Friday, January 10, 2020

The Two Popes (2019)


2005 අප්‍රියෙල් මාසෙ 2 දා , ඒ වෙනකොට පුරා වසර 26 ක් ම රෝමානු කතෝලික සභාවේ නායකත්වය දැරුව දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් එක්ක අභිනව පාප් වරයෙක් පත් කරගැනීමේ අවශ්‍යතාව මතුවෙනව. පාප් වරයෙක් පත් වෙන්නෙ වතිකානුවේ කාදිනල් හිමි වරුන් ( Cardinal of the Holy Roman Church නමින් හඳුන්වන්නෙ කිතුණු සභාවෙ පාප් වහන්සේට පමණක් දෙවනි වන උසස්ම පූජක ධූරයක්. යම් පූජකවරයෙක් කාදිනල් තනතුරට නම් කරන්නේ පාප් වහන්සේ විසින්මයි) අතර පැවැත්වෙන ඡන්දයකින් (Papal Conclave). වතිකානුවේ ඓතිහාසික සිස්ටයින් දේවස්ථානයෙ පිටස්තර කිසිවෙකුට ඇතුලුවෙන්න අවසර නැති එක්තරා කුටියක රැස්වෙන කාදිනල් හිමිවරු පාප්වහන්සේ පත්කර ගැනීමේ ඡන්දය පවත්වනවා. ඡන්දය අවසානෙ ප්‍රතිඵල දැනුම් දෙන්නේ එක්තරා අපූරු ආකාරයකට. කාදිනල්වරු නිශ්චිතවම එක් පාප්වරයෙකු තෝරාගෙන ඇත්නම් දේවස්ථානයෙ චිමිනියෙන් සුදු පැහැ දුමාරයක් නිකුත් කරනව. පාප්වරයෙකු තෝරාගැනීමට හැකියාවක් ලැබුනේ නැති නම් දකින්න ලැබෙන්නෙ කලු පැහැති දුමාරයක්.

2005 අප්‍රියෙල් 18 වෙනිදා රෝමානු කතෝලික සභාවේ කාදිනල් වරු 117 දෙනෙකුගෙන් සමන්විත කාදිනල් මඩුල්ල සිස්ටයින් දේවස්ථානයට එක්රැස් වෙන්නෙ දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ ගෙන් පසුව මීලඟ පාප් වරයා තෝරාගැනීමේ රාජකාරියට දායක වෙන්න. මේ වෙනකොට දේවස්ථානය ඉදිපිට රැස්වී ඉන්න දහස් ගණනක ජනතාව ඇතුලුව මුලු මහත් ලෝකයම දේවස්ථානයේ චිමිනිය දිහා දෑස් දල්වා බලා ඉන්න ඇති. නමුත් ඔවුන්ට දකින්න ලැබෙන්නේ මොකක්ද ? සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරමින් දවස අවසානයේ කලු පැහැති දුමක් චිමිනියෙන් නිකුත් වෙනව. ඊලඟ ඡන්ද විමසීම පැවැත්වෙන්නෙ අප්‍රියෙල් 19 වෙනිදා. අදත් මොන ආකාරයේ ප්‍රතිඵලයක් දකින්න ලැබේවිද කියන දෙගිඩියාවෙන් ජනතාව නැවතත් සිස්ටයින් දෙව්මැදුර වටා රොක්වෙන්නෙ. සුදු පැහැති දුමක් දේවස්ථාන චිමිනියෙන් නිකුත් වෙන්නෙ සියලු දෙනාගේම බලාපොරොත්තු සඵල කරමින්. ජනතාව ප්‍රීති ඝෝෂා නංවමින් අභිනව පාප් වරයාගේ සම්ප්‍රාප්තිය සමරනවා. මීළඟට සිදුවීමට නියමිත නව පාප්වරයා තම නිල ඇඳුමෙන් සැරසී දෙව්මැදුරු සඳලුතලයේ දි ජනතාවට හමුවට පැමිණීම. ඉතින් ඔහු කවුද? ලොව පුරා සුවසක් කිතුණු ජනතාවගේ නායක ධූරයට පත්වෙන ඒ තැනැත්තා කවුද? ඔහු Joseph Aloisius Ratzinger නම් ජර්මානු ජාතික කාදිනල් වරයා. එතුමා දහසය වන බෙනඩික් නමින් පාප් ධූරයට පත්වෙනු ලබනවා.

