Tuesday, March 15, 2022

The Batman (2022)

එනව කියපු දවසෙ ඉඳන් එනකම් මග බලාගෙන හිටපු එකක්. පුලුවන් කමක් ලැබුනොත් අනිවාර්යයෙන්ම big screen බලන්න තීරණය කරල තිබුණු එකක්. හිතපු විදිහටම big screen බලන්න ලැබුන. ඒක සතුටක්. හෝල් එකක ලොකු ඕඩියන්ස් එකක් එක්ක චිත්‍රපටයක් බලන එක ගෙදර ඉඳන් තනියම පීසී එකකින් හරි ලැප්ටොප් එකකින් හරි බලනවට වඩා සෑහෙන වෙනස් අත්දැකීමක්. සෑහෙන හයිප් එකක් මේ දවස් ටිකේ බැට්මෑන් ෆිල්ම් එකට තිබුණු හින්ද හොඳ උනන්දුවකින් කට්ටිය මේක බලන්න එන බවක් දැක්ක. ඉතින් එහෙම ඕඩියන්ස් එකක් එක්ක චිත්‍රපටය බලනකොට දකින්න ලැබුණු දේවල් ටිකක් හින්ද ෆිල්ම් එක පොඩ්ඩක් පැත්තකින් තියල ඕඩියන්ස් එක ගැන කතාකරන්න ඕන කියල හිතුණ. ෆිල්ම් එක පටන් ගන්න තිබ්බෙ හතට. වෙලාව පොඩ්ඩක් පහුවෙලා හරි ෆිල්ම් එක පටන් ගත්ත. බලන්න එන සෙනඟ පටන් අරගෙන ටික වෙලාවක් යනකනුත් අතරමගදිත් එන්න ගත්ත. තව කොල්ලෙක් ස්ක්‍රීන් එක ඉස්සරහට ගිහින් "අඩෝ මෙතන ඉඳන්ද බලන්න තියෙන්නෙ" කියල මහ සද්දෙන් අහන්න ගත්ත. ෆිල්ම් එක යන අතර තුරත්  මුන් සද්දෙට කතා කරනව. ඒව හරිම ඩිස්ටර්බින් ඇත්තට. ඒ අතර ෆෝන් රිං වෙනව, ගෙදර වගේ ෆෝන් එකෙන් කතා කරනව. තමන් පොදු තැනක ඉන්න බවත් තමන් කරන වැඩෙන් අනික් මිනිසුන්ට බාධාවක් වෙන බවත් අදහසක් තිබ්බෙ නෑ වැඩි දෙනෙකුට. 

එපාම වුණු වැඩේ ඒක නෙමේ. පිටිපසසෙ පේළියක හිටපු කොල්ලො සෙට් එකක් ෆිල්ම් එක යන අතර කටින් හායි හූයි ගගා අමුතු සද්ද දාන්න පටන් ගත්ත. එක තැනක් තිබ්බ කැට්වුමන් බැට්මෑන්ව කිස් කරන. එතනදි අර කොල්ලො සෙට් එක මහ හයියෙන් හූ කියන්න පටන් ගත්ත. තැන් තැන් වල සෙට්වෙලා හිටපු අනිත් කොල්ලොත් ඒකට ජොයින් වෙලා හූ කිව්ව. ඕඩියන්ස් එකම ඒකට හයියෙන් හිනා වෙලා එතන එකම ගාලගෝට්ටියක් වුනා. ෆිල්ම් එකේ නම් එතන මාර රොමෑන්ටික් හැඟීමක් දැනෙන තැනක්. ඒක ඒ ඕඩියන්ස් එකට නම් දැනුනෙ නෑ. ඔහොම වැඩක් වුණා Spider man - No way home බලන්න ගිහින්. ඒකෙ ඇන්ඩෘ ගාෆීල්ඩ් ෆයිනල් ඇටෑක් එකට යන්න කලින් අනික් ස්පයිඩර්මෑන් ල දෙන්න වැලඳගෙන කියනව I Love you guys කියල. එදා එතන හිටලු ඕඩියන්ස් එකත් ඔය සීන් එකට හයියෙන් හිනා වුණා. ඇන්ඩෘ ගෙ ස්පයිඩර්මෑන් කියන්නෙ හරි වර්ම් හාර්ටඩ්, අනික් අය ගැන හරිම කෙයාරින් චරිතයක්. අනික් ස්පයිඩර්මෑන්ල දෙන්නව බදාගැනීමෙන් කියවුනේ එහෙම අදහසක්. නමුත් ඕඩියන්ස් එක ඒක ගත්තෙ ජෝක් එකක් විදිහට. මේ මොන සමනලයෙක්ද වගේ අදහසකින් ඒ සීන් එක දිහා බැලුවෙ. අපේ මාස් ඕඩියන්ස් එකෙ තත්ත්වෙ ඔය වගේ තමා. ඕ ලෙවල් ඒ ලෙවල් කරන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ පටන් විවාහක වැඩිහිටියා දක්වා පරාසයක පිරිසක් ඔතන ඉන්නව. ලාංකික සමාජෙ නියෝජනය කරන්න පුලුවන් හරස්කඩක් තමා මේ. මෙතෙක් කල් අපේ රට පාලනය කලයුත්තේ කවුරුන් විසින්ද කියන කාරණේ තෝරා ගැනීමේ බලය තිබුණෙ සහ මතුවටත් තියෙන්නෙ ඔය බහුතර ඕඩියන්ස් එකට. දැක්මක් නැති, විනයක් නැති ජන සමාජයක් විසින් තෝරාගන්න පාලකයින්ටත් විනයක් නෑ, දැක්මක් නෑ. එහෙව් පාලකයින් පිරිසක් අතින් පාලනය වෙන රටකට අනාගතයක් නෑ. ඕක තමා මෙතුවක් කල් රටේ කැරකුණු විෂම චක්‍රෙ. අපි අද අනුභව කරන්නෙ ඒවයෙ සුමිහිරි ඵල. 

