Tuesday, January 12, 2021

Natural Woman

විනාඩි 3 ක සින්දුවක් කියන්නෙ ජීවිතය ගැන   සමාජය ගැන නැත්නම් වෙනත් යමක් ගැන ගැඹුරින් යමක් ප්‍රකාශ කරන්න ඉඩක් නැති සරල සුන්දර කලා මාධ්‍යක් බව කෙනෙකුට හිතෙන්න පුලුවන්. මේ සරල සුන්දර ගීත කලාවේ සීමාවන් ඉක්මවා ගිය අවස්ථාවන් ඉතිහාසයෙ පුරා බැලුවොත් අපිට හොයාගත හැකියි. නමුත් ගීතයේ මේ සංක්ෂිප්ත බව රැකෙමින් නමුත් ජීවිතය ගැන වඩා ගැඹුරින් යමක් ප්‍රකාශ වෙන පදමාලාවන් ඉඳහිට හෝ අහන්න දකින්න ලැබෙනව. මේ කෙටි හැඳින්වීම ලියවෙන්නෙ Aretha Fraklin  ගයන Natural woman ගීය වෙනුවෙන්. මේ ගීය soul සංගීත ආරට අනුව නිර්මාණය වුණු ගීයක්. Aretha  ඇමරිකාවේ 50 - 60 දශකවල බිහිවුණු soul සංගීතයේ අග්‍රස්ථානය හිමි කරගන්නා ගායිකාව කිව්වොත් නිවැරැදියි. Queen of Souls නම් විරුදාවලියෙන් ඇයව හැඳින්වෙන්නේ ඒ නිසා. 

Soul සංගීතය ඇමරිකානු කලුජාතිකයින්ගේ ජනසංගීත රටාවන් ආශ්‍රයෙන් බිහිවුණු Jazz, Rythem and Blues (R n B) වගේම දේවස්ථාන ආශ්‍රිතව Gospel music පදනම් කරගෙන ගොඩනැගුණ සංගීත ධාරාවක්. (Rock සංගීතය බිහිව එන්නෙත් ඔය මුල් වලින්) ඉතාම හැඟුම්බර වගේම උච්ච ස්වරයෙන් සිදුවන ගායනාවන් මේ Soul සංගීතයේ අනන්‍ය ලක්ෂණයක්)

2010 Rolling Stones සඟරාව විසින් එදාමෙදාතුර ලෝකයේ පහළ වුණු අති විශිෂ්ටතම ගායක ගායිකාවන් 100 දෙනා නම් කරද්දි එහි ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ Aretha. Rock සංගීතය ආශ්‍රිත සංගීතඥයන් ඇගයීමට ලක්කරන Rock n Roll hall of fame නාමාවලියට ඇතුලත් වුණ මුල්ම ගැහැනිය Aretha. ඉතින් ඇගේ ගායනාව ගැන ඉන් එහාට හඳුන්වාදීමක් අවශ්‍ය නෑ. Aretha ගේ ගායන කුසලතාව කියන්න ගියොත් මේ වගේ සටහන් කීපයක්වත් ලියන්න වේවි. Aretha ගැයූ ගීත බොහොමයක කලු ජාතික කාන්තාවක් විදිහට සමාජයෙන් එල්ලවුණ පීඩනය වගේම ඒ සියලු දේට වඩා ගැහැනියක් විදිහට ජීවිතයේ ඇය විඳින අත්විඳීම් තේමා වුණා.

ඇගේ Natural woman ගීය නිකුත් වෙන්නෙ 1967 අවුරුද්දේ. මේ පද රචනා කරන්නෙ සුප්‍රකට පද රචක යුවළක් වුණු Gerry Goffin සහ Carole King දෙදෙනා. ඉතාම කෙටියෙන් ඉතාම ගැඹුරින් මේ ගීය ආදරය මුල් කරගත්ත බැඳීමක ස්වභාවය කොයිවගේ විය යුතුද කියන කාරණය පැහැදිලි කරනව. ජීවිතය ඉතාම වෙහෙසකාරී අත්දැකීමක්, දුක් පීඩාවන්ගෙන් බහුල තැනක්. නමුත් ආදරය මේ හැමදෙයකින්ම අපට නිදහස ලැබෙන තැන වියයුතුයි. වර්තමානයෙදි අපිට අහන්න දකින්න ලැබෙන ආදර කතාවල ඇතුලාන්තය මීට වඩා හාත්පසින්ම වෙනස්. ප්‍රේමයෙන් බැඳුනු බොහෝම දෙනා ඒ ප්‍රේමයේ නාමයෙන් එකිනෙකාගේ ජීවිත තමන්ට උවමනා ආකාරයට පාලනය කරගන්න උත්සහ කරනව. තමන්ට උවමනා ආකාරයට පෙම්වතා හෝ පෙම්වතිය හදාගැනීමයි බොහෝ අයගෙ අරමුණ. අනෙකාව සීමාවක හිරකර තැබීම ලොකු ජයග්‍රහනයක් බව ඔවුන් හිතනව. බොහෝවිට ප්‍රේමවන්තයන් තමන් ආදරය කරන ඇය තමන් මෙන් හිතන පතන, ආශාවන් තියන, නිදහස ප්‍රිය කරන මනුශයෙක් බව බාර ගන්න සූදානම් නැහැ. නමුත් Aretha ගයන මේ ගීතයේ ඇගේ ප්‍රේමවන්තයා ඊට වඩා සෑහෙන වෙනස් චරිතයක්. 

