Thursday, March 10, 2022

Compartment No 6. (2021)

ඔබ මම අපි කවුරුත් ජීවිතේ ඇතුලෙ නොනවතින ගමනක යෙදිල ඉන්නව කිව්වොත් ඒක බොරුවක් නෙමේ. ජිවිතේ කියන්නෙම කොහෙන් පටන් ගත්තද දන්නෙ නැති කොතනින් ඉවරවෙයිද කියල හිතාගන්න බැරි ගමනක් තමා. හරියට හිතල බැලුවොත් අපේ ජීවිතේ අපි විසින්ම තනිවම යායුතු ගමනක් වුණත් ඇත්තටම අපි යන්නෙ තනියම නොවෙයි. අපි වගේම තමන්ගෙම ගමනක් යන ගොඩක් දෙනෙක් එක්කයි අපි මේ ගමන්ගනිමින් ඉන්නෙ. නමුත් කොහොමින් හරි තවත් අය මේ විදිහට අපිට මුණගැසීම නම් වළක්වන්න පුළුවන් යමක් නොවෙයි. හිතන්න, මේ අකුරු කියවන ඔබ ඉන්නෙ කොතනද මම ඉන්නෙ කොතනද. නමුත් මේ අකුරු ඔබට කියවන්න ලැබෙන්නෙ කොහොමද.. ජීවිතේ ඇතුලෙ  හමුවීම් කියන ඒව සිද්දවෙන්නෙ ඒවගෙයි. සමහරු මුල ඉඳන්ම ජීවිතේ අපිත් එක්ක ඉන්නව, තවත් අය අතර මග මුණගැහිල අපේ ගමන් සගයින් බවට පත්වෙනව. වැඩිදෙනෙක් වෙන්වී ගියාට පස්සෙ ක්‍රමයෙන් දුර මතකයක් පමණක්  බවට පත්වෙලා නොපෙනී යනව. ඒත් ටික දෙනෙක් ඉන්නව එහෙම නොවෙන. නොහිතූම විදිහට අතරමග මුණ ගැහිල කිසිදාක අමතක නොවෙන මතකයක් ඉතුරු කරල වෙන්වෙලා යන. 

2022 ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් ෆින්ලන්තයෙන් ඉදිරිපත් කළ Compartment No 6 චිත්‍රපටයෙත් ඇතුළත් වෙන්නෙ මෙහෙම අපූරු හමුවීමක් ගැන කතාවක්. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Rosa Liksom නම් ෆින්ලන්ත ලේඛිකාව 2011 අවුරුද්දේ මේ නමින්ම ලියා පළ කල නවකතාව ආශ්‍රයෙන්. 

ෆින්ලන්ත ජාතික Laura, රුසියාවේ මොස්කව් නගරයෙ ඉඳන් උතුරු අර්ධගෝලයේ  Murmansk නගරය බලා යන්න සැලසුම් කරන්නෙ ඇගෙ පෙම්වතිය Irina එක්ක. නමුත් Irina ට ඒ ගමන් එන්න වෙන්නෙ නෑ. ඒ නිසා Laura තනිවම Murmansk බලා පිටත් වෙනව. Murmansk දවස් කීපයක දුම්රිය ගමනක්. Laura ගමන් ගන්නෙ වෙන් කරගත් නිදන මැදිරියක. නමුත් ඇයත් එක්ක තවත් කෙනෙක් මේ කුටියේ ගමන් කරනව. Lyokah, පෙනුමෙන් මැදිවයස් රුසියානු පිරිමියෙක්. Lyokah කියන්නෙ දිනගනක ගමනක් තියා එක මොහොතක් ළඟ ඉන්න වත් නොසුදුසු මිනිහෙක් බවයි Laura ඉක්මනින්ම වටහාගන්නෙ. හොඳ හැටි වොඩ්කා බීගන්න, ඉතාම පහත් විදිහට ගැහැනුන්ට බැනවදින, නාහෙට නාහන මුරණ්ඩු මේ මනුස්සය එක්ක ගමන් කරන්න සිද්දවෙලා තියන Laura ගැන අනුකම්පාවක් තමා අපිට ඇතිවෙන්නෙ. Laura ගේ දුම්රිය ගමන කොයිවගේ එකක් වේවිද. චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙ ඒ කතාව.

Compartment No 6. චිත්‍රපටය මිනිස්සු ගැන මතුපිටින් බලල අපි කරන විනිශ්චයන් කොයිතරම් වැරදි වෙන්න පුලුවන්ද කියන කාරණය පෙන්වා දෙනව. සාමාන්‍යයෙන් සමාජෙ ඇතුළෙ මිනිස්සුන්ව ලේබල්කරණය වෙන්නෙ එහෙම. මනුස්සයෙක් ලඟ කැපීපෙනෙන "නරක" ගුණාංගයක් පේන්න තියනව නම් ඉන්පස්සෙ සමාජෙ ඇතුලෙ ඒ මනුස්සය නාමකරණය වෙන්නෙ ඒ නරක ගුණාංගයත් එක්ක එකට ගැටගැහිල. ඉන්පසෙ තමන් කලෙ වරදක් බවට තේරුම් අරන් නිවැරදි වෙන්න අර මනුස්සයට උවමනා වුණත් ඒකට ඉඩක් ලැබෙන්නෙ නෑ. සමහර විට අනිත් අයගෙ නරක පෙන්වාදෙන හොඳ මිනිස්සුන්ගෙ ජීවිතේ ඇතුළෙන් අරිට වඩා අඳුරු වෙන්න පුලුවන්. සමාජෙට අනුව නරකයි කියල ලේබල් වැදිච්ච මිනිස්සු ඇතුළෙන් ඒ තරම් නරක නැති වෙන්න පුලුවන්. සාන්තුවරු ඇතුළෙ යක්ෂයිනුත් යක්කු ඇතුළෙ සාන්තුවරුත් හැංගිලා ඉන්න පුලුවන්.

2021 Cannes සම්මාන උළලේ Grand Prix සම සම්මානය දිනාගන්න Compartment No 6.චිත්‍රපටය සමත් වෙනව. Grand Prix දිනාගන්න අනෙක් චිත්‍රපටය අස්ගර් ෆර්හාඩිගෙ A Hero. ඒ වගෙම ඔස්කාර් සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය වෙනුවෙන් ෆින්ලන්තයෙන් ඉදිරිපත් වුණේ Compartment No 6. නමුත්  Compartment No 6. අවසාන වටයට ඇතුළත් වෙන්නෙ නැහැ. කෙසේවෙතත් 2021 අවුරුද්දේ නිකුත් වුණු විදෙස් භාෂිත චිත්‍රපට ගැන කතාකරනව නම්, Compartment No 6 ඒ අතර මඟහැර නොගත යුතුම වර්ගයෙ චිත්‍රපටයක් බව කියන්නම්.



No comments:

Post a Comment