Friday, January 8, 2021

Nomadland (2020)

කාලයක් තමන්ගේ ජීවිතයට ඉතා සමීපව සිටි කෙනෙකුගේ නික්මයාම සහ එයින් ඇතිවෙන හුදෙකලාව තරම් මිනිස් හදවත වේදනාවෙන් පෙළන හැඟීමක් තවත් නැතුව ඇති. සමහර විට ඒ අය අපි ලඟින් සිටීමම කොයිතරම් වටිනවද කියන දෙය කවදාවත් අපිට එවැනි කෙනෙකුට කියන්න අවස්ථාවක් නොලැබෙන්න ඇති. කෙනෙකුගේ වටිනාකම අපිට දැනෙන්නෙ තවදුරටත් ඒ අය අපේ ජීවිත තුළ නොපවතින මොහොතක වෙන්න ඇති. "ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකකි" ධර්මයේ පවා ඉතා පැහැදිලිව මේ කරුණ සඳහන් කරල තියන එය ඒ තරම් ජීවිතයට සමීප අත්දැකීමක් නිසා. 2020 අවුරුද්දේ තිරගත වුණු Nomadland චිත්‍රපටය නැරඹුව කෙනෙකුට, චිත්‍රපටය පුරා දකින්න ලැබෙන්නෙ අහිමිවීමේ වේදනාවෙන් ජීවිතය පුරා ඇවිදින හුදෙකලා ගැහැනියකගේ කතාවක් බව කියන්න පුලුවන්. එහි වරදකුත් නෑ. නමුත් මෙතනට පසුබිම් වෙන සමාජ දේශපාලනික කාරණා කිහිපයක් තිබෙනව. 

මෑත ඉතිහාසය පුරාම ඇමරිකාව ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකය හිමි රට විදිහට "ලෝක බලවතා" ගේ තැන පසුවෙමින් තිබුණා. නමුත් එදා පටන් අද වන තුරු ඇමරිකාව ආර්ථික අවපාතයන් 18 කට මුහුණුදී තිබෙනව. මින් 1929 ආර්ථික අවපාතය ඇමරිකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම විදිහට හඳුන්වනව. ඉන්පසුව සිදුවුණු දරුණුතම ආර්ථික අවපාතය සිදුවුණේ 2008 අවුරුද්දේ. මෙයින් මධ්‍යම පාන්තික ජනතාවට සෑහෙන අර්බුද ගණනාවකට මුහුණ දෙන්න වුණා. විශේෂයෙන් ස්ථීර වාසස්ථානයක් නඩත්තු කරගෙන වාසය කිරීම බොහෝ අයට අපහසු වුණා. ඒ නිසා සමහරු තමන්ට ඉතිරි වත්කම් යොදවල, සංචාරක ජීවිතයට සුදුසු විදිහට නිපදවපු RV වෑන් රථ මිලදී ගෙන, නැත්නම් තම තමන්ගේ වාහන ඒ ආකාරයට සකස් කරගෙන තැනින් තැනට යමින් මහ මඟ සැරිසරන ජීවිතයකට හුරුවුණා. අතරමඟ හමුවෙන තාවකාලික රැකියාවන් කරමින් මේ අය එදාවේල හොයාගත්ත. Nomads නමින් මේ අයව හඳුන්වනව. (vandweller නමිනුත් මේ අය හඳුන්වනව. එහි අර්ථය ලැබෙන්න වෑන් රථයක වාසය කරන්නා යනුවෙන්) මෙතනදි තව කාරණාවක් මතුවෙනව. ඇමරිකානු සමාජ සංස්කෘතිය නිර්මාණය වෙලා තිබෙන්නෙ තනි පුද්ගලයා කේන්ද්‍ර කරගෙන. ආසියාතික රටවල වගේ පවුල් වලට දැඩිව බැඳුන සාමුහික පැවැත්මක් ඔවුන්ට නෑ. දරුවන් තරුණ වයසේදිම දෙවව්පියන්ගෙන් වෙන් වෙනව. මේ නිසා වැඩිහිටියන් බොහෝවිට ජීවිත් වෙන්නෙ හුදෙකලාව. මේ Nomad ජීවිතයට යොමුවුණු බොහෝ අය ඒ වගෙයි. ඒ වගේම යුරෝපයෙත් ඇතුළුව මේ සුදු ජාතිකයින් සංචාරයට ඉතා කැමැත්තක් දක්වනව. එක් තැනක කොටුවෙලා ඉන්න ඔවුන් අකමැතියි. මේ හේතු කාරණා සමහර ඇමරිකානුවන් Nomads වරුන් බවට පත්වෙන්න බලපෑමක් ඇතිකලා. 

2017 අවුරුද්දේ දි  Jessica Bruder. නම් ලේඛිකාව මේ Nomad වරු ඇසුරෙන් Nomadland: Surviving America in the Twenty-First Century නම් ග්‍රන්ථය රචනා කරනව. එය ප්‍රබන්ධයක් නොවෙයි. එහි ඇතුලත් වෙන්නේ සැබෑම Nomad මිනිසුන්ගේ ජීවිත අත්දැකීම්. නිදහස් ජීවිතය බොහෝ දෙනා සිතන ආකාරයට පහසු එකක් නොවෙන බව ඇය කියනව. සැප පහසුකම් අඩුයි. අනාරක්ෂිතයි. එදා වේල සපයගන්න නම් කුමක් හෝ රැකියාවක් කල යුතුයි. තාවකාලික කුඩා කුඩා රැකියාවන් මිස ස්ථීර වෘත්තියක යෙදෙන්න ඒ තත්ත්වය යටතේ අපහසුයි. ඇගේ කෘතිය ඇසුරෙන් Nomadland චිත්‍රපටය නිර්මාණය කරන්නෙ ඇමරිකාවේ ජීවත්වන, චීන ජාතික සිනමාවේදිනියක් වුණු Chloé Zhao. චිත්‍රපටයේ තිරරචනය, අධ්‍යක්ෂණය, සංස්කරණය වගේම සම නිශ්පාදනය සිදුවන්නේ ඇය අතින්. 

චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය Fern නම් මැදිවයස් කාන්තාව. ඇයත් ඇගේ ස්වාමිපුරුෂයා Bo ත් ජීවත් වුණේ ඇමරිකාවේ බටහිර නෙවාඩා වේ රොකී කඳුකරය ආසන්න කාන්තර බිමක පිහිටා තිබුණ US Gypsum නම් සමාගම ආශ්‍රිත Empire ග්‍රාමයේ. Empire, USG කර්මාන්තයේ සේවය කල අයගෙන්ම සෑදුනු ග්‍රාමයක්. Fern සහ Bo ඉතාම ආදරයෙන් ජීවත් වුනා. නමුත් දිනක් නොසිතූ විදිහට Bo ජීවිතයෙන් සමුගන්නව. තමන්ගේ ජීවිතයේ සුන්දරම මතකයන් රැඳුණු Empire අතහැර නොයන Fern එහිම නැවතී ඉන්නව. නමුත් ආර්ථික අවපාතයෙන් පස්සෙ USG සමාගම වසා දමනව. Fern ට සිද්දවෙනව Empire අතහැර යන්න. ඇය තීරණය කරනව වෑන් රථයක් මිලදීගෙන එහි නැගිලා තැන තැන යමින් Nomad ජීවිතයක් ගතකරන්න. 

දවසක් ඇයට යූටියුබය හරහා Bob Wells නමැත්තෙකුගෙ වීඩියෝවක් දැකගන්න ලැබෙනව. ඔහු වෑන් රථයක ජීවිතය ගෙවන සමාජ ක්‍රියාකාරිකයෙක්. තැනින් තැනට යමින් මේ විදිහට මහ මඟ ජීවත් වන්නන් සමූහ වශයෙන් එකතු කිරීමයි ඔහු කරන්නෙ. Bob welles ගේ Nomads එකමුතුවක් ලඟපාතක පැවැත්වෙන බව ඇය දැනගන්නව. ඇය එයට සහභාගි වෙන්න තීරණය කරනව. බොහෝ විට ඇය වගේම තවත් Nomad ජීවිත ගෙවන්න හඳුනාගන්න ඔවුන් සමඟ මිත්‍ර සම්බන්ධතා ඇති කරගන්න, තමන්ගේ ජීවිත අත්දැකීම බෙදාගන්න ඇයට අවස්ථාවක් ලැබෙනව. මහ පොළව මත ස්ථීර වාසස්ථානයක් නොමැති, සුළඟ වගේ තැනින් තැනට සැරිසරන ඔවුන්ගේ ජීවිතවලට කුමක් සිදුවේවි ද.

