Monday, December 30, 2019

The Seventh Seal (1957)

පැවැත්මක් ඇති ඕනෑම දෙයකට අවසානයක් තියනව. ජීවිතයක් තියනව නම් එතැන මරණයත් තියනව. ජීවිත කාලය ඇතුලෙ මොන සෙල්ලම් දැම්මත් මේ මරණයෙන් ගැලවෙන්න කිසි කෙනෙකුට බැහැ. 

"දිනේ පැමිණි විට මරුවා සිනාසේ"

අපේ පරණ ගායකයෙක් බොහොම සැහැල්ලු ස්වරයෙන් කියා තිබෙන්නෙ මේ සත්‍යතාවයම යි. නමුත් මරණයක් කිව්ව ගමන් අපේ ඔලුවෙ ඇඳෙන්නෙ රෝගියෙක්, මහලු මිනිසෙක්ව. මරණය කියන්නෙ ජීවිතයත් එක්ක අත්වැල් බැඳගත්ත දෙයක් බවත් ජීවිතය පවතින හැම තැනකම මරණය පවතින බවත් සිරී ගුණසිංහ කවියා "මරණය නොසැලී හිමාලයක් සේ" කවි පෙලෙන් කියනව. ස්වීඩන් සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන් මේ මාරයට කලු ලෝගුවක් අන්දවල මිනිස් ස්වරූපයක් විදිහල පණ දීල රිදී තිරය මැද්දට ගේනව. ඒ The Seventh Seal චිත්‍රපටයෙන්. ජීවිතේ යථාර්ථයන් කැමරාවට හසුකරගන්න වෙහෙස වුණු සිනමාකරුවෙක් විදිහටයි බර්ග්මාන් හඳුනාගන්න ලැබෙන්නෙ. ඔහු සිනමාවෙ දාර්ශනිකයෙක්. බර්ග්මාන් ගෙ චිත්‍රපටයක් කියන්නෙ වතාවක් බලල අමතක කල හැකි නිර්මාණයක් නොවෙයි. ඔහුගෙ චිත්‍රපට වලින් බොහෝ දුරට පිළිඹිබු වෙන්නෙ ජීවිතේ වේදනාකාරී, දුක්ඛදායක, අනිත්‍ය ස්වභාවය. ඔහුගෙ චිත්‍රපට නැවත නැවතත් මනස මෙහෙයවල සිහිපත් කල හැකි කමටහන් වගේ. මේ නිසා ඔහු කතන්දර කියන්නෙකුට එහා ගිහින් දාර්ශනිකයෙකුට ළං වෙනව. The Seventh Seal චිත්‍රපටයෙන් ඔහු ජීවිතයත් මරණයත් අතර ඇති අවියෝජනීය බැඳීම සිනමාවට ගේනව.

චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ මධ්‍යතන යුගයේ යුරෝපය. "කළු මරණය" නමින් හඳුන්වන මහාමාරිය වසංගතය ස්වීඩනය පුරා පැතිර ගිහින්. මිනිසුන් දහස් ගණන් මියයනව. ඉතිරි අය ජීවිතය ගලවාගන්න තැනින් තැන සංචාරය කරනව. මේ අතරෙ කතෝලික පල්ලිය ආගමට විරුද්ධ අදහස් දරන්නන්ව බොහොම දරුණු විදිහට මර්ධනය කරමින් ඉන්නව. මේ අතර කුරුස යුද්ධයට සහභාගි වුණ ඇන්ටෝනියස් බ්ලොක් නම් නයිට් වරයා වසර දහයකට පස්සෙ ආපහු තමන්ගෙ රටට එනව. මරණය ඔහු මුණගැහෙන්න එන්නෙ එතනදි. ඇන්ටෝනියස් ගේ කාලය අවසන් කියල මරණය ඔහුට දැනුම් දෙනව. ඒත් ඔහු සූදානම් නෑ එච්චර ලේසියෙන් මරණය වැළඳගන්න. ඇන්ටෝනියස් මරණයට තමන් එක්ක චෙස් ක්‍රීඩාවට එන්න ආරාධනා කරනව. මාරයා ක්‍රීඩාවෙන් දිනුවොත් පමණයි ඇන්ටෝනියස්ට මිය යන්න සිද්දවෙන්නෙ. ඇන්ටෝනියස් ගේ අරමුණ වෙන්නෙ උපායෙන් මරණය කල්දමා ගැනීම. මරණය ඇන්ටෝනියස් එක්ක චෙස් ක්‍රීඩාවට වාඩිවෙනව.

මිනිස්සුන්ට ජීවිත කාලයෙ ඇතුලෙ කුමක් හෝ ජය ගන්න තියෙන නොසංසිඳෙන ආශාව මේ චෙස් ක්‍රීඩාවෙන් සංකේතවත් වෙනවා විය හැකියි. උපතින් පස්සෙ අධ්‍යාපනය, රැකියාව, ආදරය, විවාහය, දරු පවුල නඩත්තු කිරීම, මේ හැම තැනකදිම මිනිස්සු යම් දෙයක් අත්පත් කරගැනීමෙ නොනවතින තරඟයක යෙදිල ඉන්නෙ. මිනිස්සු බොහෝ විට විශාල අතෘප්තියකින් ජීවත්වෙන්නෙ, මොනදේ ලැබුණත් ඇති නොවෙන හැඟීමකින්. ඇන්ටෝනියස්ටත් ජීවිතය ගැන තියෙන්නෙ මහ හිස් හැඟීමක්. තමන් මෙතෙක් කල් කල කී දේවල් ගැන අතෘප්තිකර බවක්. ඔහු දෙවියන් ගේ පැවැත්මත් ප්‍රශ්න කරනව. ජීවිතය ගැන සාංදෘෂ්ටික දැක්මක් ඔහුට තියෙන්නෙ. සාංදෘෂ්ටික වාදය කියන්නෙ මූලිකවම මිනිසාගේ පැවැත්ම, ආගම, දෙවියන්, නිදහස, ජීවිතයේ අර්ථය වගේ කරුණු ගැන ප්‍රශ්න කරන, සංවාද විවාද කරන දාර්ශනික ප්‍රවාහයක්. මේක දර්ශනවාදය ඇතුලෙ තරමක් ජනප්‍රිය කොටසක්. The Seventh Seal චිත්‍රපටයත් ජීවිතය දිහා යම් සාංදෘෂ්ටික දැක්මකින් බලන චිත්‍රපටයක් විදිහට හඳුනගන්න පුලුවන්.

Seventh Seal යෙදුම එන්නෙ බයිබලයෙන්. බයිබලයේ අවසානයේ තියනව "එළිදරව්ව" නමින් කොටසක් (Book of Revelation). ශු. ජොහාන් තුමාට ලෝක අවසානය ගැන සිහිනයක් මාර්ගයෙන් දෙවියන් වහන්සෙ කල එළිදරව්වක් තමා බයිබලයේ මේ කොටසෙන් විස්තර වෙන්නෙ. එළිදරව්වෙ එක් තැනකදි මුද්‍රා හතක් සහිත පොතක් ස්වර්ගයේ පහල වෙනව. මේ මුද්‍රා හත විවෘත කරන්න සුදුසු කිසිම කෙනෙක් ස්වර්ගයෙ වත් පොළවේවත් නැහැ. අං හතකුත් ඇස් හතකුත් ඇති බැටලු පැටවෙක් මේ මුද්‍රා එකින් එක විවර කරනව අවසානෙ හත්වෙනි මුද්‍රාව (Seventh Seal) විවර කලාම ලෝකය විනාශ වීම ආරම්භ වෙනව. Seventh Seal යෙදුම "විනාශ වීම" "මරණය" අර්ථයෙන් යෙදුව කියල අනුමාන කල හැකියි.

The Seventh Seal ලෝක සිනමාවෙ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් විදිහට සැලකුණත් මේක ඇතුලෙ නිශ්චිත කතාවක් ඇතුලත් වෙලා නැහැ. කලින් සඳහන් කලා වගේ බර්ග්මාන් මෙතනදි කතන්දරයක් කීමෙන් බැහැර වෙලා ජීවිතය දිහා සමීපව බලන්න අපිව යොමුකරනව. චිත්‍රපටයෙ තැනක, යක්දෙස්සියක් විදිහට නම් කරල මරන්න නියම කල තරුණියක් ලඟට යන නයිට් වරයා අහනව 

"ඔබ යක්ෂයා දුටුවද" කියල

ඇගේ පිළිතුර 

"මගෙ ඇස් දෙක දිහා බලන්න"

මේ චිත්‍රපටයත් ඒ වගෙයි. විශේෂයෙන් කලු සුදු මාධ්‍යයෙන් මිනිස් හැඟීම් කොයිතරම් ප්‍රබලව නිරූපණය කරන්න පුලුවන්ද කියන කාරණය හොඳින්ම පෙන්වා දෙන චිත්‍රපටයක් Seventh Seal ..

දවසක කළු ලෝගුවක් ඇඳගත්ත මාරයා ඇවිත් "ඔබේ කාලය අවසානයි, එන්න යන්න මාත් එක්ක" කියුවොතින් ඔබට මට දෙන්න තියන පිළිතුර මොකක්ද ?






