය හැඟීමක් ඇතිවෙන්නෙ ඒවැනි වටපිටාවක. සමාජයෙ නැති බැරි, කොන් කල පිරිසක් වෙනුවෙන් ඔහු ලබාදෙන සේවය ප්‍රශංසනීයයි. ජේසුස් වහන්සෙ කන්ද උඩ දේශනාවෙදි මෙන්න මේ සඳහන කළේ එවැනි අය ගැනයි

"සාමය ඇතිකරන්නෝ භාග්‍යවන්තයෝ ය, ඔව්හු දෙවියන්වහන්සේ ගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නෝය"



Just Mercy සිනමාපටයට පාදක වූ සැබෑම Bryan Stevenson


නිදහස ලැබූ Walter McMillian 





The Hunt (2012)

2012 අවුරුද්දෙ ඩෙන්මාර්කයේ නිර්මාණය වෙන The Hunt චිත්‍රපටය මට නම් සෑහෙන අපහසු, පීඩාකාරී සිනමා අත්දැකීමක් වුණා. ලේ වැගිරෙන බිහිසුණු දර්ශන, කුතුහලය අවුස්සන තැන් මේකෙ නැහැ. ඒත් කරුණු හරිහැටි වටහා නොගෙන එක මනුස්සයෙකුට එරෙහිව මුලු ගමක්ම නැගීහිටින හැටි බලා ඉන්න තරමක් අපහසුයි.

පෙරපාසලක ගුරුවරයෙක් විදිහට සේවය කරන ලූකස් ගතකරන්නෙ හුදෙකලා ජීවිතයක්. විවාහය බිඳවැටීමෙන් පස්සෙ ඔහුගෙ දරුවත් බිරිඳත් ජීවත්වෙන්නෙ වෙනම. පෙරපාසලේ දරුවන්ගෙ දෙමව්පියනුත් එකම ගමේ වාසය කරන අය. ලූකස්ගේ හොඳම මිතුරා වුණ තියෝ ගේ කුඩා දියණිය ක්ලාරාත් ඉගෙනගන්නෙ මෙතැනමයි. සමහර දවස් වලට ක්ලාරාව පාසලට එක්ක යන්නෙත් ලූකස් මයි. ඔහුගෙ ජීවිතය මේ විදිහට බොහොම සාමාන්‍ය ආකාරයෙන් ගලාගෙන යනව.

පුංචි ක්ලාරා ඇතුලේ ලූකස් ගැන යම් ආකර්ශණයක් ඇතිවෙන්න පටන්ගන්නව. ඈ නොයෙක් දේවල් කරමින් ඔහුගෙ අවධානය දිනාගන්න උත්සාහ කරනව. ඒත් ලූකස් මේ දේවල් ගණන්ගන්නෙ නෑ. ඒ හින්ද ක්ලාරාට ඔහු ගැන නොරිස්සුමක් ඇතිවෙනව. ලූකස් ගේ ලිංගික අවයවය තමන්ට පෙන්වන්න උත්සහ කල බව ක්ලාරා පෙරපාසලේ පාලිකාවට කියනව. ක්ලාරාගෙ අරමුණ, තමාව ගණන්නොගත් ලූකස්ව අපහසුතාවට පත්කිරීම. 

ක්ලාරාගෙ විස්තරය අහන පෙරපාසල් පාලිකාව කලබලවෙනව. ඇය අනෙක් ගුරුවරුන්ටත් මේ ගැන කියනව. ලූකස්ව රැකියාවෙන් නෙරපනව. තමන් මේ කිසි දෙයක් නොකල බව ඔහු කිව්වත් කිසි කෙනෙක් ඔහුව විශ්වාස කරන්නෙ නෑ. 

ලූකස් ගැන කාරණය පෙරපාසලේ දෙමව්පියන් ගෙන් මුලු නගරයටම පැතිරෙනව. බාල වයසේ ඉඳන් ළඟින් හිටි හොඳම මිතුරාටත් ඔහුව විශ්වාස නෑ. ලූකස්ට ඇතිවෙන්නෙ පාරක බැහැල යන්න බැරිවෙන තත්ත්වයක්. අසහනකාරයෙක්, ළමා අපචාරකයෙක් විදිහට ඔහුගෙ නම ප්‍රසිද්ධ වෙලා ඉවරයි. ගමේ වෙළඳසැලට ඔහුව වැද්දගන්නෙ නෑ. ඔහුට සිද්දවෙන්නෙ මිනිස්සුන්ගෙන් ගුටිකාල ලේ පෙරාගෙන ගෙදර එන්න.

තමන් කිව්වෙ ඇත්තක් නොවෙන බවත් ලූකස් එවැනි දෙයක් නොකල බවත් ක්ලාරා කියන්න පටන්ගන්නව. ඒත් දැන් තත්ත්වය නරක අතට හැරිල ඉවරයි.

The Hunt ( ඩෙන්මාර්ක් භාෂාවෙන් Jugten) අද්‍යක්ෂණය කරන්නෙ ඩෙන්මාර්ක් සිනමාකරුවෙක් වුණ Thomas Vinterberg. ලූකස් ගේ චරිතය නිරූපණය කල Mads Mikkelsen, 2012 කාන්ස් සිනමා සම්මාන උළලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගන්න සමත්වෙනව. ඒ වගේම The Hunt, 2013 ඔස්කා සම්මාන උළලේදි හොඳම විදෙස් භාෂා චිත්‍රපටයක් විදිහට නාමයෝජනා ලබනව. මේ චිත්‍රපටය ලෝකය පුරා විචාරකයන්, ප්‍රේක්ෂක‍යන් අතින් ඇගයීමට ලක්වී තිබෙනව.

The Hunt චිත්‍රපටයෙ අවසානය විවෘත එකක්. නිර්මාණකරුවන් ඒ ගැන නිශ්චිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්නෙ නෑ. නරඹන්නා විසින්ම එය පැහැදිලි කරගත යුතු බවයි ඔවුන් කියන්නෙ. අන්තර්ජාලය පිරික්සලා බැලුවොත් චිත්‍රපටයෙ අවසානය ගැන නොයෙක් ආකාරයෙ අර්ථදැක්වීම් හොයාගන්න පුලුවන්. 

හොඳම දේ තමා මගහැර නොගතයුතු මේ චිත්‍රපටය නරඹල ඔබව ඒ අවසානය තීරණය කරීම.



Trance (2020)

අපි අතරෙ පවතින බොහෝමයක් ආගම් ලෝකයට බිහිවෙන්නෙ අනාදිමත් කාලයකට කලින්. ඒවා හඳුන්වාදුන්න ශාස්තෘවරු, යම් කලාපයක මිනිස්සු පුරුදු පුහුණු වී හිටපු ජීවන රටාව ආශ්‍රයෙන්, ආචාර ධර්ම සුරැකෙන වඩා යහපත් ජීවිත ක්‍රමයක් ඔවුන්ට හඳුන්වාදීමෙ අරමුණෙන් මේ දේවල් දේශනා කල බව අපිට හිතන්න පුලුවන්. ක්‍රමයෙන් මහ විශාල පිරිසක් එකතු කර ගතහැකි බලවේගයක් බවට ආගම පත් වුණා. මෙයින් ප්‍රයෝජන ගත්තෙ රජවරු, අධිරාජ්‍යවරු, පාලකයො. ආයතනක්, ක්‍රමානුකූල සභාවක් විදිහට පරිණාමනය වුණු ආගමත් දේශපාලනයත් අතරෙ මේ පයුරුපාසානම බොහොම පැරණි එකක්.

සෑහෙන පිරිසක් ආකර්ශණය කරගතහැකි ආගමේ මේ මැජික්කාර ස්වභාවය තේරුම් ගත්ට තව පිරිසක් ඉන්නව. මුදල මුල් කරගත්ත වෙළඳපළ ආර්ථික ක්‍රමයකට මිනිස් සමාජය පරිණාමය වෙද්දි "ආගම" ඉතාම හොඳින් විකුණාගතහැකි වස්තුවක් බව මේ අද දකිනව. මිනිස්සුන් ගෙ ඇදහිලි විශ්වාස තමන්ගෙ අරමුණු වෙනුවෙන් හරියට පාවිච්චි කරන විදිහ අල්ල ගන්නව කියන්නෙ හරියට හතර මහා නිධානය පහළ කරගත්තා වගේ තමා. 2020 අවුරුද්දෙ තිරගතවෙන Trance නම් මලයාලම් සිනමාපටයෙ මූලිකවම කතා කරන්නෙ මෙන්න මේ කාරණය ගැන.

විජූ ප්‍රසාද් ජීවිතේ දාහක් අගහිඟකම් එක්ක කොහොම හරි ගොඩයන්න උත්සහ කරන ධෛර්යයවන්ත තරුණයෙක්. අවන්හලක පොඩි රස්සාවක් කරන ගමන් එයා ධනාත්මක චින්තකයෙක් විදිහට දේශනා තියමින්, පන්ති පවත්වමින් අමතර මුදලක් හොයාගන්නව. මොනතරම් අනුන්ට ධනාත්මක චින්තන දේශනා දුන්නත් විජූ ප්‍රසාද් තමන්ගෙම ජීවිතය ඇතුලෙ ඉන්නෙ කඩා වැටීමක. හැමදාම එකම තැන කැරකෙන මේ ජීවිත රටාවෙන් එහාට යන්නෙ කොහොමද, දියුණුවක් ලබාගන්නෙ කොහොමද කියල ඔහු ඉන්නෙ දහඅතේ කල්පනා කරමින්. සොලමන් ඩේවිස් සහ ඉසාක් තෝමස් නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට විජූ ප්‍රසාද් මුණගැහෙන්නෙ එතනදි. ඔවුන් දෙදෙනාගෙ අලුත්ම ව්‍යාපාරික සැලැස්ම ඉදිරියට ගෙනයාහැකි පුද්ගලයා විදිහට ඔවුන් තෝරාගන්නෙ විජූ ප්‍රසාද්. ජීවිතේ ගොඩයෑමක් ගැන කල්පනා කරමින් හිටපු ප්‍රසාද් මේ ලැබුණ අගනා අවස්ථාව බාරගන්න තීරණේ කරනව.

