Monday, March 18, 2019

දැකල පුරුදු කෙනෙක්


විවාහය කියන්නෙ පුද්ගල අවශ්‍යතාවක් නෙමෙයි. ඒක සමාජ අවශ්‍යතාවක්. ආදරය ලැබීම, සුරක්ෂිත බව, විශ්වාසවන්ත කම.. මේව තමා පුද්ගල අවශ්‍යතාවයන්. මේ පුද්ගල අවශ්‍යතාවන් සපුරාගන්න සමාජය විසින් හදල දුන්න රෙඩි මේඩ් විසඳුම තමයි විවාහය කියන්නෙ. නිදහසේ ගලායන මිනිස් සිතුවිලි මෙහෙම අච්චුවක හිරකරල තිබ්බම සහ එහෙම සීමාවකට කොටුවෙලා හිතන්න මනස පුරුදු වුණාම ඇතිවෙන ගැටලු සහගත තත්ත්වයන් තමා "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටයෙන් අපි දකින්නෙ.

මුලින්ම ස්තූතියි කියන්න ඕන මේ චිත්‍රපටය වෙනුවෙන් දායක වුණු සියලු දෙනාට. රසවිඳින්න පුලුවන්, හොඳ නිමාවක් තියන, ගුණාත්මක බවින් ඉහල සිනමාපට තවත් වැඩියෙන් නිර්මාණය වෙන්න ඕන. අපේ රටේ සිනමාව ගැන සුබවාදීව කතාකරන්න පුලුවන් යුගයක් හැදෙමින් තියෙන එක ඇත්තටම සතුටට කාරණාවක්.

චිත්‍රපටය ගැන කියනවනම් ලොකු කතාවක් නැහැ මේක ඇතුලෙ. විවාහක යුවලක් අතර සිදුවෙන සිදුවීම් කීපයක් මුල් කරගෙන තමයි පැය දෙකක වගේ කාලයක් මුළු චිත්‍රපටය ගලායන්නෙ. විශේෂයෙන් මම මේ චිත්‍රපටයෙ දකින්නෙ සචිත්‍ර, එහෙම නැත්තම් කේන්ද්‍රීය විවාහක පුරුශයා ගේ, ගතානුගතික මනෝභාවයන්. ඔහු නියෝජනය කරන්නෙ, ගැහැණියකගෙ සියුම් බවක් හඳුනාගන්න බැරි, අසංවේදී, තමන්ගෙ බිරිඳ, සැමියා නියම කරන හතර මායිම ඇතුලේ කොටු වෙලා හිර වෙලා ජීවත් විය යුතුයි කියල හිතන, මහන්තත්වයෙන් පිරුණු ලාංකික පිරිමියාව. ඇයගේ සිතුවිලි ඔහුට තේරුම් ගන්න බෑ, ඔහුට ඇයව දරාගන්න බෑ, ඔහු ආදරය හඳුනන්නෙ නෑ, තමන්ගෙ මේ දුර්වලකම් ඔහු වසා ගන්නෙ ඇයට පීඩා කිරීමෙන්. අනෙක් පැත්තෙන් තමන්ට ආදරය නොකරන මිනිසෙක් සමග ජීවත් වීමට සිදුවී තිබෙන ඇය. ඇගේ ජීවිතයේ ආදරය, අනුරාගය අහිමි වීමෙන් ඇතිවුණු හිස් තැන පුරවාගන්න අසාර්ථක උත්සහයක ඈ යෙදෙන්නෙ. කෝපි කෝප්පය තොලගෑමේ දර්ශනය මේකට උදාහරණයක්. කොහොම වුණත් චිත්‍රපටය ගැන වැඩි විස්තර කියන්නෙ නෑ. බලන කෙනෙකුට ඒ කුතුහලය ඉතිරි කළ යුතුයි.