දෙවනි එක සුපර්හීරෝ චිත්‍රපට ගැන පුද්ගලික කාරණයක්. ඔය වර්ගෙ චිත්‍රපට රැල්ලක් වගේ මතුවෙලා ආවෙ අපි ඉස්කෝලෙ යන අවධියෙ. ටෝබි මැග්වයර් ගෙ ස්පයිඩර්මෑන්, එක්ස් මෙන් වගෙ චිත්‍රපට ආවෙ ඒ කාලෙ. හැබැයි කවදාවත් මේ සුපර් හීරෝ ෂොනරය ගැන කිසිම ආසාවක් මට තිබුණෙ නෑ. ඒ නිසා ඔය චිත්‍රපට එකක්වත් මම බලල නෑ. කොහොම හරි පහු කාලීනව නෝලන් ගෙ ඩාර්ක් නයිට් මට බලන්න ලැබෙනව. ඒක තමා සුපර්හීරෝ චිත්‍රපට ගැන මගේ ආකල්පය වෙනස් වුණු තැන. අදටත් බෲස් වේන් කිව්වොත් මගෙ ඔලුවෙ මැවෙන්නෙ ක්‍රිස්‍ටියන් බේල් ව. අදටත් මම කැමතිම බැට් මෑන් බේල් ගෙ බැට් මෑන්. මේක ට්‍රයලොජියක් කියල දැගත්තෙ පස්සෙ. බැට්මෑන් බිගින්ස් බලල පහුකාලීනව ඩාර්ක් නයිට් රයිසස් බැලුව. බැට්මෑන් සහ ජෝකර් තාමත් මම කැමතිම සුපර් හීරෝ සහ සුපර් විලන්. මගෙ බැට් මෑන් ආදරය තවත් වැඩි වෙන්නෙ සිරසෙ හඬකවල පෙන්නපු කාටුන් එකෙන්. ඒකෙ එක කතාවක තිබ්බ මට මතක විදිහට බැන් මෑන්ට එයාගෙ ඔලුව ඇතුලෙ තියන සංකල්ප සතුරන් වගේ පේන්න පටන් අරන් එයා ඒවත් එක්ක සටන් කරනව. කොච්චර සටන් කලත් බැට්මෑන්ට දිනන්න බෑ. මොකද එයා සටන් කරන්නෙ තමන්ගෙම මනසත් එක්ක නිසා. මේක තේරුම් ගත්තම එයා තමන්ගෙ ඇතුලට හැරෙන්නෙ. මේ සීන් එකෙදි මට මතක්වුණෙ නිකම් බුදුන් ගේ මාර පරාජය වගේ දෙයක්. මේ අවස්ථා දෙක සසඳන්න බෑ තමයි. නමුත් මගෙ ඔලුවට ආව ඒක. පහු කාලීනව අර මගහැරුණ සුපර්හීරෝ චිත්‍රපට තරමක් දුරට ආපහු බැලුව. ඒත් තාමත් අංක එක නම් බැට්මෑන් ම තමයි.

