Thursday, October 12, 2017

නින්ද විසින් වර්ජනය කරනු ලැබූ රාත්‍රියක හුදකලාව.....


අඳුරු සළු වියා දස අත වට කෙරුව
පඳුරු දම දමා තනිකම පලදැරුව
පුරුදු ගීයකින් අහුලාගෙන තනුව...
මිතුරු කුරුල්ලන් කොහෙදෝ ගී ගැයුව

එළියට ඇස පියා අහසේ රන් තරුව
අඳුරම ගොඩ ගැසෙයි හිත තුල කළු කළුව
වෙණ තත මුදා ගීපද තෝරනු බැරුව
රැහැයියනේ උඹලත් ඇයි අද ගොළුව

නින්ද පවා අතහැර ගිහින් අත මානේ
කන්දක් ළයේ තෙරපෙයි සුසුමක් ගානේ
අන්දාතබා විසිතුරු සළුපිලි හීනේ
මන්ද නුඹත් තනිකර මා තනියානේ

දහවල් පිපුණ නෙළුමක රොන් සුවඳ මැකී
විල්දිය වැලඳ සඳ කඳුලැල් හෙලන හැටී
සුළඟ සෙමෙන් තරුවක පා ළකුණු සිඹියි
මැදියම් රැයට දහවල් හිරු කිරණ නැතී

බෙදාගත් කඳුළු බිඳුවක සිසිල දරන්
මුලාවක් නැතිව තුන් යම අඳුර මකන්
හිනාවෙන සිහින් එළියක ළකුණු අරන්
කණාමැදිරියෝ උඹ ඔතනම ඉඳපන්..





7 comments:

  1. මෙහෙමයි...

    දැන් මට කියන්නකෝ... කරුණා කරලා.... දැන්.... මම ඊයේ නිදිවර්ජිතව ඉන්නකොට හිතපුවා අද ඇවිත් බලනකොට ඔබතුමා බ්ලොග් එකේ දාල තියෙනවා දැක්කහම මට හිතෙන දේ මොකද්ද කියල????????????

    සැක් ඉතරක්.. මට ලියාගන්න බැරි හින්දා ඉතින් ඉරිසියා කරන්න තමයි වෙන්නේ

    Good poem

    ReplyDelete
    Replies
    1. එකව වෙලාවට එකම දේවල් හිතෙන එක නම් මම දන්නෑ. ටෙලිපති වගේ මොකක්හරිද
      ..උත්සහ කරල බලමු ලියන්න... :)

      Thanx alot!

      ප.ලි. මේ පැත්තට එන්න ලැබෙන්නෑ දැන් කලින් වගේ :(

      Delete
    2. හි හි හි

      ඒ මොකෝ? මොනාහරි කරලා කවියක් තලලා යන්නවත් එන්න අප්පා

      Delete
    3. මේ අන්තර්ජාලෙ ජංජාලයක් වෙලානෙ...පුළුවන් විදිහට ඒනව කොහොම හරි....

      Delete
  2. උළමා හඬයි ගේ අසබඩ තුරු වදුලේ
    රිලවා වගෙයි හිත දුවනව හැම පැත්තේ
    තෙමුනා නෙවෙයි වැස්සට ඇඳ ගෙයි මුල්ලේ
    කවදා නුඹ ඒද ආයෙත් මේ පැත්තේ.....

    ReplyDelete
    Replies
    1. ගහට වැල වගේ තනිකම දැනෙන්නේ
      රැයට පිනි වගේ කඳුළුයි හැලෙන්නේ
      වෙරළු මල් සුවඳ ටික ටික දැනෙන්නේ
      කවිය පමණි තනියට ලඟ හිඳින්නේ

      Delete