චිත්‍රපටයෙ රඟපෑම් තවත් මාව මේකට ආකර්ශණය කරගන්න හේතුවක් වුණා. විශේෂයෙන් සමාධි ලක්සිරි ගේ රඟපෑම. ඈ දිනිති ගේ චරිතය ඇතුලෙම ජීවත් වුණා කිව්වොත් තමයි වඩාත් නිවැරදි. පීඩාවට පත් ගෘහණියකගේ ජීවිතයේ වේදනාව, බලාපොරොත්තු සුන් වීම, මුහුණෙන් වගේම හැම කුඩා ඉරියව්වකින්ම පවා ඈ ඉතාම හොඳින් නිරූපණය කර තිබුණා. බිමල් නිරූපණය කරන චරිතය ඇතුලෙ යම් ඒකාකාරී ස්වභාවයක් දුටුවත් ඔහු තමාගේ කොටස හොඳින් කර තිබුණා. හැම චරිතයකින්ම, කුඩා චරිතයක් රඟපාන නදී කම්මැල්ලවීරගෙන් පවා හොඳ මට්ටමේ රංගනයක් දැකගන්න හැකි වුණා. ඒ අධ්‍යක්ෂවරයාගේ සමත් කම. ඒ වගේම නොයෙක් ආකාරයේ සංකේත භාවිතා කර බොහෝ දේවල් කියන්න උත්සහ දරන ආකාරය චිත්‍රපටය පුරාම දකින්න පුලුවන්. සමහර තැනක කිසිම දෙයක් නැති තනි සුදු බිත්ති පවා රඟපාන හැටි අපි දකිනවා. කැමරා අධ්‍යක්ෂණයෙත්, තිර රචනයෙත් විශිෂ්ඨතාවයන් තමා මේ වගේ අවස්ථාවල මතු වෙන්නෙ. චිත්‍රපටයෙ තියෙන ලිංගික දර්ශනයෙ හැඟීම් දැනීම් නැති යාන්ත්‍රික බවක් දකින්න ලැබෙනව. ඒ සචිත්‍ර, දිනිති වගේ යුවළකට ලිංගිකත්වය කියන්නෙ ඒ මොහොතෙ ශාරීරික අවශ්‍යතාව ඉටුකරගැනිම පමණක් නිසා ද? , ආදරයක් ඇතුලෙ බෙදාහදාගන්න දෙයක් නොවන නිසා ද? චිත්‍රපටය බලන ඔබම ඒක තීරණය කරන්න.

අද මම චිත්‍රපටය බලපු ජා ඇල ඇමිටි ලයිට් සිනමාශාලාවට නම් සෑහෙන තරම් සෙනඟක් ඇවිත් හිටිය. අද නිවාඩු දවස නිසා වෙන්න ඇති. මම ඒ තරමින් වත් සෙනඟක් ඉඳීවි කියල බලාපොරොත්තු වුණේ නෑ. කොහොම වුණත් ඒක හොඳ දෙයක්. මේ චිත්‍රපටය තවත් ප්‍රේක්ෂකයන් අතරට යන්න ඕන. මේ වෙනතුරු නොබලපු අයට ඉක්මනින් ම බලන්න කියල ආරාධනා කරන්න කැමතියි.

"දැකල පුරුදු කෙනෙක්" නෙමෙයි. ඇත්තටම මේ අපි මයි ..






15 comments:

  1. Interesting...

    https://nokieekatha.blogspot.com/2019/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. මුහුණු පොතෙන් මේ සටහන කියෙව්ව...මේ කරුණු වලට එකගයි..ඒත් නදී ගේ රංගනයෙ එහෙම ලොකු අවුලක් මම දැක්කෙ නෑ..මහ ලොකු සංකීර්ණ කතාවක් නෑ මේකෙ එදිනෙදා ජීවිතේ අහන්න දකින්න ලැබෙන සිදුවීම් ටිකක් තියෙන්නෙ...සංකේත වලින් බොහොම සියුම් කාරණා අගවන්න උත්සහ කරල තියනව...දෙබස් එහෙම ඉතාම හොදයි..අවසානය නම් ටිකක් අමුතු විදිහට තියෙන්නෙ අපේ සාමාන්‍ය සිනමා රසිකයන්ට ඒක කොහොම දැනෙයිද කියන්න බෑ. මට නම් හොදයි මේක.. පුලුවන් නම් ගිහින් බලන්න :)

      Delete
    2. සිනමාපටයක අමුතු කතාවක් තියෙන්නම ඕනේ නැහැ ඒක එක්තරා ස්වරූපයකින් සිත්ගන්නාසුළු වෙන්න. බිමල් කියන්නේ ටැලන්ට් එකක් තියෙන නළුවෙක්. නළුනිළි කණ්ඩායම දැක්කහම උනත් හිතන්නේ යම් පමණක 'දෙයක්' තියෙනවා ඇතිය කියලා තමයි. මතුපිටින්නේ ඒ! සරල කතාවක උනත් තියෙන්න පුළුවන් නවමු දැක්මක්. ඒ ගතිය මම දැක්කා 'සුදු පිරුවට' ෆිල්ම් එකේ. මේක නම් බලන්න වෙයි කියලා හිතන්න අමාරුයි, නමුත් බලන්න ඕනේ.

