Monday, June 8, 2020

නාඳුනන කිරිල්ලී

ඇමතුම අංක 1.

- ගුඩ් මෝනිං සර්, සර්ගෙ නමට පාර්සලයක් තියනව ඩිලිවර් කරන්න. අපි තව පැයකින් වගේ අපි අවොත් සර්ට මේක ගන්න පුලුවන් නේ ද?

- ආහ් ඔව් පුලුවන්..
මම ගෙදරට එන විදිහ කියන්නම්. මම නම් දැන් ගෙදර නෙමේ ඉන්නෙ. මම කෙනෙක්ව එවන්නම්.

- හරි සර්...
...................................................

ඇමතුම අංක 2. 

- මේ අර එනවැයි කියපු එක ඇවිත්. ඔයාට පුලුවන්ද පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ඒක අරගන්න?

- හරි ප්‍රභාත් මම ඒක ගන්නම්..
...................................................

ප්‍රභාත් දුනුසිංහ සහ ශෙහාන් ප්‍රනාන්දු යන අය අතර ඇතිවූ මැසෙන්ජර් සංවාදයකින් කොටසක්...

- ඔව් මචං විශ්වය මටත් පොතක් එවල තිබ්බ ගෙදරටම.

- ඉතිං උඹ කියවන්න ගත්තද පොත? 

- අපොයි නෑ බං මට කොහෙන්ද ඕවට වෙලාවක්.. ගිය පාර බුක්ෆෙයා ගිහින් පොත් ගොඩක් උසස්ං අාවෙ චාපා හින්ද. එයා ඕව කියවනවනෙ බං මැරීගෙන. මට නං ආසාවක් නෑ ලොකුවට.

- මම නං කියවන්න ගත්ත පොත දැන් මැද හරිය යන්නෙ

- මොකක් ගැනද බං ඕකෙ තියෙන්නෙ?

- මේක මචන් සයන්ස් ෆික්ෂන් එකක් පොඩි ෆැන්ටසි ටයිප් එකකුත් තියනව. රොමෑන්ටික් සීන් එකකුත් යනව ඒ අතරෙ. දැනටනම් අවුලක් නෑ කතාව. කියවන්න පුලුවන් එකදිගට..

- ඇත්තට කවුද බං හිතුවෙ මේකා පොතක් ලියයි කියල. එෆ බී එකේ අකුරු කොට කොට හිටිය මිස.

- හැබැයි මූ නමක් හදාගත්තෙ ඔය එෆ් බී එකෙන් තමා..

- ඔව් ඒක ඇත්ත..

...................................................

චාපා ඉන්දීවරී සහ වාසනා ලක්මාලි නැමැති අය අතර සිදු වූ මැසෙන්ජර් සංවාදයකින් කොටසක්..

- මම ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගත්තෙ ඔයත් අරගන්න..

- නෑ ඕක ලියපු විශ්ව මගේ හස්බන්ඩ් ගෙ හොඳ යාලුවෙක්. එයා ගෙදරටම කොපියක් එවල තිබ්බ.

- එහෙමද ෂෝක් නේ එහෙනම් ඔයා කියවන්න ගත්තෙ නැද්ද?

- පොඩ්ඩක් කියෙව්ව මං..

- කොහොමද කතාව.. අ.පො.ස වෙන එකක් නෑ නෙ ?

- නෑ නෑ ඒක හොදයි. ඔයා කියවලම බලන්නකො..

...................................................

විශ්ව වර්ණකුළසූරිය නමැති අය ඉරිදා "රිවිකිරණ" පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින්..

- ඔබ ෆේස්බුක් සමාජ ජාලය නිසා ලේඛකයෙක් වුණ අයෙක්. මම එහෙම කිව්වොත් ඒක නිවැරදියි නේද?

- නැහැ, ඇත්තටම ඒක වැරදියි. ෆෙස්බුක් අවකාශය අපිට ලියන්න ඉඩක් හදල දෙන බව ඇත්ත. ඒත් ලියන්න නම් ෆෙස්බුක් එකවුන්ට් එකක් විතරක් තිබිල මදි.. වැදගත් ම දේ තමා ලියන්න දෙයක් තියෙන්න ඕන. මුලු ලෝකෙට ඇහෙන්න කෑගහල කියන්න බැරි නමුත් ලිවීමක් ඇතුලෙ පමණක් මුදාහැරිය හැකි යමක් තියෙන්නම ඕන. ලිවීම පටන් ගන්නෙ එහෙම. මම ලියන්න පටන් ගත්තෙ මට එහෙම කාටහරි කියල ඉවර කරගන්න බැරිවුණ රිදුමක් ජීවිතේ තිබුණ හින්ද. ඒ දේවල් ලියන්න මම පෙළඹුනා. මට කියල පොඩි ඩයරියක් තිබ්බ ඉස්සර. මං ලිව්ව ඒකෙ. ඊට පස්සෙ ඒව නැවත නැවත කියවද්දි තව ඔපමට්ටම් කරල ගත්තම තව කෙනෙකුට කියවන්න යමක් තියන ලියවිල්ලක් බවට පත්කරගන්න පුලුවන් නේද කියල මට හිතුණ. ඒව මගේ ෆසබුක් එකවුන්ට් එක හරහා මුදාහරින්න මම පෙළඹුනේ එහෙම.

