Tuesday, February 1, 2022

බඹරු ඇවිත් (1978)

1977 කියන්නෙ ශ්‍රී ලාංකිකයෙකුට නම් මතක තියන අවුරුදක්. ඒ රටට විවෘත ආර්ථිකය හඳුන්වාදුන් අවුරුද්ද විදිහට. "විවෘත ආර්ථිකය" කියන වචනෙ තේරුම නොදන්න කෙනෙක් වුණත් මේ කාරණාව දන්නව. සරලවම කිව්වොත් 77 දි වෙන්නෙ එතෙක් ලංකාවෙ පැවති සමාජවාදී ක්‍රමයට අනුගත වුණු රාජ්‍ය ඒකාකාරී සංවෘත ආර්ථික ක්‍රමය වෙනස් කරල, ආනයන අපනයන වෙනුවෙන් රට විවෘත කිරීම. එතනදි ආර්ථිකය ඇතුළෙ රජයේ අධිපතිත්වය තරමකට අඩු වෙලා නිදහස් වෙළඳ පොළ ක්‍රමයක් රටේ ඇති වුණා. රටේ නිෂ්පාදන පිටරට යවන මහා පරිමාණ අපනයන ප්‍රවර්ධන කලාප විවෘත වුණා. පුද්ගලික ව්‍යවසායකත්වය වෙනුවෙන් ඉඩක් හැදුණ. ලෝකයේ පුරා සංසරණය වෙන නොයෙක් පාරිභෝගික භාණ්ඩ අපේ රටටත් එන්න පටන් ගත්ත. එතෙක් පැවති සමාජවාදී ආණ්ඩු විසින් පරිභෝජනය සීමා කරල තිබුණ නිසා සලාක ක්‍රමයට බෙදා දුන්න අවශ්‍ය බඩු භාණ්ඩ ලබාගන්න  මිනිස්සුන්ට පෝලිම් වල ඉන්න  වුණා. මේ ක්‍රමය රටේ පොදු ජනතාව ඇතුළෙ විශාල ආතතියක් ඇති කරල තිබුණ. ඒ හින්ද මැතිවරණයකදි පහසුවෙන්ම මේ ක්‍රමය වෙනස් කරන දේශපාලන කණ්ඩායමකට බලය ලබාගත හැකි තත්ත්වයක් රටේ ඇතිවෙලා තිබුණෙ. මේ වෙනකොට ලෝකයෙත් බොහෝ රටවල් සමාජවාදී ක්‍රමය අතහැරල නිදහස් වෙළඳපොළ ක්‍රමයකට යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවෙලා තිබුණ. මේ කරුණු කාරණා එක්ක ලංකාව තුළ නිදහස් වෙළඳපළ ක්‍රමයක් අර්ධවශයෙන් හරි ඇතිවීම කියන්නෙ එක් ආකාරයකින් ඓතිහාසිකව සිදුවීමට නියමිත නොවැලැක්විය හැකි යමක් වුණා. 

නමුත් මේ විවෘත ආර්ථිකය හඳුන්වා දෙනවිට එය බාරගන්න සුදුසු පසුබිමක් රටේ තිබුණාද කියන කාරණය ගැටලුවක් වුණා. ඒ සමගම රටට මුහුණදීමට සිදුවෙන අර්බුද ගණනාවකටම විසඳුම් මේ ක්‍රමයෙ තිබුණාද කියන දෙයත් ගැටලුවක් වී තිබුණා. මේ කරුණු කාරණා ඔය ආකාරයෙන් සිද්දවෙන අතරේ ධර්මසේන පතිරාජ මහත්මයාගෙ "බඹරු ඇවිත්" චිත්‍රපටය 1978 දි නිකුත් වෙන්නෙ විවෘත ආර්ථික ක්‍රමයට රට අනුගත වෙමින් තියන මොහොතක. ලිබරල් වෙළඳපළ ක්‍රමය රටට පැමිණීම සහ "බඹරු ඇවිත්" අතර තියෙන්නෙ උත්ප්‍රාසාත්මක සම්බන්ධයක්. බඹරු ඇවිත් චිත්‍රපටයෙ මේ බඹරු එන්නෙ මුහුද අද්දර තියන එක් ධීවර ගම්මානයකට. මත්ස්‍ය සම්පත කියන්නෙ හොඳ හැටි ලාභ උපයන්න පුලුවන් වටින ව්‍යාපාරික අවස්ථාවක්. නමුත් ගමේ කටයුතු සිද්ද වුණේ එහෙම නොවෙයි. ගමේ ආධිපත්‍යය පතුරුවාගෙන හිටි ඇන්ටන් (ජෝ අබේවික්‍රම) ගමේ මිනිස්සු දුක් මහන්සි වෙලා මුහුදු ගිහින් අරගෙන මාළු අඩු ගාණට මිලදී අරගෙන කොළඹ යන ලොරිවලට විකුණුවා . ඇන්ටන් මේ හම්බකරගන්න මුදල් හොඳහැටි සුරාවෙන් සප්පායම් වෙන්නත් තමන්ගෙ හිතගත්ත ගැහැනුන් වෙනුවෙන් වියදම් කරන්නත් යොදාගෙත්ත. ගමේ ධීවරයෙක් ගේ පුතෙක් වුණු සහ කොළඹ හැදී වැඩුණු වික්ටර් නැත්නම් බේබි මහත්තය (විජය කුමාරතුංග) තමන් පොඩි කාලෙ හැදී වැඩුණු මේ ධීවර ගමට එන්නෙ ඔය අතර. බේබි මහත්තය ගමට එන්නෙ තවත් යාලුවො දෙන්නෙක් වුණු සනත් (අමරසිරි කලංසූරිය) සහ වීරසේන (විමල් කුමාර ද කොස්තා) එක්ක. බේබි මහත්තයගෙ අරමුණ ධීවර ගමේ ඉඳන් අලුත් ව්‍යාපාරයක් පටන් ගැනීම. මෙතුවක් කාලයකට අඩු මුදලකට ඇන්ටන්ට මාලු විකුණපු ධීවරයින්ට වඩාත් හොඳ මුදලක් දීල බේබි මහත්තය ඒ මාලු මිලදී ගන්නව. මේ නිසා ඇන්ටන් ගේ ව්‍යාපාරෙට පහර වදිනව. ඇන්ටන් සහ බේබි මහත්තය අතර ගැටුමකට මේ කරුණ හේතු වෙනව. 