එතන ඉඳන් විජූ ප්‍රසාද් මාස හයක පුහුණු වැඩසටහනකට යොමු කරනව. බයිබල් පාඨ කටපාඩම් වෙනතුරු බයිබලය ගැන ඔහුට හොඳ දැනුමක් ලබා දෙනව. මේ විදිහට මාස හයක පුහුණුවක් අවසානෙ විජූ ප්‍රසාද් කියන දුප්පත්, ග්‍රාම්‍ය තරුණයා මියගිහින් ඔහු නැවත "පාස්ටර් ජෝෂුවා කාල්ටන්" විදිහට උත්ථානය ලබනව.

සොලමන් සහ තෝමස් ගේ ව්‍යාපාරය "ග්ලෝරියස් චර්ච්" නම් ආයතනය. එය ක්‍රියාත්මක වෙන්නෙ පාස්‍ටර් ජෝෂුවා හරහා. ජෝෂුවා මහා පරිමාණ සුව මෙහෙයන් වලට පෙනී ඉන්නව. ඒවට බැතිමත්තු සහභාගි වෙන්නෙ දහස් ගණනින්. ඒවයෙදි කොරුන් ඇවිද්දනව, ඇස් නොපෙනෙන්නන් පෙනීම ලබනව, නොයෙක් රෝගාබාධ ඇති අය ප්‍රසිද්ධියේ සුවය ලබනව. නමුත් මේ හැම දෙයක්ම කලින් සැලසුම් කල දේවල්. මේක තමයි ඔවුන්ගේ ව්‍යාපාරික උපක්‍රමය. ඇස් ගිනිකණවට්ටන වේදිකා ආලෝක කරණය, පාස්ටර් ගේ මොරාල් වඩවන දේශනා, මනරම් සංගීතය මිනිස්සු ඇදි එන්නෙ මේ දේවල් වලට. ටිකෙන් ටික බැතිමත්තු පල්ලියට අධාර දෙන්න පටන් ගන්නව. සමහරු ලක්ෂ ගණනින් මුදල් ආධාර දෙනව. පල්ලියෙන් සුවකිරීමේ බලය ඇති ශුද්ධවූ තෛල විකුණනව. මිනිස්සු ඒව ගන්නෙ පොරකකා. ටිකෙන් ටික සොලමන් ගෙත් තෝමස් ගෙත් සාක්කු පිරෙනව. පාස්ටර් ගේ ජීවිතය සැපවත් වෙන්නෙත් ඒ මුදලින්.

ඉතින් පාස්ටර් ජෝෂුවා ටත් ග්ලෝරියස් චර්ච් ආයතනයටත් වෙන්නෙ මොකක් ද?

Trance, කලින් උස්තාද් හොටෙල් චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ආකර්ෂනය දිනාගත්ත අන්වර් රෂීඩ් ගේ සිනමා නිර්මාණයක්. නමුත් අපි සාමාන්‍යයෙන් මලයාලි චිත්‍රපට වල දකින සහ අපි අපේක්ෂා කරන අනුපානයන් මේ චිත්‍රපටයෙ ඇතුලත් නොවෙන තරම්. මුල් කොටසෙදි, විජූ ප්‍රසාද් ගේ යාන්තම් එදා වේල පිරිමහගන්න, මදුරුවො කකා රෑට නිදාගන්න කටුක ජීවිතය නිරූපණය කරද්දි මලයලි සිනමාවේ යථාර්ථවාදී රිද්මය අපිට දැනෙනව. නමුත් විජූ ප්‍රසාද් පාස්ටර් ජෝෂුවා බවට රූපාන්තරණය වීමෙන් පස්සෙ Trance චිත්‍රපටය අර මලයාලි අනන්‍යතාවයෙන් මිදිල හින්දි, දමිළ සිනමාවෙ වර්ණයන් පෙන්වන්න පටන්ගන්නව. නමුත් ඒක චිත්‍රපටය විසින් ඉල්ලා සිටින තත්ත්වයක් මිස බලෙන් එබ්බවූ දෙයක් විදිහට දැනෙන්නෙ නෑ. ඉන්පස්සෙ Trance නමටම ගැළපෙන මැජික්කාර රූප පෙළහරක් අපි දකින්නෙ.

Trance ගැන කතාකරද්දි කොහෙත්ම මඟහැරයන්න බැරි කාරණයක් තමයි. විජූ ප්‍රසාද් සහ පාස්ටර් ජෝෂුවා චරිත නිරූපණය කරන සුප්‍රසිද්ධ මලයාලම් නළුවෙක් වුණ Fahadh Faasil ගෙ රංගනය. අපි හොඳින්ම දන්න විදිහට මලයාලි සිනමාව සුපිරි තරු මත රඳාපවතින්නක් නොවෙයි. උදාහරණයක් විදිහට මහේෂාන්ති ප්‍රතිකාරම් චිත්‍රපටයෙ අපි දකින්නෙ ෆාහාඩ් කෙනෙක්ව නොවෙයි මහේෂ් ව. Trance චිත්‍රපටයෙ ත් අපිට ෆාහාඩ් කෙනෙක්ව දකින්න ලැබෙන්නෙ නෑ. යාන්තම් උගත් ගැමි තරුණයෙක් වුණු විජූ ප්‍රසාද් කෙනෙකුවත් ඉන්පස්සෙ සුඛෝපභෝගී ජීවිතයකට හුරුවෙච්ච පාස්ටර් ජෝෂුවා කෙනෙකුත් තමයි අපි දකින්නෙ. මේ රඟපෑමක් කියල නොහිතෙන තරමටම ඒ චරිතයට අවශ්‍ය ජීව ගුණය ඔහු ලබා දෙනව. වැඩි දෙනා කතාබහ නොකළත් Fahadh Faasil මේ මොහොතෙ ඉන්දියානු සිනමාවෙ විශිෂ්ටතම චරිතාංග නලුවෙක් බව ඔප්පු කර පෙන්වා තිබෙනව.

Trance කියන්නෙ ඍජුවම ආගම විවේචනය කරන හෝ මිත්‍යාවන්ට පහරගසන චිත්‍රපටයක් විදිහට හඳුනාගන්න බැහැ. ඉන් එහා වින්දනාත්මක තලයකට ඔසවා තැබෙන ගමන් ආගම මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත්කරගත්ත පුද්ගලයන්ගෙ කපටි වංචනික ස්වභාවය පෙන්වා දෙන චිත්‍රපටයක් බව කිවහැකියි. මේ චිත්‍රපටයෙ නැති දෙයක් නැති තරම්. මුල් භාගයෙ නාට්‍යමය ස්වභාවයත්, ඉන් පස්සෙ හාස්‍ය, කුතුහලය, ක්‍රියාදාමයන්, ප්‍රේමය මේ හැමදෙයක්ම මේකෙ ඇතුළත්. ගමෙන් පැමිණෙන උත්සහවන්ත තරුණයා ධනේශ්වර පැළැන්තියෙ අතකොලුවක් බවට පත්වන ආකාරය වෙලාවකට කූඹියෝ කතාවේ ජෙහාන් සහ ප්‍රියන්ත මහඋල්පතගම නැත්නම් බ්‍රේකින් බෑඩ් වල වෝල්ටර් වයිට් සහ ජෙසී පින්ක්මන් සිහි ගන්වනව. කොහොම වුණත් Trance මලයාලි සිනමාවෙ ඉදිගාමී පිම්මක් විදිහට නම් කෙරුවත් වරදක් නෑ. මොකද මලයාලි චිත්‍රපට වල අපිට පුරුදු යථාර්ථවාදී කතාවක් එක්ක වෙනස්ම තලයක ඉන්ද්‍රජාලික මොහොතක් ඒ තුළින් මැවෙන හින්ද. කැමරාව භාවිතයෙන් ඒ කරන ගොඩනැංවීම ඉතාම ඉහළයි. මේ අවුරුද්දෙ මලයාලි චිත්‍රපටයකින් ලැබුණු ඉතාම හොඳ සිනමා අත්දැකීමක් Trance.



Tuesday, April 7, 2020

Rashomon (1950)


"තමන් ගැනම කල්පනා කරනකොට... කිසිම කෙනෙක් අවංක වෙන්නෙ නැහැ. ඇත්තම ස්වභාවය ටිකක් වෙනස් නොකර තමන් ගැන කතාකරන්න කිසිකෙනෙකුට බැහැ"

එහෙම කියන්නෙ ජපානයෙ මහා සිනමාකරු අකිරා කුරසාවා තමන්ගෙම ස්වයං චරිතාපදානයේ දි. කුරසාවාගේ ම රෂොමොන් චිත්‍රපටයෙත් තියෙන්නෙ මෙන්න මේ වගේ කතාවක්. එකම සිදුවීමක් ගැන හතර දෙනෙක් විස්තර කරන්නෙ හතර ආකාරයට. එතකොට ඇත්ත මොකක් ද?

යම් සිදුවීමක් විස්තර කරනකොට, ඒ ගැන අපේ අදහස, නැත්නම් ඒ සිදුවීම මට දැනෙන්නෙ කොහොමද කියන මගේ දැක්ම (Point of view) ඉදිරිපත් කිරීමයි දැන හෝ නොදැන අපිත් කරන්නෙ. ලෝකය පුරාම තියෙන්නෙ මෙහෙම එකම දෙයක් ගැන විසිරිච්ච Point of view ගොඩක්. හිතන්න, කෙනෙක් නිතරම යම් දෙයක් විස්තර කරන්නෙ තමන්ව සාධාරණීකරනය කර ගනිමින්. "මට අනුව මම හරි".. ඒක තමා මූලික නියමය. වෙනත් පුද්ගලයෙක් කරන්නෙත් ඒකමයි. ඒ අයට අනුව ඒ අයව සාධාරණීකරනය කිරීම. හැම කෙනෙක්ම තමන්ට අනුව හරි. මේක තමා ලෝකෙ තියන ලොකුම ගැටලුව. සත්‍යයන් ගණනාවක් පැවතීම.

