Friday, January 23, 2026

පුතෙක්ද නැතිනම් දුවෙක් ද?

දරුවෙකු අපේක්ෂාවෙන් සිටි බිරිඳ තම සැමියාගෙන් මෙසේ ඇසුවා ය. "ඔයා බලාපොරොත්තු වෙන්නෙ කාවද? පිරිමි ළමයෙක් ද නැත්නම් ගෑනු ළමයෙක් ව ද?"

සැමියා මෙසේ පිළිතුරු දුන්නේ ය. "පිරිමි ළමයෙක් නම්, මම එයාට ගණිතය උගන්වනවා, අපි එකතු වෙලා වැඩ කරයි, මං එයාට මාළු අල්ලන්න කියලා දෙයි, ඒ වගේ තමා."


බිරිඳ සිනාසී මෙසේ ඇසුවා ය. "හොඳයි ගෑනු ළමයෙක් නම් මොනවද කරන්නෙ?"


සැමියා මඳ සිනහවක් පා මෙසේ කීවේ ය. "එයා ගෑනු ළමයෙක් නම් මට එයාට මොකවත් උගන්වන්න ඕන නැති වෙයි. එයා මට හැම දෙයක්ම උගන්වයි, පිළිවෙළකට අඳින්නෙ පළඳින්නෙ කොහොමද, කන්නෙ බොන්නෙ කොහොමද, කියන්න ඕන මොනවද ඕන නැත්තෙ මොනවද, මේ දේවල්. ඉක්මණින්ම එයා මට දෙවනි අම්මා කෙනෙක් වේවි. මගේ මොකවත් විශේෂත්වයක් නැතිව වුණත් එයා හැමතිස්සෙම මාව වීරයෙක් විදිහට සලකාවි. මම එයාට දෙයක් එපා කිව්වම එයා ඒක තේරුම් ගනීවි. ඒ වගේම එයා තමන්ගේ අනාගත ස්වාමිපුරුෂයා ව මාත් එක්ක සංසංදනය කරාවි. එයා කොච්චර වයස ගියත් තවමත් එයාගේ තාත්තාගේ පුංචි කුමාරිකාවී වගේ සලකනවට එයා ආසා වේවි. එයා මං වෙනුවෙන් මුළු ලෝකයකටම වුණත් විරුද්ධව සටන් කරාවි. කවුරු හරි මට රිද්දුවොත් එයා ඒ කෙනාට කවදාකවත් සමාවක් දෙන්නෙ නැති වේවි."


"ඔයා කියන්නේ ඔයාගෙ දුව මේ හැම දෙයක්ම කළත් ඔයාගේ පුතා කිසිම දෙයක් නොකර ඉඳීවි කියල ද?", බිරිඳ කුතුහලයෙන් යුතුව ඇසුවා ය.


"නෑ නෑ, මේ දේවල් පුතාටත් කරන්න පුළුවන්. ඒත් එයාට සිද්ධ වෙනවා කාලයත් එක්ක දේවල් ඉගෙන ගන්න. අනික් අතට, ගෑනු ළමයින්ට උපතින්ම මේ ගති ගුණාංග පිහිටනවා. දුවෙකුට තාත්තා කෙනෙක් වෙන එක ඕනැම පිරිමියෙකුට ලොකු ආඩම්බරයක්." සැමියා පිළිතුරු දුන්නේ ය.


"ඒත් එයා හැමදාම අපිත් එක්ක ඉන්න එකක් නැති වේවි" බිරිඳ කීවා ය.


සැමියා එවිට ඉතාම මෘදු ලෙස මෙලෙස පැවසුවේ ය. "ඒක ඇත්ත, ඒත් අපි එයාගේ හදවතේ හැමදාම ඉඳීවි, එයා කෙහේ ගියත් මොනවා කළත් අපි එයා එක්කම ඉඳීවි. ගෑනු ළමයි කියන්නේ අසීමිත ආදරයකුත් රැකවරණයකුත් අරන් මේ ලෝකෙට එන දේවදූතිකාවන්ට. එයාලා උපතින්ම ඒ වගේ තමයි."

.

.


Translated from the page "Amazing"




Thursday, January 22, 2026

ජීවිතේ දුක්බරම කවිය ලියා නික්ම ගිය ඇය

ඇය තම පළමු කවිය පළ කරනු ලැබුවේ වයස අවුරුදු අටේ දී ය. වයස තිහේ දී ඇය තම "The Bell Jar" නවකතාව පළ කළේ ව්‍යාජ නාමයක් යටතේ ය. එය තමාගේම ජීවිතයේ බිඳ වැටීම මුල් කරගනිමින් මානසික ව්‍යාකූලතාවන් ගැන ලියවුණු ප්‍රබල නවකතාවකි. ඉන් මාසයකට පසුව ඇය ජීවිතයෙන් සමුගෙන ගියේ වයස අවුරුදු තුනක දරුවන් දෙදෙනෙකු මෙලොව ඉතිරි කර තබා ය. සිල්වියා ප්ලැත් ඇගේ නම යි. ඇගේ ජීවිතයත් ඇගේ කවියත් අතර බැඳීම එකිනෙකින් වෙන් කළ නොහැකියි.