දහසය වෙන බෙනඩික් පාප් වහන්සේ පාප් ධූරයට පත් වුණු දෙවන වයස්ගතම පුද්ගලයා (වයස 78 දී) වගේම තම තනතුරින් ස්වකැමැත්තෙන්ම ඉල්ලා අස්වුණ දෙවන පාප් වරයා වෙනව (පළමු වැන්නා 1294 පස්වන සෙලස්ටින් පාප්වහන්සේ). වයස්ගත බව නිසා ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද දුබල බව නිසා තවදුරටත් පාප් ධූරය දැරීමට නොහැකි බව සඳහන් කරමින් 2013 පෙබරවාරි 11 දවසේ එතුමා පාප් තනතුරෙන් ඉල්ලා අස්වෙනව. අද මේ මොහොතේ පාප් තනතුර දරන, ආජෙන්ටිනියානු ජාතික Jorge Mario Bergoglio නම් ජේසු නිකායික කාදිනල් වරයා පළමුවන ෆ්‍රැන්සිස් නමින් පාප් ධූරයට පත් වෙන්නෙ ඉන්පස්සෙ. දහසය වෙන බෙනඩික් පාප් වහන්සේ විශ්‍රාමික පාප් වරයේ විදිහට විශ්‍රාමික සුවයෙන් පසුවෙනවා. ඒ අනුව මේ යුගය පාප් වරු දෙනමක් ජීවමානව සිටින යුගයක්. 

Two Popes චිත්‍රපටය නිමැවෙන්නෙ මේ පාප්වරු දෙනම අතර ඇති අපූරු මිත්‍රත්වය මුල්කරගෙන. චිත්‍රපටයට අනුව මෙය සත්‍ය සිදුවීම් මුල් කරගෙන ගොඩ නැගුනු කතාවක්. මෙනදි මේ පාප්වරුන් දෙදෙනාගේ චරිත ස්වභාවයන් සංසංදනාත්මකව ඉතාම අපූරුවට චිත්‍රපටයෙන් මතු කරනව. බෙන්ඩික් පාප් වහනසේ ගතානුගතික අදහස් දරන සහ දැඩි විනයක් සහිත පුද්ගලයෙක් නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වඩා නිදහස්කාමී සහ වඩා නම්‍යශීලී අදහස් දරන්නෙක්. ඒ වගේම ඔහුට යම් දේශපාලනික පසු බිමකුත් තිබෙනව. අතීතය ආවර්ජනාවන් විදිහට මේ කරුණු චිත්‍රපටයට ඇතුලත් වෙනව. ඒ වගේම ලෝකයම පිලිගන්න ආගමික නායකයෙක් නමුත් පාප් වහන්සේගේ මනුෂ්‍ය ගුණාංග චිත්‍රපටයෙ බොහොම හොඳින් මතුකර පෙන්වනවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විදිහට Jonathan Pryce (Game of thrones කතාවෙ High Sparrow නම් ආගමික නායකයාගෙ චරිතය රඟපාන්නෙ ඔහු) සහ බෙනඩික් පාප්වහන්සේ විදිහට සුප්‍රසිද්ධ නළු Anthony Hopkins රංගනයේ යෙදෙනව. මේක රංගනයේ අතිවිශිෂ්ටයන් දෙදෙනෙකුගෙ එක්වීමක්. ඉතින් ප්‍රතිඵලය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. වතිකානුවේ කටයුතු සිදුවෙන ආකාරය ගැන යම් අවබෝධයක් මේ චිත්‍රපටයෙන් ලබා ගන්න පුලුවන් ඒ වගේම හැබෑවටම බෙනඩික්ට් සහ ෆ්‍රැන්සිස් පාප්වරුන්ගේ රූප රාමු චිත්‍රපටයට ඇතුලත් කර තිබෙනව. 2019 අවුරුද්ද සිනමාවට බොහෝම හොඳ අවුරුද්දක් වුණා. Tow Popes මේ කරණය තවත් හොඳින් සනාථ කරවන චිත්‍රපටයක් බව කියන්න ඕන..











No comments:

Post a Comment