Thursday, April 16, 2020

Trance (2020)

අපි අතරෙ පවතින බොහෝමයක් ආගම් ලෝකයට බිහිවෙන්නෙ අනාදිමත් කාලයකට කලින්. ඒවා හඳුන්වාදුන්න ශාස්තෘවරු, යම් කලාපයක මිනිස්සු පුරුදු පුහුණු වී හිටපු ජීවන රටාව ආශ්‍රයෙන්, ආචාර ධර්ම සුරැකෙන වඩා යහපත් ජීවිත ක්‍රමයක් ඔවුන්ට හඳුන්වාදීමෙ අරමුණෙන් මේ දේවල් දේශනා කල බව අපිට හිතන්න පුලුවන්. ක්‍රමයෙන් මහ විශාල පිරිසක් එකතු කර ගතහැකි බලවේගයක් බවට ආගම පත් වුණා. මෙයින් ප්‍රයෝජන ගත්තෙ රජවරු, අධිරාජ්‍යවරු, පාලකයො. ආයතනක්, ක්‍රමානුකූල සභාවක් විදිහට පරිණාමනය වුණු ආගමත් දේශපාලනයත් අතරෙ මේ පයුරුපාසානම බොහොම පැරණි එකක්.

සෑහෙන පිරිසක් ආකර්ශණය කරගතහැකි ආගමේ මේ මැජික්කාර ස්වභාවය තේරුම් ගත්ට තව පිරිසක් ඉන්නව. මුදල මුල් කරගත්ත වෙළඳපළ ආර්ථික ක්‍රමයකට මිනිස් සමාජය පරිණාමය වෙද්දි "ආගම" ඉතාම හොඳින් විකුණාගතහැකි වස්තුවක් බව මේ අද දකිනව. මිනිස්සුන් ගෙ ඇදහිලි විශ්වාස තමන්ගෙ අරමුණු වෙනුවෙන් හරියට පාවිච්චි කරන විදිහ අල්ල ගන්නව කියන්නෙ හරියට හතර මහා නිධානය පහළ කරගත්තා වගේ තමා. 2020 අවුරුද්දෙ තිරගතවෙන Trance නම් මලයාලම් සිනමාපටයෙ මූලිකවම කතා කරන්නෙ මෙන්න මේ කාරණය ගැන.

විජූ ප්‍රසාද් ජීවිතේ දාහක් අගහිඟකම් එක්ක කොහොම හරි ගොඩයන්න උත්සහ කරන ධෛර්යයවන්ත තරුණයෙක්. අවන්හලක පොඩි රස්සාවක් කරන ගමන් එයා ධනාත්මක චින්තකයෙක් විදිහට දේශනා තියමින්, පන්ති පවත්වමින් අමතර මුදලක් හොයාගන්නව. මොනතරම් අනුන්ට ධනාත්මක චින්තන දේශනා දුන්නත් විජූ ප්‍රසාද් තමන්ගෙම ජීවිතය ඇතුලෙ ඉන්නෙ කඩා වැටීමක. හැමදාම එකම තැන කැරකෙන මේ ජීවිත රටාවෙන් එහාට යන්නෙ කොහොමද, දියුණුවක් ලබාගන්නෙ කොහොමද කියල ඔහු ඉන්නෙ දහඅතේ කල්පනා කරමින්. සොලමන් ඩේවිස් සහ ඉසාක් තෝමස් නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට විජූ ප්‍රසාද් මුණගැහෙන්නෙ එතනදි. ඔවුන් දෙදෙනාගෙ අලුත්ම ව්‍යාපාරික සැලැස්ම ඉදිරියට ගෙනයාහැකි පුද්ගලයා විදිහට ඔවුන් තෝරාගන්නෙ විජූ ප්‍රසාද්. ජීවිතේ ගොඩයෑමක් ගැන කල්පනා කරමින් හිටපු ප්‍රසාද් මේ ලැබුණ අගනා අවස්ථාව බාරගන්න තීරණේ කරනව.

