Monday, January 24, 2022

A Hero (2021)

"පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ලෝකයමයි ඔබට එරෙහි වී නැගිටින්නේ"

මේ ඩිජිටල් යුගයේ කෙනෙකුට කරන්න අමාරුම දේ තමා මාධ්‍ය ඇතුළෙ කැපීපෙනෙන චරිතයක් නොවී ඉන්න එක කියල කවුදෝ කියල තියනව. ලෝකෙ පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියන සමාජ මාධ්‍ය එක්ක කෙනෙකුට වීරයෙක් වෙන්න පුලුවන් හරි ඉක්මණින්ම. සමාජෙ හැදිල තියන වීර ප්‍රතිරූප කැඩිල බිඳිල කුඩු පට්ටම් වෙලා යන එකත් ඉක්මනින්ම වෙන්න පුලුවන් ඒ වගේම. කෙනෙකුට ඕන විදිහට කතාවක් හදල ප්‍රතිරූප ගොඩනඟාගන්න පුලුවන්. ෆේස්බුක් ඇතුළෙ නම් ඒවට ලයික් ලැබෙනව ඒව ශෙයාවෙනව. එයින් පිටත සමාජෙ කතා කරන මාතෘකා බවට පත්වෙනව. නමුත් පොඩි දෙයක් එහාමෙහා වුණු ගමන් අර හැමදේම ආයෙ කණපිට ගැහෙනව. අර වීරය එක සැණෙන් දුෂ්ටය වෙලා ඉවරයි. මේවට උදාහරණ ඕන තරම් සමාජ මාධ්‍ය වල දිවා රෑ ඉන්න ඔබ මම දැකල ඇති. මනුස්සයෙක් එහෙම දෙයක් කරන්න පෙළඹෙන්නෙ ඇයි. ඔහුගෙ පසුබිම් කොයි වගේ එකක්ද කියන කාරණය ගැන වඩා සමීප කියවීමක් ඇතුළත් වෙන කතාපුවතක් තමයිA Hero චිත්‍රපටයෙ අන්තර්ගතය වෙන්නෙ. 

A Hero සම්න්ධයෙන් අවධානයට ලක්වෙන පළමුවෙනි කාරණය තමා මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂවරයා Asgar Farhadi වීම. ලෝක සිනමාව ගැන උනන්දු කෙනෙක්නම් අනිවාර්යයෙන් ඔබ ඔහු ගැන අසාඇති. ඉරාන සිනමාව ලෝක මට්ටමට ඔසවා තබන්න Kiarostami වැනි අයගෙන් පසුව මෑත කාලීනව වැඩිම දායකත්වයක් දුන්න කෙනෙක් ඔහු. සාමාන්‍යයෙන් කලාකරුවෙකුගෙ හැම නිර්මාණයක්ම අග්‍රගණ්‍ය කලාකෘති බවට පත්වෙන්නෙ සෑහෙන කලාතුරකින්.  Farhadi කියන්නෙ එහෙම දුර්ලභ ගණයේ නිර්මාණ කරුවෙක්. ඔහුගේ A separation, About Elly, The Salesman වගේ චිත්‍රපටි කෙනෙක් ජීවිතේ අතුලෙ අනිවාර්යයෙන් නරඹා තියෙන්න ඕන විදිහට නම් කල හැකි නිර්මාණ. 

Farhadi ගෙ චිත්‍රපටවල දැකගන්න පුලුවන් පොදු කාරණාව ඉරාන සමාජෙ ඇති හැබෑම ප්‍රශ්න බොහෝම යථාර්ථවාදීව පෙන්වාදීම. මේ යථාර්ථවාදි ආකෘතිය බොහොම අපූරුවට තමන්ගෙ සිනමාපට ඇතුළෙ භාවිතා කරන කෙනෙක් Farhadi. ඔහුගේ චිත්‍රපට ඇතුලෙ, චරිත සහ සිදුවීම් අතර මතුකරන කතාවේ කේන්ද්‍රීය ගැටුම ඉතාම ප්‍රබලව ඔහු ඉදිරිපත් කරනව. එක මොහොතක් ඇස් ඉවතට ගන්න නොහිතෙන ආකාරයේ කුතුහලයක් යම් කතාපුවතක් ඇසුරෙන් ඔහු ගොඩනගනව. A hero ටත් මේ කතාව වලංගුයි. A hero 2021 cannes සම්මාන උළලේ Grand Prix සම්මානයෙන් පිදුම් ලබනව වගේම 2022 ඔස්කාර් සම්මාන උළලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපට අතරේ ඉරාන නියෝජනය විදිහට A Hero තෝරාගෙන තිබෙනව. Farhadi 2012 වසරේ A Separation සහ 2017 The Salesman වෙනුවෙන් හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගන්න සමත්ව තිබෙනව. මේ අවුරුද්දේ තමන්ගේ තුන්වෙනි ඔස්කාර් සම්මානය දිනාගන්න Farhadi ට හැකියාව ලැබෙයි ද..



No comments:

Post a Comment