කිසිම කොමික් සාක්ෂරතාවක් නැති. කොමික් වලට සම්පූර්ණයෙන් ආගන්තුක  මං වගේ දුහුනෙක් ට මේ අලුතෙන් ආව බැට්මෑන් චිත්‍රපටය උපරිමෙන් රසවිඳින්න පුලුවන් ද කියන දෙය ප්‍රශ්නයක්. ඒවගේම බොහෝම සියුම්ව බලල තේරුම් ගන්න ඕන දේවල් මේකෙ ඇතුලත්. සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීම කොහොම වෙතත් හොඳටම තේරුම් ගන්න දෙවතාවක් වත් බලන්න ඕන. ඒක මේ චිත්‍රපටයට විතරක් අනන්‍ය කාරණාවක් නෙමේ සහ මේක එක පාරක් බලල මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ කතාවකුත් නෙමේ. ගොතම් නගරෙ සිද්දවෙන අභිරහස් මිනීමැරුම් කිහිපයක් පසුපස්සෙ යන ශර්ලොක් හෝල්ම්ස් කෙනෙක් වගේ රහස් පරීක්ෂක බැට්මෑන් කෙනෙක් මේ ෆිල්ම් එකෙ බලාගන්න ලැබෙන්නෙ. කොමික්ස් අනුව බැට්මෑන් කියන්නෙ ලෝකෙ හොඳම රහස් පරික්ෂකය බව කොමික් රසිකයින් කියන්නෙ. බැට්මෑන් කියන්නෙ විශිෂ්ට ආකරයට පුහුණු කරපු ශරීරයක් ඇතුළෙ වැඩෙන අතිවිශිෂ්ට මනසකට. ඒ තමා එයාගෙ ප්‍රධානම සුපර් පවර් එක. මේ හින්ද බැට්මෑන් අනික් සුපර්හීරෝ චරිත අතරේ යථාර්ථයට කිට්ටු චරිතයක්. මේ අලුත්ම චිත්‍රපටයෙත් දකින්න ලැබෙන්නෙ මහපොළවට සෑහෙන කිට්ටු බැට්මෑන් කෙනෙක්. මේ බෲස් වේන් බැට්මෑන් බවට පත්වුණු මුල් යුගයේ කතාවක් (Year two batman) නිසා එයාගෙ සමහර හැකියාවන් එයාටම පාලනය කරගන්න නුපුරුදු බවක් දකින්න පුලුවන්. 

රොබර්ට් පැටින්සන් බැට්මෑන් චරිතය වෙනුවෙන් තෝරාගත්ත බව කියවුණු මොහොතේ පටන් ගොඩක් අය ඒ දිහා බැලුවෙ මිනිහ නං ඔය චරිතෙට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ, අපෝ බැට්මෑන් නමත් ඉවර කරන්නයි හදන්නෙ වගේ හැඟීමක්. නමුත් බැට්මෑන් ෆිල්ම් එකෙන්ම පැටින්සන් එහෙම කියපු අයට හරි උත්තරේ දීල තියනව. බැට්මෑන් සහ බෲස් වේන් එකම චරිතයක වුණත් මේ ද්විත්ව ස්වරූපයට ගැලපෙන පෞරුෂයක් ප්‍රතිනිර්මාණය කරන්න රොබර්ට් පැටින්සන්ට හැකිවෙලා තියනව. එක් අතකින් තවමත් අත්දැකීම් අඩු සහ දෙමව්පියන් ගෙ වියෝගයෙන් බිඳවැටුණු හදවතක පීඩිත මුහුණ පැටින්සන් ගේ තමන් තුළින් මතුකරගෙන තිබුණ. අනෙක් අතින් අධ්‍යක්ෂ මැට් රීව්ස් කාස්ටින් වලදි සහ තෝරාගත් චරිතය හැසිරවීමෙදි නිවැරැදිවම තමන්ගෙ කාර්‍ය කරල තියනව.