හෙලන් (මාලනී ෆොන්සේකා) ගමේම ධීවරයෙකුගෙ දුවක්. ඈ දකින කෙනෙකුට දෙපාරක් හැරිල බලන්න හිතෙන තරම් රූප සුන්දරියක්. ඉතින් තරුණ වයසේ බේබි මහත්තයගේ හිත ඇය ලඟ නතරවීම අරුමයක් නෙමෙයි. නමුත් ඇයගෙ අතපතා ගෙන පෙරුම් පුරාගෙන ඉන්නව තවත් පුද්ගලයෙක්. ඔහු සිරිල් (සිරිල් වික්‍රමගේ) සිරිල් කියන්නෙ ඇන්ටන් ගේ ළඟම සහචරයෙක්. බේබි මහත්තය ටික ටික හෙලන්ට කිට්ටුවෙන බව සිරිල්ට තේරුම් යනව. මේ නිසා සිරිල් බේබි මහත්තයට වෛර කරන්න පටන් ගන්නව. ඒ වෛරය ඇන්ටන් සහ බේබි අතර තියන ගින්නට තවත් පිදුරු එකතු කරනව. සියදිවි නසාගැනීමක්, මිනි මැරුම් දෙකක් සහ පොලීසියක් නොතිබ්බ ගමේ පොලිස් ස්ථානයක් පිහිටුවීම දක්වා මේ ආරවුල දුර දිග යනව.

ගමට පොලීසියක් නැහැ කියන එක ලොකු සංකේතයක්. තමන්ගේ හදවතේ නීතිය මිසක වෙනත් යමක් ගැන ඒ මිනිස්සුන්ට වැටහීමක් නැහැ. තමන්ට අයුක්තියක් අසාධාරණයක් වෙනව නම් මාලු කපන පිහිය තමයි ඉස්සරහට එන්නෙ. ඒ වගේම ඇන්ටන් සහ ඔහුගේ කණ්ඩායමට ගමේ ආධිපත්‍යයක් තිබුණා. ඇන්ටන්ගේ වචනෙකට ඉහළින් යමක් කරන්න කිසිම කෙනෙකුට ඉඩක් තිබුණෙ නෑ. අනෙක් කාරණය එදිනෙදා හොඳ හැටි කාල බීල විනෝද වෙනව ඇරෙන්න මේ කණ්ඩායමට එහෙම ලොකු අරමුණක් ඇති බවක් පේන්න නැහැ. තමන්ගේ ලෝකෙ තමන් කාල බීල ඉඳල මැරිල යනව ඇර ඉන් එහාට ලෝකයක් නෑ. බේබි මහත්මය අඩිය තියන්නෙ ඒ බිමට. බේබි මහත්තයාගෙ අරමුණ ව්‍යාපාරිකත්වය. කෙටි කාලීනව පාඩු විඳගෙන හරි දිගු කාලීනව ලොකු ලාබයකට යන්නයි අරමුණ. බේබි මහත්තය අහන්නෙ බටහිර රොක් ඇන් රෝල් සංගීතෙ. බේබි මහත්තය කියන්නෙ ලිබරල් වෙළඳපළ ක්‍රමයට. එක් ආකාරයකට නොදියුණු සහ තමන්ගෙම ක්‍රමයට තමන්ගෙ ප්‍රශ්න විසඳගෙන පැවතුණ තැනකට මේ ව්‍යාපාරික බේබි ගේ ආගමනය සිද්දවෙන්නෙ. නමුත් ඒ ආගමනය කියන්නෙ තවත් අලුත් ප්‍රශ්න ගණනාවක මුලක්. නිතරම යුක්තිය, සාධාරණය, සමානාත්මතාව, ජීවිතේ සැබෑ අර්ථය වගේ දේවල් ගැන දේශනා කරන වීරසේනට මේ අවුල පෙනෙනව. මෙහෙම ලොකු ගැටලුවක් ඇති වෙන බව ඔහු කලින්ම කිව්ව. ඒත් වීරසේන කියන දෙයක් බේබි මහත්තය අහන්නෙ නෑ. ඇන්ටන් ඇතුළු ගැමියන්ට වීරසේන කියන දේ තේරෙන්නෙ නෑ. නැත්නම් ඒ අයට දැනෙන්න කතා කරන්න වීරසේන දන්නෙ නෑ. අන්තිමට කොළඹ යන බස් එකේ නැගල යන්නෙ වීරසේන තනියෙන්. එතැන තියෙන්නෙ වර්තමාන කාලෙටත් ගැලපෙන ලොකු කතාවක්.

