Friday, March 25, 2022

Jan E Man (2021)

ජීවිතේ කියන්නෙ එක අතකින් බර්ත්ඩේ පාටි එකකුයි අනෙක් අතෙන් මළගෙදරකුයි එල්ලගෙන යන ගමනකට. එකක් නම් අවුරුද්දකට එක ගානෙ වෙනව කියමුකෝ හැබැයි අනිත් එක සිද්ද වුණු දවසට තමා කරපු කියපු, මගේ කියල ගොඩගහගත්තු සියලුම දෙවල් දාල තනියමම යන්න වෙන්නෙ. හැබැයි ඔය දෙකම එක පාර වුණොත් කොහොමට තියෙයි ද. ඒක වෙන්නෙ මෙහෙමයි. පොඩි පාරක එහාපැත්තෙ සහ මෙහා පැත්තෙ මූණට මූණ බලාගත්තු ගෙවල් දෙකක් තියනව. එක ගෙදරක ඉන්නෙ සම්පත්. සම්පත්ට යලුවෙක් ඉන්නව කැනඩාවල රැකියාව කරන. යාලුවගෙ නම ජොයිමොන්. කැනඩා ඉඳල මේ ජොයිමොන් තකහනියක්ම ඉන්දියාවට එනව යාලුවො පිරිවරාගෙන එයාගෙ තිස්වෙනි උපන්දිනේ සමරන්න හිතාගෙන. ජොයිමොන් ගෙ උපන්දින පාටිය තියෙන්නෙ සම්පත් ගෙ ගෙදර. ඔය අතරෙ සම්පත් ගෙ ගෙදරට පාරෙන් එහාපැත්තෙ ගෙදර ඉන්න වයසක මනුස්සය හදිස්සියෙම මියගිහින්. ජොයිමොන් ෆුල් සවුන්ඩ් සිස්ටම් එකක් දාල ලයිට් වැල් එල්ලල යාලුවන්ට ආරාධනා කරල උපන්දින පාටිය ලොකුවටම ගන්න ඔක්කොම සැලසුම් කරල ඉවරයි. දැන් කේරළේ කුඩුවෙන්න පරමාණු බෝම්බයක් එනව කිව්වත් ජොයිමොන් නෙමේ තමන්ගෙ ප්ලෑන් එක වෙනස් කරන්නෙ. ඔය අතරෙ එහා පැත්තෙ ගෙදර කට්ටිය මළගෙදරට ලකලෑස්ති වෙනව. දැන් මෙතන ලොකු ජංජාලයක් වෙන්න නියමිතයි.

ජොයිමොන්ට කැනඩාවෙදි ගත කරන්න වෙන්නෙ තට්ට තනියම පාලුවෙන් පිරුණු එපාම වුණු ජීවිතයක්. බැලූ බැලූ පැත්තෙ හිම කාන්තාරයක් වගේ සුදුපාට හිම මිදිල. කොයිවෙලෙත් සෙල්සියස් අංශක ඍණ ගාණක ගල් ගැහෙන සීත. හරියට රොබින්සන් කෲසෝ වගේ දන්න කියන්න කිසි කෙනෙක් ලඟපාතක නැති අතරමං වෙච්ච ජීවිතයක්. ජොයිමොන් ගමට එන්නෙ ඔය හුදෙකලාවේ ඇරියස් එක මොන ක්‍රමෙන් හරි කවර් කරගන්න තමයි. බර්ත්ඩේ පාටියක් කියන්නෙ ඒකට හොඳ අවස්ථාවක්. ඔය අතරෙ එහා ගෙදර මැරිච්ච මනුස්සයගෙ පුතා මොනිචාන් එනව. මොනිචන් ඒ පළාතෙ නමගිය චණ්ඩියෙක්. මෙහා ගෙදර සම්පත් ගෙ නංගිට ඕන නැති කතාවක් කියල සම්පත් ඉන්නෙ මොනිචන් එක්ක තරහෙන්. දැන් පිදුරු ගොඩ ඔක්කොම එකට එකතු කරල තියෙන්නෙ. පොඩි ගිනිකූරක් අවුලල තියන්න විතරයි ඕන.