එතන ඉඳන් විජූ ප්‍රසාද් මාස හයක පුහුණු වැඩසටහනකට යොමු කරනව. බයිබල් පාඨ කටපාඩම් වෙනතුරු බයිබලය ගැන ඔහුට හොඳ දැනුමක් ලබා දෙනව. මේ විදිහට මාස හයක පුහුණුවක් අවසානෙ විජූ ප්‍රසාද් කියන දුප්පත්, ග්‍රාම්‍ය තරුණයා මියගිහින් ඔහු නැවත "පාස්ටර් ජෝෂුවා කාල්ටන්" විදිහට උත්ථානය ලබනව.

සොලමන් සහ තෝමස් ගේ ව්‍යාපාරය "ග්ලෝරියස් චර්ච්" නම් ආයතනය. එය ක්‍රියාත්මක වෙන්නෙ පාස්‍ටර් ජෝෂුවා හරහා. ජෝෂුවා මහා පරිමාණ සුව මෙහෙයන් වලට පෙනී ඉන්නව. ඒවට බැතිමත්තු සහභාගි වෙන්නෙ දහස් ගණනින්. ඒවයෙදි කොරුන් ඇවිද්දනව, ඇස් නොපෙනෙන්නන් පෙනීම ලබනව, නොයෙක් රෝගාබාධ ඇති අය ප්‍රසිද්ධියේ සුවය ලබනව. නමුත් මේ හැම දෙයක්ම කලින් සැලසුම් කල දේවල්. මේක තමයි ඔවුන්ගේ ව්‍යාපාරික උපක්‍රමය. ඇස් ගිනිකණවට්ටන වේදිකා ආලෝක කරණය, පාස්ටර් ගේ මොරාල් වඩවන දේශනා, මනරම් සංගීතය මිනිස්සු ඇදි එන්නෙ මේ දේවල් වලට. ටිකෙන් ටික බැතිමත්තු පල්ලියට අධාර දෙන්න පටන් ගන්නව. සමහරු ලක්ෂ ගණනින් මුදල් ආධාර දෙනව. පල්ලියෙන් සුවකිරීමේ බලය ඇති ශුද්ධවූ තෛල විකුණනව. මිනිස්සු ඒව ගන්නෙ පොරකකා. ටිකෙන් ටික සොලමන් ගෙත් තෝමස් ගෙත් සාක්කු පිරෙනව. පාස්ටර් ගේ ජීවිතය සැපවත් වෙන්නෙත් ඒ මුදලින්.

ඉතින් පාස්ටර් ජෝෂුවා ටත් ග්ලෝරියස් චර්ච් ආයතනයටත් වෙන්නෙ මොකක් ද?

Trance, කලින් උස්තාද් හොටෙල් චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක ආකර්ෂනය දිනාගත්ත අන්වර් රෂීඩ් ගේ සිනමා නිර්මාණයක්. නමුත් අපි සාමාන්‍යයෙන් මලයාලි චිත්‍රපට වල දකින සහ අපි අපේක්ෂා කරන අනුපානයන් මේ චිත්‍රපටයෙ ඇතුලත් නොවෙන තරම්. මුල් කොටසෙදි, විජූ ප්‍රසාද් ගේ යාන්තම් එදා වේල පිරිමහගන්න, මදුරුවො කකා රෑට නිදාගන්න කටුක ජීවිතය නිරූපණය කරද්දි මලයලි සිනමාවේ යථාර්ථවාදී රිද්මය අපිට දැනෙනව. නමුත් විජූ ප්‍රසාද් පාස්ටර් ජෝෂුවා බවට රූපාන්තරණය වීමෙන් පස්සෙ Trance චිත්‍රපටය අර මලයාලි අනන්‍යතාවයෙන් මිදිල හින්දි, දමිළ සිනමාවෙ වර්ණයන් පෙන්වන්න පටන්ගන්නව. නමුත් ඒක චිත්‍රපටය විසින් ඉල්ලා සිටින තත්ත්වයක් මිස බලෙන් එබ්බවූ දෙයක් විදිහට දැනෙන්නෙ නෑ. ඉන්පස්සෙ Trance නමටම ගැළපෙන මැජික්කාර රූප පෙළහරක් අපි දකින්නෙ.

