Thursday, November 4, 2021

Introduction to Poetry

පැවසුවා මම ඔවුන්ට
අරගන්න කවියක්
වර්ණ වීදුරු කැබැල්ලක් සේ
අල්ලා බලන්න එය
හිරු එළියට

නැත්නම් කණ තබා
සවන්දෙන්න එහි
ඇතුළතින් ඇසෙනා 
ගුමු ගුමුවට...

පැවසුවා මම
කැළෑ මීයෙකු ගෙන
දමන්නැයි කවියක් මැදට!
බලන්න එතුළ ඌ
පිටවන මඟක් සොයාගත නොහැකිව
අතරමං වන අයුර..

ඇවිද යන්න කවියක
ඇතුළු කාමර අතර
පැතිරුණු ගණ අන්ධකාරේ
ආලෝකයක් සොයාගනු රිසින්
අත තබමින් එහි බිත්ති මතට..

මට අවැසි වූවා ඔවුන්
කවියක විසල් දියතලය මතින්
ලිස්සා යමින් ක්‍රීඩා කරනයුරු දකින්නට
අතවනමින් ඈත වෙරළේ
ලියවුණු කවියාගේ නමට..

එනමුදු ඔවුන් කළ දේ නම්
වැරෙන් අල්ලාගෙන කවිය 
පුටුවකට තබා බැඳීමයි..
ඉන්පසු තළා පෙළා එය
කළ කී සියලු දේ ගැන
පාපෝච්චාරණය කරවීමයි...

පහර දී ඔවුන්
වධ දුන්නා කවියට
විමසමින් එහි ඇති
සැබෑ වූ යම් අරුතක්
දැනගනු පිණිස..
.
.
Billy Collins ගේ Introduction to Poetry පැදිය ඇසුරෙන්.



No comments:

Post a Comment