Thursday, January 23, 2020

Ford vs Ferrari (2019)

2018 අවුරුද්දෙදි තට්ටෙ පෑදුන ඇඟේ මස් ගොබ එල්ලා හැලෙන බඩ තඩි දේශපාලකයෙක් වෙලා හිටපු Christian Bale 2019 දී කෙට්ටු කැහැටු හකු බැහැපු මෝටර් රථ කාර්මිකයෙක් බවට පරිවර්තනය වී ඇති ආකාරය අදහාගන්න බැරි තරම්. Vice චිත්‍රපටය වෙනුවෙන් ගොඩනගා ගත්ත තරබාරු ශරීරය ධාවන ශුර Ken Miles ට ගැලපෙන ආකාරයෙන් අඩු කරගන්න ඔහුට ලැබිල තියෙන්නෙ මාස හයක වගේ කාලයක්. මේ කාලය ඇතුලත ආයෙම ශරීරය හදා ගන්නෙ කොහොමද කියල අධ්‍යක්ෂවරයා ඇහුව පැනයට පිලිතුරු දෙන Bale කියා තිබෙන්නෙ සරලවම කෑම නොගෙන සිටීමෙන් තමාට එය කල හැකි බව. Bale ගේ විස්මය ජනක රෑපාන්තරණයන් ප්‍රේකෂකයාට දැකගන්න ලැබෙන පළමු වතාව මෙය නොවෙයි. තමන් රඟපානය චරිතය උපරිම කැපවීමකින් ඉහළින්ම නිරෑපණය කරන්න වෙහෙසෙන්නෙක් විදිහටයි Christian Bale ප්‍රසිද්ධ වෙන්නෙ. ඒ ඒ චරිතයට ගැලපෙන්න ශරීර ස්වරූපයන් වෙනස්කර ගැනීමට සුවිශේෂ සමත්කමක් පෙන්වන්නෙක් ඔහු. 2019 අවුරුද්දෙ විශිෂ්ටයන්ගෙ ලයිස්තුවට ඔහුත් අනිවාර්යයෙන් ඇතුලත් විය යුතු යි.

Ford vs Ferrari කතාව ගොඩනැගෙන්නෙ 60 දශකය මුල්කරගෙන. ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වෙච්ච Ford සහ ඉතාලියානු මෝටරථ නිෂ්පාදන සමාගමක් වෙච්ච Ferrari අතර පැවති තරඟය ගැන කතාවක් මේ චිත්‍රපටයට ඇතුලත් වෙන්නෙ. ඇමරිකානු මෝටර් රථ ධාවකයෙක් හා නිශ්පාදකයෙක් වෙච්ච Carroll Hall Shelby  සහ කාර්මිකයෙක් වගේම ධාවන ශුරයෙකුත් වුන Kenneth Henry Miles යොදාගෙන Ford සමාගම 1966 දී Ford GT40 අධිවේගී මෝටර් රථය නිපදවීමත්, එය යොදාගෙන ප්‍රංසයෙ 24 Hours of Le Mans ධාවන තරඟය එහි නිත්‍ය ජයග්‍රාහකයන් වුණ Ferrari පරදවා ජයගන්න උත්සහ කිරීමත් චිත්‍රපටයෙ දැක්වෙන්නෙ. Ford vs Ferrari ඇත්තම සිදුවීම් මාලාවක් මුල්කරගෙනයි නිර්මාණය කර තිබෙන්නෙ.

චිත්‍රපටය මම බලාපොරොත්තු වුණාට වඩා සෑහෙන හොඳ මට්ටමක තිබුණා. චරිත ගොඩනැංවීම ඔවුන්ගේ මනුෂ්‍ය බැදීම් හොඳින්ම පෙන්වා තිබුණා. පැයට කිලෝමීටර් 200 ක වේගයෙන් මෝටර් රථ පැදවෙන අධිවේග ධාවන පථයේ උද්වේග කාරී බව, ජවය ඇඟට දැනෙන්නම නිර්මාණය කරල තිබුණෙ ප්‍රේක්ෂකයට කුතුහලය පිරුණු Edge of seat සිනමා අත්දැකීමක් ලබා දෙමින්.

කොහොම වුණත් Ford vs Ferrari ඇමරිකානු ස්වෝත්තම වාදය නිරූපණය කරන්න චිත්‍රපටයක් බව හැඟීයාම වලක්වන්න බෑ. ඇමරිකානු සිහිනය (American Dream) පිළිබද දෘෂ්ටිවාදය මේ චිත්‍රපටයෙන් තහවුරු කිරීමට උත්සහ ගන්න බව පෙනී යන කරුණක්. එයින් පුද්ගල අධිෂ්ඨානයේ ජයග්‍රහණය වගේම වෙළඳ වාණිජ ලෝකය ඇතුලෙ ඇමරිකානු ජයග්‍රණයත් පිළිඹිබු වෙනව (Ford vs Ferrari?) ලෝකයේ අනෙක් ජාතීන්ට වඩා ඔවුන් විශිෂ්ට බව.. ඔවුන් සමග තරග කල හැකි කිසිවෙක් නොමැති බව ද මේ සිනමාපටයෙන් නොකියා කියන්න උත්සහ කරන්නෙ,?? ඒ ගැටලුව එහෙම ඉතිරි කරන්නෙ චිත්‍රපටය නරඹන්නෙකුට තමන්ට වැටෙහෙන ආකාරයට එය කියවා ගැනීමට ඉඩක් තබමින්..




Christian Bale 2018 (Vice)


Christian Bale 2019 (Ford vs Ferrari)









No comments:

Post a Comment