මනුස්සයෙකුට ජීවිතයේ තමන් සන්තක හැම දෙයක්ම අතහැරල අතහැරල අවසානෙ අතහැරගන්න බැරුව ඉතිරි වෙන යම් දෙයක් තියනව නම් ඒ තමන් මේ ලෝකෙ දැඩිව ආදරය කරන කෙනෙක් කියල මං විශ්වාස කරනව. ඒ තරම් ආදරය ලැබීම, ආදරය විඳිමට ඇති ආශාව මිනිස් ජීවිතය එක්ක බැඳිලා තියනව.
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුම ද ඔබම පමණයි..
සෝමතිලක ජයමහ මහත්මය පද රචනා කරල, සංගීතවත් කරල ගායනා කරන මේ ගීතයෙනුත් කියවෙන්නෙ ජීවිතය සම්බන්ධව ඔය කියන යථාර්ථයම යි.
බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇත ද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන සියළු බැමි සිඳිනා..
හදවතින්ම දැඩිව බැඳුනු ඒ බැඳීම් එහෙම ලේසියෙන් අතහැර දමන්න පුලුවන් දේවල් නොවෙයි. ඒව එක්ක අපි මුළු ජීවිත කාලය පුරාම ඇවිද යනව. අවසානෙ මරණයෙන් හැමදේම කෙළවර වෙන තුරුම අරගෙන එනව. ඒත් ජීවිතේ අවසන් මොහොතෙ දී අපිට යන්න සිදුවෙනව ඔය හැමදෙයකින්ම, හැමකෙනෙකුගෙන්ම වෙන් වෙලා. ජීවත්ව ඉන්න අයට සිදුවෙනව වියෝගයේ වේදනාවත් එක්ක ජීවිතේ ඉදිරියට ගෙනයන්න. නමුත් මොහොතක් හිතන්න. එහෙම දැඩිව ආදරෙන් බැඳී ඉඳල මිය ගිය කෙනෙක්ට නැවත මළවුන් ගේ ලෝකයේ ඉඳන් තමන් ආදරේ කරන අනෙකා දිහා සමීපව බලා ඉන්න අවස්ථාවක් ලැබෙනව කියල ඒක කොහොම දෙයක් වේවි ද? ඒ අනෙක් තැනැත්තා වියෝ දුක දරාගෙන නමුත් යථාර්ථයට මුහුණ දෙමින් ජීවිතය ඉදිරියට අරගෙන යනකොට, කිසිවක් නොවුණු ගාණට ආයෙත් එදිනෙදා වැඩකටයුතු කරගෙන යනකොට අර මිය ගියවුන්ගේ ලෝකයෙ ඉඳන් බලාඉන්න කෙනාට ඒක දැනෙන්නෙ කොහොමද ? Ghost Story චිත්‍රපටයෙ දකින්න ලැබෙන්න එවැනි කතාවක්.
ඉතාම දැඩිව ආදරෙන් බැඳුන ඔහුත් ඇයත් හීන දකින්නෙ අලුත් නිවසකට පදිංචියට යන්න. ටික දවසක ඉඳන් මේ නිවසේ සිදුවෙමින් තිබෙන්නෙ අමුතුම දේවල්. රෑ හිටිගමන් පියානෝවෙන් මහ හඬක් නැගුනත් ඒ කොහොමද කියල දෙදෙනාටම හොයාගන්න බැහැ. නමුත් ඔහු නිතරම ආදරයෙන් ඇය ලඟ ඉන්න නිසා ඇයට බියක් නැහැ. හැම දේම වෙනස් වෙන්නෙ එක දවසක. ඔහු රිය අනතුරකින් මිය යනව. මළවුන්ගේ ලෝකයෙන් ඔහු නැවත ඇය කරා එනව. ඒත් ඔහුව කාටවත් පෙනෙන්නෙ නැහැ. ඔහු මියගිය මිනිසෙක්. ඔවුන් දෙදෙනා ජීවිතය බෙදාගත් ඒ නිවාසයෙ අද ඇය තනියම ඔහුගෙ වියෝව විඳ දරාගන්නා ආකාරයත්, ක්‍රමයෙන් ඔහු නොමැති ජීවිතයට හුරු වෙන ආකාරයත් ඔහු බලා ඉන්නව. සරලවම මේ තමා Ghost Story චිත්‍රපටයෙ කතාව.
සමහර දර්ශන වල බොහෝ වෙලාවක් නරඹන්නාව රඳවා තබාගැනීමෙන් ඒ සිදුවීම් සමග ඒකාත්මික වෙන්න, රූප රාමු වල වඩාත් ගැඹුරට යන්න අවස්තාව සලසා දෙනව. හොඳම උදාහරණයක් ඇය, ඔහු මිය ගියායින් පසුව Chocolate Pie එකක් ආහාරයට ගන්න දර්ශනය. ඒ දර්ශනය ඇතුලෙ ඇය අපහසුවෙන් Chocolate Pie එක ආහාරයට ගන්න ආකාරය දීර්ඝව රූගත කර තිබෙනව. මිනිස්සු දුකෙන්, වේදනාවෙන්, කෝපයෙන් මේ ආකාරයෙ හැඟීම් වලින් කැළඹුනු මොහොතක බොහෝවිට අතාර්කිකව සහ ආවේගයෙන් නොයෙක් දේවල් කරන්න පෙළඹෙනව. ඒ වැනි වෙලාවක තමන් ඉන්නෙ කොහෙද , කරන්නෙ මොනවද කියලත් මතක නෑ. "මම මොකක්ද ඒ කළේ" කියල හිතන්නෙ ටික වෙලාවක් ගතවුණාට පස්සෙයි. Ghost Story චිත්‍රපටයෙත් තමන් ආදරය කල ඔහු අහිමිවීමේ ශෝකයෙන් පෙළෙන ඇය නොසැලකිල්ලෙන් සහ යම් ආවේගයකින් Chocolate Pie එක ආහාරයට ගන්න දීර්ඝ දර්ශනයෙන් පෙන්වන්නෙ සිත පීඩාවට පත්වුණ එවැනි අවස්ථාවක්.
Ghost Story චිත්‍රපටයෙ ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන්නෙ හොළිවුඩයේ මේ වෙනකොට රංගනයේ ඉහළම සාර්ථකත්වයක් ලබාගත්ත දෙදෙනෙක් වුණ Casey Affleck සහ Roony Mara. බොහෝම මන්දගාමීව, ෆැන්ටසිමය ආකාරයෙන් ගලායන Ghost Story චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර අනුව සිනමා රසිකයන් බොහෝ අය මේකට තදින්ම කැමතියි, එහෙම නැත්නත් අකමැතියි කියන අන්‍ත දෙකට බෙදිලා ගිය ස්වභාවයක් දකින්න ලැබෙන්නෙ. අතර මැද අදහස් අවමයි. ඉතින් ඔබ ඉන්නෙ කොතනද කියල චිත්‍රපටය බලලම තීරණය කරන්න.
No comments:
Post a Comment