කැලෑවක සිද්දවෙන ස්ත්‍රී දූෂණයක් සහ මිනීමැරුමක්. ස්ත්‍රීයක්, ඇගේ ස්වාමිපුරුෂයා, හොරෙක් සහ හැම දෙයම බලා උන් බව කියන දර කපන්නෙක්. වෙච්ච සිදුවීම ගැන මේ හතරදෙනා කියන්නෙ කතන්දර හතරක්. ඒ කතා හතරම ඇත්ත වගේම කතා හතරම බොරු. හතරදෙනාම තමන් අතින් එකතුකරන කොටසක් සහ හිතාමතා මඟඅරින කොටසක් තියනව. ඒ හැම දෙයක්ම තීරණය වෙන්නෙ පුද්ගල අවශ්‍යතාව අනුව. තමන් කළ දේ මොකක් වුණත් ඊට සාධාරණ හේතු ඇති පෙන්වා දෙන්න. මෙතනදි ඇත්තටම වුණේ මොකක්ද කියන දෙයට වඩා "ඇත්ත" විවිධාකාර ස්වරූපවලින් පෙනී ඉන්න පුලුවන් බවත් එහෙම වෙන්නෙ ඇයි කියන කාරණාවත් වටහගන්නව.

රෂොමොන් චිත්‍රපටයෙදි, චරිත වල මුහුණෙන් මතු වන හැඟීම් වඩා සමීප රූප රාමු වලට අල්ල ගනිමින්, ඒ ඒ අවස්ථාවල ඔවුන්ගේ මනෝභාවයන් විශිෂ්ට අන්දමෙන් නිරූපණය කර තිබෙනව. දෙබස් වලට වඩා බරක් මේ හැඟීම් ප්‍රකාශනයන්ට වෙන් කර ඇති බවයි කුරොසාවා කියා තිබෙන්නෙ. මොකද සිනමාවෙ මුල් යුගයෙ නිහඬ චිත්‍රපට බිහිවුණ කාලයෙ වචනෙන් තොර ඉංගිතයන් හරහායි ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටයකින් ඉදිරිපත් වෙන යම් දෙයක් සන්නිවේදනය වුණේ. දෙබස් සහිත චිත්‍රපට බිහිවීමත් එක්ක මේ නිර්වාචික ප්‍රකාශනයන් සිනමාව ඇතුලෙ තරමක් අවප්‍රමාණය වුණු බව සමහර විචාරකයන් කියනව. වචන භාවිතා කලත් කුරසාවා මිනිස් මුහුණෙ සමීප රූපයට කැමරාව යොමු කිරීමෙන් වඩා ප්‍රබල ප්‍රකාශනයක් ගොඩනංවන්න සමත්වෙනව.

රඟපෑම්, සංගීතය, කැමරාව මෙහෙයවීම මේ හැම අතින්ම රෂොමොන් විශිෂ්ටතම සිනමා කෘතියක් බව නිසැකවම කිවහැකියි.





Samsara (2011)


Samsara නමින් හැඳින්වෙන සංස්කෘත පදයෙන් අර්ථවත් වෙන්නෙ "ජීවිතයේ නොනවතින පැවැත්ම" "Contineus flow of life". ඉන්දියාවේ මුල් කරගෙන බිහිවෙන හින්දු දහම "ජීවිතය, මරණය නැවත ඉපදීම" කියන මේ නොනවතින චක්‍රය සංසාරය විදිහට හඳුන්වාදුන්න. බුදුන් වහන්සේ ඉන් එහාට ගිහින් සංසාරය නම් "චිත්ත පරම්පරාවන්ගේ අඛණ්ඩ පැවැත්ම" විදිහට වඩාත් ගැඹුරින් පැහැදිලි කර දෙනව. 

අනන්ත අප්‍රමාණ වුණ ලෝක සත්ත්වයා ජාති, ජරා, මරණ ව්‍යාධීන්ගෙන් පෙළෙමින්, "මෝහය" හෙවත් "සත්‍ය නිවැරදිව අවබෝධ කරනොගැනීම" හේතුකරගෙන "සංසාරය" නමින් හඳුන්වන මේ නොනවතින විෂම චක්‍රයේ "තෘෂ්ණාවෙන්" ඇලී ගැලී ඉන්නා බව බුදු දහමෙන් විස්තර කරනව.

Ron Fricke ගේ Samsara චිත්‍රපටය ලෝකයෙ රටවල් 25 ක අවුරුදු 5 ක් පුරා රූගත කල එකක්. විවිධාකාර රටවල නොයෙක් මිනිසුන්ගෙ ජීවිත පැවැත්මවල් Samsara චිත්‍රපටයෙන් නිරූපණය කරනව. 

කම්හල් වල යන්ත්‍ර වලට සමානව වැඩ කරන මිනිස්සු.

කුණු කසල පිරුණු මුඩුක්කු වල අටවාගත් ලෑලි ගෙවල් වල ජීවිතය ගෙවන මිනිස්සු.

මාංශය වෙනුවෙන් මරාදමන්න සූදානම් කරන සත්තු.

රාගය වඩවන ආකාරයට ශරීරය නිරාවරණය කරමින් රංගනයේ යෙදෙන නිරූපිකාවන්.

කන් පෙති ඉරා ගත් මුහුණු පාට කරගත් ගෝත්‍රිකයින්.

අහස උසට ගොඩනැගුණු ආගමික සිද්ධස්ථාන, ඒ වටා පොදිකන බැතිමත්තු.

නියොන් එළි දිළිසෙන, ගොඩනැගිලි පිරිවරාගත්ත නගර, අධිවේගී මාවත්.

දුම්රියේ වැඩට යන එන මිනිස්සු..

Samsara සිනමාපටයෙ අපි දකින්න ලැබෙන්නෙ මේ දේවල්.

නිශ්චිත කතාපුවතකින්, දෙබස් වලින්, නළුනිලියන් ගෙන් තොර වුණ Samsara තනිකරම රූපය සහ සංගීතය මත රඳාපවතින්නක්. නමුත් Samsara චිත්‍රපටයෙන් කියවෙන්නෙ මෙන්න මේ දේ කියල නිශ්චිතව ඇඟිල්ල දික්කරල පෙන්වා දෙන්න අපහසුයි.

කෙනෙකුට ඒක ලෝකයෙ රටවල් ගැන වාර්තා චිත්‍රපටයක් වෙන්න පුලුවන්. විවිධ සංස්කෘතීන්ට අයත් මිනිස්සුන් ගැන යම් අවබෝධයක් ලබා දෙන රූප පෙළක් පුලුවන්. කෙනෙකුට ඒ සංසාරයේ දුක් සහිත බියකරු බව පැහැදිලි කරන භාවනාමය අත්දැකීමක් වෙන්නත් පුලුවන්. මං හිතන්නෙ Samsara ඔය හැම අතටම කියවාගත හැකියි. 

අපි හැමටම දකින්නෙ ලෝකයෙ අපිටම සීමා වුණ එක්තරා කලාපයක් පමණයි. Samsara ලෝකය පුරා ඇවිද ගිහින් අපිට දකින්න නොලැබෙන තැන් නිරාවරණය කරල එක රූපාවලියක් විදිහට පෙළ ගස්වල මිනිස් පැවැත්ම දිහා ඉවසීමෙන් බලා ඉන්න යොමු කරනව. Samsara කෙනෙකුට ජීවිතේ දැකගන්න ලැබෙන අතිශය දුර්ලභ ගණයේ සිනමා අත්දැකීමක් වෙන්නෙ ඒ නිසා.



Android Kunjappan Version 5.25 (2019)


සිනමාව උපදින්නෙත් කලා මාධ්‍යක් විදිහට හැදී වැඩෙන්නෙත් බටහිර රටවල. ඒ හින්ද සිනමාව ගැන සම්මත න්‍යාය ධර්ම බොහෝමයක් බටහිර මුල් කරගෙන ගොඩනැගුණු ඒව. නමුත් ඉන්දියානු කලාපය තමන්‍ටම අනන්‍ය වුණු සෞන්දර්යක් එක්ක වෙනම සිනමා කලාවක් බිහිකරනව. ඉන්දියානු කෑමත් ඒ වගේ නෙ. තුන පහ රසකාරක වැඩියි. ගොඩක් වෙලාවට ඉන්දියානු සිනමාව ගුණාත්මක භාවයෙන් හීන බවට චෝදනාවට ලක් වෙන්නෙත් මේ පමණට වැඩි මසාලා ගතිය නිසා.

නමුත් ඉන්දියාවේ ම කේරළය අපි දන්න විදිහට කිව්වොත් මලයාලි සිනමාව ගුණාත්මක සහ යථාර්ථවාදී බව අතින් සෑහෙන ඉදිරියට එන්න සමත්වෙලා තියනව. 

මලයාලි සිනමාපට වල විශේෂම කාරණය අපි ඒවයෙ දකින්නෙ බස් එකේ දි, කෝච්චියෙ දි, කඩේ, පොලේ, පාරෙ දකින සාමාන්‍ය මනුස්සයගේ රූපයමයි. සුපිරි තරු වල දිස්නය ඒවට වැටෙන්නෑ, සුපිරි තරු මත ඒ චිත්‍රපට රඳාපවතින්නෙ නෑ. 