1932 ඔක්තෝබර් 27 දින මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් නුවර උපත ලද සිල්වියා කුඩා කළ සිටම හැකියාවන් ගෙන් පිරුණු දැරියක වූවා ය. ඇගේ පළමු කවිය ඇයට වයස 8 ක් වෙද්දී 1941 බොස්ටන් හෙරල්ඩ් පුවත්පතේ පළවිය. ඒ වසරේ දී ම ඇගේ පියා වූ ඔටෝ ප්ලැත් මියගියේ දියවැඩියා රෝගයෙනි. පියා ගේ මරණය සිල්වියාව ඇතුළාන්තයෙන් බිඳ දැමූ අතර එය ඈ තුළ ඉතිරි කළේ කිසිදා සුව නොවෙන වේදනාත්මක තුවාල කැළල කි. පසුකාලීනව ඇගේ කවි තුළින් ද, ලිවීම් සහ ප්‍රබන්ධමය රචනා තුළින්ද මේ රිදුම වරින් වර මතු විය. "මං ආයෙ කවදාකවත් දෙවියන් එක්ක කතා කරන්නෙ නෑ" පියා ගෙ මරණින් පසුව සිල්වියා එසේ කියා ඇත.


ඇගේ ළමා වයසේදී සහ යෞවනයේ දී සිල්වියා යනු දීප්තිමත් දැරියක වූවාය. ඇය නැගී එන ලේඛිකාවක්, දක්ෂ ශිෂ්‍යාවක් සහ ප්‍රසිද්ධ ගැහැනු ලමයෙකු විය. නමුත් මේ සියලු ජයග්‍රහණ පිටුපසින් වූයේ මානසික පීඩාවකි, භාවමය ව්‍යාකූලත්වයකි. 1953 අගෝස්තුවේ ඇයට වයස 20 දී නිව්යෝක් නුවර Mademoiselle සඟරාවේ ආරාධිත කතෘ ධූරය දරමින් සිටිද්දී සිල්වියා තදබල මානසික කඩාවැටීමකට මුහුණ දුන්නාය. නිදිපෙති අධිමාත්‍රාවක් ගෙන නිවසේ බිම් මහලේ සැඟවී සිට ජීවිතය නැති කර ගැනීමට ඇය උත්සාහ කළා ය. දවස් තුනකට පසුව ඇයව සොයා ගනු ලැබූ අතර electroconvulsive therapy (ECT) නම් ප්‍රතිකාර වලින් ද මනෝචිකිත්සක ප්‍රතිකාර වලින් ද පසුව නැවතත් ඈ උගනිමින් සිටි ස්මිත් විද්‍යාලයට යෑමට ඇයට හැකියාව ලැබුණ අතර එහිදී ඇය විශේෂ ගෞරව සහිතව උපාධියක් හිමි කර ගත්තා ය. මේ බිඳ වැටීමත්, දිවි නසා ගැනීමේ උත්සාහයත්, රෝහල්ගත කිරීමත් පසුකාලීනව ඇගේ "The Bell Jar" නවකතාවට පසුබිම් විය. 


1956 දී, ඇයට ලැබුණ ශිෂ්‍යත්වයකට අනුව ඉගෙනුම ලබමින් සිටි කේම්බ්‍රිජ් සරසවියේ දී ඇයට මුණගැසුණු ටෙඩ් හියුස් නම් බ්‍රිතාන්‍ය ජාතික කවියෙකු සමග සිල්වියා විවාහපත් වූවාය. දෙදෙනාම මහත් අපේක්ෂා සහගත කවියන් වූ අතර ඔවුන්ගේ සම්බන්ධතාව උණුහුම් ආශාවන්ගෙන් පිරුණු, ස්ථිර බවකින් තොර එකක් විය. ඔවුන් ෆ්‍රීඩා සහ නිකලස් නමින් දරුවන් දෙදෙනෙකු ලැබූහ. 1961 ඇයගේ උපදින්නට සිටි දරුවෙකු ගබ්සාවට ලක් වූයේ ය. මේ විවාහය ප්‍රශ්නකාරී එකක් විය. ටෙඩ් තවත් කාන්තාවක් හා සම්බන්ධතාවක් පවත්වන බව සොයාගත් සිල්වියා 1962 දී ඔහුගෙන් දික්කසාද වූවාය. මේ සිද්ධි ඇයව තවදුරටත් බිඳ දැමීය.


ටෙඩ් ගෙන් වෙන් වී, දරු දෙදෙනෙකුත් තනිවම බලා කියා ගනිමින් සිල්වියා ඇතුළත් වූයේ ඇගේ නිර්මාණ ජීවිතයේ උච්චතම අවධියකටයි. ඇගේ නම ලොව පුරා ප්‍රකට කරවන්නට හේතු කාරක වුණු කවි බොහෝමයක් ඈ රචනා කළේ ඉන්පසුවය එළඹුණු ඔක්තෝබර්, ජනවාරි කාල සීමාව අතරයි.