ඔබ කියනව ඔබව ලියන්න පෙළඹවුවෙ ඔබම වින්ද වේදනාවන් කියල. අපි හැම කෙනෙක්ම ජීවිතේ කටුක අත්දැකීම් විඳිනව නෙ. ඉතින් ඇයි හැම කෙනෙක්ම ලියන්න පෙළඹෙන්නෙ නැත්තෙ.?

මම හිතන්නෙ අපි ලිවීමට පෙළඹන්නෙ ඒ හේතුව නිසාම විතරක් නෙමේ. පොතපත කියවන්න අපිට තියන ඇබ්බැහි කම තමා ලිවීමේ ආසාව වැඩි දියුණු කරන්නෙ. රිදුමක් තිබුණ පමණින් ලියන්න බෑ. හැබැයි හැබෑම යමක් ජීවිතේ අත්විඳින්න ඕන. ඒක තමා අවශ්‍ය. මනස අවුලුවාලන තරම් දුක් ගින්නක්., හදවතේ අන්තිම පතුලම ස්පර්ශ කරන්න තරම් දැනෙන ප්‍රේමයක් නැත්නම් ඒ වැනි යම් දෙයක්.

- විශ්ව ගේ නවකතාව විද්‍යා ප්‍රබන්ධයක් විදිහට හැඳින්වූවට ඒක ඇතුලෙ ප්‍රේම කතාවකුත් අපි දකිනව. ඇත්තටම විශ්ව මේක විද්‍ය ප්‍රබන්ධයක්ද එහෙම නැත්නම් ප්‍රේම කතාවක් ද?

විද්‍යාව විසින් කරන්නෙ මොකක්ද කියල අපි වටහගන්න ඕන මුලින්. විද්‍යාව පැවැත්ම අරගන්නෙ වාස්තවිකව. අතට අරගෙන මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් විමසල ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් දෙයක් විදිහට විද්‍යව ලෝකය දිහා බලන්නෙ. ඒ මේ කතාවෙ මතුපිට තලය. පැවැත්ම බවට පත්වීම තමා ප්‍රේමය කියන්නෙ. ඒක තමා ජීවිතේ ඇතුළු හරය. මගෙ කතාවෙ යටිපෙළත් ප්‍රේමය.

එ් කියන්නෙ විශ්ව පෙම්වතෙක් ද?

ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් නොදී ඉන්නම්..
...................................................

"නාඳුනන කිරිල්ලී" නම් ෆේස්බුක් ගිණුමක පළ කර තිබූ සටහනකි...  