අනෙත් කාරණය ඒ කතා ගොඩනැගෙන්නෙ බොහෝම පොඩි සිදුවීම් මුල් කරගෙන. ඒව එදිනෙදා ජීවිතේ දි අපිටම අත්දකින්න ලැබෙන දේවල්. නමුත් ඒ පොඩි දේවල් වල අපි නොහිතනම පැත්තක් අරගෙන විස්මයජනක කතාවක් ගොඩනගන්න මේ මලයාලි සිනමාකරුවන්ට තියෙන්නෙ පුදුම දක්ෂකමක්. 

ඒ හැම දේකම පසුබිමෙන් මැවෙන කේරළේ සොබාවික සෞන්දර්යය, උළු හෙවිල්ලපු පරණතාලෙ ගෙවල්, කොළපාට තුරු වියනෙන් හෙවණ වුණ මංමාවත්, කඩොලාන වැවුණ ගංගාවල් අපිව තවත් මේ චිත්‍රපට වලට ඇදබැඳ තබාගන්නව.

2019 අවුරුද්දෙ තිරගත වුණ "ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන්" කියන්නෙ , මනුස්ස බැඳීම් ඇතුලට, අපි අතරෙ මුල් බැහැගෙන තියන මේ "ඇන්ඩ්‍රොයිඩ්" සාධකය එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන්, සමාජ මාධ්‍ය වගේ දේවල් කොයිතරම් බලපෑමක් කරල තියනවද කියල බොහෝම අපූරුවට පෙන්වා දෙන මලයාලි චිත්‍රපටයක්. අපි සමාජයෙ ඉහළ මුදුන්වලට යන්න සමත් වුණත් ඒ අපි අතරේ ඇති මේ ආදරණීයබව කැටිවුණ මනුෂ්‍ය බැඳීම් පාගා දමමින් නම් ඒ ජීවිතය කොයිතරම් හිස් ද කියල "ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන්" කියා දෙනව.

මොකද "තාක්ෂණයට" ආදේශක තිබුණත් "මනුෂ්‍යත්වයට" ආදේශක කොහේවත් නැති නිසා..

පුලුවන් හැමකෙනෙක්ම මේ චිත්‍රපටය හොයාගෙන බලන්න.



Tree of Life (2011)


බයිබලයෙ එක තැනක දෙවියන් වහන්සෙ ජෝබ් ට කතාකරනව.

"මා මහ පොළොවේ පදනම් දමන විට නුඹ කොතැන සිටියෙහි ද?
එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද?"

(ජෝබ් 38: 5 - 4)

අපේ ජීවිත වලත් මේ ලෝකයෙත් සිදුවන සමහර දේවල් ඇයි එහෙම වෙන්නෙ කියන්න අපිට නිවැරදිව පැහැදිලි කරගන්න බැහැ. ජෝබ් ඉතාම යහපත් ජීවිතයක් ගත කල මනුෂ්‍යයෙක්. නමුත් එක මොහොතකින් ඔහු සතු හැම දෙයක්ම අහිමි වෙනව. 

"ධර්මිෂ්ට අය පිට පවා අවාසනාවන්ත බව පැමිණෙන්නේ ය."

අපි ගතකරන ජීවිතයෙත් ඉන් ලෝකයෙත් සිදුවෙන සංසිද්ධීන් එක තනි න්‍යාය ධර්මයකින් අල්ලගන්න බැරි තරම් සංකීර්ණයි. ව්‍යාකූලයි. නමුත් විශ්වය ආරම්භය පටන් මේ වෙනතුරු හැමදෙයක්ම පැවත ආව. අදටත් ඒ දේවල් පවතිනව. බිඳවැටෙමින් යලිත් ගොඩනැගෙමින් කාලයේ ගංගාව දිගේ පැවැත්මේ මේ ධාරාව මොහොතක් පාසාම නිරන්තර ගමනක යෙදෙනව.

ඉතින් අවසනාවන්ත බව, බලාපොරොත්තු කඩවීම අපි මත කඩා වැටෙනකොට "ඇයි අපිටම මෙහෙම වෙන්නෙ කියල අපි අපෙන්ම අහනව". උත්තර නැති ප්‍රශ්න ගොඩක් එක්ක අපි ජීවිතේ අරගෙන අනාගතයට පියමනිනව.

හොලිවුඩයේ විශිෂ්ට සිනමාකරු Terrance Malik ගේ Tree of life චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ජෝබ් ගේ පොතේ අර සඳහන් කල උපුටනය දක්වමින්. 

ළමාවියේ ඉඳන් ඉතාම සමීපව කාලය ගෙවූ සහෝදරයන් දෙදෙනෙකුත් ඔවුන්ගේ දෙමව්පියනුත් සම්බන්ධ කතාපුවතක් Tree of life. එක් සහෝදරයෙක් අකාලයෙ මියැදෙනව. අනෙක් සහෝදරයා ජීවිතේ එක් අගිස්සක ඉඳන් මේ අහිමි වුණ සහෝදරයා ගැන ළමාවියේ ආදරණීය මතකයන් දෙමව්පියන් ගෙන් විශේෂයෙන් පියාගෙන් ජීවිතයට ලැබුණ බලපෑම නැවත ආවර්ජනා කිරීමක් Tree of life චිත්‍රපටයෙ දැක්වෙන්නෙ. 

Bradd Pitt, Jessica Christine, Sean Penn රංගනයෙන් දායක වෙනව. 

ඉතාම ලස්සන රූපරාමු එක්ක, මන්දගාමී ස්වරූපයෙන් ගලායන, ඉවසිල්ලෙන් නරඹන්න ඕන චිත්‍රපටයක් Tree of life.



Lootera (2013)


කොයිතරම් ලඟින් හිටියත් අපිට කවදාවත් බැහැ තවකෙනෙකුගේ ඇතුළාන්තය කොයි වගේද කියල හරියටම දැනගන්න..

නමුත් අපි අනුමාන කරනව ඒ දේවල් එහෙම අනෙක් පුද්ගලය ලඟත් පවතින බව.... ඒකට කියන්නෙ විශ්වාසය..

මේ විශ්වාසවන්ත බව බිඳවැටුණට පස්සෙ නැවත ඇති කරන්න ලේසි නෑ.. 

කෙනෙකුට නොහිතනම විදිහට දෙවනි අවස්තාවක් ලැබෙන්න පුලුවන්. හරියට වරුණ් ට වගේ... දෙවනි වතාවෙ ඇයව හැරයන ඔහු ආයෙත් එනව ඒත් ඇයි..?

පාකි.. ඇය හුදෙකලාව මිය යමින් ඉන්න නිසාද..

ඇයත් සමග ගතකල කාලය ඒ මතකය ඔහුව රිදවූව ද..

වරුණ් සහ පාකි අතර යමක් තිබුණ නම් ඒ ආදරයමයි කියල මම කිව්වොත් මං හිතන්නෙ නෑ ඒ හඳුන්වාදීම වැරදියි කියල..

Lootera .. ඉතාම සුන්දර සිනමා නිර්මාණයක් 

කෙටියෙන් ම කිව්වොත් ඒක කවියක්.



Following (1998)


"හොඳයි..මොකක්ද සිද්දවුණේ කියල මම පැහැදිලි කරන්නම්.. ටික කාලෙක ඉඳන් මම හිටියෙ තනියම, ..පාලුව...හුදෙකලාව.. මට වදදෙන්න වුණා. මට කරන්න කියල කිසිම දෙයක් තිබුණෙ නෑ. ඊට පස්සෙයි මම මිනිස්සු ලුහුබැඳයන්න පටන්ගත්තෙ.."

"මිනිස්සු ලුහුබඳින්න?"

"ඔව් මම කාටවත් නොදැනි රහසෙන් ඒ අය පිටුපස්සෙන් යන්න පටන් ගත්ත"

"කවුරු පිටිපස්සෙන් ද?"

"මට මුණගැහෙන ඕනෑම කෙනෙක්..ඒක තමා මෙතන මූලික අරමුණ.. මට අහම්බෙන් මුණගැහෙන කෙනෙක්.. මාව අඳුනන්නෙ නැති කෙනෙක්.."

"ඉන්පස්සෙ?"

"ඉන්පස්සෙ.. එච්චරයි"

"එච්චරයි ?"

"ඔව් එච්චරයි .. මම ඒ අය කරන්නෙ මොනවද. යන්නෙ කොහෙද කියල බලාගෙන ඉන්නව."

"ඔයා ගැහැණු අයත් ලුහුබැඳ ගියා ද?"

"නැහැ.. එහෙම විශේෂයක් නැහැ.. මම ඕනෑම කෙනෙක් පිටිපස්සෙන් ගියා"

"ඔයා කවුද . මොකක් හරි රහස් නියෝජිතයෙක් ද?"

"නැහැ මම ලේඛකයෙක්.. හරියටම කිව්වොත් ලේඛකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්.. මං ලියන්න කරුණු හොයාගෙනයි ගියේ.. ඒත් මට මගේම නීති වගයක් තිබුණ මං ඒව පිළිපැද්ද.. මම මගේ ලුහුබැඳීම සම්පූර්ණ අහම්බයක් වෙන්නත් .. දිගින් දිගටම එකම කෙනෙක් ලුහුබැඳීම නොකර ඉන්නත් වගබලාගත්ත.. ඒත් දවසක් මට ඒ දේ කරන්න බැරි වුණා... අන්න එතනින් පස්සෙ තමයි හැමදෙයක්ම වරදින්න පටන්ගත්තෙ... "
.............................

Following (1998) හොලිවුඩයේ සුප්‍රසිද්ධ සිනමාකරු Christopher Nolan ගේ පළමුවන චිත්‍රපටය. රැකියාවක් වත් කරන්න වැඩකටයුත්තක් වත් නැතිව ලේඛකයකු වීමේ අරමුණෙන් අනෙක් මිනිසුන් ලුහුබැඳ යන තරුණයෙක් වටා ගොඩනැගුණු කතාවක් Following. එක දවසක් තරමක් අමුතු ආකාරයෙ මිනිසෙක් මුණගැහීමත් ඉන්පස්සෙ ඔහුගේ නිදහසේ පාව ගිය ජීවිතය වෙනස්ම මඟකට යොමුවන ආකාරයත්, සරල රේඛීය නොවෙන, අතීතය වර්තමානය වෙන්වුණ රූප රාමු එකෙනෙක පෙළගැස්වීමෙන් පෙන්වා දෙනව. සීමිත චරිත ගණනක් ඇතුලත් Following චිත්‍රපටය දොස්තොව්ස්කි, හෙමිංවේ නැත්නම් ඕ හෙන්රි වැනි ලේඛකයකු ගෙ කෙටිකතාවක් කියෙව්වා හා සමාන අත්දැකීමක් ලබා දෙනව.

ලේඛකයා ගෙ නිවසේ Bat man සළකුණ Christopher Nolan දවසක බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයක් නිමවන බවට කලින් කියාපෑමක් ද? නැත්නම් Cobb චරිතයත් Nolan ගේ ම Inception චිත්‍රපටයෙ Dom Cobb අතරත් සම්න්ධයක් තියනව ද? මේවට උත්තර කොහොම ලැබුණත් හිතාබලන්න අපූරු කාරණ කීපයක් ...




The Sky is pink (2019)


අපේ ජීවිත කාලය බොහෝම සීමාසහිත එකක්. සමහරු නියමිත මුළු කාලයම ගෙවා නිම කරන්න සමත් වුණත් සමහරුන්ට සිද්දවෙනව ඉක්මණින්ම ජීවිතෙන් සමුගෙන යන්න. ඉක්මණ්ටම යන්න සිදුවුණත් ඒ කෙටි කාලය ලෝකයට අමතක නොවන එකක් බවට පත්කරල ගිය අයත් ඉන්නව. 1996 අවුරුද්දෙ මාර්තු මාසෙ 27 වෙනිදා මෙලොව එළිය දකින අයිෂා චෞද්‍රි කියන්නෙත් උපදිනකොටම සීමිත ආයුෂ ප්‍රමාණයක් අරන් ලෝකෙට බිහිවුණ ගැහැණු ළමයෙක්. ඈ SCID එහෙම නැත්නම් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියකට හිමි දැරියක්. ඉතින් ඇගෙ ජීවිතය පවත්වාගන්න පුලුවන් යම් කාලයකට පමණයි. නමුත් නව යෞවන වයසට එළෙඹෙද්දිම ඈ තමන්ගේ ජීවිත අත්දැකීම් ලෝකෙට හඬගා කියන්න පටන්ගන්නව, අන් අය දිරිගන්වන්න සමත් Motivational Speaker කෙනෙක් විදිහට ඈ ප්‍රසිද්ධ වෙනව. ඈ ඇගේ සිතුවිලි පොතකට අකුරු කරනව, අවසානෙ 2015 ජනවාරි 24 වෙනිදා වයස 18 ක් වුණු අයිෂා ජීවිතයෙන් සදහටම සමුගන්නව. 

The Sky is Pink කියන්නෙ අයිෂා ගේ ම කතාවත් නොවෙයි. ඇයව බිහිකරල හදාවඩා ගන්න සහ මේ තරම් දුරක් ජීවිතේ එන්න හයියක් වෙන ඇගේම මවගෙත් පියාගෙත් සහෝදරයාගෙත් කතාව. දෙමව්පියන් දරුවන් වෙනුවෙන් කොතරම් කැපකිරීමක් කරනවද. සහෝදර බැඳීම්.. නොවැටී ඉන්න ඒව අපිට කොයිතරම් අවශ්‍යද. The Sky is Pink සිනහව, කඳුළ, බිඳවැටීම්, යළි නැගී සිටීම් එක්ක සැබෑම ජීව්ත අත්දැකීමක් ගැන කියවෙන චිත්‍රපටයක්.

ප්‍රියංකා චොප්රා, ෆර්හාන් අක්‍තාර් වගේම Secret Super Star, Dangal චිත්‍රපට වලින් දස්කම් පෙන්වපු සහිරා වසීම් බොහෝම හොඳ රංගනයක් යෙදන බවත් කියන්න ම ඕන..





The Sky is pink සිනමාපටයට පාදකවුණු සැබෑ අයිෂා චෞද්‍රි





Dia (2020)


"දුක" එහෙම නැත්නම් මේ දැනෙන ඕනෑම දෙයක්..
මතුවෙලා එන්නෙ කොතනින් ද?
අපි තිරයෙ දකින රූප රාමු ඇතුලෙන් ද?
නැත්නම් ජීවිතේ ඇතුලෙ අපිම පහුකරගෙන ආව දේවල් වලින් ද?
සරලවම කිව්වොත් අපේම අත්දැකීම් වලින් ද?

"ආදි" හිටගෙන හිටපු තැන මම වගේම ඔබත් ඉන්න ඇති..
ඔබත් ඒ දෙදෙනාට සුබපතල ආපහු හැරිල එන්න ඇති..
ඒත් මේක.. මේක තියෙන්නෙ ඒ හැමදේටම එහායින්.

මේ කම්පනය ටිකක් දරුණුයි..

ඇයි ඒ දෙදෙනාටම ආපහු හැරෙන්න හිතුණෙ..?
ඇයි යන කෙනෙකුට යන්න ඉඩහැරල ආපහු හැරිල එන්න බැරි වුණේ..?

'ඩියා" ඇයි ඔයා අතහැරපු අතින් ආයෙත් අල්ලගත්තෙ??
ඇයි?
ඇයි?

"ජීවිතය කියන්නෙ විස්මයන්ගෙන් පිරුණු තැනක්"

චිත්‍රපටයෙ Tag line එක තමා ඒ..

ජීවිතේ සමහර මුණගැහීම් සිද්දවෙන්නෙ නොහිතනම තැන් වල නොහිතනම වෙලාවක විස්මයජනක විදිහට..
ඒත් ඒ හැම විස්මයක්ම සතුටුදායක විදිහට කෙළවර වෙනවනම්..

එහෙනම්.. 

මේ දේවල් එක්ක අපි මෙච්චර දුරක් එන්නෙ නිකංම මෙච්චර දුරක් එන්න විතරද.

Dia මේ විස්මය නම් උහුලගන්න අමාරු එකක්..



ඇවිලෙනසුලුයි (2020)

"ඇ(වි)ලෙනසුලුයි" කියන්නෙ නමෙන් ම අරගන්න පුලුවන් විදිහට "ඇලෙන සුලු" වැඩක්. ඇස් දෙක ගිනිකණ වට්ටවන තරම් රූප රාමු පෙළක් මැද්දෙ ඇවිලෙන්න නලියන ගිනි පුපුරු අහුරක්. ස්ක්‍රීන් එක පුරා පළල්ව විහිදිච්ච අහස, එක පැත්තකින් මුහුද, අනිත් පැත්තෙන් ඈත කෙළවරක් නැති ඈත අනන්තයට විහිදෙන පාරේ ඉස්සරහට ගමන් කරමින් තියෙන රතු පාට තනි ෆෝර්ඩ් කාර් එක. වචනෙන් කියන්න බැරි සෞන්දර්යයක් ඒ දර්ශන ටිකේ විතරක් තියෙන්න ඇති. සමහර විට කෙනෙකුට Kubrick ගේ Shining චිත්‍රපටයෙ මුල්ම දර්ශන ටිකත් මතක් වෙන්න ඇති. කොහොම වුණත් මේ වගේ යථාර්ථය එහෙමම නොපෙන්නා කෑලි කපල ෆෘට්සැලඩ් දාල ගන්න චිත්‍රපටි ලෝක සිනමාවෙ අපි දැකල තිබුණත් ලංකාවේ එහෙම වැඩක් දැකල නොතිබුණු ගාණයි. ඒ වගේම චිත්‍රපටයෙන් 90% ක් විතර මහපාරෙම දකින්න ලැබෙන Road movie ශොනරයත් අපිට අලුත්. ලාංකික සිනමාවේ මේ අඩු පාඩු ටික "ඇවිලෙනසුළුයි" එක්ක මැකිලා යනව. චින්තන ම හරි තව කවුරු හරි මේ පාරෙම තව ඉස්සරහට යනව නම් අපේ සිනමාවට තවත් හොඳ කාලයක් උදාවේවි. 

"ඇවිලෙනසුලුයි" බලපු අය කියල තිබුණ විදිහට සහ මටත් බලල හෝල් එකෙන් එනකොට හිතුණෙ "ඒ මොන මගුලක්ද වුණේ" කියල. නමුත් ඒ පැටලවීම අස්සෙන්ම මේ මොකක්ද කියල හිතන්න කවුළු විවර කරල තියනව. තාර්කොව්ස්කි වතාවක් කියල තිබ්බ එයාගෙ චිත්‍රපට තේරෙන්නෙ නැත්තම් ඒව තමන්ගෙම ජීවිතය එක්ක තමන්ටම මුණගැහෙන අය එක්ක සසඳල හිතන්න කියල. මෙතනත් තියෙන්නෙ එහෙම දෙයක්. ආදරය, ප්‍රේමය, විවාහය වගේ සම්බන්ධකම් ගැන තමන්ගෙ අත්දැකීම් අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේක සමපාත කරල බැලීමෙන් පැටලිලි සහගත බව තරමක් නිරාකරණය කරගත්තකි. 

ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුලෙ පවතින එක හරියට කන්දක් නගිනව වගේ. එක්තරා මුදුනක් මුණගැනව, ඉන්පස්සෙ ඉහළ නැගීමක් නෑ. එතනින් එහාට එක්කො දෙන්නම තැත්නම් එක්කෙන් ඔය මුදුනෙන් බිමට පනින්න ඕන. නැත්නම් කාලය ඒක හෙමිං සැරේ පහළට බෑවුම දිගේ බැහැගෙන එන්න ඕන. මොකද මේක "පස්සට යන්න තියනව නං මරු ඒත් යන්නෙ ඉස්සරහට නිසා" 

මට හිතෙන්නෙ ඔහොම දෙයක්.