Monday, December 23, 2019

Midnight in Paris (2011)


හඳ එළිය ගලා හැලිලා සේන් ගඟේ රැළිත් එක්ක මුහුවෙන රෑ මැද්දේ පැරිසියෙ පටු වීදි දිගේ වීදි ලාම්පු එළි අතරේ අතීතයට ඇවිද යමුද.. හෙමිංග්වේ එක්ක වයින් බොමින් ස්කොට් ෆිට්ස්ජෙරාල්ඩ් එක්ක සාහිත්‍ය ගැන කතාබහක යෙදෙන්න පුලුවන් වේවි.. පිකාසෝ සිතුවමක් අඳින හැටි බලා ඉන්න ගමන් සැල්වදෝර් ඩාලි, ක්ලෝඩ් මොනේ, පෝල් ගොගෑන් එක්ක සිතුවම් කලාව ගැන සංවාදයක් පටන්ගන්න පුලුවන් වේවි.. නව කවිය ගැන ටී. එස් එලියට් ගේ අදහස් වලට ඇහුම්කන් දෙන්න පුලුවන් වේවි. ලේඛකයක් වෙන්න හීන දකින සිනමා පිටපත් රචක තරුණයෙකුට මේ වගේ අවස්ථාවක් ආයෙ ජීවිතේට ලැබෙන එකක් නෑ. ඒත් ඔහුගෙ පෙම්වතියටත් ඇගෙ දෙමව්පියන්ටත් මේක තනිකර පිස්සුවක්. මොකද ඔවුන් හැම දෙයක්ම මුදලින් මනින, තමන්ගෙ සමාජ තත්ත්වය පවත්වාගැනීම ගැන බොහොම බැරෑරුම් විදිහට කල්පනා කරන ගතානුගතික අදහස් කරපින්නාගත් අය නිසා. ඔවුන්ට දැනුම කියන්නෙ බෙල්ලෙ පලඳගෙන ඉන්න ආබරණයක්, තනතුරක්, සිවිල් බලයක් ඇතිකරවන දෙයකට එහා යමක් නෙමේ. ඉතින් අපේ මේ ලේඛක තරුණයාට සිද්දවෙනව ඔහු හොයාගත්ත මේ අපූරු මායාමය අතීතය හොයාගෙන හැම රෑකම පැරිසියේ තනිවම කරක්ගහන්න. පැරීසිය කියන්නෙ යුරෝපීය කලාවෙ අගනගරය. සමස්ත ලෝකයේම සාහිත්‍ය, සිතුවම් කලාව, කවිය, සිනමාව මේ හැම කලා මාධ්‍යකටම තීරණාත්මක බලපෑමක් කල තැන. Woody Allen මේ පැරීසියෙ සුන්දරත්වය ඒ සෞන්දර්ය ඉහළින්ම රැකගෙන කැමරාවට අහුකරගන්නව. Midnight in Paris ඒ තරම් Cinematography එකක්..සැකයක් නෑ මේ රූපරාමු දකින ඕනෑම කෙනෙක් පැරීසියේ හැබැහින්ම අතරමං වෙන්න ආසා කරන්න පටන් ගන්නව..ඉතිං අවසානෙ මේ නගරෙ පොද වැස්සක තෙමෙමින් ඇවිදින මිහිරියාව.. පියානෝ සංගීතයක චමත්කාරය විඳගන්න දන්න හදවත් දෙකක මුණ ගැහීමෙන් කෙළවර වීම කොයිතරම් අපූරු ද.. මේක හීනයක් ද නැත්නම් හැබෑවක් ද කියල අහන්න එපා.. ඒක තේරුමක් නෑ.. මේ හීනෙ අතරමං වෙන්න.. ගතහැකි දෙයක් තියනවනම් අරගෙන යන්න .. එපමණ යි...






Friday, December 20, 2019

ඉතිරි වුණු එකම දෙය


කොහේ කොතැනක 
කොයිතරම් දුරකින් සිටියද 
මොහොතක් හෝ දෙකක්
දෑස් දෙස බලා හිඳින
පුරුද්දක් ඇත
ඔබට මෙන් මට.

අවසන
අපේ යැයි කියා අපහට
ඉතිරි වුණු එකම දෙය....



Thursday, December 19, 2019

ආකාස කුසුම් (2009)

ගැහැණිය නිර්මාණය වෙලා තියෙන්නෙ දහස් ගණනක් කඳුළු බිඳු වලින්, සුසුම් වලින්, සිනහවන් ගෙන්. මේ මොහොතෙ සිනාසෙන ඇයට ඊළඟ මොහොතෙ කඳුළු ගංගාවක ගිලී ගොඩ ඇවිත් කිසිවක් නොවුණු ගාණට නැවත සිනාසිය හැකියි. ඉතා කුඩා දෙයිනුත් සංවේදී බවට පන්වෙන ඔවුන්ට සමහර සංවේදනාවන් වචන බවට නොපෙරළා හදවත පත්ලේම නිදන් කරගෙන ජීවිත කාලයම ගෙවා දමන්න හැකියි. මේක ගෙදර ගෘහණියකටත් සිනමා තාරකාවකටත් එකසේ පොදු කාරණාවක්. ඉතින් සිනමාව හරහා අපි දකින මේ ආකාස කුසුමක තිරය පිටුපස ජීවිතය මොනතරම් කටුක වේදනාවන් ගෙන් ගහණ එකක් ද කියන කාරණය ගැන අදහසක් බොහෝවිට සිනමා රසිකයන් වුණ අපිට නැහැ. ඕනෑම කර්මාන්තයක් පවතින්නෙ ඒ වෙනුවෙන් දහදිය කඳුලු හෙළන වෙහෙසෙන කිහිප දෙනෙක් නිසා. රඟපෑම වගේ නිරූපන කලාවකදි ප්‍රේක්ෂකයන් පිනවූවත් බොහෝවිට ඔවුන්ගෙ ජීවිත වල ඇතුලාන්තය ඒ තරම් සුන්දර නෑ. ඒ සියලු හැඟීම් මැඩපවත්වා ගෙන කලාව වෙනුවෙන් කැපවෙන්න ඔවුන්ට සිදුවෙනව. ප්‍රසන්න විතානගේ ගෙ "ආකාස කුසුම්" චිත්‍රපටය  අපේ රටේ සිනමා සහ රූපවාහිනී නිශ්පාදන කර්මාන්තය පසුබිමින් තියාගෙන මේ මාධ්‍ය හරහා අපි දකින සිනමා තාරකාවක ජීවිතයත්, සමස්ත කර්මාන්තයේ සැබෑ ස්වරූපයත් පෙන්වා දෙනව. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිත සියල්ලම වගේ කාන්තා චරිත වීමත් විශේෂත්වයක්.

අපේ රටේ සිනමාව ගැන කතාකරනකොට ඇත්තටම එහෙම එකක් තියනවද කියන ගැටලුව මුලින්ම මතුවෙන්නෙ. ඔව් අපේ රටේ සිනමාවක් තියනව.. අපිට මෙහෙම චිත්‍රපටයක් ගැන කතා කරන්න බැහැනෙ එහෙනම්. ඒත් අපිට අපේ සිනමාව ගැන සෑහීමකට පත්වෙන්න පුලුවන්ද? තාක්ෂණික කාරණා පැත්තකින් තියමු. ඇයි අපිට කේරළේ හෝ කොරියාවේ හෝ නැත්නම් ඉරානයෙ වගේ අපේ බාසාවෙන් කිව්වොත් ඔලුව කැරකිලා යන පිටපත් අපේ සිනමාවෙ දකින්න නොලැබෙන්නෙ. මේ දූපතටම හිරවුණු ආකල්පමය දුප්පත් කම නිසා ද... නැත්නම් සිනමාව හෝ රංගනය හෝ හැදෑරීමට හරි ක්‍රමවේදයක් නොමැති නිසා ද.. චිත්‍රපට බෙදාහැරීමේ ගැටලු සහගත තැන් අපි පහුගිය කාලයේ හොඳින්ම දැක්ක. නවක නිර්මාණ කරුවන් තමන්ගෙ චිත්‍රපටය පෙන්වාගන්න පෝලිම් වල ඉද්දි සමහරු පෝලිම් පැනල අපූරුවට තමන්ගෙ චිත්‍රපට ප්‍රදර්ශනය කරව ගත්ත. නව නිර්මාණ කරුවන් අධෛර්යට පත් කරන මෙවැනි වටපිටාවක මෙහෙම හෝ සිනමාවක් පැවතීම ගැන අපි සතුටු වෙන්න ඕන.. ඒත් ලෝකෙ පුරා සිනමාපට බලද්දි නම් ඇතිවෙන්නෙ "අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ" වගේ සිතුවිල්ලක් පමණයි.. 

අකාස කුසුම් චිත්‍රපටය ගොඩනැගෙන්නෙ සන්ද්‍යා රාණි නම් පැරණි සිනමා නිළියක් වටා. සන්ද්‍යා ඇගේ යුගයේ ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹිලා දැන් රඟපෑමෙන් ඉවත්ව, ගෙදර කොටසක් තරුණ පෙම්වතුන්ට නවාතැන් දෙමින්, කෙටි කෑම සදමින් ලැබෙන මුදලින් හුදෙකලාව ජීවිතය ගතකරන්නෙ. ඇගෙ සොයුරියක් කැන්ඩාවෙ ජීවත් වෙනව. තවත් සොයුරියක් නිතරම ඈව හොයා එමින් මුදල් ඉල්ලමින් කංකෙඳිරි ගානව. සන්ද්‍යා රාණි මත්පැනට ඇබ්බැහි වී ඇති ආකරය අපි දකිනව. ශාලිකා නම් ජනප්‍රිය තරුණ නිළියක ගෙ කතාවත් ගලා යන්නෙ ඔය අතරෙ. ශාලිකා තරුණ නළුවෙක් සමග රහස් පෙමක් පවත්වාගෙන යනව ඔවුන් මුණගැහෙන්නෙ සන්ද්‍යා රාණි ගෙ නිවසෙ. නමුත් ශාලිකා ගේ මේ අනියම් පෙම ඇගේ ස්වමිපුරුශයාගෙ අතටම අහුවෙනව. ඇගේ පෙම්වතාත් ඇය හැර යනව. ශාලිකාට අවසානෙ ඉතිරිවෙන්නෙ සන්ද්‍යා රාණි පමණයි. මේ අතරෙයි අපිට ප්‍රියාව මුණගැහෙන්නෙ. ප්‍රියා රාත්‍රී සමාජ ශාලාවක නිරූපිකාවක් විදිහට සේවය කරන්නෙ. ප්‍රියාට ඉන්න එකම මිතුරිය බට්ටි. ප්‍රියාට තමන්ගෙ ගණුදෙනුකරුවෙකුගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නව. දරුවා නැති කරගන්න උත්සහ කළත් ඈ ඒ අදහස අතහැරල දරුවා මෙලොවට බිහිකරල හදාවඩා ගන්න තීරණය කරනව. දවසක් රූපවාහිනියෙන් ප්‍රියාට සන්ද්‍යා රාණි ව දකින්න ලැබෙනව. ප්‍රියා සහ සන්ද්‍යා අතර තියන සම්බන්ධය මොකක්ද ?