මේ කවි ස්වයං පාපොච්චාරණාත්මක, ආවේගශීළී, නොදැමුණු ප්‍රකාශණ වුණු අතර සමකාලීන කවිය තුළ තිබුණු අන් කිසිවෙකුට වඩා දීප්තිමත් විය. 1963 දී ඇගේ "The Bell Jar" නවකතාව ලන්ඩනයේ දී Victoria Lucas නම් ව්‍යාජ නාමය යටතේ ප්‍රකාශයට පත් විය. සිල්වියා ව්‍යාජ නාමයක් භාවිත කළේ මේ නවකතාව 1953 බිඳ වැටීම, සියදිවි නසා ගැනීමේ උත්සාහයන් සහ මනෝ චිකිත්සක ප්‍රතිකාරයන් මුල්කරගෙන ලියවුණු එක්තරා ආකාරයක ඇගේම චරිතාපදානයකට සම වුණු බැවිනි.


නවකතාවට මුල් වන්නේ Esther Greenwood නම් තරුණියකි. ඇය බොහෝ දක්ෂතාවලින් පිරුණු, බොහෝ සාර්ථකත්වයන් අත්පත් කරගත්ත දැරියක වුවද 1950 ගණන් වල ගැහැනුන් කෙරෙහි පැනවී තිබූ සුවසක් ජීවන අරමුණු අතරේ විෂාදය සහ උමතුබව කරා ඇද වැටෙන චරිතයකි. එය මානසික රෝගී තත්වයන් ද, අනන්‍යතා අර්බුදයද සහ සමාජයෙන් නියමවී තිබූ ස්ත්‍රීපුරුෂ භූමිකාවන්ගේ පීඩනයක නිරූපණය කරයි. 


1963 පෙබරවාරි 11 වනදා, "The Bell Jar" කෘතිය පළ කර මාසයකට පසුව, සිල්වියා ඇගේ ලන්ඩන් තට්ටු නිවසේ දී සියදිවි නසාගත්තා ය. ඇය කුස්සියේ දොර වසා, ගෑස් උදුන ඇර එය තුළට තම හිස ඇතුළුකර ගත්තා ය. ඇගේ දරුවන් දෙදෙනා වුණු ෆ්‍රීඩා සහ නිකලස් යාබද කාමරයේ නිදමින් වුන් අතර එම කාමරයට ගෑස් ඇතුළු නොවන පරිදි හොඳින් වසා ආවරණය කර තිබුණි. ඇය සමුගන්නට පෙර ඔවුන්ගේ ඇඳ අසලින්ම පාන් සහ කිරි සූදානම් කර තබා තිබුණා ය. ඒ ඔවුන් අවදි වුණු පසු කුසගිනි නිවාගන්නට ය.


මියයන විට සිල්වියා ප්ලැත් 30 හැවිරිදි ව සිටියා ය. "The Bell Jar" ඇගේ සැබෑ නමින් 1971 ඇමරිකාවේදී නැවත පළ විය. ටෙඩ් හියුස් විසින් සංස්කරණය කරන ලද  "Ariel" නම් ඇගේ කාව්‍ය සංග්‍රහය 1965 දී ප්‍රකාශ වුණි. 1982 දී සිල්වියා මරණින් පසුව පුලිට්සර් ත්‍යාගය දිනා ගත් ප්‍රථම තැනැත්තිය බවට පත්වූවා ය.


සිල්වියා ප්ලැත් ගේ උරුමය සංකීර්ණ එකකි. ඇගේ කවි, විශේශයෙන් පසුකාලීනව ලියවුණු කාව්‍ය, ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු විශිෂ්ටතම කවි අතර සැලකෙයි. ඒවා පුද්ගලික සංවේදනාවන් සෘජුවම කලාව බවට පත්කළ "පාපොච්චාරණාත්මක" ආකාරයෙන් ලියවුණු මුල්ම නිර්මාණ වෙයි. "The Bell Jar" ස්ත්‍රිවාදී සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතිය කි. එය විෂාදය ද මානසික රෝගීබවද ගැන ලියවුණු අවංකම ප්‍රතිනිර්මාණය කි. නමුත් ඇගේ ජීවිතයත් මරණයත් උත්කර්ෂයට නැංවෙනුයේ එහි සත්‍ය යටපත් කරවමිනි. ඇය මානසික රෝග වලින් පීඩා වින්දේ ඒවා සඳහා ප්‍රතිකාර ප්‍රමාණවත් තරම් නොතිබුණු යුගයක ය. ඇගේ සැමියා ඇයට ද්‍රෝහි විය. ඇයට දරු දෙදෙනෙකු සමග තනිවන්නට සිදුවිය. බොහෝවිට ඇගේ මරණය කලාත්මක ප්‍රාණ පරිත්‍යාගයක් ලෙස වර්ණනා කෙරෙන නමුත්  සත්‍ය එය නොවෙයි. එය විශිෂ්ට ලේඛිකාවක් සහ මවක් ලෙස මානසික රෝගී බව සමග කළ නිරන්තර සටනින් පරාජය වීමකි. එය ඇත්තටම ඛේදවාචකයකි. 