Looking out on the morning rain
I used to feel so uninspired
And when I knew I had to face another day
Lord, it made me feel so tired
Before the day I met you, life was so unkind
But you're the key to my peace of mind

'Cause you make me feel
You make me feel
You make me feel like a natural woman (woman)

ඇගේ ජිවිතය ඇයටම උරුම දුක් වේදනාවන් පිරුනු එකක්. මේ මුල් පද කීපයෙන් ඇය ප්‍රකාශ කරන්නෙ ජීවිතේ තමන් විඳින වෙහෙසකාරි බව. නමුත් ඔහු මුණ ගැසීම ඒ වේදනාවන්ගෙන් ඇය මිදවූ බව ඇය කියනව. එහෙම වෙන්නෙ ඔහු ඇයව ‍තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න උත්සාහ නොකරන නිසා. ප්‍රේමය ඇතුලෙ ඇය විඳන සුවදායක බවේ රහස සැඟවිලා තියෙන්නෙ එතැන.

Before the day I met you, life was so unkind
But you're the key to my peace of mind

මේ ප්‍රේමවන්තයා හරි අපූරු චරිතයක් වියයුතුයි. මොකද සමාජයෙ බොහෝ මිනිසුන් ඇසුරේ පීඩාකාරී බව ම මිසක් සහනයක් ලබන්න බෑ. නමුත් ඔහු ඇයට ලබා දෙනව ඇයට අවශ්‍යම දේ. ඒ මානසික නිදහසත් ඇතුළාන්ත සාමයත් මිස අන් යමක් නොවෙයි. 

You make me feel like a natural woman

මං හිතන්නෙ මේක ගැහැනියක අතින් මිනිසෙකුට ලබන්න පුලුවන් ලොකුම ප්‍රශංසාවක්. මොකද ඔහු ඇයට ලබා දීල තියනව ඇයට දෙන්න පුලුවන් හොඳම දේ  ඇයට ඇයම වෙන්න් ඉඩ හැරීම.  ගීතයේ ඉතිරි පදමාලාවත් ගලා යන්නෙ ඒ ආකාරයට. 

When my soul was in the lost and found
You came along to claim it
I didn't know just what was wrong with me
'Til your kiss helped me name it
Now I'm no longer doubtful, of what I'm living for
And if I make you happy I don't need to do more

'Cause you make me feel
You make me feel
You make me feel like a natural woman (woman)

Oh, baby, what you've done to me (what you've done to me)
You make me feel so good inside (good inside)
And I just want to be (want to be)
Close to you, you make me feel so alive

You make me feel
You make me feel
You make me feel like a natural woman (woman)

මේ ගීතයට වස්තු විෂය වන දෙදෙනා පෙම්වත් යුවලක් බව අපි උපකල්පනය කලත් හැබෑවට මේ එහෙම දෙදෙනෙක් නොවිය හැකියි. සමහර බැඳීම් එහෙම නමක් දීල වර්ගීකරණය කරන්න බැහැ. පිරිමියෙකුට සහ ගැහැනියකට මේ ආකාරයෙ සමීප ඇසුරක් ගොඩනගා ගන්න ඔවුන් අතරේ ප්‍රේම සම්බන්ධයක් තිබිය යුතුම නැහැ. අනෙක් පුද්ගලයා තමන්ට කොයිතරම් වටිනවාද කියන කාරණය නිතරම එකිනෙකාට කියා නොගත්තත් හදවත් ඇසුරේ බැඳීමක ඒ සහනශීලී බව නිතර පවතිනව.

මතුපිට සරලයි සුන්දරයි වගේ පෙනුණත් ජීවිතේ ගැන කොයි තරම් ගැඹුරකට මේ පදමාලාවලන් ඇතුලෙන් යන්න පුලුවන්ද. අපේ මාධ්‍යවලින් ප්‍රචාරය නොවුණත් ලෝක සංගීතය ගැන විමසා බලද්දි මේ වගේ හැංගුණු මැණික් කැට ඕන තරම් හොයාගන්න පුලුවන් බව කියන්න ඕන.






No comments:

Post a Comment