මලයාලම් සිනමාව හොඳට හුරු පුරුදු ඔබ මම කවුරුත් දන්නව පොඩි සිදුවීමක් අරගෙන ඒ වටේ තව ප්‍රශ්න ටිකක් නිර්මාණය කරල. ඔක්කොම එකතු කරල ලොකු අවුලක් හදල අන්තිමට ලොකු වාව් එකකින් කතාව ඉවර කරන මේ මලයාලි මැජික් වල තරම. Jan E Man කියන්නෙ අන්න ඒ මලයාලි මැජික් ලයිස්තුවෙ උඩින්ම තියන්න පුලුවන් තවත් එක රහ වැඩක්. පැය දෙකහමාරක වගේ දිග ධාවන කාලයක් ඇතුළෙ මුලින් සෑහෙන මන්දගාමී ගමනකින් ආරම්භ කරල අවසානෙ ප්ලොට් ට්විස්ට් එකක් එක්ක සෑහෙන ලොකු හැඟීමක් හදවතේ ඉතුරු කරල අවසන් වෙන හරි අපූරු චිත්‍රපටයක්. ඔබ මම කාටත් වෙන්න පුලුවන් අතිශ්‍ය සාමාන්‍ය සිදුවීම් ටිකක් තමයි මේ මලයාලි මැජික් කාරයින් අමුතුම තලයකට අරගෙන යන්නෙ. 

Jan E Man එක්ක තවත් නවක සිනමා කරුවෙක් කේරළ සිනමාවට එකතුවෙනව. ඔහු Chidambaram. මේ Jan E Man තිර රචනය සහ අධ්‍යක්ෂණය ඔහුගේ. Jan E Man ඔහුගෙ පළමු සිනමා නිර්මාණය. ඒවගේම මේ චිත්‍රපටයෙ ජොයිමොන් ගෙ චරිතය රඟපාන්නෙත් මලයාලම් සිනමාවෙ නම් දරාපු තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු තමා Basil Joshep. මලයාලම් සිනමාවෙ මුල්ම සුපර්හීරෝ චිත්‍රපටය විදිහට හඳුන්වපු Minnal Murali අධ්‍යක්ෂණය Basil Joshep ගෙ. අධ්‍යක්ෂණයෙන් වගේම රඟපෑමෙනුත්  දක්ෂයෙක් බව Basil Joshep මෙතනදි ඔප්පු කර පෙන්වා තිබෙනව. අනෙක් චරිතවලත් ඔබ බොහෝ වෙලාවට මලයාලම් චිත්‍රපට වල දැක පුරුදු චරිත කීපයක් රංගනයෙන් දායක වී තිබෙනව.

ලෝකය රඟහලක් නම් අපි එහි නළු නිළියන් බව කියන්නෙ විලියම් ශේක්ස්පියර්. උපතකුත් මරණයකුත් දෙපැත්තක තියාගෙන ඒ අතර මැද ජීවිතේ අපි කවුරුත් රඟපාන රංගනයන් ගැන Jan E Man චිත්‍රපටය ඇතුළෙ පෙන්වා දෙනව. කිසිම තේරුමක් නැති දේවල් ඔලුව ඇතුලෙ දාගෙන මිනිස්සු කොයිතරම් එකිනෙකා ගහමරාගන්න ඇති ද. කොයි නැටුම් නැටුවත්, දෙපැත්තකට බෙදිල යුද්ද කරගත්තත් අන්තිමට මේ ලෝකෙට ඉතුරු වෙන්නෙ මොනවද? යන තැනකට අපිට අරගෙන යන්න තියෙන්නෙ මොනවද? සරල සුන්දර වෙලාවකට විනෝදයෙන් පිරුණු තව වෙලාවකට කුතුහලය රඳවාගත්තු නමුත් සැබෑ ජීවිතයට වඩාත් සමීප මේ සිනමා නිර්මාණය අවසානෙ මේ ප්‍රශ්න ටික අපි අපෙන්ම අහගන්න වටින බව මට හිතෙනව.



No comments:

Post a Comment