Translated from - English Literature: A Community's Post




Monday, January 19, 2026

ෆ්‍රාන්ස් කෆ්කා සහ නැතිවුණු බෝනික්කා

චෙක් ජාතික ලේඛක ෆ්‍රාන්ස් කෆ්කා කිසිදාක විවාහ වුණේ නැත. ඔහුට දරුවන් ද නොසිටියේ ය. දිනක් බර්ලින් නුවර උද්‍යානයේ ඇවිද යමින් සිටියදී ඔහු දුටුවේ කුඩා ගැහැනු ළමයෙක් හඬමින් සිටිනා අන්දමයි. ඇගේ ප්‍රියතම බෝනික්කා නැතිවී ඇත. ඇය හඬන්නේ ඒ නිසා ය. කෆ්කා දැරියත් සමග එකතු වී සොයාබැලුව නමුත් ඔවුන්ට බෝනික්කා හමුවුණේ නැත. හෙටත් මෙතැනටම පැමිණ බෝනික්කා සොයන්නට උත්සාහයක් දරමු යි කියා කෆ්කා මේ කුඩා දැරියට කීවේ ය.

ඊළඟ දවසේදිත් ඔවුන්ට බෝනික්කා හමු නොවුණු අතර කෆ්කා කුඩා දැරියට දුන්නේ බෝනික්කා ලියු තිබුණා යැයි කියූ ලිපියකි. එහි ලියා තිබුණේ මෙය යි. "කරුණාකරලා අඬන්න එපා. මම ලෝකෙ වටේ ඇවිදිලා බලන්න ගියා. මම ඔයාට මගේ ගමන් ගැන විස්තර ලියලා එවන්නම්."


ෆ්‍රාන්ස් කෆ්කාගේ ජීවිතය තිබෙන තුරුම පැවති කතාවක ආරම්භය එය විය.


ඉන්පසුව ඔවුන් මුණගැසෙන වාරයන් අතර ලොව වටා චාරිකාව ගැන බෝනික්කා විසින් ලියූ ලියුම් කෆ්කා ඇයට කියවූයේය. දැරිය ඒවාට ඉතාම ආශා කළා ය.


අවසානයේ දී කෆ්කා පැමිණුනේ බර්ලින් බලා ආපසු ආ බෝනික්කාද රැගෙන ය. (ඔහු බෝනික්කෙක් මිලදී ගෙන තිබුණි). 


"එයා මගේ බෝනික්කා වගේ නෙමෙයි නේ". දැරිය පැවසුවා ය. 


බෝනික්කා ලියූ තවත් ලියුමක් කෆ්කා දැරියට දුන් අතර එහි ලියා තිබුණේ "මං ගමන් යන අතරේ මාව සෑහෙන වෙනස් වුණා" යනුවෙනි. දැරිය මේ අළුත් බෝනික්කා වැළඳ ගෙන සතුටින් නික්ම ගියා ය.


ඉන් වසරකට පසුව ෆ්‍රාන්ස් කෆ්කා මියගියේ ය. 


තවත් වසර ගණනාවකට පසුව, දැන් වයසින් වැඩී සිටි මේ දැරිය බෝනික්කා තුළ තවත් ලියුමක් ඇති බව සොයාගත්තා ය. එය ෆ්‍රාන්ස් කෆ්කා අත්සන් කළ කුඩා ලිපියකි. එහි තිබුණේ මෙයයි.


"ඔයා ආදරය කරන කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ, අවසානෙදි, ඒ ආදරය වෙනත් ආකාරයකට ඔයාව හොයාගෙන එනවා."