බඹරු ඇවිත් චිත්‍රපටය ගැන කතාකරනකොට අමතක කරන්න පුලුවන් කමක් නෑ ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ සංගීතය. විශේෂයෙන් "උදුම්බරා හිනැවෙනවා" ගීතයෙ රූප රචනාව ඒ යුගයෙ නිර්මාණය වුණාදැයි හිතාගන්න බැරිතරම් සර්වකාලීනව විඳගත හැකි සෞන්දර්යක්. ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකර මේ හඬවල් තුන කේමදාස මහත්මය යොදාගන්නෙ. මේ ගීයෙ එක හඬක් මතුවෙලා වියැකෙන මොහොතෙ තවත් හඬක් ඊට යටින් මතුවෙනව. තමන් ඒ ආකාරයෙන් හඬ භාවිතා කලේ මුහුදක රළ නැගෙන ආකාරය අනුව බව කේමදාස මහත්මය කියා තිබුණ. ඔහු අසමසම සංගීත වේදියෙකු බව පෙන්වාදෙන්න ඒ කරුණ ප්‍රමාවත්. උදුම්බරා ගීය ලියන්නෙ ඩබ්ලිව් ජයසිරි මහත්මය. සමාජයෙ සිද්දවෙන නොයෙක් විපරිනාමයන් හමුවේ ගැහැනියට අත්විඳින්න සිදුවෙන පීඩාකාරී තත්ත්වය ගීයෙන් මතු කරන්න උත්සහ කරන්නෙ. චිත්‍රපටයෙ හෙලන් ගේ චරිතයෙනුත් නිරූපණය කරන්නෙ මේ කරුණ. පිරිමින් ගේ බල අරගලයට මැදිවෙන ගැහැනියකගෙ ජීවිතය. ගැහැනිය පිරිමින් තමන්ගේ ආධිපත්‍යය වෙනුවෙන් පාවිච්චි කර ඉවත දැමිය හැකි භාණ්ඩයක් බවට පත්වීමේ ඛේදජනක ඉරණම. 

2020 අවුරුද්දේ Cannes සිනමා උළලේ Cannes classic අංශයෙන්, ලොවපුරා චිත්‍රපට අතර සංරක්ෂණය සඳහා තෝරාගත් සුවිශේෂ සිනමා කෘති 25 අතරට "බඹරු ඇවිත්" තෝරාගෙන තිබුණා. ඉතාම ඉහළ ප්‍රමිතියකින් සිදු කරන Cannes වැනි උළෙලක එවැනි නිර්දේශයක් ලැබීම ලෙහෙසි පහසු යමක් නොවෙයි. ලාංකික සිනමාව මේ දක්වා ලබපු ලොකු වටිනාකමක් විදිහට මේ නිර්දේශය නම් කරන්න පුලුවන්. ඒ වගේම 1997 රජය මගින් පත්කරන ලද විශේෂ කමිටුවක් මගින් තෝරාගත් ලාංකික සිනමාවේ බිහිවුණු හොඳම චිත්‍රපට 10 අතරින් 4 වෙනි ස්ථානය හිමිවෙන්නෙ "බඹරු ඇවිත්" චිත්‍රපටයට. ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් විසින් "රේඛාව" චිත්‍රපටයන් චිත්‍රාගාරයෙන් එළියට ගෙනා කැමරා ඇස මහපොළව මත මිනිසුන්ගේ සැබෑ ජීවිත වෙත යොමු කළ පුරෝගාමියෙකු විදිහටයි ධර්මසේන පතිරාජ හඳුන්වාදිය හැකි. පතිරාජ වැනි අය පෙන්වාදුන් මේ සමාජ අර්බුදය තව තවත් ඔඩු දුවමින් ලාංකික සමාජයම අඳුරෙන් අඳුරට ගමන් කරමින් තිබීම කණගාටුදායකයි. බඹරු ඇවිත් චිත්‍රපටයේ ගුවන්විදුලි ප්‍රචාරක දැන්වීමෙන් මේ කෙටි සටහන අවසන් කරන්නම් 

ඔබත් මමත් උපදින්නේ එකම වැල්ලක
පිහිනන්නේ එකම මුහුදක..
බඹරු ඇවිත්



2 comments:

  1. චිත්‍රපටිය බලලා තිබ්බට මෙච්චර දෙයක් දැනන් හිටියේ නෑ.

    ReplyDelete