චිත්‍රපටයෙ සුවිශේෂම කාරණය ප්‍රධාන චරිතය හැර අනෙක් සියලුදෙනා සැබෑම Nomad ජීවිත ගතකරන අය වීම. ඔවුන් වෘත්තිය නලු නිලියන් නොවෙයි. ඔවුන් පෙනීඉන්නේ ඔවුන් විදිහට මයි. Bob Wells පවා සැබෑ චරිතයක්. ඔහු ඇමරිකානු ධනවාදී ජීවිත රටාව විවේචන කරන්නෙක්. භෞතික අවශ්‍යතා අවම වුණු nomad ජීවිතය ප්‍රවර්ධනය කරමින් ඔවුන් අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට ක්‍රියා කරන්නෙක්. David, Linday May, Swankie මේ අය එම නම් වලින්ම හැඳින්වෙන සැබෑ ජීවිත.

චිත්‍රපටය පුරාම කැපීපෙනෙන කරුණ Fern ගේ චරිතය නිරූපණය කරන Frances McDormand ගේ රංගන ප්‍රතිභාව. ඇය රංගනය නම් කාර්‍ය අකුරටම ඉෂ්ටකරන රංගවේදිනියන් අතරේ ඉහළින්ම තැබිය හැකියි. 2017 දි Three Billboards චිත්‍රපටයෙ ඇගේ රඟපෑම් චිත්‍රපටය නැරඹූ කෙනෙකුට නම් අමතක නොවෙන එකක්. 2020 වසරේ මේ චිත්‍රපටයෙ ඇගේ රඟපෑමත් ඊට නොදෙවනි බවයි කියන්න පුලුවන්. ජීවිතයේ හුදෙකලාවෙන් පීඩා විඳින, නමුත් කිසිවක් ඉදිරියේ නොසැලෙන ධෛර්යමත් ගැහැනිය නිරායාසයෙන් ඇය තුළින් මතුවෙන බවක් අපි දකින්නෙ. චිත්‍රපටයෙ Cinematography අංශය ගැන සඳහන් කල යුතුමයි. ඇමරිකාවේ බටහිර කාන්තාර බිම් හරහා අනන්තය දක්වා විහිදෙන මං මාවත්, ඈත කඳුවල්ලට සීමා වෙන නිමක් නැති අහස  චිත්‍රපටයට එකතු කරන කාව්‍යාත්මක බව එහි සෞන්දර්ය ගුණය තවත් ඉහළ නංවනවා. 

චිත්‍රපටයෙ තැනක Bob Wells සහ Fern අතර සංවාද⁣යකදී ඔහු ඇයට කියනව අපි ආදරය කරන අයගෙන් කවදාවත් අපිට සමුගන්න බැරි බව. මොකද ඔවුන් ගැන මතකයන් අපි හදවතේ ඉතාම සුරක්ෂිතව රැඳී තිබෙන නිසා. භෞතික වශයෙන් ඔවුන් අපි ලඟ නොරැඳුනත් මතකයන් අපි තුළ පවතිනව. මේ තමා සරලවම Fern ගේ ජීවිතය. ඔහු මිය ගියත් ඇය නෙවාඩාවේ තම වාසස්ථානය හැර නොයන්නෙ ඒ ඔවුන් ගේ මතකයන් රැඳුනු තැන නිසා. අවසානයේ එතැනිනුත් නික්මයන්න සිදුවුණු මොහොතේ ඇය එක තැන නොරැඳි  සැරසරන ජීවිතයක් තෝරාගන්නෙ ඇගේ හද පෙළන වේදනාවට එකම සැනසුම එය පමණක් බව ඈ වටහා ගන්න නිසා. අපේ ජිවිතය එක්තරා ආකාරයකට නොනවතින සැරිසැරීමක් තමා.  

Chloé Zhao ගේ Nomadland චිත්‍රපටය එක් අතකින් ඇමරිකානු සමාජයේ එක් පැතිකඩක් නිරාවරණය කරන ගමන් අනෙක් අතෙන් ජීවිතයෙ නොනවතින ගමනේ මිනිසුන් අත්විඳින සියුම් සංවේදනාවන් කාව්‍යමය සුන්දරත්වයකින් දෑස් ඉදිරිපිට සිතුවම් කරනව.



No comments:

Post a Comment