Tuesday, November 9, 2021

ලෝකයේ හුදෙකලාම නවාතැන

ඔබ හුදෙකලාව ඉන්න කැමති කෙනෙක්ද. මිනිස් ශිෂ්ටාචාරයේ ඝෝෂාවෙන් බොහොම ඈතක මුහුදේ ‍රළ බිඳෙන හඬ පමණක් ඇහෙන පාලු දූපතක වාසය කරන්න ලැබුණොත් ඒක කොහොම තියෙයිද. ඔස්ට්‍රේලියානු නවකතාකරු  M. L. Stedman ගේ The light between ocean නවකතාවේ වගේ ගොඩබිමෙන් එහා සයුරේ මැද එක ප්‍රදීපාගාරයක් සහ නිවසක් පමණක් තිබෙන පාලු දූපතේ රැකියාව සඳහා පැමිණුන තෝමස් ෂර්බොන් ව මගෙ මතකෙට එන්නෙ. මේ නවකතාව ආශ්‍රයෙන් චිත්‍රපටයකුත් නිර්මාණය වුණා. චිත්‍රපටය නැරඹුව නම් මේ ආකරයෙ දූපතක ජීවිතය කොහොමද කියල ඔබට දැකගන්න ලැබේවි. කොහොම වුණත් 
"ලෝකයෙ හුදෙකලාම නිවස" විදිහට හඳුන්වන නවාතැනක් පිහිටා තියනව අයිස්ලන්තය ආසන්න මුහුදේ Ellidaey නම් කුඩා දූපතේ. කාලයක් මේ නිවාසයෙ පින්තූර සමාජ මාධ්‍ය ඇතුළේ පළවීමත් එක්ක මෙතැන සෑහෙන ජනප්‍රියත්වයක් ලබන්න පටන් ගත්ත. 

මේ නිවාසය ගැන නොයෙක් අය විවිධාකාර කතන්දර කියා තිබුණ. සමහර කතා වලට අනුව ලෝකයට පැමිණෙන්න නියමිත සොම්බි වසංගතයකින් ගැලවෙන්න යම් ධනපතියෙක් මෙතැන ආරක්ෂක ස්ථානයක් විදිහට තෝරාගෙන ගොඩනැගූවක් මේ නිවාසය. සමහරුන්ට අනුව මේ ෆොටෝෂොප් වලින් සැකසුව ව්‍යාජ පින්තූරයක්. නමුත් ඇත්තටම මේ දූපත මීට වසර 300 කට කලින් පවුල් පහක් පමණ සිටි කුඩා ගම්මානයක්ව පැවතී තිබුණ බව සොයාගෙන තිබෙනව. 

1930 වසර වනතුරු  මෙහි මිනිස් වාසයක් පැවතී තිබුණා. නමුත් ඉන්පස්සෙ කවුරුත් මෙතන තමන්ගෙ වාසස්ථානය කරගත්තෙ නැහැ. දැනට තියන මේ නිවාසය දඩයම්කරුවන් ගේ තාවකාලික නවාතැන්පොළක් විදිහටයි භාවිතා වෙන්නෙ. දූපත ආශ්‍රිත මුහුද පෆින් කුරුල්ලන් වැඩිවශයෙන් ගැවසෙන කලාපයක්. පෆින් කුරුල්ලන් වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබෙන ජීවි විශේෂයක් විදිහට හඳුනා ගැනුණත් අයිස්ලන්තයෙ මොවුන් දඩයමට නීතියෙන් තහනමක් නැහැ. මේ නවාතැන දැන් අයිති වෙන්නෙ අයිස්ලන්තයෙ ජාතික දඩයම්කරුවන්ගේ සංගමයට. මේ නවාතැනේ විදුලිය හෝ ජල පහසුකම් නැහැ. දඩයම්කරුවන්ගේ  සාමාජිකත්වය ලැබූ අයට හැර වෙනත් අයට මෙතන නවාතැන් ගන්න අවසර නැති බවයි කියවෙන්නෙ. කොහොම වුණත් එක දවසක් මෙතැන ගත කරන්න ලැබුණොත් එය කොහොම අත්දැකීමක් වේවි ද කියන දේ හිතාබලන්න හරි අපූරු යමක් වේවි.



No comments:

Post a Comment