Translated from English Literature



Wednesday, January 14, 2026

යුද්ධය හා සාමය

අපේ කාලේ සිනමාකාරයෙක් වෙච්ච ටැරන්ටිනෝ මහත්මයා මෑතක දී කියපු එක්තරා කට කැඩිච්ච කතාවක් හින්දා මේ සයිබර් අවකාශේ සිනමා සංවාද ඇතුළේ කතාවට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා. ඒ මහත්මයා ඒ කතාව කියලා තිබුණේ නැගී එන ඇමරිකානු නළුවෙක් වෙච්ච පෝල් ඩේනෝ සම්බන්ධයෙන් සහ ඒ කතාව ඇදිලා එන්නේ 21 වෙනි සියවසේ බිහිවුණු හොඳම චිත්‍රපටි තෝරන එක්තරා වැඩසටහනකදි. එතනදි ටැරන්ටිනෝ කියලා තිබුණ කතාවෙන් කියවුණේ පෝල් ඩේනෝ කියන්නෙ කිසිම කමකට නැති නළුවෙක් සහ දැනට ඇමරිකානු නළුනිලි සමූහයේ (SAG) ඉන්න දුර්වලම නළුවා පෝල් කියන දෙය. There Will Be Blood චිත්‍රපටිය 21 වෙනි සියවසේ හොඳම චිත්‍රපටි අතරේ අඩුවෙන් ස්ථානගත කරන්න වෙන්නේ පෝල් ඩේනෝ ගේ දුර්වල රඟපෑම නිසා බව ටැරන්ටිනෝ කියලා තිබ්බා. ඒක ටැරන්ටිනෝගේ පුද්ගලික අදහසක් වෙන්න ඇති. නමුත් පෝල් ඩේනෝ ගේ රඟපෑම් දැකලා තියෙන කෙනෙකුට කවදාවත් එයා දුර්වල නළුවෙක් කියලා කොහොමත් දැනෙන්නෙ නැති බව සහතිකයි. (උදාහරණ The Batman, Prisoners, Swiss Army Man, Little Miss Sunshine වගේ චිත්‍රපට). පෝල් ඩේනෝ කියන්නෙ සිනමා කර්මාන්තය ඇතුළෙ දි තමන්ට අදාළ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්න බොරු සෝබන නැති සහ තමන්ව ප්‍රවර්ධනය කරගන්න උත්සාහ නොකරන නිහඬ, නිවුණු චරිතයක් බවයි කියවෙන්නෙ. ඉතින් පෝල් ගේ රසිකයිනුත් සිනමාව ගැන උනන්දු සහ සාධාරණව හිතන්න පුලුවන් කවුරු වුණත් මේ කතාව සම්බන්ධයෙන් ටැරන්ටිනෝ මහත්මයාට සෑහෙන අමතලා තිබ්බා. ඔය අල්ලපනල්ලෙ පෝල් ඩේනෝ වෙනත් රඟපෑම් ගැන හොයමින් ඉන්න අතරේ මගෙ ඇහැ නතර වෙන්නෙ War & Peace කියන නිර්මාණය ලඟ. මේක ලියෝ ටෝල්ස්ටෝයි ගෙ යුද්ධය හා සාමය නවකතාව මුල් කරගෙන BBC යෙන් කළ නිර්මාණයක් බවත්, 2016 අවුරුද්දෙ ආව කොටස් 6 ක රූපවාහිනී නාටකයක් බවත් දැක්කාම හිතුණෙ මෙච්චර කල් කොහොමද මේවා මගඇරුණේ කියලා තමයි.


War & Peace ලෝකෙයෙ මෙතෙක් ලියවුණු අති විශිෂ්ටතම නවකතාවක් විදිහට සැලකෙනවා. ඒ වගේම ප්‍රධාන චරිත ගණනාවක්ම ඇතුළත්වෙන සහ ඒ චරිත ආශ්‍රයෙන් මිනිස් ජීවිතයත් සමාජ දේශපාලන කාරණාත් ගැඹුරට විවරණය කරන ඉතාම දීර්ඝ නවකතාවක්. මේ නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය "යුද්ධය හා සාමය" නමින් අපිට හිටපු අග්‍රගන්‍ය පරිවර්තකයෙක් වෙච්ච සිරිල් සී. පෙරේරා මහත්මයා විසින් කාණ්ඩ තුනක් යටතේ පළකරලා තියනවා. මේ 2016 රූපවාහිනී නාටකය ඇතුළෙ දී ඒ සාහිත්‍යමය බරසාර කම දැනෙනවා. ඒ වගේම කතාවට මුල් වෙන 1800 ගණන් ප්‍රතිනිර්මාණය කරලා තියන ආකාරයෙනුත් ඇහැට සනීප පසුතල සහ රූපරාමු එක්කත් මොහොතක් ඇහැ ඉවතට ගන්න හිතෙන්නෙ නැති රූපමය සෞන්දර්ය පිරුණු classic ගණයේ නිර්මාණයක්.


කතාවේ ප්‍රධානම චරිතයක් වෙච්ච පියරේ ගෙ චරිතය යි පෝල් ඩේනෝ මෙතනදි රඟපාන්නෙ. පියරේ කියන්නෙ රුසියාවේ ධනවත්ම සිටුවරයෙකුගේ අනීතික පුත්‍රයෙක්. පියරේ ඉතාම කාරුණික මෘදු ගතිගුණ ඇති අවංක තරුණයෙක්. සමාජයෙ බහුතර දෙනෙකුට වඩා වෙනස් විදිහට තමා එයා දේවල් දකින්නෙ. ඒ වගේම එයා සමාජයේ පිලිගැනීමක් ලබාගන්න බොරු ප්‍රතිරූපයක් මවාපාන්නෙ නෑ. ඉතින් එයාගෙ මෙන්න මේ වෙනස් දැක්ම සහ අව්‍යාජ ගති ගුණ හින්දා වැදගත් සමාජයෙ කවුරුත් එයාව වැඩියෙ ගණංගන්නෙ නෑ. ගොඩක් වෙලාවට එහෙම චරිත වලට සමාජෙන් ලැබෙන ප්‍රතිචාරය තමා ඕක. කතාවෙ හැටියට පියරේටත් වෙන්නෙ එහෙම. (පෝල් ඩේනෝ මේ චරිතයට තෝරා ගැනෙන්නෙ එයාගෙ ගති ස්වභාවයන් මීට සමපාත වෙන හින්දා වෙන්නත් පුලුවන්). දවසක් නොහිතූ විදිහට පියරේ ලොකු ධනස්කන්ධයක උරුමක්කාරයෙක් බවට පත් වෙනවා. එච්චර ධනයක් ලැබුණාට ඒවයින් මොනවද කරන්න ඕන කියලා එයාට තේරෙන්නෙ නෑ. මොකද එයාට ඒ දේවල් ගැන ලොකු උනන්දුවක් නැති නිසා. නමුත් ඉන් පස්සෙ එයා වටේ ලෝකය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කලින් එයාව ගණන් ගත්තෙ නැති වැදගත් සමාජය දැන් එයාව හොයාගෙන එනවා. මංගල යෝජනා දවසට දෙක තුන එන තරමට මොකක්ද වෙනසක් සිදුවෙලා තියනවා කියල දැනෙන්න පටන් ගන්නවා.