සිනමා තරුවක් කිව්වම මහ දැවැන්ත ප්‍රතිරූපයක් මැවුණෙ ඉස්සර. ඒ කාලෙ නම් මේ වැනි කෙනෙක් දකින්න ලැබීම කතා බහ කිරීම ලොකු මැජික් එකක්. අද තත්ත්වය වෙනස් අද කෙනෙකුට සිනමා තරුවක් එක්ක සෙල්ෆි ගන්න පුලුවන්, චැට් කරන්න පුලුවන්.. සන්නිවේදන මාධ්‍යන්ගෙ දියුණුව එක්ක ඔවුන් ගැන තොරතුරු ඉක්මණින්ම සමාජයෙ පැතිරී යාම වළක්වන්න බෑ. ඔවුනුත් අමුතු මිනිස් කොට්ටාසයක් නොවෙයි අපි වගේම කන බොන අඳින පළඳින පිරිසක් බව දැන් මිනිස්සු දන්නව. ආකාස කුසුම් වගේ චිත්‍රපටයකින් ඔවුන්ගේ මේ සැබෑ ස්වරූපය තවත් නිරාවරණය කරනව. නමුත් තව පැත්තකින් ආකාස කුසුම් ඔවුන්ගෙ ජීවිතේ අඳුරු පැතිකඩක් හෙළිදරව් කරනව. මේ සිනමා කර්මාන්තය ඔවුන්ගේ ජීවිතවලට බලපාන ආකාරය මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනව. සන්ද්‍යා රාණි සිනමා රංගනයට පිවිසෙන්නෙ තමන්ගෙ පවුල අතහැරීමෙන්. ඒ කර්මාන්තය මෙහෙයවන ප්‍රාග්ධන හිමිකාරිත්වයෙ බලපෑම උඩ. ජනප්‍රිය වීම තරුවක්ව වැජඹීම සිහිනය කරගන්න ඇය ඊට අවනත වෙනව. අනිත් අතින් ශාලිකාගෙ විවාහය බිඳවැටෙනව. රැවටිලිකාර පෙම්වතෙකුට ඈ අසුවෙනව. ප්‍රියා වැනි සමාජශාලා සුන්දරියකගේ ජීවිතයෙ අසුන්දර පැත්ත ආකාස කුසුම් හරහා අපි දකිනව. ඒ අතරෙ මෙගා නාට්‍ය වලටත් හොඳ පහරක් එල්ල කරල තියනව. 
සමස්තයක් විදිහට ප්‍රධාන චරිත රඟ දක්වන සියලුදෙනාම හොඳ රංගනයක යෙදෙනව. ඒ අතර සන්ද්‍යා රාණි විදිහට මාලනී ෆොන්සේකා ත් ප්‍රියා විදිහට නිම්මි හරස්ගමත් කැපීපෙනෙන ව. මතක විදිහට ඔවුන් දෙදෙනාම මේ රංගනයන් වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වුණා. ප්‍රසන්න විතානගේ සිනමාකරුවා නැවතත් මෙම චිත්‍රපටය හරහා තමන්ගෙ සළකුල ශ්‍රීලාංකික සිනමාවේ සටහන් කරන්න සමත් වෙනව. ලස්සන සුන්දර සරුවපිත්තල සිනමාලෝකයේ ඇතුලාන්ත අසුන්දර කම් ගැහැණිය ක ගේ දෘෂ්ටියෙන් අනාවරණය කරන සිනමාපටයක් විදිහට "ආකාස කුසුම්" හැඳින්විය හැකියි..

ප.ලි - "ආකාස කුසුම්" චිත්‍රපටය නරඹන්න අවශ්‍ය කෙනෙකුට යූටියුබය හරහා එය නැරඹීමට හැකියි..







Tuesday, December 17, 2019

Annie Hall (1977)

- මේ කොල්ල මානසිකව අවුල් ගිහින් ඉන්නෙ. එයා කිසි වැඩක් කරන්නෙ නෑ.

-ඇයි ඔයා අවුල් වෙලා ඉන්නෙ ඇල්වි?

-කියන්න දොස්තරට. මේ එයා පොතක තිබිල කියවපු මොකක් හරි එකක් නිසා.

- විශ්වය ප්‍රසාරණය වෙනව (කණ්නාඩි දාපු පොඩි එකා බොහොම බරසාර හඬකින් කියනව) 

විශ්වය කියන්නෙ හැමදේම. ඉතින් හැම දේම ප්‍රසාරණය වෙනව නං ඔක්කොම දේවල් ප්‍රසාරණය වෙලා කැඩිල කුඩුවෙලා යයි නෙ.

- ඉතිං ඔයාට මොකටද ඒව....එයා හෝම් වර්ක් කරන්නෙත් නෑ ඩොක්ටර්.

විශ්වයට මොකක්ද මෙතන කරන්න තියෙන්නෙ. ඔයා ඉන්නෙ බෲක්ලින් වල. බෲක්ලින් ප්‍රසාරණය වෙන්නෙ නෑ 

- ඒක තව අවුරුදු මිලියන ගාණකට ප්‍රසාරණය වෙන එකක් නෑ පොඩි කොල්ලො. අපි මේකෙ ඉන්නෙ ටික කාලයයි. අන්න ඒ ටික සතුටින් හිනාවෙලා ඉන්න ඕන..තේරුණා ද.

මේ මොන පොඩි එකෙක්ද කියලනෙ හිතන්නෙ.. ඔව් ඇල්වි සෑහෙන අමුතු තාල කොල්ලෙක්..අවුරුදු හතළිහකින් පස්සෙත් මේ කොල්ල බරපතළ දේවල් හිතන, තොරතෝංචියක් නැතුව කතාකරන, හිතෙන දේ එසැණින් කරන, පොල් අඩි වගේ විසාල කණ්නාඩි දෙකක් දාන් ඉන්න, කෙට්ටු කොට මහ අමුතුම චරිතයක්. ඇල්වි comedian කෙනෙක් රූපවාහිනි වැඩසටහන් වල ජනප්‍රිය පුද්ගලයෙක්. නිතරම දේවල් ගැඹුරින් හිතමින් ඉන්න කෙනෙක්. හිතෙන දේ කියවන කෙනෙක්. ඇල්වි කතාකරන මැෂිමක් වගේ. ඇල්වි ගෙ විහිලු ඇත්තටම විහිලු නෙමේ. ඒව අඬන්න ඕන කාරණා. මහ ඛේදවාචකය. ඒත් මිනිස්සු ඇල්විගෙ කතාවලට මහ හයියෙන් හිනා වෙන එකයි කරන්නෙ. ග්‍රැමී සම්මාන උළෙල ගැන ඇල්වි මෙහෙම කියනව.

"සම්මාන.. ඒගොල්ලො කරන්නෙ හැම එකටම සම්මාන දෙන එක.. හිට්ලර් මේ කාලෙ හිටියනම් දෙයි සම්මානයක් වසරේ හොඳම ඒකාධිපතියා කියල"

එදිනෙදා ජීවිතේ බොහෝම සාමාන්‍ය දේවල් වලින් මතු වන තියුණු උපහාසය Annie Hall චිත්‍රපටය පුරාම දැකගන්න පුලුවන්. ඇල්වි කියන්නෙ බොහොම බැරෑරුම්ව සිතන්නෙක්. ජීවිතේ කියන්නෙ ඔහුට අනුව නම් "දුකෙන් වේදනාවෙන් පිරිල ඉක්මණ්ට ඉවරවෙලා යන දෙයක්" .. තවත් වතාවක ඔහු මෙහෙම කියනව

"මේ ලෝකෙ ඉන්නෙ මිනිස්සු වර්ග දෙකයි. අප්‍රසන්න මිනිස්සු සහ කාළකණ්නි මිනිස්සු. අප්‍රසන්න මිනිස්සු කියන්නෙ අඳ, ගොලු, බිහිරි, අංගවිකල අය. මං දන්නෑ කොහොමද ඒ අය ජීවත් වෙන්නෙ කියල. මට ඒක පුදුමයි. ඉතුරු අනිත් හැමෝම කාලකණ්ණි මිනිස්සු. ඉතින් ඔයා ජීවත් වෙනකොට ස්තූතිවන්ත වෙන්න ඔයා කාලකණ්නියෙක් වීම ගැන..."

Annie Hall චිත්‍රපටය නිර්මාණය කරන්නෙ සහ ඇල්වි ගෙ චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ධ හොලිවුඩ් සිනමාකරුවෙක් වුණ Woody Allen. Woody Allen හැබෑවටත් මේ වගේ අමුතුම චරිතයක් කියල ප්‍රසිද්ධයි. චිත්‍රපට වල අපි දකින, ධනාත්මක අදහස් තියන උන්නති කාමී, කඩවසම්.. ආකර්ශනීය මිනිස්සුන්ට වඩා Annie Hall චිත්‍රපටයෙ අපි දකින්නෙ මෙලෝ ලස්සනක් නැති, පරාජිත මානසිකත්වයෙන් පෙළෙන, හැමතිස්සෙම දාර්ශනික කතා කියන, හුදෙකලා වුණ මනුස්සයෙක්. ඇල්වි ඔහුගෙ ප්‍රේම සම්බන්ධතා කීපයක්ම බිඳ වැටිල Annie Hall කියන ගැහැණිය සහ ඇල්වි අතරෙ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිවුණේ කොහොමද සහ එය බිඳ වැටුනෙ කොහොමද කියන දෙය චිත්‍රපටයට ඇතුලත් වෙන්නෙ. ඇල්වි ගෙ මුවින් ගිලිහෙන අපූරු කියමන් ගණනාවක් මේ චිත්‍රපටයෙ තියනව. මේ කෙටි සටහන අවසන් කරන්නෙ එවැනි සිද්ධියකින්.

ඇල්වි සහ ඇනී හෝල් චිත්‍රපටයකට ටිකට් ගන්න පෝලිමෙ ඉන්නව. පිටිපස්සෙ ඉන්න කවුද මනුස්සයෙක් සිනමාව ගැන බර කතාවක. ඇල්විට මේක දිරවන්නෑ. 

"ඒ වුණාට අහවලාගෙ දැන් චිත්‍රපටි වලට මං කැමති නෑ. ඒව බොක්කටම වදින්නෑ"

"මං කැමතියි අරූගෙ බොක්කටම දෙකක් ඇනල එන්න. මිනිහ කියවද්දි කෙළ විසික් වෙනව මගෙ බෙල්ලට"

ඊළඟ ඒ පුද්ගලයා කතාකරනව මාෂල් මැක්ලුහාන් ගැන. රූපවානී මාධ්‍යට ඔහු කල බලපෑම ගැන. 

"මේ වගේ පිස්සෙක් එක්ක චිත්‍රපටියක් බලන්න පෝළිමක ඉන්න වුණොත් ඔයා මොකක්ද කරන්නෙ?"

ඇල්වි අහන්නෙ ප්‍රේක්ෂකයන් ගෙන්. 

"ඒයි මේක නිදහස් රටක්. මට මගෙ අදහස ඉදිරිපත් කරන්න අයිතියක් නැද්ද?"

අර මනුස්සය අහනව.

