Friday, September 22, 2017

පොත් කඩේ ලඳ

මේක මම කවියට අත තිබ්බ මුල්ම කාලෙ ලියවිච්ච එකක්. එක්තරා විදිහට ඇත්ත අත්දැකීමක් මේකට මුල්වුණා කියන්න පුළුවන්. පොත් කියවීම මිලදී ගැනීම ගැන ලොකු කතාබහක් ඇතිවෙන කාලයක් නිසා ආයෙම පළ කරන්න හිතුණා.


නගරයේ ලොකු පොත් කඩේ
ඉඳන් පොත් විකුණන ලඳේ
රැව් දිදී එන ඔය සිනාකැන්
පොත් කවර මත ඔප වැටේ... 

නිමක් නැති ජීවිත පොතේ
පිටු එකින් එක පෙරලුන තැනේ
තිබෙන හිස් පිටු පුරවගන්නට 
අකුරු නැතිවද හමුවුනේ... 

හිතේ දහසක් වේදනා 
හංගගෙන හිනා පෙන්නනා
ඔය දෑස් කියනා කතාවට
නවකතා වුව පරදිනා... 

ලෑලි කාමර පෝලිමේ
නුඹ වැඩට එන පටු මාවතේ
පොතේ පිටුවල නැවුම් සුවඳක්
නැතේ එදෙසින් විහිදුනේ..... 

අලුත් පොත් පටවාගෙනේ
කොළඹ සිට ලොරි ආ දිනේ
උදව්වට කවුරුවත් නැති තැන
නුඹේ කරට යි පැටවුනේ... 

බරට පොත් මිටි කර තියන්
ඉහළ මාලෙට ගෙන යමින්
රිදෙන දෙපයක දුක අහන්නට
කවුරුවත් උන්නෙ නෑ ලඟින්..... 

හැදී රුදු වෛරස් උණේ
ගෙදර ඉන්නට වුනු දිනේ
පඩි පතෙන් අඩුකර තිබෙනු දැක
හදවතේ කොටසක් නැවතුනේ... 

ගලායන ජීවිත ගඟේ 
ඇදෙන කඩදහි ඔරු වගේ
ගිලෙන ජීවිතෙ ගොඩනගන්නට 
පොතේ පිටු වේවිද අගේ...... 





9 comments:



  1. දහවලට බත් කනවෙලාවට
    කියවනා දුක්බර කතාවක
    මං වගේ එක චරිතයක් විය
    තවම කියවමි ලඟයි එහි ඉම!

    සුන්දර කවියක ලියැවුනු දුක්බර සත්යය!

    ReplyDelete
  2. මේකට උත්තරයක් දෙන්න බැහැ... ඌය්යා වගේ උනා..

    මේ කවිය බලනවද. මම දැකපු බොහොම ලස්සන මේ වගේ කවියක්

    ReplyDelete
    Replies
    1. බස්සිගේ කවි වලින් කැමතිම එකක්..... පොතේ තිබ්බ ඒවයින් අර
      තිස්ස නවතින්නෙ....එක්ස්ට්රීම්ලි සොරි..නවතින්න බැරි එකට මං කැමතියි. මූණුපොතේත් ඒක බෙදාගත්ත මං.තව කොමනේඩෝ පිහියක සුරතාන්තය...ලොඩියන්ගෙ කවිය...ඒව මරු......!!!!

      Delete
  3. කඩදාසි පිටු අතර සිරව ගිය ජීවිතය
    ඉන් මුදා පියාසර
    කරවන්න රිසියෙනි
    මහතුනේ පොත් කඩේ
    විසල් තුඟු රාක්කය
    සමග පොර බදන්නේ
    පොතක් ගෙන කියවීම
    ඔබට ලොකු සතුටක්ය
    රාක්කෙන් එක පොතක් අඩුවීම
    මට මහා සතුටක්ය......

    ReplyDelete
    Replies
    1. පොතේ පිටු අතර
      ඔබ නොදකිනා කතාවකි එය!

      Delete