Tuesday, November 2, 2021

The Florida project (2017)

මෑත කාලෙදි ඩිස්නිලන්තය කියන වචනෙ අපේ ශබ්දකෝෂය ඇතුලෙ අලුතෙන් අරුත්ගැන්වෙනව. ඒ සිද්දිය ආයෙමත් මම මතක් කරන්නෙ නැහැ. ඒ වචනෙ එළියට එන්නෙ අපි ජීවත්වන මේ රටේ තියන ජරාජීර්ණ දේශපාලන ක්‍රමය ගැන අප්‍රසාදය පළකිරීමක් විදිහට. ඒ යෙදුම උත්ප්‍රාසයක්. ඒ කියන්නෙ වචනෙන් අර්ථගැන්වෙන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක්. ඩිස්නිලන්තය කිව්වම ඔලුවෙ මැවෙන්නෙ සැණකෙළි සතුට උතුරායන විනෝදකාමි තැනක් විදිහට. අපේ රට ඩිස්නිලන්තයක් විදිහට නාමකරණය වෙන්නෙ මේකෙ විරුද්ධ අර්ථයෙන්. ඇත්තම ඩිස්නිලන්තය පිහිටා තියෙන්නෙ ඇමරිකාවේ. ඇමරිකාව ගැන අපිට තියෙන්නෙ සහ ඇමරිකාවත් ලෝකයට පෙන්වන්නෙ තමන්ගැන මේ වගේ ඩිස්නිලන්තමය අදහසක්. හැබැයි මේ ඩිස්නිලන්තයෙත් ඉන්නව තටු කැඩිච්ච සුරංගනාවියො. පාර වැරදුන දේවදූතියො. මුදලට විකිණෙන සින්ඩරෙල්ලලා. කේශ කලාපය වර්ණගන්වාගෙන හන්දි ගානෙ හිටගෙන ඉඳල එදාවේල හොයාගන්න රපුන්සල් ලා. The Florida project කියන්නෙ අන්න ඒ අඳුරු පරිච්ඡේදය ගැන කතාවක්. 

"අඳුරු" කිව්වට Florida project කියන්නෙ කෙනෙකුට දකින්න ලැබෙන වර්ණවත්ම චිත්‍රපටයක්. වර්ණවත් පසුතලවල පෙනී නොපෙනී බොඳ වෙලා තියෙන්නෙ ජීවිතවල ඇතුළාන්ත අඳුර. මේ කතාවේ ප්‍රධාන චරිත වෙන්නෙ අවුරුදු හයක වයස පුංචි දුවෙක් (Moone) සහ තරුණ අම්ම කෙනෙක් (Halley). Halley දුටුව ගමන් ඈ අමුතු ආකරයෙ ගැහැණියක් බව පෙනෙන්නෙ. ඇගෙ කොණ්ඩය කොළ පාටින් වර්ණ ගැන්විල තියෙන්නෙ. යටි තොලේ කුඩා මුදුවක් පැළඳිල. පපුවෙ විශාල රතු රෝස මල් දෙකක ටැටූවක් ඇඳිල. ඇගෙ අත්පාවලත් තියෙන්නෙ වෛවර්ණ ටැටූ හැඩතල. Mooney අසීමිත විදහට දඟකාර, කාටවත් කීකරු නොවෙන, නාහෙට නාහන පුංචි ගෑනු ලමයෙක්. ඈ එක අතකට ඇගෙ අම්මගෙම කුඩා අනුරුවක් වගේ. මේ දෙන්න නැවතී ඉන්නෙ ඩිස්නිලන්තය සමීපයේ, සංචාරකයන් ලැගුම්ගන්න Magic Castle නම් අඩු වියදම් නවාතැන්පළේ. Magic Castle බිත්ති පුරා තැවරී ඇති ලැවැන්ඩර් වර්ණය මෙතනට ගේන්නෙ අමුතු හැඩයක්. නමුත් ඇතුළත කාමරවල තියෙන්නෙ අඳුරු දම් පාටක්. Bobby තමයි මෙතන බාරකරු. නවාතැන හරියට පිළිවෙලට පිරිසිදුව පවත්වාගැනීම සහ ඇතුලෙ ඇතිවෙන නොයෙක් ආකර ප්‍රශ්න විසඳීම Bobby ගෙ රාජකාරිය වෙන්නෙ. Halley ට ජීවත්වෙන්න ස්ථීර ආදායමක් නෑ. නොයෙක් දේවල් කරමින් ඈ එදාවේල හොයාගන්න උත්සාහ කරනව. මේ අතර අහල පහළ එයාගෙ හොඳම මිත්‍රයා Scooty එක්ක එක්ක කල්ලි ගැහෙන Mooney නිදහසේ ළමා ලෝකේ සැරිසරමින් අයාලේ යමින් කාලෙ ගත කරන්නෙ. Bobby මොන රාජකාරිය තිබුණත් පොඩි දරුවන් ගැන අවධානෙන් ඉන්නෙ. ළමයින්ට කරදරයක් වෙන්න Bobby ඉඩ තියන්නෙ නෑ. ඔය විදිහට ළමා ලෝකයත් වගකීම් පිරුණු වැඩිහිටි ලෝකයත් අතරෙ මේ කතාව ගලා යන්නෙ. මූලික කතාපුවතකට වඩා Halley ගෙත් Mooney ගෙත් ජීවතවල කුඩා සිදුවීම්වලින්, එදිනෙදා අත්දැකීම්වලින් The Florida project නිර්මාණය වෙන්නෙ.

අවුරුදු ගණනාවක් අතීතයට ගිහිල්ල අපේම ළමා කාලය මතක් කරගත්තොත් බොහොම සුන්දර, නිදහස් ලෝකයක් අපි දැක්කෙ. Florida project ඇතුළෙ තියන වර්ණ පිරුණු, සනීපවත් බවට පසු බිම්වෙන්නෙ ඒ කාරණාව වෙන්න පුලුවන්. මොකද චිත්‍රපටය කේන්ද්‍රගත වෙන්නෙ Mooney වටා. ඇගේ ළමා ලෝකය මුල් කරගෙන. වැඩිහිටි ඛේදවාචකය මේ ලෝකය මත කඩාවැටෙන්න පටන් ගන්නකොටයි එතැන තියන අර සුන්දරකම දියවෙලා යන්න පටන් ගන්නෙ. නමුත් ළමයි තමන්ගෙ සතුට හොයා යන්නෙ තමන්ගෙම ක්‍රමයකට. අනික් පැත්තෙන් ඇමරිකාව කියන සුරපුරයේ අතරමං වුණු, පරිභෝජන මුල් කරගත්ත ධනවාදී අර්ථක්‍රමය ඇතුළේ සමාජය ඇති නැති විදිහට  ස්ථරවලට  වෙන් වෙද්දි එයින් පහළට ඇදවැටුණු අංශුමාත්‍රික ජීවිත කිහිපයක් ගැන වඩා යථාර්ථවාදී සමීප විමසා බැලීමක් විදිහටත් මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්.

The Florida project 

Directed by

Sean Baker

Written by

Sean Baker
Chris Bergoch

Starring

Willem Dafoe
Brooklynn Prince
Bria Vinaite
Valeria Cotto
Christopher Rivera
Caleb Landry Jones

Cinematography

Alexis Zabé



No comments:

Post a Comment