"ඔව් ඔයාට පුලුවන් ඒත් ඔයාගෙ අදහස ඔච්චර හයියෙන් ඉදිරිපත් කරන්න කියල කොහෙවත් කියල නෑ නෙ. විකාරම වැඩේ තමා ඔයා මාෂල් මැක්ලුහාන් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ."

"මම කොලොම්බියා වල රූපවාහිනීය, මාධ්‍ය සහසංස්කෘතිය ගැන උගන්වන මහාචාර්ය වරයෙක්. මැක්ලූහාන් ගැන මගෙ අදහස් වලට සමාජ පිළිගැනීමක් තියනව"

"මොන විහිලුවක් ද ඒක. මට සිද්ධවෙනව දැන් මාෂල් මැක්ලුහාන් මෙතෙන්ට ගෙන්නන්න."

එහෙම කියන ඇල්වි පැත්තක ඉන්න මාෂල් මැක්ලුහාන් ව එතනට අරන් එනව. 

"මං අහගෙන හිටියෙ ඔයා කියපු හැමදෙයක්ම. ඔයා මං ගැන කිසිදෙයක් දන්නෑ. ඔයාගෙ අදහස් සම්පූර්ණ වැරදි. ඔහොම ඉඳගෙන ඔයා ළමයින්ටත් උගන්නනව කියන්නෙ පුදුමයක්"

මැක්ලුහාන් කියනව.

ඒ දෙබස අවසාන වෙනවත් එක්ක ඇල්වින් කියනව මෙහෙම.

"ඇත්තටම ජීවිතෙත් මේ වගේ වුණා නම් කොච්චර හොඳ ද"











Monday, December 16, 2019

යූ ටර්න් (2019)

සතියෙ දවසක නම් මම වැඩට යන්න ගෙදරින් පිටත්වෙන්නෙ හරියට උදේ 6 ට. නැත්නම් ඒ ආසන්න වෙලාවක. අපේ ගෙදර ඉඳන් රාගම ටවුන් එකට තියෙන ලඟම පාරෙන් තමයි මම යන්නෙ. ඉඳහිටක වෙනත් පාරකින් එන්න වුණොත් මං එන්නෙ පෙට්‍රල් ෂෙඩ් එක පැත්තෙන්. එතකොට ස්ටේෂන් එක ගාව රේල්ගේට්ටුව කොයි වෙලාවෙත් වහල නිසා මට එන්න වෙන්නෙ පාලම උඩින්. කැමරා අටවගෙන පිරිසක් මොකක්දෝ රූපගත කිරීමක් කරන හැටි මම දකින්නෙ ඔහොම ගිය දවසක. ඒ යූ ටර්න් නම් චිත්‍රපටයක් බව දැනගන්නෙ පස්සෙ. යූ ටර්න් ප්‍රේක්ෂකාගරයට විවර වෙන්නෙ ඊයෙ (2019/12/13) මම බලන්නෙ අද. උපන්දා සිට ජීවිතේ ගත වුණ සහ තවමත් ඉන්න රාගම නගරෙ පසුබිමේ රූ ගත කර ඇති නිසා මට යූ ටර්න් එක්ක තියන බැඳීම මට ටිකක් සමීපයි. 

යූ ටර්න් මුලින්ම නිපදවෙන්නෙ කන්නඩ භාෂාවෙන් 2016 වසරේ. ඉන්පස්සෙ 2018 දී දමිළ බසින් එය නැව නිශ්පාදනය වෙනව. 2019 සිංහල බසින් කරන ප්‍රතිනිර්මාණයේ තිර පිටපත ලියන්නෙ මුල් චිත්‍රපට සඳහා දායක වුණු Pawan Kumar මයි. මම මේ කලින් චිත්‍රපට දෙක නරඹල නෑ. ඒ නිසා මේ මගෙ First hand යූ ටර්න් අත්දැකීම.

රවීනා තරුණ මාධ්‍යවේදිනියක්. ඇගේ ගම් පළාත නුවර. රැකියාව නිසා ඈ කොළඹ නගරයේ නැවතී ඉන්නෙ තනිවමයි. ගුවන් පාලම් මත සිද්ධවෙන මාර්ග නීති කඩකිරීම් ගැන රවීනා වාර්තාවක් පිළියෙල කරනව. රැකියාව කරන තැන ඇගේ හිතවතා ආදිත්‍ය ඇයට උදව් කරනවා. සහස් පුර නම් ප්‍රදේශයෙ තියන ගුවන් පාලම උඩ යූ ටර්න් ගන්න කිහිපදෙනෙක් ගැන විස්තර ඒ පාල අසලම ජීවත් වෙන දුප්පත් අසරණ පුද්ගලයෙක් ඈට ලබා දෙනව. ඒ නම් ලයිස්තුවෙ ඇතුලත් පුද්ගලයෙක් මුණගැහෙන්න ගියත් ඈට ඔහුව මුණ ගැහෙන්නෙ නෑ. එදාම රාත්‍රියේ දි ඈව නොහිතු විදිහට පොලිස් අත් අඩංගුවට පත්වෙනව. ඈ සොයා ගිය අර පුද්ගලයා අබිරහස් විදිහට මිය ගිහින්. මරණයට සැක කරන්නෙ රවීනා ව. පරික්ෂණය බාරවෙන්නෙ තරුණ පොලිස් පරික්ෂකවරයෙක් වුණ රංග ට. රංග, රංවීනාගේ ලයිස්තුවෙ අනෙක් පුද්ගලයන් ගැනත් විමසා බලනව. නමුත් ඒ හැම දෙනාම ඒ වෙනකොට මිය ගිහින්. ඔවුන් මිය ගිහින් තියෙන්නෙත් එකම ආකාරයට! ගුවන් පාලම උඩ යූටර්න් ගන්න අයට ඇත්තටම වෙන්නෙ මොකක්ද ?

චිත්‍රපටයෙ මං දැක්ක සාධනීය ම කාරණයක් තමා රවීනා ගේ චරිතය නිරූපණය කල චානු දිසානායක ගේ රංගනය. මේ ඇගේ පළමු රඟපෑම ද දන්නෙ නෑ. නමුත් ඇය මේ චිත්‍රපටයෙ ඉතාම හොඳ රංගනයක යෙදෙනව. ඇයට සිනමාවෙ තව බොහෝ දුරක් යා හැකියි. සිනමා රසිකයෙක් විදිහට ඇගේ රඟපෑම අගය කරන්නත් ඉදිරි වැඩකටයුතු වලට සුබ පතන්නත් මං මේක අවස්ථාවක් කරගන්නව. හේමාල් රණසිංහ ගෙන් මේ චිත්‍රපටයට තවත් ආලෝකයක් ලැබී ඇති බව කිවයුතුයි. ඔහු අපිට ඉන්න සම්පතක්. විජය, ගාමිණී ල ගෙන් පස්සෙ ආකර්ශනීය තරු ගුණාංගය ඉහළින්ම පිහිටා ඇති කෙනෙක් හේමාල්. ඔහුගෙන් සිනමාවට මෙහෙම වැඩ ගැනීම දකින්න සතුටක්. ඒ වගේම තුමිඳු, බිමල් දෙදෙනාත් හොඳින්ම තමන්ගෙ කොටස කර තිබුණ. මේ ක්‍රෙඩිට් එක යන්න ඕන චිත්‍රපටය අධ්‍යක්ෂනය කල චන්න දේශප්‍රිය ට. Cinematography නිර්මාණ කරුවෙකු විදිහට ඔහු ලබා ඇති අත්දැකීම් මේ සාර්ථකත්වය පිටිස්සෙ ඇති.

සමස්තයක් විදිහට චිත්‍රපටය ගැන තෘප්තිමත් වෙන්න පුලුවන් වුණත් තව වැඩි දියුණු විය යුතු යි කියා හිතුණු තැන් කීපයක් දැක්ක. මම නිතර කියන දෙයක් තමා චිත්‍රපටයක් කියන්නෙ මහ පොළව මත අඩියක් තියාගෙන ගොඩනැගෙන ෆැන්ටසි ලෝකයක් කියල. මේ ෆැන්ටසික ලෝකයක වුණත් ඉන්නෙ යම් පිටපතකට අනුව නිශ්චිත ගමන් පථයක දුවන චරිත විය යුතු නෑ. ඔවුන් හැබෑවටම මහ පොළවෙ ජීවත් වෙන හුස්ම ගන්න ආදරේ කරන වෛරකරන සතුටේදි හිනා වෙන දුකේ දි හඬා වැටෙන මිනිසුන්මයි. යූ ටර්න් ඇතුලෙ මානව බැඳීම් තව ටිකක් සමීපව ඉදිරිපත් කර තිබුණානම් කියල මට හිතුණ. විශේෂයෙන් රවීනා සහ ආදිත්‍ය අතර තියන ආදරය හෝ ක්‍රශ් එක හෝ මොකක් හෝ බැඳීම තව ටිකක් දැනෙන අයුරකින් ඉදිරිපත් වුණා නම් කියල හිතුණ. ඒ වගේම යම් super natural ස්වභාවයක් දරන රතු හැඳගත් කාන්තාව. ඇගේ අත්භූත අරුමැසි ස්වභාවය තව මතු වෙන්න තිබුණා. නමුත් කතාව නොදැන සිනමා හලට ගිය කෙනෙක් විදිහට චිත්‍රපටයෙ ත්‍රිලර් ගුණාංගය මම හොඳින්ම වින්දා. ක්ෂණික තිගැස්ම රූප රාමුවෙන් රූපරාමුවට ඊළඟට මොකක් වෙයිද කියන කුතුහල චිත්‍රපටයෙ හොඳින්ම අන්තර්ගත වෙලා තිබුණ. 

චිත්‍රපටි රීමේක් කිරීම ගැනත් යමක් කිවයුතුයි. ලෝකෙ විවිධ භාෂා වලින් ලියවුණු පොත පත සිංහල පරිවර්තනය වෙලා පාථකයන් අතරට එනව. ඒ වගේ ලෝකෙ විවිධ භාෂා වලින් නිමැවුණු සිනමාපට අපේ රටේ නිෂ්පාදනය කිරීමේ වරදක් නෑ. නමුත් සිනමාත්මක වශයෙන් රස නොමරා සහ තව නිර්ණශීලීව මේ ප්‍රතිනිෂ්පාදනයන් කිරීමේ විශාල වගකීමක් නිර්මාණ කරුවන්ට තියනව. යූටර් චිත්‍රපටය ගත්තොත් මුල් සිනමාපටය මම නරඹල නැති නිසා මුල් කෘතිය එක්ක කොයිතරම් සාර්ථක ද කියන්න මට බැහැ. ඒත් පොඩි අඩුපාඩු කීපයක් ඇරුණාම First hand අත්දැකීමක් විදිහට මම තෘප්තිමත්. කලින් කිව්ව වගේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ ඊයෙ (2019/12/13). සිනමා ශාලාවකටම ගිහින් පුළුල් තිරයේ ම මේ අත්දැකීම විඳගන්න ආරාධනා කරන්න කැමතියි.