Trance ගැන කතාකරද්දි කොහෙත්ම මඟහැරයන්න බැරි කාරණයක් තමයි. විජූ ප්‍රසාද් සහ පාස්ටර් ජෝෂුවා චරිත නිරූපණය කරන සුප්‍රසිද්ධ මලයාලම් නළුවෙක් වුණ Fahadh Faasil ගෙ රංගනය. අපි හොඳින්ම දන්න විදිහට මලයාලි සිනමාව සුපිරි තරු මත රඳාපවතින්නක් නොවෙයි. උදාහරණයක් විදිහට මහේෂාන්ති ප්‍රතිකාරම් චිත්‍රපටයෙ අපි දකින්නෙ ෆාහාඩ් කෙනෙක්ව නොවෙයි මහේෂ් ව. Trance චිත්‍රපටයෙ ත් අපිට ෆාහාඩ් කෙනෙක්ව දකින්න ලැබෙන්නෙ නෑ. යාන්තම් උගත් ගැමි තරුණයෙක් වුණු විජූ ප්‍රසාද් කෙනෙකුවත් ඉන්පස්සෙ සුඛෝපභෝගී ජීවිතයකට හුරුවෙච්ච පාස්ටර් ජෝෂුවා කෙනෙකුත් තමයි අපි දකින්නෙ. මේ රඟපෑමක් කියල නොහිතෙන තරමටම ඒ චරිතයට අවශ්‍ය ජීව ගුණය ඔහු ලබා දෙනව. වැඩි දෙනා කතාබහ නොකළත් Fahadh Faasil මේ මොහොතෙ ඉන්දියානු සිනමාවෙ විශිෂ්ටතම චරිතාංග නලුවෙක් බව ඔප්පු කර පෙන්වා තිබෙනව.

Trance කියන්නෙ ඍජුවම ආගම විවේචනය කරන හෝ මිත්‍යාවන්ට පහරගසන චිත්‍රපටයක් විදිහට හඳුනාගන්න බැහැ. ඉන් එහා වින්දනාත්මක තලයකට ඔසවා තැබෙන ගමන් ආගම මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත්කරගත්ත පුද්ගලයන්ගෙ කපටි වංචනික ස්වභාවය පෙන්වා දෙන චිත්‍රපටයක් බව කිවහැකියි. මේ චිත්‍රපටයෙ නැති දෙයක් නැති තරම්. මුල් භාගයෙ නාට්‍යමය ස්වභාවයත්, ඉන් පස්සෙ හාස්‍ය, කුතුහලය, ක්‍රියාදාමයන්, ප්‍රේමය මේ හැමදෙයක්ම මේකෙ ඇතුළත්. ගමෙන් පැමිණෙන උත්සහවන්ත තරුණයා ධනේශ්වර පැළැන්තියෙ අතකොලුවක් බවට පත්වන ආකාරය වෙලාවකට කූඹියෝ කතාවේ ජෙහාන් සහ ප්‍රියන්ත මහඋල්පතගම නැත්නම් බ්‍රේකින් බෑඩ් වල වෝල්ටර් වයිට් සහ ජෙසී පින්ක්මන් සිහි ගන්වනව. කොහොම වුණත් Trance මලයාලි සිනමාවෙ ඉදිගාමී පිම්මක් විදිහට නම් කෙරුවත් වරදක් නෑ. මොකද මලයාලි චිත්‍රපට වල අපිට පුරුදු යථාර්ථවාදී කතාවක් එක්ක වෙනස්ම තලයක ඉන්ද්‍රජාලික මොහොතක් ඒ තුළින් මැවෙන හින්ද. කැමරාව භාවිතයෙන් ඒ කරන ගොඩනැංවීම ඉතාම ඉහළයි. මේ අවුරුද්දෙ මලයාලි චිත්‍රපටයකින් ලැබුණු ඉතාම හොඳ සිනමා අත්දැකීමක් Trance.



No comments:

Post a Comment