පියරේ කියන්නේ මේ කතාවේ එක චරිතයක් පමණයි. තව ගොඩක් දෙනා ඉන්නවා. කතාවට පසුබිම් වෙන යුද්ධය සිද්ධවෙන්නේ ඔය අතරේ දි යි. 1805 දී ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා ඔස්ට්‍රියාව ආක්‍රමණය කරනවා. මේ සිදුවීම එක්ක අසල්වැසි රුසියාවත් දේශපාලනික වශයෙන් අවදානමට ලක්වෙනවා. ඒ නිසා රුසියාවත් ඔස්ට්‍රියාවත් එක්ව පොදු සතුරා වුණු නැපෝලියන්ට එරෙහිව යුධවදින්න තීරණය වෙනවා. රුසියන් තරුණයෝ බොහොම දෙනෙක් යුද්ධයට යනවා. පියරේ ගේ නැදෑ හිත මිත්‍රයින් බොහොම දෙනෙක් ඔය අතරේ ඉන්නවා. අන්ද්‍රේ කියන්නේ ඒ අතරින් එක්කෙනෙක්. හරියටම කිව්වොත් පියරේ ගේ ප්‍රාණසම අතිජාත මිත්‍රයා තමයි අන්ද්‍රේ. අන්ද්‍රේ වැදගත් පවුලකින් එන කඩවසම් තරුණයෙක්. අන්ද්‍රේ විවාහකයෙක්. ඔහුට ඉන්නවා සුරූපී භාර්යාවක්. ඔහුට සමාජයෙ හොඳ පිළිගැනීමක් තියනවා. බැලූ බැල්මට අන්ද්‍රේ ගත කරන්නේ කිසි දෙයකින් අඩුවක් නොවුණු සියල් සපිරි ජීවිතයක් වුණත් ඔහු මහා අතෘප්තියකින් පෙළෙනවා. උසස් සමාජයේ විනෝද සාද, හමුවීම්, උත්සව මේ කිසි දෙයක් අන්ද්‍රේගෙ සිත් ගන්නේ නැහැ. අනෙක් අතින් විවාහ ජීවිතේත් කිසි ප්‍රශ්නයක් නැතත් ඔහුට ඒ ගැන සතුටකුත් නෑ. අන්ද්‍රේ යුධ පෙරමුණට යන්නේ එක්තරා ආකාරයකට ජීවිතේ මේ හිස් කමින් පළායන්න.


War & Peace කතාව ගලා යන්නේ ඔය හැම දෙයක්ම එකිනෙක සම්බන්ධ කරමින් සංකීර්ණ සිද්ධිදාමයන් නිර්මාණය කරමින්. මේකෙ පෝල් ඩේනෝ ට අමතරව ජෙසී බක්ලි, ගිලියන් ඇන්ඩසන් වගේ අපිට හුරු පුරුදු තවත් අය කීපදෙනෙක්ම ඉන්නවා. පොත කියවා නැති නිසා පොතත් එක්ක සංසංදනාත්මකව කොයි තරම් සාධාරණයක් මූලික කතාවට මේ නාටකය කරලා තියනවද දන්නෙ නෑ. පොදු පිළිගැනීම අනුව නම් පොත මූලිකව කළ හොඳම ගණයේ අනුවර්තනයක් මේ නාටකය. Periodic Drama වලට කැමති අයට සැකයක් නැතුවම නිර්දේශ කරන්න පුළුවන් වැඩක්. අනෙක් අතට ටැරන්ටිනෝලා මොන කතා කිව්වත් පෝල් ඩේනෝ කියන්නෙ අපේ කාලේ දක්ෂයෙක් බව ඔප්පු කර පෙන්වන නිර්මාණයක්. එයාට එල්ල වුණු ඒ අපහාසයට මම දන්න තරමින් පෝල් කිසිම ආකාරයක ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඒවට ප්‍රතිචාර දිදී ඉන්න කාලයත් ශ්‍රමයත් නාස්ති කරන්න උවමනාත් නැහැ. අදාල වැඩේ පමණක් කරලා පැත්තකට වෙලා ඉන්න නිහඬ චරිත සාමාන්‍යයෙන් ඔය වැනි දේවල්වලදී ඉස්සරහට එන්නේ නැහැ. ඒක ඒ අයගෙ හැටි. තමන් වැඩ කරන්නේ හදවතට එකඟව නම්, කරන දේ ඇතුළේ තමන්ගේ ආත්ම තෘප්තිමත් නම් එතනින් එහාට තව මොනවද? ඒ සිද්ධිය ඇතුළේ අපිටත් හිතන්න යමක් ඉතිරි වෙලා තියනව කියලා මම හිතනවා.




