Monday, December 9, 2019

සියොත් මිතුරේ..

මන්දාරමේ මීදුමේ
වැහි කළුවරෙන් බර ආකහේ
මග වරද්දාගෙන ඔහේ
පියා සරනා සියොත් මිතුරේ..

ළයේ සුසුමන් මුසුව
පද අරුත් අතරේ
ඔබෙ මුවින් නැගෙනා ගීය 
මට කියවාගත හැකියි...

සිතිජය ඉමෙන් මෙපිට
නැත මග කියන තරුවකුත් ඔබට
නොමැත අන් කිසිවක්
සිනිදු පෙඳ අවුස්සා
සීතලෙන් ගත පෙළන
බොල් සුළඟක් මිසක..

නොදන්නා නමුදු ඔබ
හිඳිමි මම මෙතැන
පැටලී වෙලී 
ඔබේ දසුනත් සමඟ..

උරුමව ඇතත් ඔබ හට අහස් කුස
මට පොලෝ ගැබ
වැටහෙන අරුම කිම මට ඔබේ හද බස..
මීදුමාරේ අඳුරේ දිනෙක
ඔබ සැඟව යනු පෙර
පියා සලපන් ඔබෙ ගීය ගයපන්
නොගොස් ඇස් මානයෙන් බෝ දුර..



3 comments: