Wednesday, March 23, 2022

King Richard (2021)

 වීනස් විලියම්ස් සහ සෙරීනා විලියම්ස් කියන නම් දෙක කවුද අහල නැත්තෙ? මේ අතිවිශිෂ්ට ගණයේ ටෙනිස් ක්‍රීඩිකාවන් දෙදෙනා ගැන ටෙනිස් ක්‍රීඩාව පිළිබඳ මළපොතේ අකුරක් නොදන්න කෙනෙක් වුණත් අහල තියන බවට සහතිකයි. විලියම්ස් සහෝදරියන් දෙදෙනා මේ තරම් ලෝකප්‍රසිද්ධ වෙන්න හේතුව මොකක්ද? සරලවම කිව්වොත් වීනස් විලියම්ස් ටෙනිස් ක්‍රීඩාවේ එදා මෙදාතුර බිහිවුණු දක්ෂතම ක්‍රීඩිකාව (Greatest of all time) විරුදාවලිය ලැබූ තැනැත්තිය වගේම ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකට පැමිණි මුල්ම කලු ඇමරිකානු ගැහැනිය. සෙරීනා විලියම්ස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ 23ක් දිනාගෙන අසමසම වාර්තාවක් පිහිටවූ කෙනෙක්. 2017 වසරෙ ෆෝබ්ස් සඟරාවට අනුව එදාමෙදාතුර ක්‍රීඩාවෙන් වැඩිම ආදායමක් ඉපයූවන්ගෙ ලයිස්තුවෙ සිටි එකම ගැහැනිය ඇයයි. විලියම්ස් සහෝදරියන් තමන්ගේ නාමයන් මුලු ක්‍රීඩා ඉතිහාසයේම රන් අකුරින් ලියවාගන්න සමත්වී ඇතිබව ඔබට තේරුම් ගන්න පුලුවන් වේවි. නමුත් කොහොමද මේ දෙදෙනාම මේ තරම් විශාල ඓතිහාසික ජයග්‍රහණයන් කරා ලං වෙන්නෙ. අන්න එතනදි තමයි ඔබ අපි කවුරුත් කවදාකවත් අහල නැති නමක් කියවෙන්නෙ. රිචඩ් විලියම්ස්, විලියම්ස් සහෝදරියන්ගෙ ආදරණීය පියාණන්. ඔහු තමයි තමන්ගෙ දියණියන් දෙදෙනා ජයග්‍රහණය කරා මෙහෙයවූ ගමනේ නියමුවා වෙන්නෙ. දරුවන්ගේ ජයග්‍රහණවලින් කියවෙන්නෙ දෙමාපියන් විදිහට ඔවුන් ලැබූ සාර්ථකත්වය. King Richard කියන්නෙ ලොවක් වසඟ කරගත් දරු දෙන්නෙක් හැදු වැඩු පියෙකුගේ කතාව.

රිචඩ් විලියම්ස් චරිතය තිරයේ මැවෙනකොට සුනිල් පෙරේරා මහත්මය තමන්ගෙ පියාණන් ගැන ගයන අර අපි හොඳට අහල පුරුදු සුප්‍රසිද්ධ ගීතයේ පදපේළි ඔලුවෙ මැවෙන එක වළක්වන්න බැහැ. රිචඩ් කියන්නෙත් සුනිල් පෙරේරා මහත්මයගෙ සින්දුවේ ඉන්න, එතුමගෙ පියාණන් වගේම පිතෲවරයෙක් බව අපි දකින්නෙ. රිචඩ් විලියම්ස් ටෙනිස් ක්‍රීඩාව පුරුදු පුහුණු කල කෙනෙක්. තමන්ගේ දරුවන් කවදහරි දවසක මේ ක්‍රීඩාවෙන් ඉදිරියටම යා යුතු බව ඔවුන් ඉපදෙන්නත් කලින්ම ඔහු තීරණය කර අවසානයි. තමන්ට දියණියන් දෙදෙනෙක් ලැබුනාට පස්සෙ ඔවුන්ට අවුරුදු හතර වෙනකොට විලියම්ස් මේ දෙදෙනට ටෙනිස් ක්‍රීඩාව කියාදෙන්න පටන් ගන්නව. සෙරීනා සහ වීනස් දෙදෙනාම ලෝකයෙ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩිකාවන් කරවීමේ පිටු අසූ පහක් දිග සැලැස්මක් ඔහු ලියා තබනව. ඉන්පස්සෙ හැමදෙයක් සිදුවීමට නියමිත ඒ සැලැස්මට අනුවයි. තවත් මොහොතක රිචඩ් කියන්නෙ වෙනත් කෙනෙකු කියන දෙයක් තඹ සතේකට මායිම් නොකරන තමන්ගේම අරමුණ පමණක් හිස මත දරාගත්ත මහ හිතුවක්කාරයෙක් බව පෙනෙන්න පටන් ගන්නව. තවත් මොහොතක තමන්ගෙ බිරිඳටවත්  ඔහු අවනත වෙන්නෙ නෑ. දෙදෙනා අතරෙ සෑහෙන මත ගැටුම් ඇති වෙන්න මෙය හේතුවක් වෙනව. නමුත් ඇයත් දරුවන් දෙදෙනාගෙ යහපත වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරනව. සෙරීනා සහ වීනස් යන දැවැන්ත ක්‍රීඩා පෞරුෂයන් පිටුපස තිබෙන පියෙකුගේ අයෝමය අධිශ්ථානයේ තරම මේ චිත්‍රපටයෙන් අපූරුවට ප්‍රතිනිර්මාණය කරනව.