Tuesday, January 6, 2026

දාර්ශනිකයෙකුගේ ඇදවැටීම

වර්ෂ 1899 දී ගන්නා ලද මේ ඡායාරූපයේ සටහන් වන්නේ උන්මන්තකාගාරයක සිටිනා ෆ්‍රෙඩ්‍රික් නීශේ ගේ රුවයි. ඒ ඔහුගේ අසීමිත වූ බුද්ධිප්‍රභාව නිහඬ වී වසර දහයක් ගත වූ පසුවයි.

වතාවක් ඔහු දර්ශනවාදයේ පවුරු පදනම් සොලවාලූවේ ය. 

ඔහු දෙවියන්ට ද, ආචාරධර්ම වලටද, බලයට සහ දුබල බවට ද එකසේ අභියෝග කළේ ය.


ඔහු ලියුවේ ගින්නක තරම් තියුණු බවකින් සහ අනනුකම්පිත වූ පැහැදිලිබවකින් යුතු ව ය.


නමුත් මෙහි ඔහු සිටිනුයේ පසුබා ගිය, දුර්වල, දුරස්ථ තැනැත්තෙකු ලෙසින් ය.


එහි ඇත්තේ ජයග්‍රහණයක් නොව,

නිහඬ විනාශයකි.


නීශේ ඔහුගේ ජීවිතයේ අවසන් වසර කිහිපය ගෙවා දැමුවේ කිසිවක් ලියාගත නොහැකිවයි. වතාවත් ඔහු කළ අයුරින් සිතන්නට නොහැකිවයි. ඔහු සිරුරින් ජීවත් ව සිටියද නූතන යුගය හැඩගැස්වූ ඔහුගේ ඒ හඬ නිහඬ වී ගොස් තිබුණි. මිනිසත් බවේ ප්‍රබලතාවන් ගැන ලියූ මිනිසා ඒ මනුශ්‍යත්වයේම දුර්වලකම හමුවේ ඇද වැටී තිබුණි.


සියල්ල ආරම්භ වූයේ 1889 ජනවාරි 03 වනදා ඉතාලියේ ටියුරින් නුවරින් ය.


ඇසින් දුටු සාක්ෂි අනුව ඔහු නගරයේ ඇවිද යමින් සිටිය අතර ඔහු දුටුවේ අශ්ව රථ රියැදුරෙකු තම අශ්වයාට දරුණු ලෙස කසයෙන් තලනා අන්දමයි. කසපහර කමින් සිටි අසරණ සතා එය දරාගත නොහැකිව බිමට ඇදගෙන වැටුණේ ය. මෙය දුටු නීශේ වහා දිවගොසින් අශ්වයාගේ ගෙල බදාගෙන කදුළු සලන්නට පටන්ගත්තේ ය. හැඬීම පාලනය කරගත නොහැකි වුණු ඔහු සෙමින් අශ්වයාගේ ගෙල සිපගත්තේ ය.


එයින් පසු ඔහුගේ ඇදවැටීම ආරම්භ විය.


මේ සිදුවීමෙන් පසු කිසිදාකවත් ඔහුට ඉන් පෙර සිටි මිනිසා බවට පත් වීමට නොහැකි විය. 


මේ සිදුවීමේ මේ ආකාරයෙන්ම සිදුවුණාද යන කරුණ ගැන ඉතිහාසඥයන් අතර ඇත්තේ විවාදයකි. නමුත් ඉන් එහි බලපෑම් සහගත බව අඩු නොවෙයි. එයින් නිරූපිත වන දේ නිසා ඒ කතාව අද වන තුරු පවතියි, එනම් දයානුකම්පාවේ බලවත් කම නිසා අධිෂ්ඨානය, ඉවසීම සහ ශක්තිය වෙනුවෙන්ම කැපවුණු මනසක් සම්පූර්ණයෙන් බිඳ වැටී ගිය ආකාරය එයින් කියවෙයි.


ජීවිතයට දුෂ්කරතාවන් අවැසි බව කියූ දාර්ශනිකයාව කරුණාව විසින් යටපත් කරනු ලැබී ය.


ටියුරින් සිද්ධියෙන් පසු නීශේ නිහඬතාව වෙත පසුබැස ගියේ ය. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී යන්නට පටන් ගත් විට ඔහුගේ මව ද සහෝදරියද ඔහු රැකබලා ගත් හ. ඔහුගේ ජීවිතයේ අවසාන දශකය, වතාවක් ලෝකයකට අභියෝග කළ තියුණු බුද්ධියෙන් බොහෝ දුරස් ව රෝගී බවෙන් ද, හුදෙකලාවෙන් ද, ව්‍යාකූලත්වයෙන් ද ගෙවී ගියේ ය.


මේ ඡායාරූපය වචන වලින් තොරව ඒ සත්‍යය කියාපාන්නකි.


අපගේ විශ්ෂ්ඨතාවයන් අපව පරාජය කළ නොහැකි අනභිභවනීය අය බවට පත් කරන්නේ නැත.

අපේ ශක්තිමත් බව අපව මෘදු බවින් ආරක්ෂා කරන්නේ නැත.

තියුණුම මනසක් පවා මනුෂ්‍ය ස්වභාවයෙන් වෙන් කළ නොහැකිය.


