Tuesday, January 11, 2022

නිධන් දූපතට යන පාර වැරදිණ....

අවසාන තරු තිතද
නිවී ගිය පසුව
නිධන් දූපතට යන
පාර වැරදිණ...

සිතියමේ කිසි තැනක
නමක්වත් නොතිබුණ
කුණාටු අඩවියකට
රුවල් හැරවිණ...

ඉන්පසුව
මාරුතය පැමිණ
වහා වහා සිය කටයුතු ආරම්භ කළේය..
මුලින් වියරු සුළඟ හා
තදින් පොරබැදුවද
බඳින් සිදුරුවූ නෞකාව
ශාන්තව ගොස් පතුලේ නැවතිණ...

දැන් එතැන
රන් පාට මාළු පිහිනන
වෛවර්ණ කොරල්පර සැදි
විසිතුරු අඩවියකි...

බොහෝ අය
සැතපුම් ගණන් කිමිදි
කැමරාද මානා මෙහි පැමිණ
රූපගත කරගෙන යති..

දිරාගිය බඳේ
එල්ලුණු මුතු බෙල්ලෙක් දෙන්නෙක්
කෙනෙක් ගලවාගෙන යති..

තවත් අය එති
"පේන විදිහට 
නිධානයක් කොතන හරි ඇති"
කියා හාරා අවුස්සා
ඉපැරණි පතුල වනසා
හිස් අතින් ආපසු යති....



No comments:

Post a Comment