      ඒ විචාරය දැම්මේ එතැනදී උනත් එකඟවෙන කාරණා පොදු නිසා. ඒ කියන්නේ සමස්ත එකතුව සාර්ථක බව නේද? අහන්නත් සතුටුයි එහෙම දේවල් වෙන බවත් ( පාලිමන්ට් ජෝක්ස් අස්සේ!) සිනමා විචාරය කියන්නේ මම ආසා විෂයක්, දන්නේ නැති උනාට ආසයි. විචාරයක් කරන්න හිතෙන ෆිල්ම් එකක් කියන්නේ මිවිතක් වගේ, නැද්ද?

      Delete
    3. සිනමාපටයක අමුතු කතාවක් තියෙන්නම ඕනේ නැහැ ඒක එක්තරා ස්වරූපයකින් සිත්ගන්නාසුළු වෙන්න// ඒ්ක හරි ලිඛිතා..මේක ගමනක් නම් ගමනාන්තය නොවෙයි අතරමග තියන දේවල් දිහයි අවධානෙන් බලන්න ඔ්න.. මේ වගේ චිත්රපටයක් ඉල්ලන්නෙ ඒහෙම රසිකයෙක් ව. මම ඒ කාරණාව කිව්වෙ මොකද මම චිත්රපටය බලපු ශාලාවෙ හිටපු සමහර අයට ඒ් අවසානයට කැමති නැති බවක් දැනුණ. අපෝ ඒ්ක ඉවරද වගේ ප්රතිචාර ලැබුණෙ සමහරුන්ගෙන්...කතාවක් බලනව මිසක් චිත්රපටියක් කියවාගන්න අපේ සාමාන්‍ය රසිකයා පුරුදු නැහැ..ඉතින් ඒහෙම අයට මේක තේරුමක් නැති වෙන්න පුලුවන්...

      චිත්රපටි විචාරය කියන්නෙ වෙනම විශයක්.. සිනමාවෙ තියන තාක්ෂණික කාරණා ගැන සෑහෙන අවබෝධයක් තියෙන්න ඔ්න ඒකට... අපි කරන්නෙ ඒ්ක අපිට දැනෙන්නෙ කොහොමද කියල අපේ අදහස කියන ඒක විතරයි.. චිත්රපටියක් හරහා ජීවිත කියවීමකට යන්න මම උත්සහ කරන්නෙ..මොකද මම විශ්වාස කරනව හොද කලා කෘතියක් කියන්නෙ නිකම් රසවිදලා පැත්තකට දාන්න පුලුවන් දෙයක් නෙමේ කියල.. හොද කලා නිර්මාණයක් කැඩපතකින් වගේ අපිට පෙන්නා දෙනව මෙන්න මේක තමා අපි ගතකරන ජීවිතය කියල...මම උත්සහ කරන්නෙ මගේ අත්දැකීමත් ඒ්ක්ක ඒ් නිර්මාණය මට දැනුණෙ කොහොමද කියන දෙය බෙදා ගන්න...ඉතින් මේ වගේ අපිට කතාකරන්න දෙයක් ඉතුරු කරන නිර්මාණ බිහිවෙන ඒක අැත්තටම සතුටක්... තවත් හොදයි කියල හිතන්න පුලුවන් සිනමාපට කීපයක් තිරගත වෙන්න නියමිත බව දැක්ක...ඒ් හැම දෙයක් ගැනම තියෙන්න යහපත් බලාපොරොත්තුවක්...මේ නව රැල්ලෙ සිනමාව අපි සිනමා ශාලාවකටම ගිහින් රස විදින්න ඔ්න කියල මම හිතන්නෙ.. :)