ආයෙ රාගම පාලම උඩින් බයික් එකේ යනකොට රතු ඇඳගත්ත ගෑණු කෙනෙක් හිටියොත් කොහොම වෙයි ද ! 



Friday, December 13, 2019

ක්ලැරන්ස්

රෑ තාරකාවෝ බබළන මොහොතක
මලට බඹරෙකු සේ හිතට වැඩි ඔබ
හද විල මැද පිබිදී හිනැහුනි
රන්දුනුකේ මලක්ම විලසට.. 

සඳක් බැසගෙන යද්දි අවරගිර
ඉරක් උදාවී එළියවන ලෙස
සිහින ලොවෙන් ඇසෙනා ගී හඬ තුල
සාගරයක ගැඹුරක් හිතට නොදැනෙද... 

දිලීප පොඩිපුතු නිදියන යහනට
කිරි මුහුදක් ගැලුවාදෝ කොහිසිට
මෑණියන්ගේ ඒ අපමණ සෙනෙහස
සත්සර අතරට මුසුවිය රසකර.. 

සුදුමැණිකේ ගේ හිනැහෙන මුහුණට
අලුයම හිරුරැස් වැටුනා දුරසිට
රුවන්පුරේ දිදුලන රන් මිණිකැට
එලිය කලා බැබලී මුළු රටටම.. 

හිතේ සුසුම් නිවනා ඒ ගායන
සවන් පුරා සැණෙකින් නදදෙන විට
සැන්දෑ වලාවන් පාවෙන අහසක
හිරු ගිලුනත් සඳු ගිලුනත් කමක්නෑ මට.

.......................................................................

බටහිර විදුලි ගිටාරයත් පෙරදිග අපිට පුරුදු සරල ගීයත් අතර දීගය සිද්ධකරන්න මුල්වුණ පුද්ගලයන් අතරේ ඉදිරියෙන්ම ඉන්න චරිතය ක්ලැරන්ස්. අද පවා ගිටාර් වාදනය ඉගෙනගන්න කෙනෙක් පටන් ගන්නෙ ක්ලැරන්ස් ගෙ සින්දුවකින්. ක්ලැරන්ස් පද රචනය, තනු නිර්මාණය, ගායනය, වාදනය මේ හැම අතින්ම එක වගේ දස්කම් පෙන්වපු දුර්ලභ ගණයේ කලා කරුවෙක්. අදට 2019/12/13 ඔහු අප හැර ගිහින් අවුරුදු 19 යි. සදා නොමැකෙන ඔහුගෙ ගීතාවලිය නැවත සිහිපත් කරන්න ගත්ත පොඩි උත්සහයක් මේ..



Thursday, December 12, 2019

තරු එළි බිඳ


හීනෙකින් හෝ හැබැහැට
නොලැබුවත් කිසි දවසක
ලං ලං ව පියාසරනා
බිඟු තුඩක
පහස

කාන්තාරෙක මැද වුණත්
අවදිවී හිනාවෙයි
මඳ සුළං දහරට
පතොක් මල්
දහස..

සීතලම සීතල
වැහි කඳුළු බින්දුවක
සඟවා එවූවත් පොළවට
වැහි වළාවක
රහස..

සඳ නොමැති රෑ මැද
තරු එළිය එක බිඳක්
නොදී ඉන්නට තරම් 
නපුරු නෑ
කිසි දාක 
අහස..





Tuesday, December 10, 2019

Amour (2012)


ආදරය, ප්‍රේමය ගැන ඕන තරම් නිර්වචන අපි අපේ ජීවිත කාලය ඇතුලෙ අහල ඇති. ආදරය ගැන කවි, සින්දු, චිත්‍රපට, නවකතා ඕන තරම් අපි දැකලා ඇති. තව ඉදිරියට තවත් අර්ථදැක්වීම් අපිට අහන්න දකින්න කියවන්න ලැබේවි. ආදරය කියන්නෙ වචනෙන් විස්තර කරල කියන්න බැරි දෙයක් බව තව කෙනෙක් කියාවි. මම කියන්නෙ ඒ හැම දෙයක්ම අර්ධ වශයෙන් ඇත්ත කියල. ඇයි එහෙම වෙන්නෙ? මම විශ්වාස කරනව ආදරය ගැන අපේ වටහා ගැනීම වයස, ජීවිත අත්දැකීම, ලෝක දැක්ම මේ හැම දෙයක්ම එක්ක වෙනස් වෙනව කියල. උදාහරණයක් විදිහට නවයෞවන වයසෙ ප්‍රේමය ගැන අපිට තිබ්බ ආකල්පය නෙමේ බොහෝ විට දැන් අපිට තියෙන්නෙ. අපේ ජීවිත අත්දැකීම එක්ක ඒ දේවල් වෙනස් වෙලා. යම් පොදු දේවල් ටිකක් නැහැයි කියන්න නෑ. ඒත් මම හිතනව මේ මොහෙතෙ අපි අත්විඳින ජීවිතය ඇතුලෙ ප්‍රේමය ගැන අපිට තියන කියවීම සුවිශේෂී, අපිටම අනන්‍ය එකක් කියල. ඒ හින්ද අර සුප්‍රසිද්ධ කියමන් ඇතුලෙ තියන දේවල් වලින් කොටසක් අපිට අදාළයි. අනිත් කොටස අපිටම අනන්‍යයි..

Amour වචනෙ තේරුම ප්‍රංශ බසින් "ආදරය" මයි. Amour චිත්‍රපටයෙන් දකින්න ලැබෙන්නෙ එක්තරා ආකාරයක ආදරයක් තමයි. ඒත් මෙතනදි ආදරයේ අපිට වැඩිපුර දකින්න නොලැබෙන කලාපයක් ස්පර්ශ කරනව. විවාහ වෙලා දරුවන් ලබල, ජීවිතේ තරඟේ දුවල අවසානෙ වයස අසූ ගණන් වල ජීවිතේ පෑල දොර ගාව ඉන්න යුවළක් ගැන කතාවක් මේ චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙ. ඇය පියානෝ ගුරුවරියක්. ඔහුත් ඇයත් ජීවත් වෙන්නෙ නිවාස සංකීර්ණයක වෙනම කුටියක. මහලු වයසේ කාටත් පොදු අපහසුතාවන් ගෙන් පෙළුනත් හදිස්සියෙම ඇගේ රෝගී තත්ත්වය ඉහළ යනව. වතාවක් රෝහල් ගත වෙන ඇය, තමන්ව ආයෙ කිසිදාක රෝහලකට ගෙනියන්න එපා කියල ඔහු ගෙන් ඉල්ලනව. ඇගේ ඉල්ලීමට ගරු කරන ඔහු ඇගේ හැම කටයුත්තක්ම තමන් තනිවම කරනව. වතාවක් ඇය ජීවිතේ නැති කරගන්න පවා උත්සහ කරනව. ඒ ඔහුත් නිදහස් කර තමනුත් නිදහස් වෙන්නයි. නමුත් ඒ උත්සහය සාර්ථක වෙන්නෙ නෑ..

Amour චිත්‍රපටය ආරම්භ වෙන්නෙ කතාවෙ අවසානයෙන්. ඒ කියන්නෙ අවසානෙ මොකක්ද වෙන්නෙ කියල ප්‍රේක්ෂකයා මුලදීම දැනගන්නව. ඒ නිසා කතාව ආරම්භ වෙන්නෙම කුතුහලය බිඳිමින්. චිත්‍රපටය විසින් තමාවම spoil කරගනිමින්. ඉන්පසුව අපි දකින්නෙ මේ මහලු යුවල ගෙ කතාව. එතන තියෙන්නෙ කුතුහලයකට වඩා ජීවිතේ කෙළවර සියලු දේ අවසන් වෙමින් යන තැන ඔවුන් බෙදාහදා ගන්නා ආදරය ගැන සමීපව බලා හිඳීමක්. ඇය සෙමෙන් සෙමෙන් නමුත් ඔහුට වඩා ඉක්මණින් අඳුර වෙත පාතබමින් ඉන්නෙ. ඔවුන් අතරෙ විසංවාදයක් නැතුවා නෙමෙයි. මතභේද ගැටුම් නැතුවා නොවෙයි. වසර හතළිහක් හෝ පණහක් විවාහ ජීවිතේ මෙතෙක් පැමිණියා වගේ ඇයට අවශ්‍ය අන්තිම පියවර කිහිපය ඒ ආදරය අත්විඳින්න. කොයිතරම් දුරක් පැමිණියත්, කොයිතරම් ආදරේ කළත් මේ අවසාන ගමන කෙනෙකුට යන්න වෙන්නෙ නම් තනියම. අවසන් මොහොත වේදනාවක් නම් ඉන්පස්සෙ ඒ වේදනාව උරුම ජීවත්වෙන කෙනෙකුටම යි. ඉතින් කෙනෙකුගේ මේ මහා දුක අවසන් කරන්න තමන් ඒ දුක බාර ගන්නව නම් ඒක ආදරය ද? තව විදිහකින් කිව්වොත් කෙනෙකුට ජීවිතය උහුලගන්න බැරි දුකක් වෙන තැන ඒ දුකින් ඔහු හෝ ඇය නිදහස් කරවීම "ආදරය" වෙන්න බැරි ද?

"ආදරය" අපේ නිර්වචන එහෙමම තියෙද්දි, අපේ අත්දැකීමෙන් තරමක් එහා ආදරයක් විඳගන්න Amour චිත්‍රපටය බලන්න...









Monday, December 9, 2019

සියොත් මිතුරේ..

මන්දාරමේ මීදුමේ
වැහි කළුවරෙන් බර ආකහේ
මග වරද්දාගෙන ඔහේ
පියා සරනා සියොත් මිතුරේ..

ළයේ සුසුමන් මුසුව
පද අරුත් අතරේ
ඔබෙ මුවින් නැගෙනා ගීය 
මට කියවාගත හැකියි...

සිතිජය ඉමෙන් මෙපිට
නැත මග කියන තරුවකුත් ඔබට
නොමැත අන් කිසිවක්
සිනිදු පෙඳ අවුස්සා
සීතලෙන් ගත පෙළන
බොල් සුළඟක් මිසක..

නොදන්නා නමුදු ඔබ
හිඳිමි මම මෙතැන
පැටලී වෙලී 
ඔබේ දසුනත් සමඟ..

උරුමව ඇතත් ඔබ හට අහස් කුස
මට පොලෝ ගැබ
වැටහෙන අරුම කිම මට ඔබේ හද බස..
මීදුමාරේ අඳුරේ දිනෙක
ඔබ සැඟව යනු පෙර
පියා සලපන් ඔබෙ ගීය ගයපන්
නොගොස් ඇස් මානයෙන් බෝ දුර..



Friday, December 6, 2019

පවුරු වළලු (1997)


වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍යය පාලනය කළ කාලය, වර්ෂ 1837 ඉදන් 1901, වික්ටෝරියානු යුගය විදිහට හැඳින්වෙනවා. මේ යුගය බ්‍රිතාන්‍ය සමාජය කැපී පෙනෙන වෙනස් කම් වලට ලක් වුණ කාල සීමාවක්. විශේෂයෙන් කිතුණු දහම විසින් හික්මවන ලද සදාචාරය, සභ්‍යත්වය, විනය ගැන අදහස් සමාජය පුරා පැතිර ගියා. ඇඳුම පැලඳුම, කතා බහ, හැසිරීම ඇතුලු ජීවිත පැවැත්ම පිළිගත් සදාචාරමය රාමුවක් ඇතුලෙ තිබිය යුතුයි කියන කාරණය සමාජයේ මුල් බැස ගත්තා. පිරිමින් පුළුවන් තරම් ධනය ඉපයීම, වැදගත් මහත්මයෙකු විදිහට හැසීරීමත් ගැහැණු උයන පිහන ගේ දොර වැඩ කිරීම.. යහපත් චරිතය රැකීම..ආගම දහමට යොමු වීම .. විනයානුකූලව හැසිරීමත් කල යුතු වුණා..ඇඳුමක් අඳිනව නම් එය ශරීරය පුලුවන් තරම් ආවරණය කරන සංවර එකක් විය යුතු යි. ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය මේව ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම අපරාධයක්, මහ නැහැදිච්ච කමක් විදිහටයි සැලකුණේ.. ඉතින් මේ වික්ටෝරියානු සදාචාරයෙන් ඒ වෙනකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට යටත්ව තිබූ රටවල් ආසාදනයට ලක්වීම නොවැලැක්විය හැකි වුණා. අපේ රටටත් මේ අදහස් බොහොම තදින් බලපෑව. අද පවා යටත් විජිත සමයේ ඇතිවුණු මේ වික්ටෝරියානු සුචරිතවාදයේ බලපෑම අපේ සමාජයේ දකින්න පුලුවන්..

පවුරු වළලු සිනමාපටයට අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ කාරණය සැලකිල්ලට ගනිමින්. 60 දශකයේ ගාලු කොටු පවුර තුළ ජීවත් වෙන මධ්‍යම පාන්තික, කතෝලික ආගමික පවුලක් වටා චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. වයලට්, දියණියන් දෙදෙනෙකුගෙ මවක් වෙන මැදි වයසේ කාන්තාවක්. වයලට් ගේ විවාහක ස්වාමි පුරුෂයා ඇගෙන් නීත්‍යානුකූලව වෙන් නොවුණත් ඔහු ජීවත් වෙන්නෙ වෙනමයි. වයලට් ගේ වැඩිමහල් දියණිය විවාහ වෙලා දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නව. අනෙක් දියණියට දැනටම පෙම්වතෙක් ඉන්නව. ගෙදරදීම ඇදුම් මැසීමෙන් ලැබෙන මුදලින් වයලට් සහ බාල දියණිය ජීවත් වෙන්නෙ. මේ අතරෙ යෞවනයෙදි ඇගෙන් වෙන්වුණු පෙම්වතෙක් වුණ වික්ටර් අවුරුදු 25 කට පස්සෙ ඇයට නැවත මුණගැසෙනව. ඔවුන් දෙදෙනාගේ හමුවීමත් ඒ හමුවීම ඔවුන්ගේ ජීවිත වලට කරන බලපෑමත් මුල්කරගෙන ඉන්පසු කතාව ගලා යන්නෙ..

වයලට් නැත්නම් වයලා දරුවන් ඉන්න විවාහක මැදි වයසේ කාන්තාවක්. ඇයට පිටස්තර පිරිමියෙක් සමග කතා බහ කිරීම ඇසුරු කිරීම අකැප දෙයක් වෙලා. ඊට හෙතුව අර වික්ටෝරියන් සුචරිතවාදී සමාජ බලපෑම නිසා. ඇය ඒ තත්ත්වයට පත් වෙන්න එක හේතුවක් විවාහය ඇතුලෙ ඇයට ආදරය අහිමිවීම. ඇයට ස්වාමිපුරුෂයෙක් හිටියෙත් ඒ නමට පමණයි. ඔහුගේ ජීවිතය ඇතුලෙ ඇයට තැනක් හිමි වෙන්නෙ නෑ. ඉතින් ඒ හිස්කමත් යෞවනයේ අහිමි වුණ ඒ ආදරය ගැන ඇති නොස්ටැල්ජියාත්මක බැඳීමත් ඈ වික්ටර් වෙත ලංවෙන්න බලපා ඇති බවට සැකයක් නෑ. නමුත් මෙතනදි අනිවාර්යයෙන්ම සිදුවිය හැකි විදිහට අර සුචරිතවාදී පිටස්තර සමාජය ඇයව වටහා ගන්නෙ නෑ. ඇයව පව්කාර ගැහැණියක් විදිහට නම් කරන සමාජයෙන් ඇයට නැවත ලැබෙන්නෙ ගල් පහර පමණයි. ගැහැණියකට යෞවන වයසේ, විවාහ ජීවිතයේ, දරුවන් බිහිකිරීමේ, ඔවුන් හදාවඩා ගැනීමේ .. ජීවීතේ මේ නොයෙක් අවධීන් තුල විඳීමට සිදුවන අනන්ත අප්‍රමාණ දුක් ගැහැට චිත්‍රපටය පුරා සියුම්ව මුහුවී ඇති ආකාරය නිරීක්ෂණය කරන්න පුලුවන්.

නොයෙක් අපවාද, අපහාස, නින්දාවන් හමුවේ ඇයට විඳින්න සිදුවන පීඩනය වයලට් ගේ චරිතය රඟදක්වන නීටා ප්‍රනාන්දු රංගවේදිනිය ඉතාම මැනවින් නිරූපණය කරන්න සමත් වෙනව. ඇගේ මේ රංගනයට 1998 සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළලේදි ඒ අවුරුද්දේ හොඳම ආසියානු නිළියට හිමි සම්මානය හිමි වීම පුදුමයක් නෙමෙයි. පවුරු වළලු චිත්‍රපටයෙ වයලා, සිංහල චිත්‍රපටයක මං දුටු ප්‍රබලම කාන්තා චරිත නිරූපණයන් අතරට එක්වෙනවා. (නීටා ප්‍රනාන්දු මහත්මිය රගපෑමෙන් එක්වන "පාංශු" සිනමාපටයෙ ඇගේ රගපෑම් ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදිම ඇගයීමට ලක්ව ඇති බව අහන්න ලැබෙනව. පාංශු තවම අපේ රටේ තිරගත කර නැහැ. එය ඉක්මණින්ම ප්‍රේක්ෂකයා හමුවට පැමිණිය යුතු සිනමාපටක්) ඇය ඇත්තටම අපේ රටට සම්පතක් බව කියන්නෙ ඉමහත් ගෞරවයෙන්. බාල දියණිය විදිහට සංගීතා වීරරත්නත්, වික්ටර් විදිහට ටෝනි රණසිංහත් ඉතාම හොද රංගනයක යෙදෙනව. 

පවුරු වළලු තිර රචනය ටෝනි රණසිංහ මහත්මයාගේ. "පවුරු වළලු" මේ දූපතේ යමක් කළ හැකි සිනමා කරුවන් අතරෙ ඉහළින්ම ඉන්න ප්‍රසන්න විතාගේ මහත්මයගෙ සිනමා වර්ණාවලියේ දීප්තිමත්ම වර්ණයක් බව සදහන් කළ හැකියි. (ඔහුගේ නවතම සිනමාපටය "ගාඩි" ඉදිරියේදි අපිට දැකගන්නට ලැබේවි) ඉතාම හොඳ මට්ටමක සිනමා භාවිතාවක් මේ චිත්‍රපටය පුරා දැකගන්න පුළුවන්. ගාලු කොටු පවුර ආශ්‍රිත පරිසරය..වේගයෙන් ඇවිත් පවුරේ හැපෙන මුහුදු රළ.. ඉර බැහැගෙන යන අහස... හුදෙකලාවේ ආලෝකය විහිදුවන ප්‍රදීපාගාර.... ඉහළින් මතුවී පෙනෙන පල්ලියේ කොත් මුදුන.. මේව රෑපමය වශයෙන් බොහොම ප්‍රබල ඇඟවුම් කාරකයන් විදිහට ගන්න පුලුවන් සංකේත. ඒ සංකේත රූප වලින් හොදින් වැඩ අරගෙන තිබුණ ආකාරය දැකගත හැකියි. ඒ අවසන් දර්ශනය මාව තදින්ම කම්පනයට පත් කළා. ඇයි ඇයට එහෙම වුණේ...ඇයි ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය මානව සම්බන්ධතාවක් විදිහට බාරගන්න සමාජයට බැරි.... ඔවුන් අවසානෙ කොහෙටද යන්නෙ.. ඇගෙ උමතුබව ඇත්තම එකක්ද .. කොහොම නමුත් කොටු පවුරෙන් මිදිල ඔවුන් යන රූපය ඔවුන් මේ වික්ටෝරියන් කොටු පවුරෙන් ඇත්තටම මිදුනාද කියන ගැටලුව පමණක් ඉතිරි කරනව... "පවුරු වළලු" ආදරය අහිමි වූ ජීවිතයකට සහ කිසිදා ලබාගත නොහැකි ප්‍රේමයකට උරුමකම් කියන ගැහැණියක් සමාජ, සංස්කෘතික බලපෑම හමුවේ විඳින අනන්ත දුක් පීඩාවන් නිරූපණය කරන සහ අපි වටා නැගීහිටින මේ පුහු සදාචාරවාදයේ දැඩි පවුර කලාත්මකව නිරූපණය කෙරෙන සිනමාකෘතියක් විදිහට හඳුනා ගත හැකියි.

ප.ලි. - "පවුරු වළලු" නරඹන්න කැමති අයට යූ ටියුබය හරහා චිත්‍රපටය නරඹීමේ හැකියාව තිබෙනව. මුලු චිත්‍රපටය ම යූටියුබයේ අන්තර්ගතයි..






Wednesday, December 4, 2019

සයුර ඔබ

ඉපිලෙමින් ඔබ රළ නඟන කල
බලා හිඳ මොහොතක් වෙරළත
සෙමෙන් පියවර තබා සපැමිණ
ගිලෙමි ඔබ තුළ, පිහිනමි සිතු ලෙස..

යළිත් ඇවිදින් වෙරළ මතුපිට
වෙහෙසකර අත පය සතපවා
සිතේ ඇමිණුන කුඩා කවියක්
කුරුටුගානා කළ
නොසන්සිඳෙනා දෑසින්
බලා හිඳී ඔබ 
තවමත් මා දෙස...

යළි පැමිණ
නොගොසින් ගැඹුරට
ඉඩ දෙමි
කිරි සුදු පෙණ වලට
සිපගන්න මා දෙපා
මුදුලෙස..

අසීමිත
සයුරකි ඔබ
පෙණ නගන
යළි හැපෙන
මුදු හඬින්
විසිරෙන..

කුඩා මිනිසෙක්මි මම
කුඩා කුඩා කවි 
කුරුටුගානා
වැලි මත..



Tuesday, December 3, 2019

The Last Temptation of Christ (1989)


සෝර්බා නම් ග්‍රීකයා (Zorba the Greek) නවකතාව ලියපු Nikos Kazantzakis ගේ මේ නමින්ම ලියවුණු නවකතාව ආශ්‍රයෙන් හැදුණ සිනමාපටය The Last Temptation of Christ. බයිබලයේ සුභාරංචි ග්‍රන්ථ වලින් යම් තරමකට බැහැරව, කතුවරයාගේ පරිකල්පනයෙන් ක්‍රිස්තු චරිතය ආන්දෝලාත්මකව නැවත ගොඩ නංවා තිබීම මේ කතාවෙ විශේෂත්වයක්. හුදෙක් ජේසුස් වහන්සේ ගෙ ජීවිත කතාව කියාපෑම වෙනුවට මනුෂ්‍යයක් විදිහට උන්වහන්සේ කල කී දෑ ඉදිරිපත් කිරීම මේ කතාවෙන් අපිට දැක ගන්න පුලුවන්. සතන් හෝ දෙවියන් වහන්සේ ගේ හෝ රඟමඬලක් වෙන මිනිස් සිතුවිලි ඔහුගේ ආශාවන්, බලාපොරොත්තු, ඔහුගේ එඩිතරත්වය, බිය, අවිශ්වාසය, ආත්ම ශක්තිය මේ හැම දෙයක්ම තුළින් ක්‍රියාකරන හැටි ජේසුස් වහන්සේගේ චරිතය තුළින් නිරූපණය කර තිබෙනවා. ආගමික දෘෂ්ටියෙන් බැහැරව කලා කෘතියක් විදිහට මේක ඉහළින්ම අගය කලහැකි නිර්මාණයක් බව වාදයක් නැහැ. විශේෂයෙන් පසුබිම් සංගීතය, කැමරාකෝණ, කතාව ගලායෑම මේ හැම ආකරයෙන්ම සිනමාරූපී බව හොඳින්ම පවත්වාගෙන තිබෙනවා. මේක Martin Scorsese ගේ චිත්‍රපටයක් බව කීම හොඳටම ප්‍රමාණවත් මං හිතන්නෙ. අපේ රට ඇතුලෙ ආගමික ශාස්තෘ වරයෙකුගෙ චරිතය අරන් මෙවැනි නිර්මාණයක් කළොත් සැකයක් නෑ, ඒ නිර්මාණකරුවන්ට නතර වෙන්න සිද්ධවෙන්නෙ හිරේ විලංගුවෙ වැටිල. ඉදිරියටත් මේ නිදහස අහුරන තත්ත්වය ලිහිල් වෙන බවක් නම් පෙනෙන මානෙක නෑ. ඒක කණගාටුවට කරුණක්. යම් නිර්මාණයක් කලා කෘතියක් පමණක් බවත්, තමන් ගෙ ආගමික විශ්වාසයන් රිදවූ පමණින් එය වාරණය කිරීම ප්‍රකාශනයේ නිදහසට වැට බැඳීම බවත් නිදහස වෙනුවට විලංගු ම ඉල්ලා හිටින මේ සමාජය කවදා තේරුම් ගනීවිද කියන ප්‍රශ්නාර්ථයක් පමණයි අවසානෙ ඉතුරු වෙන්නෙ.














Monday, December 2, 2019

පුංචි දිය කඩිති


නෙළුම් මහනෙල් ඕලු
හැරිලවත් බලන්නැති
දියකාවුන් කොකුන් සේරුන්
පළාතක යන්නැති
කෙකටියා කුමුදු කොඳ
කොයි පාට දැයි දන්නැති
පුංචි දිය කඩිති වල
අර බලන්න
මහ රෑට
බබළනා හැටි
දහස් ගණනක් සිහින් තරු එළි..



Friday, November 29, 2019

Whats eating Gilbert Grape (1993)

මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් තවත් කෙනෙකුට සමාන වෙන්නෙ නෑ. උස, මිටි, මහත කම් වල ඉඳන් ගති පැවතුම්, ජාති ආගම්, භාෂා, සංස්කෘති මේ ආදි වශයෙන් මිනිස්සු කෙනෙකුට කෙනෙක් අද්විතීයයි. නමුත් පොදු සමාජය මේ වෙනස්කම් බාරගන්නෙ කොහොමද ? කෙනෙකුගෙ යම් සුවිශේෂ ස්වභාවයකට අපහාසයෙන් උපහාසයෙන් කොහෙවත් නැති අමුතු සතෙකුගෙ බැල්මෙන් සංග්‍රහ ලැබීමයි බොහෝවිට දකින්න ලැබෙන්නෙ. ඉතින් ඔවුන් පොදු සමාජයෙන් ඈත් වීම නැත්නම් සමාජය ඇතුලෙ නොයෙක් අකරතැබ්බයන්ට ලක්වීම බොහෝ විට නොවැලැක්විය හැකියි. ඇමරිකාවේ තරමක් ගම්බද ප්‍රදේශයක මේ වගේ අමුතුම ආකාරයේ සාමාජිකයන් දෙදෙනෙක් ඉන්නා පවුලක කතාවක් Whats eating Gilbert Grape.

Gilbert කුඩා වෙළෙඳ සැලක සේවය කරන තරුණයෙක්. පියා අහිමි වුණ ඔහු ගෙ පවුල මවත් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරයෙක්ගෙනුත් සමන්විතයි. මේ මව අසාමාන්‍ය ශරීර ස්වභාවයක් ගන්න ගැහැණියක්. ඇය රාත්තල් 500 ක් පමණ බරයි. ඇය අවුරුදු ගණනාවකින් නිවසෙන් පිටවෙලා නෑ. ඇගේ අසාමාන්‍ය ස්වරූපය දැක්ක ගමන් ප්‍රදර්ශන භාන්ඩයක් දැක්ක වගේ මිනිසුන් වට වීම මීට හේතුවක්. පවුලේ බාල සහෝදරයා Arnie යම් මානසික ආබාධයකින් පෙලෙන්නෙක්. වයස 18 ට කිට්ටු වුණත් ඔහු හැසිරෙන්නෙ කුඩා ළමයෙක් වගේ. Arnie ව රැක බලාගන්න Gilbert ට සෑහෙන වෙහෙසක් දරන්න සිදුවෙනව. ඔහු තමන්ගෙ වැඩ කටයුතු පවා කැප කරමින් තමන්ගෙ සහෝදරයා ගැන හොයාබලනව. මේ අතරෙ තැනින් තැන සංචාරය කරමින් රටපුරා සැරිසරන පවුලක් ඔවුන්ගේ ගමට එනව. ඒ අතර එක්තරා තරුණ ගැහැණු ළමයෙක් සහ Gilbert අතරෙ යම් මිතුදමක් ඇතිවෙනව. 

Gilbert ඔහුගේ පවුල විශේෂයෙන් Arnie සහ ඔවුන්ගේ ගම් ප්‍රදේශයේ මිතුරන් අතරෙ ගලායන මේ කතාව ඇතුලෙ ක්‍රේන්ද්‍රීය වුණ අත්දැකීමක් දකින්න ලැබෙන්නෙ නෑ. බොහොමයක් දේවල් එදිනෙදා ජීවිතේ අපිටත් මුහුණදීමට සිදුවන දේවල්. මේ අතිශය සාමාන්‍ය වගේ පෙනෙන සහ නිශ්චිත අරමුණකින් තොරවුණු ආකාරයට පෙනෙන සිදුවීම් මාලාව නරඹන්නාගේ සිත් ඇදගන්න අයුරින් ඉදිරිපත් කර තිබෙනව. ඒ රූප පෙළ එක්ක ඇහෙන පසුබිම් සංගීතය හිත උණුහුමකින් පුරවරනව. ඒ Feel good හැඟීම මුල් දර්ශනයත් අවසන් දර්ශනයත් සම්බන්ධ කරමින් චිත්‍රපටය පුරාම නොඅඩුවම විඳඟන්න පුලුවන්.

මේ චිත්‍රපටයෙ සුවිශේෂීම කාරණාව අද හොළිවුඩයේ ඉහළින්ම වැජඹෙන තරු දෙකක් වුණ Johnny Depp සහ Leonardo Dicaprio සිනමාවට පිවිසුණු මුල් යුගයේ රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් වීම. මේ දෙදෙනාගේ නව යෞවන ස්වරූපය මේ චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන්. ඒ වෙද්දි අවුරුදු 19 ක තරුණයෙක් වුණ Leo ගේ රංගන කුසලතාව මේ සිනමාපටයෙ හොඳින්ම මතුවී තිබෙනවා. ඉන්පස්සෙ ඔහු හොලිවුඩයේ බොහෝමයක් සිනමාකරුවන්ගෙ අවධානය දිනාගන්නෙ මේ චිත්‍රපටයෙ ඔහු පෙන්නුම් කළ ප්‍රතිභාව හේතුවෙනුයි. ඔහු මේ රඟපෑම වෙනුවෙන් ඔස්කා සම්මානය සඳහා නිර්දේශය ලැබීම පුදුමයක් නෙමේ.

අතිශය සාමාන්‍ය සිද්ධිදාමයක වුණත් අපි නොහිතන පැත්තක් මතු කරදෙන චිත්‍රපටයක් Whats eating Gilbert Grape. මේ සුවිශේෂ අනෙකා ගැන අපේ ආකල්පයන් ඔවුන්ට කොයිතරම් බලපෑමක් කරන්න පුලුවන්ද කියන කාරණාව මේ චිත්‍රපටයෙන් දැකගත හැකියි. මූලිකවම එක තේමාවක් ඉස්මතු වෙන ආකාරයෙන් ගොඩනැගූ චිත්‍රපටයක් විදිහට හඳුනාගන්න බැරි වුණත් කලින් කලින් කිවු කාරණා ඉතා සියුම්ව සහ සංවේදීව මේ කතාවේ මුහු වී ඇති බව නිරීක්ෂණය කළ හැකියි. Johny සහ Leo ගේ රසිකයන්ට පමණක් නොවෙයි. ඕනෑම කෙනෙකුට මේක බොහොම සුන්දර, අපූරු සිනමා අත්දැකීමක් වේවි.





Arnie Grape (DiCaprio)



Gilbert Grape (Johnny Depp)





Grape Family


Wednesday, November 27, 2019

දැන් මුණගැසෙන අය

තනිවූ වෙලාවක
ඉසියුම් තිත්ත පැණි රසක් සමග
බිඳෙන් බිඳ තොල ගෑ හැකි
රතු වයින් මෙනි
පෙම්වතියන් පැරණි.

සැර මධුවිත මෙන්‍ ය
දැන් දැන් මුණගැසෙන අය
උගුර කට දවන 
හිස රිදුම් ඇතිවන
හොඳ කටගැස්මකුත් නැති නම්
රසකුත් නොවන
පහුවදාට
අපරාදෙ යැයි සිතෙන...




Monday, November 25, 2019

You Were Never Really Here (2017)


"මිනිහෙක් ඇත්තටම ජීවත් වෙන්න පටන්ගන්න නම් ඔහු කීපවතාවක්ම මැරෙන්න ඕන" ... මේක Charles Bukowsky ගේ කියමනක්. මේ කියමන අපිට නොයෙක් ආකාරයට අරුත්ගන්නවන්න පුලුවන්. හරියට දළඹුවෙක් කෝෂගතව ඉඳල තමන්ගෙ දළඹු ජීවිතෙන් මැරිල සමනලයෙක් විදිහට නැවත උපදිනව වගේ. මලක පෙති ගිලිහිලා ඵලයක් විදිහට නැවත හට ගන්නවා වගේ. නැත්නම් කෙනෙක් ජීවිතේ ලබන අන්ත දුක් ගැහැට මතින් ජීවිතේ ගැන යම් අවබෝධයක් ලබනව වගේ දෙයක්. Jonathan Ames නම් ලේඛකයා ගේ You were never really here කෙටි නවකතාව ඇසුරෙන් නිපදවෙන මේ නමින්ම යුත් චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය Joe කිහිප විටක් මරණයේ දොරකඩටම ගිහින් එක වතාවක දි අලුත් ජීවිතයකට නැවත උපදීමේ සංසිද්ධියත් මේ අදහස එක්ක සමපාත කරගන්න පුලුවන්.

Joe සියදිවි නසාගන්න උත්සහ කල වාර ගණන නම් බොහෝමයි. නොයෙක් විධික්‍රම අනුගමනය කළත් ඒ හැම වතාවකම ඔහු අසාර්ථක වෙනව. ඔහුට අවශ්‍යයි මේ ජීවිතයෙන් පළායන්න. නමුත් ඔහුට එය කළ නොහැකියි.  Joe, PTSD තත්ත්වයෙන් පීඩා විඳින්නෙක්. PTSD (Post traumatic stress disorder) කියන්නෙ යුධ පිටියෙ බිහිසුණු අත්දැකීමකට මුහුණදීමෙන් , ලංගික අපචාරයකට ලක්වීමෙන් නැත්නම් කවරආකාරයෙන් හෝ බියජනක අත්දැකීමකට මුුහුණ දුන් අයෙක් තුළ ඇතිවන මානසික අසමතුලිත තාවයක්. ඔවුන් අර බියජනක අත්දැකීමේ කම්පනය සිතිවිලි, මතකයන්, සිහින, ඔස්සේ නැවත නැවත සිහිකරමින් එයින් පීඩා විඳිනව. Joe කුඩා කාලයේ ඔහුගේ හිත්පිත් නැති පියා මවට වධදෙන ආකාරය නැරඹීමෙන් ලැබූ අත්දැකීම්, යුද සෙබළෙක් විදිහට යුධ බිමේ ලැබු ලැබූ අත්දැකීම් යන මේ දේවල් සිහිපත් වීමෙන්  Joe  නිතර නිතර භීතියටත් සංත්‍රාසයටත් පත්වෙනව. ඔහු එක්තරා ආකාරයක තමන්ගේ ඇතුළු මනස තුලම ජීවත් වන මිනිසෙක්. බාහිර සමාජය තුල ඔහු නොපවතින්නෙක්  You were never really here....

Joe කුලී ඝාතකයෙකුට සමානයි. ඔහු වැඩ කරන්නෙ පුද්ගලික රහස් පරීක්ෂකයෙකු ලඟ. නීතියේ රැහැනට පිටින් ඔහුගේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට භාර වෙන්නෙ Joe ට. එක්තරා දේශපාලකයෙකුගෙ නව යොවුන් දියණිය Nina පැහැරගන්නා කණ්ඩායමක් ඈව ගණකා වෘත්තියේ යොදවනව. ඈව ගලවා ගැනීම තමයි ඔහුට පැවරෙන කාර්ය. නමුත් මෙය ඔහුගෙ පුරුදු ජීවන රටාව සහමුලින් වෙනස් කරනව. 

 You were never really here....  සවිස්තරාත්මක කතාවක් විදිහට ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ වෙනුවට ප්‍රෙහෙලිකාවක තැනින් තැන විසිරුණු කොටස් විදිහට වෙන් වුණ රූප රාමු අපි දකින්නෙ. මේ සියලු දේ ගලපාගෙන අවස්ථා සිද්ධි විවරණය කරගැනීම ප්‍රේක්ෂකයා තම මනස මෙහයෙවා කළ යුතු යි. මේ සිනමාපටයේ අධ්‍යක්ෂවරිය Lynne Ramsay  ගේ සිනමාපට මේ බොහෝවිට මේ ආකෘතියට සමාන බව වැඩිදුර හොයද්දි හදුනාගන්න පුලුවන්. 

 Joe තමන්ගේ මව සමගයි ජීවත් වෙන්නේ. ඔහු යම් ආකාරයක සතුටින් නිදහස්ව ඉන්න ආකාරය දකින්න පුලුවන් මේ මව සමග ගත කරන කාලය ඇතුලතදියි. නමුත් ඇගේ වියෝවත් එක්ක ඔහු සහමුලින් බිඳ වැටෙනව. ජීවිතය එක්ක ගැටගහල තිබ්බ අවසන් හුයත් ගිලිහී ගිය මොහොතෙ Nina ගේ ආගමනයෙන් නැවත මරණය අතහැර ඔහු ජීවිතය වෙතම පනිනව. තමන්ගේ පැවැත්මට අර්ථයක් ඇති බව ඔහු Nina තුළින් දකිනට. Joe නමින් පුද්ලයෙක් ඇත්තටම පවතිනවද කියන කාරණය සිනමාපටය ඇතුලෙ ඉතාම සිනමාරූපි භාෂාවකින් නැවත ප්‍රශ්න කරනව.  ඔහු ජීවත් වුණත් නොවුණා හා සමානයි. කිසි කෙනෙකුට ඔහු නොසිටියා කියා ගැටලුවක් වෙන්නෙ නෑ. සමාජය ඇතුලෙ නිශ්චිතවම ඔහු ස්ථානගත වෙන තැනක් නෑ.  කුඩා කළත් ඉන් පසුවත් ලැබූ අප්‍රසන්න අත්දෑකීම් එක්ක ඔහු පවතින්නේ ..ඇයි මම ජීවත් වෙන්නෙ...කියන අර්බුදය ඇතුලෙ..ඔහුට අවශ්‍යයි මේ පැවැත්මේ කෙළවරක් දකින්න... ඒත් ජීවිතය අතහරින සැණින් ඔහු නැවත අල්ලා ගන්නේ ජීවිතය මයි. 

Joe  ගේ චරිතය නිරූපනය කරන්නෙ  ජෝකර් චිත්රපටය එක්ක බොහෝ දෙනා හදුනා ගත් Joaquin Phoenix. Joker ට කලින් ඔහු රඟපෑ සිනමාපටය තමා මේ. Joe සහ Joker කොයිතරම් හොඳින් එකිනෙකා සමග ගැලපෙනවද කියල චිත්‍රපටය නරඹන කෙනෙකුට වටහාගන්න හැකිවේවි. මේ දෙදෙනාම එක්තරා ආකාරයක අනන්‍යතා අර්බුදයකින් පෙළෙන චරිත. Joker සමාජයෙනුත් Joe පවුල තුලින් සහ යුධ බිමෙනුත් එල්ලවෙන පීඩනය නිසා තමන්ගෙ ජීවන පැවැත්ම සහමුලින් කණපිට පෙරලගෙන "වෙනත් කෙනෙක්" බවට පරිවර්තනය වූ දෙදෙනෙක්. කෙහොම නමුත් Phoenix අද්විතීය ගණයේ රංගනයක යෙදෙමින් මානසික අසමතුලිත තාවයෙන් පෙළෙන හුදෙකලා මිනිසා ගේ චරිතය ඉතාම හොඳින් නිරූපණය කරනව.

සාපේක්ෂව කුඩා ධාවන කාලයක් ඇතුලෙ වුණත් කතාවක් ස්වරූපයෙන් මිදිල "ප්‍රෙහේලිකාමය" ආකෘතියකින් ඉදිරිපත් වෙන නිසා මේ චිත්‍රපටය යම් වෙහෙසක් දරා වටහාගත යුතු එකක්. ඒවගේම ඉතාම සිනමාරූපීව සමහර අවස්ථා සිද්ධි නිරූපණය වෙන නිසා ඒ පිළිබඳ යම් අවබෝධයක් තිබීම අවශ්‍යයි. අමුතුම ආකාරයේ මනුෂ්‍යයකුගේ මනසට එබී බැලීමක්, ඔහුගේ ජීවිත අත්දැකීම සමග ඒකාත්මික වීමක් හැටියට you were never really here චිත්‍රපටය හඳුන්වාදිය හැකියි