නීශේ ගේ ඇදවැටීම අපට කියාපානුයේ දයාන්විත වීම දුර්වලකමක් නොවන බවයි. එය තමන්ව විනාශ කළ නොහැකි යැයි විශ්වාස කරන අයව පවා බිඳ දැමීමට තරම් බලවත් ය.


සමහර විට සියළු දේට වඩා වඩාත් මානුෂික වූ දර්ශනවාදය එය විය හැකියි. 


~ Translated from the Page "Reece Ryan"


ප.ලි. - නීශේ සහ ටියුරින් අශ්වයා සම්බන්ධ සිදුවීම තහවුරු කරන්නට ඉතිහාසමය සාධක නොමැති අතර එවැන්නක් සිදුවූ බවට ඇති සාධක ඒ සම්බන්ධව ඇති කටකතා සහ ඉන් වසර ගණනකට පසුව පළ වූ පුවත්පත් වාර්තාවක් පමණි. නමුත් 1889 වසරේ ටියුරින් නගරයේ දී නීශේ මානසික වශයෙන් වශයෙන් දරුණු ලෙස ඇද වැටුණු බවත්, එයි පසු ඔහුගේ ජීවිතය අවසන් වන තුරුම සියළු ලිවීම් අතහැර දමා නිහඬව හුදෙකලාවේ ගෙවා දැමූ බවත් සත්‍ය කි. මේ සිදුවීම මුල් කරගෙන The Turin Horse නමින් සිනමාපටයක් 2011 වසරේ නිර්මාණය වී ඇත.




Sunday, January 4, 2026

ඇදුරුතුමා සහ තරුණ භික්ෂුව

දිනක් එක් තරුණ භික්ෂුවක් තම ඇදුරුතුමන් පසු පස ගමන් ගනිමින් සිටියේ ය. ඔහුගේ මනස පසුතැවිල්ලෙන් බරවී තිබුණි. දිගු නිහැඬියාවකට පසු ඔහු මෙසේ ඇසුවේ ය. 

"ඇදුරුතුමනි, මට දුකෙන් මිදෙන්න බැරි ඇයි? මම කොහේ ගියත්, කොයිතරම් උත්සාහ කළත් දුක්වේදනාවනුත් කාංසාවත් මාව හොයාගෙන එනවා."


වයස්ගත ඇදුරුතුමා ගමන නතර කර සිනාසී අසල තිබූ මැටි භාජනයක් පෙන්වූයේ ය. එතුළ වැඩෙමින් තිබුණේ කුඩා පැළයකි. 


"මේ පැලය ඔබට පෙනෙනවද?" එතුමන් ඇසුවේය.


"එහෙමයි. මට පෙනෙනවා" භික්ෂුව පිළිතුරු දුන්නේ ය.


"මේ පැලය තවමත් මෙහෙම තියෙන්නේ කවුරු හරි දිනපතාම මේකට වතුරදාන හින්දා. අවධානයත්, රැකවරණයත් ලැබෙන්නේ නැත්නම් පැලය වේළිලා මැරිලා යන්න තිබුණා. දැන් මට කියන්න - ඔයාගෙ ඔය වේදනාවන්ට වතුර දාන්නෙ කවුද?"


හිස බිමට බරකරගත් භික්ෂුව පිළිතුරු දුන්නේය. "මම හිතන්නෙ මගේම මනස තමයි."


ඇදුරුතුමන් හිස සැලුවේය. "හරියට හරි. අතීතය ගැන කල්පනා කරන හැම වෙලාවකම ඔයා ඒ පැලේට වතුර දානව. අනාගතයට බය ඇති කරගන්න හැම වෙලාවකදිම ඔයා ඒ පැලේට ආලෝකය සපයනව. ඔයාගේ දුක් වේදනාවන් ගැන හිතමින් ඉන්නා හැම වෙලාවකම ඔයා ඒ පැලේට මුල් අදින්න පස සකස්කරලා දෙනව. ඒ හින්දා තමයි විඳවීම ඔයාව අතහැර නොයන්නෙ. ඔයාමයි ඒ පැලේ සාත්තු කරලා රැකබලා ගන්නෙ."


"ඒත් මම කොහොමද ඒක නවත්වන්නෙ?" භික්ෂුව විමසා සිටියේ කඳුළු බිඳු ගලා යන දෑසිනි.


ඇදුරුතුමන් ඔහුගේ උරහිස මත අත තබා මෘදු ලෙසින් මෙසේ පැවසුවේය. "අලුත් දෙයක් පැල කරන්න. හරියට සාමය, කාරුණික බව, කෘතවේදීත්වය වගේ. බය වෙනුවට කරුණාවෙන් මනස පුරව ගන්න. දුක් වේදනාවලට අනවශ්‍ය විදිහේ අවධානයක් නොදී හිටියාම ඒවා හෙමින් සැරේ යටපත් වෙලා මැකිලා යාවි."


එතැන් පටන් තරුණ භික්ෂුව ගේ සිතුවිලි වෙනස් විය. උන්වහන්සේ ගේ ලෝකයෙන් දුක් අඳුර දුරුවී ආලෝකය පැමිණියේ ය.


~ Translated from the page facebook "Buddism"