සමනළී සහ ශ්‍යාම් ඇතුළු රංගනයෙන් දායකවුණු හැමකෙනෙකුගෙම රඟපෑම්, ඉන්ද්‍රචාප ගෙ සංගීතය, කැමරාකරණය ඔය හැම දෙයක්ම අතිවිශිෂ්ට මට්ටමෙන් චිත්‍රපටයට මුහුවෙලා තිබ්බ. ඒ ක්‍රෙඩිට් එකෙන් කොටසක් යන්න ඕන අද්‍යක්ෂවරයාට. ඉස්සරහටත් ඔහුට අපේ සිනමාව මේ වගේ අවුලවන්න ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනව..






Wednesday, April 1, 2020

A Ghost Story (2017)

මනුස්සයෙකුට ජීවිතයේ තමන් සන්තක හැම දෙයක්ම අතහැරල අතහැරල අවසානෙ අතහැරගන්න බැරුව ඉතිරි වෙන යම් දෙයක් තියනව නම් ඒ තමන් මේ ලෝකෙ දැඩිව ආදරය කරන කෙනෙක් කියල මං විශ්වාස කරනව. ඒ තරම් ආදරය ලැබීම, ආදරය විඳිමට ඇති ආශාව මිනිස් ජීවිතය එක්ක බැඳිලා තියනව.

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව 
එකම බැඳුම ද ඔබම පමණයි..

සෝමතිලක ජයමහ මහත්මය පද රචනා කරල, සංගීතවත් කරල ගායනා කරන මේ ගීතයෙනුත් කියවෙන්නෙ ජීවිතය සම්බන්ධව ඔය කියන යථාර්ථයම යි.

බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇත ද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන සියළු බැමි සිඳිනා..

හදවතින්ම දැඩිව බැඳුනු ඒ බැඳීම් එහෙම ලේසියෙන් අතහැර දමන්න පුලුවන් දේවල් නොවෙයි. ඒව එක්ක අපි මුළු ජීවිත කාලය පුරාම ඇවිද යනව. අවසානෙ මරණයෙන් හැමදේම කෙළවර වෙන තුරුම අරගෙන එනව. ඒත් ජීවිතේ අවසන් මොහොතෙ දී අපිට යන්න සිදුවෙනව ඔය හැමදෙයකින්ම, හැමකෙනෙකුගෙන්ම වෙන් වෙලා. ජීවත්ව ඉන්න අයට සිදුවෙනව වියෝගයේ වේදනාවත් එක්ක ජීවිතේ ඉදිරියට ගෙනයන්න. නමුත් මොහොතක් හිතන්න. එහෙම දැඩිව ආදරෙන් බැඳී ඉඳල මිය ගිය කෙනෙක්ට නැවත මළවුන් ගේ ලෝකයේ ඉඳන් තමන් ආදරේ කරන අනෙකා දිහා සමීපව බලා ඉන්න අවස්ථාවක් ලැබෙනව කියල ඒක කොහොම දෙයක් වේවි ද? ඒ අනෙක් තැනැත්තා වියෝ දුක දරාගෙන නමුත් යථාර්ථයට මුහුණ දෙමින් ජීවිතය ඉදිරියට අරගෙන යනකොට, කිසිවක් නොවුණු ගාණට ආයෙත් එදිනෙදා වැඩකටයුතු කරගෙන යනකොට අර මිය ගියවුන්ගේ ලෝකයෙ ඉඳන් බලාඉන්න කෙනාට ඒක දැනෙන්නෙ කොහොමද ? Ghost Story චිත්‍රපටයෙ දකින්න ලැබෙන්න එවැනි කතාවක්.

ඉතාම දැඩිව ආදරෙන් බැඳුන ඔහුත් ඇයත් හීන දකින්නෙ අලුත් නිවසකට පදිංචියට යන්න. ටික දවසක ඉඳන් මේ නිවසේ සිදුවෙමින් තිබෙන්නෙ අමුතුම දේවල්. රෑ හිටිගමන් පියානෝවෙන් මහ හඬක් නැගුනත් ඒ කොහොමද කියල දෙදෙනාටම හොයාගන්න බැහැ. නමුත් ඔහු නිතරම ආදරයෙන් ඇය ලඟ ඉන්න නිසා ඇයට බියක් නැහැ. හැම දේම වෙනස් වෙන්නෙ එක දවසක. ඔහු රිය අනතුරකින් මිය යනව. මළවුන්ගේ ලෝකයෙන් ඔහු නැවත ඇය කරා එනව. ඒත් ඔහුව කාටවත් පෙනෙන්නෙ නැහැ. ඔහු මියගිය මිනිසෙක්. ඔවුන් දෙදෙනා ජීවිතය බෙදාගත් ඒ නිවාසයෙ අද ඇය තනියම ඔහුගෙ වියෝව විඳ දරාගන්නා ආකාරයත්, ක්‍රමයෙන් ඔහු නොමැති ජීවිතයට හුරු වෙන ආකාරයත් ඔහු බලා ඉන්නව. සරලවම මේ තමා Ghost Story චිත්‍රපටයෙ කතාව. 

සමහර දර්ශන වල බොහෝ වෙලාවක් නරඹන්නාව රඳවා තබාගැනීමෙන් ඒ සිදුවීම් සමග ඒකාත්මික වෙන්න, රූප රාමු වල වඩාත් ගැඹුරට යන්න අවස්තාව සලසා දෙනව. හොඳම උදාහරණයක් ඇය, ඔහු මිය ගියායින් පසුව Chocolate Pie එකක් ආහාරයට ගන්න දර්ශනය. ඒ දර්ශනය ඇතුලෙ ඇය අපහසුවෙන් Chocolate Pie එක ආහාරයට ගන්න ආකාරය දීර්ඝව රූගත කර තිබෙනව. මිනිස්සු දුකෙන්, වේදනාවෙන්, කෝපයෙන් මේ ආකාරයෙ හැඟීම් වලින් කැළඹුනු මොහොතක බොහෝවිට අතාර්කිකව සහ ආවේගයෙන් නොයෙක් දේවල් කරන්න පෙළඹෙනව. ඒ වැනි වෙලාවක තමන් ඉන්නෙ කොහෙද , කරන්නෙ මොනවද කියලත් මතක නෑ. "මම මොකක්ද ඒ කළේ" කියල හිතන්නෙ ටික වෙලාවක් ගතවුණාට පස්සෙයි. Ghost Story චිත්‍රපටයෙත් තමන් ආදරය කල ඔහු අහිමිවීමේ ශෝකයෙන් පෙළෙන ඇය නොසැලකිල්ලෙන් සහ යම් ආවේගයකින් Chocolate Pie එක ආහාරයට ගන්න දීර්ඝ දර්ශනයෙන් පෙන්වන්නෙ සිත පීඩාවට පත්වුණ එවැනි අවස්ථාවක්.

Ghost Story චිත්‍රපටයෙ ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන්නෙ හොළිවුඩයේ මේ වෙනකොට රංගනයේ ඉහළම සාර්ථකත්වයක් ලබාගත්ත දෙදෙනෙක් වුණ Casey Affleck සහ Roony Mara. බොහෝම මන්දගාමීව, ෆැන්ටසිමය ආකාරයෙන් ගලායන Ghost Story චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර අනුව සිනමා රසිකයන් බොහෝ අය මේකට තදින්ම කැමතියි, එහෙම නැත්නත් අකමැතියි කියන අන්‍ත දෙකට බෙදිලා ගිය ස්වභාවයක් දකින්න ලැබෙන්නෙ. අතර මැද අදහස් අවමයි. ඉතින් ඔබ ඉන්නෙ කොතනද කියල චිත්‍රපටය බලලම තීරණය කරන්න.



A Separation (2011)

"ඔයා කියන දේවල් දික්කසාදයක් ගන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඔයාට වෙනත් හේතු තියෙනවා නම් එව කියන්න."

"මොනවද වෙනත් හේතු ?"

"ඔයාගෙ ස්වාමියා මත්පැනට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ද ? එයා ඔයාට පහර දෙනව ද ? ඔයාට මුදල් දෙන්නෙ නැද්ද ?"

"එයා මත්පැන්වලට ඇබ්බැහි වෙලා නැහැ. එයා මට පහර දෙන්නෙත් නැහැ. එයා හරිම හොඳ වැදගත් පුද්ගලයෙක්"

"එහෙනම් ඇයි ඔයාට එයාගෙන් දික්කසාද වෙන්න ඕනා?"

"එයාට මාත් එක්ක එන්න වුවමනාවක් නැති නිසා. එයා කියනවා නම් මාත් එක්ක එන්න කැමතියි කියල මම මගේ නඩුව දැන්ම ඉල්ලා අස් කර ගන්නව. ඔයා කැමතිද මාත් එක්ක එන්න ?"

"නෑ මං කැමති නෑ"

"ඇයි එයා එන්නේ නැත්තේ? නීතිඥතුමා ඔයා මට කියන්න ඇයි එයා එන්නෙ නැත්තෙ මාත් එක්ක..?" 

"ඔයා දැනටමත් දන්නවා ඒ ඇයි කියල" 

"නැහැ මම දන්නෙ නැහැ. කරුණාකරලා මට තව එක පාරක් ඒක හොඳට පැහැදිලි කරලා කියන්න"

"එයාට තව එක හේතුවක් ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න, මෙහෙම තත්ත්වයක් තියෙද්දිත් ඇයි අපි මේ රට දාලා යන්න ඕනේ කියලා "

'මට එක හොඳ හේතුවක් දෙන්න ඇයි අපි මේ රටේ ඉන්න ඕනේ කියලා ?"

"මම ඔයාට දෙන්නම් දාහක් හේතු ඒකට" 

"එකක් විතරක් කියන්න"

"මට මගේ තාත්තව දාලා යන්න බැහැ. ඔයාට තවත් හේතු ඕනේද ?"

"ඒත් ඔයාගේ බිරිඳව දාලා යන්න පුළුවන් එහෙම නේද ?"

"කවද්ද මම ඔයාව අතහැරල ගිහින් තියෙන්නේ. ඔයාම නේ මාව මෙහාට එක්කගෙන ආවේ...මොකක්ද ඔයා කරේ? ඔයාටම නේ දික්කසාදයක් ඕනේ උනේ "

..

නෑ.. මේක මෙතනින් නතර වෙන්නෙ නෑ. සැමියක් සහ බිරිඳක් අතර ඇතිවෙන මේ ගැටලුව විසඳෙන්නෙ තව බරපතළ ගැටලුවකට ඉඩක් හදමින්. ඉන් පස්සෙ තව එකක්.. ඉන් පස්සෙ තවත් එකක්.. අවසානෙ පැටලිච්ච මහ නූල් බෝලයක්.

අත්භූත මිනීමරුවන්, බිහුසුණු රාක්ෂයන්, ලේ සෙළවෙන භයානක දර්ශන..චිත්‍රපටවල දකින කොට බියෙන් සංත්‍රාසයට පත්වෙන්න ඇති.. ඒත් "යථාර්ථය" කියන දේ ඇස් ඉස්සරහ මැවෙනකොට ඒක අර කල්පිත වලට වඩා දරාගන්න කොයිතරම් අමාරුද කියල දැනෙනව මේ චිත්‍රපටයෙන්. ඉරාන සිනමාකරු අස්ගර් ෆර්හාඩි ගේ A Separation චිත්‍රපටය මේ දශකයේ නිමවුණ විශිෂ්ටතම සිනමා නිර්මාණ අතරට ගැනෙන්නෙ ඒ නිසයි.



Melancholia (2011)

ආදරය, ප්‍රේමය මුල්කරගත්ත සම්බන්ධතාවක තියෙන්න ඕන ආරක්ෂාකාරී බවක්, සහනයක්, සැනසීමක්. මොකද මේ ලෝකය ඕනෑ තරම් ඛේදවාචක වලින් පිරී ගිය තැනක්. ජීවිතය පවත්වාගෙන යාම ලේසි නැහැ, දුෂ්කරයි. නමුත් බැඳීමක උණුහුම්, ආදරණීය බව ඉරිතැලී ගිය තැනක, සහනය වෙනුවට පීඩාවම රජ කරන තැනක කොහෙන්ද සැනසීමක්.. එකිනෙකාව නොරිස්සෙන තැන.. තමන්ගෙ ආශාව ඉටු කර ගැනීටම පමණක් මූලිකත්වය ලැබෙන තැන වේදනාව මිස ඉතිරි වෙන්නෙ වෙන මොකක් ද...

Melancholia චිත්‍රපටිය ආරම්භවෙන්නෙ Richard Wagner ගේ Tristan and Isolde ඔපෙරාවෙ සංගීතය පසුබිම් කරගෙන ගොඩනැගෙන මායාමය රූපාවලියක් එක්ක. ඉතාම මන්දගාමී රිද්මයකින් ගලා යන මේ සිහිනමය දර්ශන මාලාව චිත්‍රපටයෙ අන්තර්ගතය ගැනත් අවසානය ගැනත් ඉඟිකරනව. ඉන්පස්සෙ චිත්‍රපටය ගලායන පැය දෙකකට ආසන්න කාලයක් පුරා දකින්න ලැබෙන්නෙ යම් නිශ්චිත සිදුවීම් මාලාවකට වඩා එදිනෙදා ජීවිතේ ඛේදවාචකයන් හරහා ගොඩනැගෙන සිද්ධිදාමයක්. නමුත් එක් සංසිද්ධියක් සුවිශේෂයි. චිත්‍රපටයට අනුව පෘථිවි ග්‍රහයා සෞග්‍රහ මණ්ඩලයේ මෙතෙක් හඳුනා නොගත්ත melancholia නමින් හඳුන්වන තවත් ග්‍රහලෝකයක් සමග ගැටෙන්න නියමිත ව තිබෙනව. ඒ කියන්නෙ මිනිස් පැවැත්ම ඉක්මණින්ම අවසානයකට කිට්ටුවෙමින් තිබෙනව. මේ කාරණය පසුබිමේ තමා චිත්‍රපටයෙ අනෙක් සිදුවීමක්ම අපිට කියවාගන්න සිදුවෙන්නෙ. 

Melancholia චිත්‍රපටයෙ නිර්මාණකරු Lars Von Trier හැබෑවටම විෂාදයෙන් පීඩාවිඳිමින් ඉන්න මොහොතක ඇති වුණ සිතුවිල්ලක් මත යි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. Melancholia මන්දගාමී ස්වරූපයෙන් ගලා යන සහ නාටකීය බවෙන් ඉහළ සිනමා නිර්මාණයක් විදිහට හඳුන ගන්න පුලුවන්.. 

ලෝක විනාශය ගැන කියවෙන චිත්‍රපටයක් වුණත් Melancholia චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මිනිස් සම්බන්ධතා වල ස්වභාවය මුල්කරගෙන. මේ කතාව ගොඩනැගෙන Justine සහ Claire නම් සහෝදරියන් දෙදෙනාගෙ මව ඉක්මණින්ම කෝප ගැන්වෙන සැරපරුෂ කාන්තාවක්, පියා සටකපට වංචාකාරී පුද්ගලයෙක්, Clarie ගේ ස්වාමිපුරුෂයා අමාරුම අවස්තාවෙදි තමන් ගැන පමණක් හිතමින් පලායන ආත්මාර්ථකාමියෙක්. චිත්‍රපටය ආරම්භවෙන්නෙ Justine ගෙ විවාහ උත්සවයෙන්. එතැනට ඇවිත් ඉන්න Justine රැකියාව කරන ආයතනයෙ ප්‍රධානියා තමන්ගෙ ආයතනයෙ දියුණුව ගැන පමණක් හිතන ඉන් එහාට සේවකයන්ගෙ යහපත ගැන මායිම් නොකරන පුද්ගලයෙක් බව පේනව. විවාහ උත්සවය දවසෙම Justine ගෙ ස්වාමියත් ඇයට අහිමි වෙනව. මෙහෙම එක දිගට සිදුවෙන ඛේදවාචක ගණනාවක් නිසා Justine මානසිකව බිඳවැටෙනව.

අමාරු අවස්තාවෙදී Justine ගැන හොයාබලන්න ඈ ලඟ ඉතිරි වෙන්නෙ ඇගේම සහෝදරිය Claire පමණයි. Clarie ත් ආත්මාර්ථකාමී ස්වාමිපුරුෂයෙකු එක්ක ගතවෙන නීරස විවාහ ජීවිතය ඇතුලෙ සැනසීමක් ලබන්නෙ ඇගේ එකම දරුවා Leo ගෙන් පමණයි. Justine, Clarie සහ Leo .. එකිනෙකා ගැන හැබෑවටම වද වෙන.. සැබෑම මානව බැඳීමක් ඇති තැන ලෝක විනාශය කියන්නෙ ඇත්තටම මොකක්ද..




Poetry (2010)

කවි උපදින්නෙ කොහොමද කියල ඇහුවොත් ඒකට දෙන්න නිශ්චිත පිළිතුරක් නෑ. පුලුවන් තරම් අනෙක් කවි කියවද්දි ජීවිතය සමඟ ගැටෙනකොට නිරුත්සාහිකව කවි නිමිති හටගන්න බව තමා මේ ප්‍රශ්නයට දෙන්න පුලුවන් සරලම උත්තරේ. නමුත් සැබෑ කවිය උපදින්නේ ජීවිතය තුළින්මයි. ආරියවංශ රණවීර කවියාත් කවියෙන්ම මේ කාරණය කියා තිබුණ. ඔහුගෙ කවියෙ ඉන්න තරුණයා කවි නිමිති හොයාගෙන මුහුදු වෙරළක හිටගෙන අහස දිහා බලන් ඉන්නව නමුත් ජීවිතයේ දිය රළ ඔහුට නොදැනී ඔහුගෙ දෙපා යටින් ගලා යනව. Poetry කවියත් ජීවිතයත් එක ලඟින් තියල මේ දෙක අතරෙ ඇති අවියෝජනීය බැඳීම පෙන්වාදෙන චිත්‍රපටයක්.

Mija මහලු වයසේ පසුවෙන හුදෙකලා ගැහැණියක්. Mija ජීවත් වෙන්නෙ තමන්ගෙ තරුණ මුණුබුරා සමග. ජීවිතය පවත්වාගෙන යන්නෙ පොඩි රැකියාවක් කළත් Mija ට හුදෙකලාව ඉතාම තදින් දැනෙනව. මුණුබුරා ට ත් දුරකථනය, රූපවාහිනීය, යාලු මිත්‍රයන් මිස ඇය ගැන වගක් නැහැ. මේ පාලුව කාංසිය මකා ගන්න ඇය කවි උගන්වන පාඨමාලාවකට බැඳෙනව. එතනදි ඇයට කවියක් ලියන්න පැවරෙන නමුත් ඇයට කිසිවක් ලියාගන්න බෑ. මේ අතරේ Mija ගේ මුණුබුරා සහ මිතුරන් පිරිස එකතුව පාසල් දැරියක් දූෂණය කර ඇති බව දැනගන්න ලැබෙනව. මේ දැරියට ඒ සිද්ධිය දරාගන්න බැරිව සිය දිවි නසාගෙන. සිද්ධියට සම්බන්ධ තරුණයන් ගේ පියවරුන් එකතුව දැරියගේ මවට විශාල මුදලක් ගෙවල සිද්ධිය යටපත් කරන්න උත්සහ කරන්නෙ. ඒ අනුව Mija ට වොන් මිලියන පහක මුදලක් සොයා ගැනීමට සිදුවෙනව. ඈ ලඟ ඒ තරම් විශාල මුදලක් නෑ. ඇගේ දියණිය, මුණුබුරා ගෙ මව ඈත නගරයක ජීවත් වෙන්නෙ. ඇයට මේ දේවල් කියන්නත් බෑ. ඒත් එක්කම ඇයට මොළයේ සෛල මියයන ඇල්ෂයිමර් රෝගී තත්ත්වය වැළඳී ඇති බවත් දැනගන්න ලැබෙනව. මහලු වයසෙ Mija කොහොමද තනිවම මේ දේවල් විසඳගන්නෙ.

