ඇණ ගැසූ දා පටන් පුත්‍රයා
පල්ලි යන්නී ඈ හැමදාම
කුරුස සුරුවම පාමුල
නතර වන්නී මඳක් නිහඬව...
පැටි වියේ බොළඳ බස
මතකයට නැගෙනවා
හමන සුළඟේ පවා
කිරි සුවඳ දැනෙනවා
රුදුරු හෙළි තුඩක් විත්
ළය මැද්දෙ ඇනෙනවා
කඳුළු ඇස් බොඳ කරන්
තවම මඟ බලනවා...
පල්ලියේ වැලි පාරෙ
දෙපා යුග ගෙවෙනවා
කස පහර වැදුණ පිට
සිහිනෙනුත් දකිනවා
ගොල්ගොතාවට යලිත්
දිව යන්න හිතෙනවා
ලොවට රහසේ නිතර
ඈ කඳුළු පිසිනවා...
එදා වාගෙම අදත්
රෑ දවල් ගෙවෙනවා
පුරුදු විදිහට ඔහේ
ජීවිතේ ඇදෙනවා
කොතන හරි හිස්බවක්
තිබෙන වග දැනෙනවා
පුතා සිහිකර යලිත්
දෙවියන්ට යදිනවා
නිහඬ කන්නලව්වක
දුක් කඳුල නිමාකර
අඳුරු වුණු පැල්පතට
උදා කර රිදී ඉර
විවර කරගෙන යලිත්
වඩු මඩුවෙ ලෑලි දොර
අනේ මේ නත්තලටවත්
පුතා ඒවිද ගෙදර..
දුක හිතෙන කවියක්. ගොල්ගොතාව කියන්නේ කොහේද??
ReplyDeleteජේසුස් වහන්සේ කුරුසයේ ඇණගැසූ කන්ද... ගොල්ගොතාව..
Delete