      Delete
    4. http://mise-en-scene-sl.blogspot.com/2019/03/strange-familiar.html

      Delete
    5. //ඉවර වෙන්නේ නැති කතාවක් තියන ෆිල්ම් එකක් කියන්නේ අපේ ඕඩියන්ස් එකට ටිකක් නුහුරු දෙයක්. ෆිල්ම් එක තුලින් අවසානයක් බලාපොරොත්තු වෙන ඕඩියන්ස් එකට බාහිර අවසානයක් දරා ගන්න අමාරුයි. අපේ ජීවිත වල එහෙම නිශ්චිත අවසානයක් නැති නිසාමයි මෙහෙම නිර්මාණයක නිශ්චිත අවසානයක් හොයන්නේ. ඒත් ඒ නිශ්චිත අවසානයක් නොමැතිව අපිතුලම නිර්මාණය හිරවෙනවා කියන්නේ නිර්මාණය සහ අපි අතර බෙදුම් රේඛාව මැකෙන එක. ෆිල්ම් එක අපේ කෑල්ලක් වෙන එක. ඒ කියන්නේ දැකලා පුරුදු කෙනෙක් කියන්නේ අපේ ජීවිතේම කෑල්ලක් වෙන එක. උත්තරයක් නැති අපේම ප්‍රශ්නයක් වෙන එක.//

      මේකට එකගයි. ඇත්තටම ඒක ඉවර කරන්න පුලුවන් කතාවක් නෙමේ. මෙතනදි සචිත්ර ගේ පැත්තෙන් බැලුවොත් ඔහුගේ හැසිරීම එක්තරා ආකාරයකට සාධාරණීකරණය කරන්න පුලුවන් වුණත් මම හිතන්නෙ මීට වඩා මානුෂිකව ඔහුට මේකට මුහුණ දෙන්න තිබුණ. මේ තරම් අධිපතිවාදි නොවෙන්න තිබුණ. එක්කො අනිකා මත පීඩනය පටවන්නේ නැතිව තමාම දුක්විදියි. මම සචිත්ර වුණානම් කියන තැන මට හම්බවෙන උත්තරය ඒක. කොහොම වුණත් තවත් කෙනෙකුට මේකට වෙනත් අර්ථකතන දෙන්න පුළුවන්. හොද නිර්මාණයක් කියන්නෙ එහෙම දෙයක් තමා...

      Delete
    6. https://c-u-l-t.blogspot.com/2019/03/blog-post.html

      Delete
    7. ඉතාම පරිපූර්ණ ලියවිල්ලක්!!!

      Delete
    8. සදුන් ගෙ සටහනත් මූණු පොතෙන් කියෙව්ව...ඕෂෝ ගෙ කොටස වෙනම අරන් බෙදාගත්ත....එතන කමෙන්ට් කරල තිබ්බ සමහරු කියල තිබ්බ මේ චිත්ර පටිය බලන එක හරිම නීරස අත්දැකීමක් වුණා කියල...ඒත් සිනමාව ගැන හොද රසිකත්වයක් තියනව කියල මම විශ්වාස කරන හැම කෙනෙකුම වගේ මේකෙ හොද කියල තිබුණෙ....අපේ ප්රේක්ෂකාගාරය මේවගේ චිත්රපටයක් බාරගන්න තවම සුදානම් නැතුව ඇති... ඒක වෙන්න ඇති ගැප් එකක් අතරෙ පොඩි කාලයක් දුවන්න දාල තියෙන්නෙ....මේ චිත්රපටිය රස විදින ගමන් විවාහය ගැන ජීවිතේ ගැන හිතන්න කවුලු ගණනාවක් විවර කරන එකක්. මම හැබෑ කලාව කියන්නෙ ඒකට......