The Batman චිත්‍රපටයෙ බැට්මෑන් ගෙ ප්‍රතිපක්ෂයෙ දුෂ්ටපාර්ෂ්වයෙ හිටගන්නෙ රිඩ්ලර් නම් සුපිරි දුෂ්ට චරිතය. රිඩ්ලර් ගෙ සුපර්පවර්ස් විදිහට සඳහන් වෙන්නෙ ඉහළම ගනයෙ ක්‍රිමිනල් මාස්ටර් මයින්ඩ් එකක් සහ විසඳන්න අපහසු දුෂ්කර ප්‍රෙහෙලිකා ඉදිරිපත් කරමින් සතුරා පරාජය කරන්නෙක් විදිහට. Riddler නම ලැබෙන්නෙ එහෙම. රිඩ්ලර් ගෙ චරිතය නිරූපනය කරන්නෙ Paul Dano. ෆිල්ම් එක ඇතුළෙ Paul ගෙ රඟපෑම හොදම තැනක තිබුණත් පිටපතෙන් රිඩ්ලර් මේ කතාව ඇතුලෙ මතුවුණා මදිදෝ කියන හැඟීමක් දැනෙනව. රිඩ්ලර් ගෙ අපරාධ වල දරුණු බව හිතාමතාම අඩුකරල තිබුණ බවක් දැනුණෙ. මොකද චිත්‍රපටයෙන් ඒ බිහිසුණු බව ඉල්ලාසිටිනව. චිත්‍රපට R රේටඩ් එකක් වීම වලක්ව ගෙන වඩා ලොකු ඕඩියන්ස් එකකට අරගෙන යන්න කරපු වැඩක් බව මම හිතන්නෙ. පෙන්ගුයින් විදිහට කොලින් ෆෙරල් කල රංගනයත් අතිවිශිෂ්ටයි. තමන්ගෙ ශරීර ස්වරූපය පවා වෙනස් කරගනිමින් ඔහු ඒ චරිතය වෙනුවෙන් කැපවෙලා තිබුණ. ඉදිරියෙදි පෙන්ගුයින් ප්‍රධාන දුෂ්ට චරිතය රඟදක්වන සීරීස් එකකුත් එන්න නියමිතයි. ෆිල්ම් එකේ මාරම ඉන්ටරස්ටින් තැනක් රිඩ්ලර් සහ ජෝකර් මුණගැහෙන තැන. ඇත්තටම ජෝකර් මේකෙ හිටියද? ඒක චිත්‍රපටය බලන ඔබට ලැබෙන පොඩි හින්ට් එකක්. 

2022 බැට්මෑන් ෆිල්ම් එක සම්බන්ධයෙන් මම කැමතිම දෙයක් Nirvana බෑන්ඩ් එකේ Something on the way සින්දුව. ෆිල්ම් එකේ වයිබ් එකට නියමෙටම ගැලපෙන විදිහට ඒ සින්දුව ෆිල්ම් එක ඇතුළෙ යූස් කරල තිබ්බ. ඩිරෙක්ටර් වගේම ස්ක්‍රිප්ට් එක ලියපු මැට් රීව්ස් කියල තිබ්බ බැට්මෑන් තිරරචනාව ලියද්දි Nirvana බෑන්ඩ් එකේ ලීඩර් Kurt Cobain එයාට සෑහෙන ඉන්ස්පයර් වුණා කියල. රොක් මියුසික් ෆෑන් කෙනෙක් නම් සින්දුව ඇහෙන තැන සෑහෙන ප්‍රීති ප්‍රමෝදයට පත්වෙන අවස්ථාවක්. ෆිල්ම් එක ආරම්භයෙදි Something on the way සින්දුව ප්ලේ වෙනව. ඒ යමක් සිදුවෙන්න නියමිතයි කියන අර්ථයෙන්. ෆිල්ම් එක අවසානෙ ආයෙත් ඒ සින්දුවම ප්ලේ වෙනව. ඒ ඇයි කියල ඊලඟට ෆිල්ම් එකකින් පැහැදිලි කරගන්න ලැබේවි සමහරවිට.

