Monday, January 13, 2020

Ready Or Not (2019)

"අපි යමු පහළට දැන් වෙලාව ළඟයි"

"ඔයාගෙ තාත්ත නම් ඉන්නෙ මළගෙදරක ඇවිත් වගේ. එයා මට කැමති නෑ නෙ"

"නැහැ.. එයා ඔයාට අකැමැති නෑ ග්‍රේස්.."

"එයා හිතන්නෙ මම සල්ලි හින්ද ඔයාගෙ පස්සෙන් ආව කියල"

"ඉතින් ඒක ඇත්ත නෙ"

"ඔයා නං හරි නපුරුයි"

"ඇයි ඒක ඇත්ත නෙමේ ද.. මොනා වුණත් එයාල හිතන ඒව අපිට වැඩක් නෑ නෙ"

"මට නං වැඩක් තියනව. මොකද ඒ අය මම බඳින්න යන මනුස්සයගෙ පවුලෙ අය නිසා.. මට තවමත් අදහගන්න බෑ මම තව පැය බාගෙකින් Le Domas පවුලෙ සාමාජිකයෙක් වෙන්න යන බව"

" ඔව්.. ඒත්... ඔයාට පුලුවන් මේ දැන්ම පිටවෙලා යන්න"

"ආ .. ඔව්.. මේ ඇවිත් ඉන්න මිනිස්සුන්ට ගෙනාපු තෑගිත් අරන් ආපහු යන්න කියල අපි පැනල යනව එහෙම ද"

"මේක විහිලුවක් නෙමේ ග්‍රේස්.. මම ඔයා ට අවස්ථාවක් දෙනව... මේ දැන් ම ... ඔයාට යන්න ඕන නම් යන්න පුලුවන්"

"නැහැ... මම යන්නෙ නෑ"

"ඔයා මේකට ලෑස්තියි ද? Are you ready for this?

ඩැනියෙල් සහ ග්‍රේස් අවසානෙ විවාහ වෙනව. විවාහ උත්සවය පැවැත්වෙන්නෙ ඩැනියෙල් ගේ පවුලෙ අති සුඛෝපභෝගී මන්දිරේ. උත්සවය බොහොම සරල නමුත් සුන්දර එකක්. විවාහ වුණ දවසෙ මද්‍යම රාත්‍රිය එළඹෙනව. අලුතෙන් විවාහ වුණ යුවලකට මේක බොහොම කාර්‍යබහුල වෙලාවක් බව කියන්න ඕන නෑ නෙ. නමුත් ඩැනියෙල් සහ ග්‍රේස්ට සිද්ද වෙන්නෙ මේ වෙලාවෙ වෙනස්ම අත්දැකීමකට මුහුණ දෙන්න. ඩැනියෙල් අයිති වෙන La Domas පවුල ක්‍රීඩා උපකරණ නිපදවීමේ දැවැන්ත ව්‍යාපාරයකට වගේම උතුරා යන ධනය වස්තු සම්පත් සම්භාරයකට උරුමකම් කියන පවුලක්. ඉතින් මේ පවුලට ඇතුලත් වීම ලේසි පහසු දෙයක් නෙමේ. අලුතෙන් පවුලට එකතුවෙන කෙනෙක් ක්‍රීඩාවක නියැලෙන්න ඕන. එයින් ජය ලැබුවොත් පමණයි පවුලේ සාමාජිකත්වය ලැබෙන්නෙ. මේක පුරාණ චාරිත්‍රයක්. La Domas ල පැරණි සිරිත් විරිත් ඉහ මුදුනෙන් පිළිගන්න අය. විවාහ උත්සවය දවස මධ්‍යම රාත්‍රියේ පවුලේ සාමාජිකයන් හැම කෙනෙක්ම එක් රහස් කුටියකට එක් වෙනව. අලුත් සාමාජිකයා එතනදි තමන්ට ලැබෙන කාඩ්පත් අතරින් එකක් තෝරාගත යුතු යි. කරන්න සිදුවෙන ක්‍රීඩාව තීරණය වෙන්නෙ තෝරගන්න කාඩ්පත අනුව. ඉතින් ග්‍රේස් කාඩ් පතක් තෝරාගන්නව. ග්‍රේස් තෝරාගන්න කාඩ්පත දකින ඩැනියෙල් තුෂ්නිම්භූත වෙනව. ඒක අවුරුදු ගණනාවකින් කවුරුවත් තෝරාගත්ත කාඩ්පතක් නොවෙයි. එහි ප්‍රතිඵලය අන්තිම භයානකයි. ලොමු දැහැගන්වන සිදුවීම් මාලාවක් ආරම්භ වෙන්නෙ ඉන් පස්සෙයි. තමන් වැටුණ අමාරුවෙ තරම ග්‍රේස් වටහ ගන්නව. සියල්ල ජීවිතයත් මරණයත් අතර සටනක් බවට සැණෙන් පෙරළෙනව.

2019 අවුරුද්ද සිනමා රසිකයන්ට ලේසියෙන් අමතක නොවෙන අවුරුද්දක් බවට පත් වුණා. හොළිවුඩයේ වගේම ලෝකයේ බොහෝම රටවල ඉතාම හොඳ මට්ටමේ සිනමා නිර්මාණ 2019 අවුරුද්දෙ එලියට ආව. Ready Or Not ඒ අතරෙ තියන්න පුලුවන් නිර්මාණයක්. Horror රසය අඩු නැතුව විඳගන්න පුලුවන්, ඊළඟ මොහොතෙ මොකක් ද වෙන්නෙ කියන කුතුහලය තදින්ම දැනෙන අපූරුම චිත්‍රපටයක්. Stephen King පවා මේ සිනමා නිර්මාණය ගැන ප්‍රශංසාත්මකව අදහස් පළකර තිබුණා. Horror/ Thriller රසිකයෙක් නම් මගහැර නොගත යුතු සිනමා අත්දැකීමක් Ready Or Not.







No comments:

Post a Comment