      Delete
    9. ලංකාවේ චිත්‍රපට අතුරෙන් විඳීම, බලා සිටීම උගන්වාගෙන පෙන්වන්න වෙලා තියෙන ප්‍රේක්ෂකයින් අතින් බිමට වැටුණු තත්වය භයානකයි. රසවින්දනය අඩු උනාම මේ වගේ චිත්‍රපට බෝරින් තමයි. ඒ නිසා 'මෙලෝ රහක්' නැති කමෙන්ට්ස් ලැබෙන්නත් පුළුවන්. ඒක එක අතකට ඛේදවාචකයක් වෙන්නේ හෝල් එකට ගිහින් බලන්න තරම් ඕනෙකමක් තියෙන මිනිස්සු අතලොස්සක් ඉන්න නිසා. ( මමත් එහෙමනේ! තාම මේක බලන්න බැරි උනා)

      මේ ලිවීම් ඔක්කොම ඔයාට ගෙනත් දාන්නේ, මෙතන එකතු කරලා තිබ්බම, කියෝන කෙනෙක්ට ලේසි නිසා. අමනාප නොවෙතැයි සිතමි. හුදකලාවේ ලියන අයගේ දේවල් කියවන්න ඕනේ කවලමට! මොකද ලංකාවේ පිට්ටනියක් නැහැනේ සිනමා විචාර කරන විදියේ.

      Delete
    10. ඒක බලපාන්නෙ හොද චිත්රපටියක් බලන්න හැබෑම ඕමනාවක් තියන මිනිස්සුන්ට...චිත්රපටි බලන්න ගිහින් ලැබුණ අත්දැකීම් ගැන බොහෝ දෙනා මුහුණු පොතේ ග්රූප් වල කියනව මම දකිනව... බලන්න එන්නෙ එක්කෙනයි නැත්තම් දෙන්නයි..හය දෙනෙක් වත් නැත්තම් හෝල් එකෙන් පෙන්නන්නෙ නෑ...සමහර අය අතින් සල්ලි දාල වැඩිපුර ටිකට් අර බලල තියනව..එහෙම හැකියාවක් නැති අයට වෙන්නෙ ආපහු හැරිල යන්න...ගොඩක් වෙලාවට බලන්න ගියත් ඉන්නෙ පන්ති කට් කරලා එන තරුණ කපල්..ඒ අයට චිත්රපටි බලන්න උවමනාවක් නෑ..ඔන්න ඕකයි තත්වෙ...දැන් දැන් හොද චිත්රපටි හැදෙමින් තියන බව පේනව..ඉස්සරහට තිරගත වෙන්නත් සෑහෙන දිග චිත්රපටි ලයිස්තුවක් තව තියනව...කනව බොනව රස්සා කරනවට අමතරව ජීවිතය විදින්න ඒගමන් තමන් ගෙවන මේ ජීවිතය මේ සමාජ ක්රමය දිහා හැරිල බලන්න හිතන්න පුලුවන් ප්රේක්ශකාගාරයක් බිහිවේවි කියන බලාපොරෝත්තුව විතරයි දැන් තියෙන්නෙ...

      කිසිම ගැටලුවක් නෑ...ඔක්කොම දේවල් දාන්න අපි නොදැකපු දේවල් තව ඇති..සහ කියවන කෙනෙකුටත් ප්රයෝජන වේවි....කොළඹ විශ්වවිද්‍යාෙලෙ මේ චිත්රපටිය ගැන සංවාදයක් තිබුණ..එතනදි විදර්ශන කන්නංගර මහාචාර්ය ජගත් වීරසිංහ වගේ අය බොහොම වටිනා අදහස් පළ කළ බව තමා දැනගන්න ලැබුණෙ .... වීඩියෝ එකක් වත් තවම දාලා නෑ..යූ ටියුබ් හරි දැම්මොත් ලින්ක් එක මෙතන දාන්නම්...

      Delete
    11. පුලුවන් තරම් ඉක්මණට ෆිල්ම් එක බලන්න!

      Delete
    12. වෙන දවසක කළ සංවාදයක් හම්බවුණා...

      https://m.youtube.com/watch?v=-Vw2my92OoI&fbclid=IwAR3OijXUnims_1mQhgz9CwsLxb6H77OgtMpW4DVzggedCE-Ot_uzQ77nqmA#dialog

      Delete
    13. මොරටුව විශ්වවිද්‍යාලපෙැවැත්වුණ දැකල පුරුදු කෙනෙක් සංවාදය - ආචාර්ව ප්රභා මනුරත්නගේ අදහස් දැක්වීම

      https://www.youtube.com/watch?v=Mbr3cUYxwY8&fbclid=IwAR0RS7fFJr_BJ5J4pDCsiDrLKn-3Fu1Cbp-jD8-RmM7zb_4IeCZ6eMat3d0

      Delete