කැට්වුමන් (Zoë Kravitz) ගෙ චරිතය ගැනත් කතා නොකර බැහැ. ගැහැනියකගෙ ලාලිත්‍යත් ක්ෂණිකව සටන් කාරියක් බවට පත් වීමේ හැකියාවත් එක්ක බැට් මෑන් ගෙ පර්සනැලිටි එක ගැලපෙන පර්ෆෙක්ට් කැට් වුමන් කෙනෙක් දැකගන්න ලැබුණ කිව්වොත් හරි. සාමාන්‍යයෙන් සුපර්හීරෝ චිත්‍රපටයක දකින්න නොලැබෙන තරම් කපල් කෙමිස්ට්‍රි එකක් ඒ දෙන්න අතර තිබුණ. ඇත්තටම The Batman කියන්නෙ සුපර්හීරෝ ෂොනරය ඇතුළෙ ක්‍රයිම් ත්‍රිලර්, ඩිටෙක්ටිව්, ඇක්ෂන්, සයිකොලොජිකල්, රොමෑන්ස් මේ හැම අනුපානයක්ම අඩු නැතුව එකතු වුණු නියම වැඩක්. ෆිල්ම් එකෙ ඇක්ෂන් සීක්වන්ස් ටිකත් මදි නොකියන්න තිබ්බ ඒකත් කියන්න ඕන. මියුසික් (Michael Giacchino) සහ සිනමටෝග්‍රැෆි (Greig Fraser) සම්බන්ධයෙන් නම් මට දැනුණෙ තියටර් එකක ලබපු හොඳම සිනමා අත්දැකීමක් විදිහට. ආලෝකය අඩු කරල අතිශය බහුතරය රාත්‍රී දර්ශන යොදාගෙන තිබීමෙන් සහ ඒ අඳුරු හැඟීම මතුකරන අතිවිශිෂ්ට පසුබිම් සංගීතයෙනුත් චිත්‍රපටයෙ ආර්ටිස්ටික් ගුණාංගය සෑහෙන ඉහලට ඔසවා තබනව. 

"Who the hell you suppose to be?"

"I am vengeance"

ෆිල්ම් එකේ ඇහෙන මතකම තියන දෙබස. අඳුර මැද්දෙන් බැට්මෑන් ගෙ මුල්ම ඇපියරන්ස් එක වෙන තැන මේ වචන ටික කියවෙන්නෙ. මේ ඉන්නෙ ආරම්භක යුගයෙ ඉන්න බැට්මෑන් කෙනෙක්. ඇස් ඉස්සරහම දෙමාපියන් ඝාතනය වීමේ වේදනාවෙන් පීඩා විඳන තරුණයෙක්. ඒ වෙනුවෙන් පළිගැනීමේ පිපාසයෙන් පෙළෙන්නෙක්. ෆිල්ම් එක අවසාන භාගයෙ බැට්මෑන් අතින් පහර ලබන සොරාත් කියන්නෙ "I am vengeance" කියල. එක අතකින් රිඩ්ලර් කියනව එයා ඉන්ස්පයර් වෙන්නෙ බැට්මෑන්ගෙන් කියල. අනික් අතින් හැම කෙනෙකුටම තියනව පලිගන්න හේතුවක් තියනව. ඕනෑම වීරයෙක් තවත් කෙනෙකුගෙ කතාවක දුෂ්ටයෙක්. හැමෝම තමන්ගෙ යුක්තිය වෙනුවෙන් පලිගන්න පටන් ගත්තොත් අවසානෙ ඉතුරු වෙන්නෙ මහ අවුල් ජාලාවක්. ෆිල්ම් එකෙ අවසානෙ ඉර උදාවෙන දර්ශනයෙන් කියවෙන්නෙ පලිගැනීම සම්බන්ධයෙන් අඳුරක සිටි බැට්මෑන් ඒ අඳුරෙන් මිදුණු බවද?

The Batman තිරගත වෙලා සති දෙකෙන් බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 463 ක් උපයාගෙන තියනව. මේ අගය ඩොලර් බිලියනය පසුකල හැකි බවයි කියවෙන්නෙ. (වියදම ඩොලර් මිලියන 180 - 200)  තත්ත්වය එහෙම නම් ඉතාම සතුටුදායකයි. (ඇත්තටම ෆිල්ම් එක රිලීස් වෙන්න තිබුණෙ 2021 ජුනි වල. කොවිඩ් නිසා කාලය පහු වුණේ)  තවමත් අපේ රටේ සිනමාශාලවල බැට්මෑන් තිරගත වෙනව. මේව big screen නොබල වෙන කොහොම බලන්නද. පැය තුනකට ආසන්න කාලයක හොඳ ක්‍රයිම්, ත්‍රිලර්,  ඇක්ෂන් සිනමාවක් අත්විඳින්න ලැබෙන බව සහතිකයි.

“They think I’m hiding in the shadows, 
But I am the shadows.”

-Batman
.
.



1 comment:

  1. ඇත්තටම තවමත් විසිල් ගහන ජාතියේ පරම්පරාවක් ඉන්නවා. romance උන්ට විහිළුවක්. අනුන්ගේ නිදහස නැති කරන මිස්සු කොයි තරම් නම් ඉන්නවද. ටිකක් දුරට හොඳම දේ තමයි බලන film hall එක වෙනස් කරන එක.

    ReplyDelete