King Richard, රිචඩ් විලියම්ස් ගේ චරිතය රඟදක්වන විල් ස්මිත් ගේ රංගන ජීවිතේ එක් කඩයිමක්. දැනටමත් ලෝකයේ ප්‍රධාන සම්මාන උළෙල කිහිපයක ඔහු මේ රංගනය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබා අවසන්. දැන් ඉතිරිවෙල තියෙන්න තව දින කිහිපයකින්  පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙල. King Richard නිසා විල් ට තමන්ගේ ප්‍රථම ඔස්කාර් සම්මානය දිනාගන්න හැකිවේවි ද? සැකයක් නැහැ ඔහුගෙ රඟපෑම 2021 අවුරුද්දට අදාළව විශිෂ්ටතම එකක්. සම්මානය ඔහුට හිමිවෙන්න වැඩි ඉඩක් ඇතිබව‍යි බොහෝ අය අනාවැකි පළකරන්නෙ. ඒවගේම තවත් ඔස්කාර් සම්මාන ගණනාවකට King Richard නිර්දේශවී තිබෙනව. ඒ තමා වසරේ හොඳම චිත්‍රපටය, හොඳම සහාය නිළිය (Aunjanue Ellis), හොඳම තිර රචනාව (Zach Baylin), හොඳම සංස්කරණය (Pamela Martin). මේ නිර්දේශයන් පහක් අතරන් කීයකට උරුමකම් කියන්න King Richard සමත් වේවිද..

පුරා පැය දෙකහමාරකට ආසන්න කාලයක ධාවන කාලයක් සහිත King Richard ක්‍රීඩා චිත්‍රපටයක තිබිය යුතු ජවය අඩුවක් නැතුව ලබාදෙනව. ක්‍රීඩාවට පමණක් සීමා නොවී මේ චිත්‍රපටයෙ පවුල ඇතුලෙ ගොඩනැගෙන මිනිස් සම්බන්ධකම් ගැනත් කතාකරනව. දෙමව්පියො දරුවන් හදනව වගේම දරුවන් නිසා දෙමව්පියනුත් තමන්ගෙ ජීවිතය අලුතෙන් හැඩගස්වාගන්නව. දරුවෙක් උපදින මොහොතේ අම්මාකෙනෙකුත් අලුතෙන් ලෝකෙට බිහිවෙනව වගේ. දරුවන්ගේ සාර්ථකත්වය උත්සාහවන්ත ආදරණීය පියෙක් ලෝකෙට බිහිකරනව. පියාගෙ සාර්ථකත්වය දරුවන්ගෙත් ජීවිතේ ආලෝකමත් කරනව. මේ එකිනෙකා මත තියෙන සහසම්බන්ධතාවය මතයි පවුලක රඳාපැවැත්ම තියෙන්නෙ. සෙරීනා සහ වීනස් කියන සුපිරි ක්‍රීඩා පෞරුෂයන් මේ ලෝකයට බිහිවෙන්නෙ ඒවැනි පසුබිමක. සමස්තයක් විදිහට King Richard උද්වේගකාරී ගුණයෙන් අඩුවක් නැති ක්‍රීඩා චිත්‍රපටයක් වගේම පුද්ගල චරිතයක් පිළිබඳව බලා ඉන්න වටිනා අධ්‍යයනයක් කිව්වොත් නිවැරැදියි. 

King Richard (2021)

- Directed by

Reinaldo Marcus Green

- Written by

Zach Baylin

- Produced by

Tim White

Trevor White

Will Smith

- Starring

Will Smith

Aunjanue Ellis

Saniyya Sidney

Demi Singleton

Tony Goldwyn

Jon Bernthal



2 comments:

  1. ප්ලොට් එක ඇහුවම එකපාරටම මතක් උනේ 'දාන්ගල්' ෆිල්ම් එක. ඒකෙ අමීර් දක්ෂ රංගනයක් කරන්නේ. එතැනදී නම් ඒ දුප්පත් පියා ගැන අප්‍රමාන ගරුත්වයක් හිතෙනවා.

    බලන්න ඕනේ..
    thanks

    ReplyDelete
    Replies
    1. මටත් මේක බලනකොට මතක්වුණේම දංගල්... ඒකෙ අමීර් ගෙ කැරැක්ටර් එක සහ මේකෙ රිචඩ් අතර සෑහෙන සමානකම් තියනව.. මේකත් විල් ස්මිත් ගේ හොදම රංගනයක් බොහෝවිට මේපාර ඔස්කාර් එක ලැබේවි... මේක බලන්න..

      Delete