කවිය කියන්නෙ සෞන්දර්ය මුහු වුණු ප්‍රකාශනයක් බවයි ඇයට ඉගෙන ගන්න ලැබෙන්නෙ. ජීවිතය එකම ඛේදවාචකයක් වෙනකොට ඇය ගහ කොළ මල් දිහා බලා ගෙන කවි ලියන්න උත්සහ කරනව. නමුත් කවි උපදින්නෙ ජීවිතයෙන් නම් ජීවිතය සුන්දර අත්දැකීමක් නොවෙන විට කොහොමද ජීවිතය ගැන සෞන්දර්යාත්මක කවි ලියන්නෙ? නමුත් ඇය ඇගේ කවිය ලියනව. ජීවිතය ඇතුලෙ කවියෙන් ප්‍රකාශ කල යුතු තැන ඇය නිවැරදිව අල්ලා ගන්න සමත් වුණා කියල මම හිතනව..

චිත්‍රපටය ඇතුලෙ බොහෝ කරණා අවසාන විසඳුමක් ලබා දීමෙන් තොරව අවසාන කර තිබෙනව. Mija ගෙ ඉරණම මොකක්ද කියල ප්‍රේක්ෂකයන්ට පැහැදිලි පිළිතුරක් ඉදිරිපත් කරන්නෙ නෑ. ඒ වෙනුවට චිත්‍රපටයෙ ආරම්භක දර්ශනයට සමපාත කරමින් එය අවසන් වෙනව. ආරම්භක දර්ශනයෙ අපි දකින්නෙ ගඟක්. එයින් කියැවෙන්නෙ. ඇය ජීවිතය දිගේ කොහේ හෝ තැනක ගලාගොස් ඇති බව ද.. නැත්නම් ඇගේ ඉරණම ගං දිය රැළි යට සැඟවී ඇති බව ද.. එය තීරණය කිරීම චිත්‍රපටය නරඹන ඔබට බාරයි..




Visaranai (2015)

Visaranai බලල ඉවර වෙලා බොහොම සැහැල්ලු මානසිකත්වයකින් පුටුවෙන් නැගිටල යන්න පුලුවන් වුණේ නෑ මට නම්. සමාජ ක්‍රමයෙ තියන ජරාජීර්ණ කම මේ තරම් ඇඟට දැනෙන්න පෙන්නා දෙන වෙන චිත්‍රපටයක් මතකයට එන්නෙ නෑ. පොලීසියෙන් මිනිස්සුන්ට පහරදෙන හැටි නම් බලා ඉන්න බැරි වුණා. ඒ දර්ශන නිර්මාණය කරල තිබුණෙ ඒ තරම් යථාර්ථවාදීව. 

Green Mile චිත්‍රපටය මගෙ මතකයට ආව. නමුත් එතනදි වෙන්නෙ වරදක් නොකල අහිංසකයෙක් නීතිය ඉදිරියෙ වරදකරුවෙක් කරල විදුලි පුටුවේ අවසන් ගමන් යාම. මියයන මනුස්සයා ගැන අනේ අපොයි කියන සහකම්පනයක් නරඹන්නා තුල ඇතිවෙනව. මෙතනදි එයින් එහාට ගිහින් මුලු සමාජ දේශපාලන ක්‍රමයෙම දූෂිත බව පෙන්වා දෙනව. ධනය බලය ඉස්සරය අංශක එකසිය අසූවට නැමෙන නීතිය සාමාන්‍ය මනුස්සයා යට කරගෙන පාගාගෙන නැගී හිටින හැටි පෙන්වා දෙනව. මේක තමා අද අපි ජීවත්වෙන සමාජයෙ යථාර්ථය. අතන අහවල් විදිහෙ හොරකමක් වුණා, x නම් පුද්ගලයා ඊයෙ රාත්‍රියේ යම් පිරිසක් මරාදමල තිබුණා. අහවල් සිද්ධියට සැකපිට මේ මේ පුද්ගලයින් අත් අඩංගුවට ගත්ත... ඕව තමයි මාධ්‍යයෙන් එළියට එන ප්‍රවෘත්ති. නමුත් මේ දේවල් යට හැංගුණු දේශපාලන ගේම් එක කවදාවත් පිටස්තර සමාජෙට නිරාවරණය වෙන්නෙ නෑ. Visaranai මේ සළුපිළි ගලවල ඇත්ත පෙන්වාදෙනව. ආයුධ පෙන්නන්න අරගෙන ගිහින් මිනිස්සු වෙඩි කාල මිය යෑම.. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කවුරු හරි සාධාරණීකරනය කරනව නම් ඒ අයට මේ චිත්‍රපටය හොඳ පිළිතුරක් දීල තියනව අපි වගේ නීතිය වල් වැදුනු ස්වභාවයක් ගන්න රටක එහෙම නොවිය යුත්තේ ඇයි කියල

දකුණු ඉන්දියානු සිනමාවෙ මෑතක ඉඳන් වැඩ පෙන්වන්නෙක් වුණ වේට්‍රිමාරන් තමා මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. ඔහුගෙ මෑතක තිරගත වුණු වඩ චෙන්නායි, අසුරන්.. ඉතාම ජනප්‍රිය වුණා. මේක ඇත්තටම චිත්‍රපට නරඹන්න අය කිසිසේත් මඟහැර නොගතයුතුම සිනමාපටයක් බව කියන්න ඕන.



The Lighthouse (2019)


මෙච්චර තාක්ෂණය දියුණු 2019 වගේ කාලෙක ඇයි මිනිස්සු කලු සුදු මාධ්‍යයෙන් චිත්‍රපටි කරන්නෙ.? වර්ණ රූපයට වඩා කලු සුදු රූපයකින් වඩා ප්‍රබලව අදහසක් ජනනය කරන්න පුලුවන් ද? කොහොම වුණත් මේ වර්ණ වලින් බැහැරවෙලා කලු සුදු (අලු?) වර්ණ භාවිතා කිරීමෙන් Robert Eggersට තමන්ගෙ චිත්‍රපටයෙ තියන අඳුරු, ගුප්ත, පාලු, මූසල ගතිය හොඳින් මතු කරගන්න හැකිවෙලා තිබෙනව. මේ වගේ චිත්‍රපට ගැන යමක් කියන එක හරි අපහසුයි. මොකද මේව පැහැදිලිවම තෝරල බේරල වෙන් කරගත හැකි යම් දෙයක් සංනිවේදනය වෙන කෘතීන් නොවන නිසා. ඒව විඳගත යුතු අත්දැකීම් මිස විස්තර කල හැකි කතන්දර නොවෙයි. කිසිවෙක් නැති පාලු දූපතක ප්‍රදීපාගාරයක රැකියාව කරන මහලු මිනිසෙක් (Williem Dafoe) සහ තරුණයෙක් (Robbert Pattinson). ඔවුන් ගෙ ජීවිත වල තියෙන පාලු මූසල ස්වභාවය චිත්‍රපටය පුරාම දෝංකාර දිදී ඇහෙන්නෙ. මුහුදෙ රළ හෝ හෝ ගගා ඇවිත් ගල් පර වල හැපෙනව. වැහිබර ආකාසෙ අකුණක දෙකක රේඛාවක් ඇඳෙනව ආයෙ මැකෙනව.. හිස් හුලඟෙ කෑගසමින් මුහුදු ලිහිණි පියාඹනව.. අපිට නොදැනිම අපිත් පාලු දූපතක තනි වෙනව..

තමන්ට වැඩිපුර මුදලක් වුවමනා වුණ නිසා මේ රැකියාවට පැමිණි බව තරුණයා කියනව.

මේ අපි දකින්නෙ මුදල් පසුපස යන පීඩාකාරී රැකියා ජීවිතයේ නිස්සාර බව ද..?

දිය කිඳුරියගෙන් පෙන්වන්නෙ ඒ වෙහෙසටපත් වුණු පීඩිත මිනිසාගේ ආශාව බවට සංකේතනය වන ගැහැණිය ද? 

නිතර කෑගසමින් එහෙ මෙහෙ පියාඹන මුහුදු ලිහිණින්ගෙන් නිරූපණය වෙන්නෙ ඔහේ පාවෙන මිනිස් ජීවිත ද?

දිය කිඳුරි ගේ සද්දෙ නම් ආයෙ හීනෙනුත් ඇහේවි.. ඒ විලාපයෙ බියකරු බව වෙන Horror චිත්‍රපටයකින් අහන්න නොලැබෙන තරම් ඇඟේ මයිල් කෙලින් කරවන සුලු මහ බයානක එකක්...මේක රෑ දුටුව නපුරු හීනයක් වගේ මහ අඳුරු හැඟීමක් ඇතිකරවනව .. කොහොම වුණත් කලා නිර්මාණයක් විදිහට ඉහළින්ම තියන්න පුලුවන් චිත්‍රපටයක් මේක. රඟපෑම වගේම කැමරාකරණය Cinematography හැම අතින්ම ඉහළයි! Classic !

මේ චිත්‍රපටය වර්ගීකරණය වෙන්නෙ Horror ගණයට නම් ඒක මුල ඉඳන් අගටම හැම රූපරාමුවකින්ම වගේ බිහිසුණු බව දනවන විදිහෙ චිත්‍රපටයක් මට නම්. යමක් නොතේරුණත් බියකරු බවට හිතයට ඇති ආසාව නිසා පටලැවෙන්න හිතෙන පටලැවිල්ලක්..