Tuesday, January 14, 2020

Portrait of a Lady on Fire (2019)

2019 අවුරුද්දෙ හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට (Parasite) හිමි Golden Globe සම්මානය දිනාගත්ත කොරොයානු ජාතික සිනමාකරු Bong Joon Ho හරි අපූරු කතාවක් කියනව. ඔහු කියනව 

"උපසිරැසි වලට අයිති අඟලක පමණ ඉඩ ජයගත්තට පස්සෙ ඔබට විස්මයජනක සිනමාපට බොහෝගණනක් දැකගන්න ලැබේවි" කියල

"Once you overcome the one-inch tall barrier of subtitles, you will be introduced to so many more amazing films"

ලෝකයේ ප්‍රධානම (විශාලම කිව්වොත් වඩා නිවැරදි) සිනමා දේශයන් වුණ ඇමරිකාව සහ ඉන්දියාවට අමතරව ඉතාම දියුණු සිනමාවක් පවතින රටවල් ගණනාවක් තිබෙනව. කොරියාව, ජපානය, ස්වීඩනය, ප්‍රංශය, ඉරානය, ජර්මනිය වගේ රටවල් ඒ අතින් විශේෂයි. අපේ වගේ රටවල ඉන්දියානු සහ ඇමරිකානු රටවල සිනමාපට වලට ලැබෙන අවධානය අනෙක් භාෂා වලින් නිමැවුණු සිනමා නිර්මාණ වලට නොලැබෙන තරම්. අපහසුවෙන් හරි මේ භාෂා බාධකය ජයගත්තොත් ඔබට Bong Joon කිව්ව වගේ අපූරුම සිනමාපට බොහෝමයක් දැකගන්න ලැබේවි.

ප්‍රංශ බසින් නිමැවුණු Portrait of a Lady on Fire 2019 අවුරුද්දෙ Golden Globe උළලේ හොඳම විදෙස් භාෂා සිනමාපට අතර ඇතුලත් වුණු එක් චිත්‍රපටයක්. 18 වෙනි සියවසේ යුරෝපයේ චිත්‍ර ශිල්පිනියක් සහ ඇගෙ පින්සල් තුඩින් සිතුවමට නැගෙන කුල කාන්තාවක් අතරෙ ඇතිවෙන මනුස්ස බැඳීමක් ගැන මේ සිනමාපටයෙ කියැවෙන්නෙ. චිත්‍ර ශිල්පිනියට නියමිත කුලකාන්තාව සිතුවමට නැගීම පමණක් වුණත් ඇය සිතුවම් කිරීමට නියමිත තවත් එක් වස්තුවක් විදිහට නොසලකා ඇය ආශාවන් සිතුම් පැතුම් බලාපොරොත්තු පිරුණු මනුස්සයෙක් විදිහට බාරගන්නව. ඒ බැඳීමට වටිනාකමක් ඇය දෙනව. ලෝක සම්මතයන් සියල්ල පසෙකදමා ඔවුන්ගේ ආත්මයනුත් ශරීරයනුත් ප්‍රේමයෙන් බැඳෙනව. එය හුදු ආශාවන් සංසිඳුවාගැනීමට එහා ගිය යමක් වෙන්නෙ එය විශ්වාසවන්ත බව, එකිනෙකාට ගරුකිරීම, මිත්‍රත්වය වගේ වටිනාකම් මත ගොඩනැගෙන දෙයක් වන නිසා. 

Portrait of a Lady on Fire ඇත්තටම තෙල් සායම් සිතුවමක් වගේ ඇහිපිය නොහෙලා බලන් ඉන්න හිතෙන වර්ණ හැඩතල එකතුවක්. 2019 අවුරුද්දට මං දැක්ක ලස්සනම Cinematography එකක්. ප්‍රංශය කියන්නෙ යුග ගණනාවක ඉඳන් සියලු කලාවන් පොෂණය කරන සරු බිමක් බව කලිනුත් සටහනක මම කිව්ව. මේ සිනමාපටයත් ඒවගේ කලාත්මක ගුණයෙන් පොහොසත් හැබෑම කලාකෘතියක්.

චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙත් සහ ප්‍රධාන චරිත හැම එකක්ම රඟපාන්නෙත් කාන්තාවන්. ඒ නිසා මේක ගැහැණිය මුල් කරගත්ත සිනමාපටයක් විදිහට හඳුනාගත්තත් වරදක් නෑ. නමුත් මෙතනදි එය ස්ත්‍රීවාදයකට තල්ලු නොවී ගැහැණිය සහ ගැහැණිය අතරම ඇති සොබාවික බැඳීම ඉතාම ප්‍රේමණීය තලයකට අරගෙන ඇවිත් බාහිර සමාජයක් මොන විදිහට දැක්කත් ඒ තුළ ඇති මනුස්ස ස්වභාවය පෙන්වා දෙනව. (The Handmaiden, Mullholand Drive, Margerita on a strew වගේ චිත්‍රපට මෙතනදි මතකයට නැගෙනව) 2019 අවුරුද්දට මම වින්ද සුන්දරම කලාත්මකම සිනමා අත්දැකීම Portrait of Lady on Fire බව කිවහැකියි.







No comments:

Post a Comment