ඔබව මුණගැසීම ජීවිතයේ කවර නම් වූ අසිරිමත් සිදුවීමක් දැයි මම තවමත් සිතමි. කිරිල්ලියක වූ මා හට අහස නම් නුහුරු නුපුරුදු තැනක් වූයේ නැත. නිදහසේ අත්තටු විදහා මම රිසිසේ පියා සැලීමි. මගේ ජීවිත තුල තිබූ ඒ සැනසීම සහනය මම නොඅඩුව අත්වින්දෙමි. ඒ අතර වසන්තය උදාවී ඒ අහස යට තුරුවැල් මලින් බර විය. හමා ආ මඳ පවන ගත දැවටී ගෙන ආවේ සිහිලසකි. එහෙත් ඒ මඳ පවනම නැවත කුණාටුවක් බවට හැරුණි. වසන්තයේ පිපි මල් වියැකී ගියේ නොසිතු පරිදේදෙනි. ඉන්පසු උදාවූයේ හිම මිදෙන බොහෝ කටුක වූ සීත සමයකි. මා ශීතලෙන් ගල් ව මියැදෙමින් සිටියෙමි. ඔබ ආවේ එවිටය. ඔබ ඒ රුදුරු හිම පියලි එකින් එක පිසදා හැරියේ ය. දරා ගත නොහැකි සිසිරයක ඔබ මට උණුහුම ගෙන ආවේ ය. ඔබ මුල් වරට දුටු දින මට අද මෙන් මතකය. ඒ උදෑසනම අවදිව වැඩට දිවීම මා හට එපා වී තිබූ සමයකි. මුණගැසෙන හිත්පිත් නැති අසහනකාරි මිනිසුන්ද, ඊර්ෂ්‍යාකාර ගැහැණුන්ද මා හට රාජකාරිය නොව ජීවිතයම එපා කර තිබුණි. ඒ අතර ඔබ ආවේ ය. මුල් වතාවේ ඔබ දුටු කළ මා හට දැණුන ඒ විදුලියක් වන් හැඟීම මම විස්මයට පත් කරලීය. ඔබ සිනාසෙන විට එහි රැවිටිකාර සැඟවුණු අරුත් ඇති බවක් මට දැණුනේ නැත. ඔබ සිනාසුනේ හදතිනි. එහි තිබුනේ අව්‍යාජ බව මිස අන් යමක් නොවේ. මා ඔබට ප්‍රිය වූයේ එතැනිනි. යමෙකු ගැන මට එලසින් දැනුන බවක් මතකයේ නැත. ඔහු ගැන පවා නැත. ඔහු ඉතාම තාර්කිකවද, බුද්ධිමත්වද කරැණු කාරණා වටහා ගැනීමට සමත් බව ඇත්තකි. එහෙත් ඔබ තුල ඔහුටත්, මට හමු වූ අන් යමෙකුටත් නොතිබු යමක් තිබුණි. ඔබටත් මටත් එකිනෙකා හා කතා බහ කරන්නට බොහෝ නිදහස ලැබුණි. ඔබ බොහෝ සේ පොත පත කියැවූ, සමාජයද මිනිසුන්ද වෙනස් විය යුතු යැයි සිතූ. සොබාදහමට ආදරය කළ කෙනෙකි. ඔබේ සිතිවිලි මට වටහාගත හැකි විය. මම ඒවාට ආදරය කලෙමි. අයිති විම, හිමි කරගැනීම අපහට උරැම නැති බව දැන සිටියෙමි. ඔබට කිසිදාක මගේ වන්නනට ඉඩක් තිබුණේ නැත. මගෙත් ඔහුගෙත් විවාහයට සියලු කටයුතු සූදානම් වී හමාරය. දැන් ආපසු හැරීමක් නැත. එහෙත් ඔබට ආදරය කිරීමෙන් මා වළක්වාලීමට ඒ කිසිත් සමත් වුයේ නැත. අප මුණගැසුණු සීමිත වාර ගණන මම මතකයට නොකැඳවමි. දැන් ඒවා වේදනාවක් මිස අන් යමක් මට නොගෙනෙන නිසා ය. අවසාන වතාවේදී ඔබ ඉතා මෘදු ලෙස මගේ නළලත සිපගත්තේය. ඉන් පසු මගේ කම්මුලද යළිත් දෙවරක්. ඒ මොහොත තවත් දිගු වූනානම් යැයි මම තවම සිතමි. නැවතත් ජීවිතයේ රිසිසේ පියඹා ගොස් තටු අහිමි වූ එකියක සේ කිසිදා නිමා නොවෙනා ඒ රිදුම හදවතේ දරා සිටිමි. එය කිසිදා සුව නොවන එකකි. ඔබ ඔහුව ද හඳුනන බව දැන මා පුදුම වූයේ නැත. ඒ වෙනුවට මම දුක් වුණෙමි. නැවත ඔබව මට දකින්න ලැබේවි. පැරණි කැලැල් නැවතත් පැරේවි. මා හිත හදාගත්තේ ආයෙත් ඔබ නොදකින්න ය. ඒත් තව වරක් හෝ ඒ සිනහව දකින්න ලැබේ යැයි මේ හදවත ආසාවෙන් පසුවන්නේය. දැන් ඔබ ඔබේ වේදනා පිට කර හරින්නට නවකතාවක් ලියා ඇත. මම එය කියැවීමි. ඔබ අපේ කතාව සියුම් ව එහි ලියා ඇත. මම හඬන්නද... සිනාසෙන්නද... මා දන්නේ නැත. එහෙත් වේදනා විදින්නේ ඔබ පමණක් නොව. මම මගේ වේදනාව පිට කර හැරීමට නවකතා කීයක් ලියන්න ඕනෑ ද... ඔබට තරම් ලස්සනට ලියන්න මට නොහැක..අනේ මම ඔබ වුණානම්..
...................................................

ඊට වසර දෙකකට පෙර ප්‍රභාත් දුනුසිංහ සහ චාපා ඉන්දීවරී යන අයගේ විවාහ උත්සවය දා..

- මේ ඉන්නෙ යාලුවෙ ටික චාපා. එකට ඉස්කෝලෙ ගිය එක පන්තියෙ හිටපු සෙට් එක. ඉන්න මං ඔයාට අඳුන්වල දෙන්නම්. මේ ඉන්නෙ සංඛ, මලිත්, අනුරාධ, ශෙහාන්, සමීර, රසික, විශ්ව..

- ආහ් එයාව මම දන්නව නෙ මම කිව්වෙ ඔයාට.

- එහෙමද මට මතකයක් නෑ නෙ. එන්න කට්ටියම ෆොටෝ එකකට ඉන්න.

- විශ්ව පොඩ්ඩක් චාපා ඉන්න පැත්තට ලං වෙන්න.

- පොඩ්ඩක් ලං වෙනව මනුස්සයො, ඇඟේ ගෑවුණා කියල මැරෙන්නෑ..

- මූගෙ ලැජ්ජාව බලපංකො.

- හරි ඔහොම්ම ඉන්න කට්ටියම

"ක්ලික්"
.



2 comments: