Thursday, June 14, 2018

පටලැවිල්ල - Coherence - (2013)


1887 අවුරුද්දෙ ඔස්ට්‍රියවේ උපදින අර්වින් ස්ක්‍රෝඩින්ගර් කියන්නෙ ලෝක පිළිගත්ත භෞතික  විද්‍යාඥයෙක්. ඔහු 1933 අවුරුද්දෙ නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලබනව. විශේෂයෙන් ක්වන්ටම් භෞතික විද්‍යා ක්ශේත්‍රයේ ඔහු ඉදිපත් කළ මතවාද ඒ විෂයෙ දියුණුවට සෑහෙන බලපෑමක් ඇති කර තියනව.  ස්ක්‍රෝඩින්ගර් බළලා ගේ කල්පිත පරික්ෂණය ඔහු ඉදිරිපත් කරන්නෙ වර්ෂ 1935 දි. එතනදි පණ තියන බළලෙක්, විකිරණතාව මනින ගයිගර් ගණකයක්, වස බඳුනක්, මිටියක් සහ විකිරණ ද්‍රව්‍යක් යකඩ පෙට්ටියක් ඇතුළට දමල මුද්‍රා තබනව. දැන් පෙට්ටිය ඇතුලෙ වෙන්නෙ මොනවද කියල පිටත කාටවත් දැනගන්න පුලුවන් කමක් නෑ. විකරණ ද්‍රව්‍ය ක්ෂයවෙලා ඒ බලපෑමෙන් මිටිය චලනය වෙලා එයින් වස බදුන විවෘත වෙලා බළලා මිය යන්න පුලුවන්. ඒත් විකිරණ ද්‍රව්‍යයෙ ක්‍රියාකාරිත්වය අවිනිශ්චිත නිසා ඒ ක්‍රියාවලිය සිද්ද වෙන්න තියෙන්නෙ 50 ට 50 සම්භාවිතාවක්. පෙට්ටිය විවර කරලා ඇත්තටම වුනේ මොකක්ද කියල දැනගන්න තුරු බළලා ජීවත් වන සහ මිය ගිය යන අවස්ථාදෙකේම එකවර පවතින බව ඔහු කියනව. මොකද පරමාණුක තත්ත්වයෙන් බැලුවම එකම පරමාණුවක් විවිධ ස්වරූපයන්ගෙන් එකවර පවතින බව ඒ වෙනකොට හොයාගෙන තිබුණ හින්ද. Coherent චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ මේ අදහස පසුබිම් කරගෙන. අපි එකවර නමුත් එකිනෙකට වෙනස් ආකාරයේ යථාර්ථයන් කීපයක එකවර පවතිනව නම්  යම් විශේෂ තත්ත්වයක් යටතේ මේ යථාර්ථයන් එකිනෙක හුවමාරු වී ගියොත් මොනවගේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙයිද. පොඩ්ඩක් හිතන්න ගෙදර දොරෙන් ඔයා එළියට බහින්නෙ වෙනම යථාර්ථයකට මීටර් විස්සක් විතර ඇවිද ගියාම ඔයා ආයෙම දකිනව ආයෙත් ඔයාගෙම ගෙදර. පරිසරයත් අනිත් හැම  දෙයක්මත් එක සමානයි. ආපහු හැරිල ඔයාගෙ ගෙදර තිබුණ තැනට ආවම ඔයා දකින්නෙ තවත් යථාර්ථයක් වෙනස්ම තලයක. එතකොට ඔයා එලියට බැස්ස ගෙදර කොහෙද? ඇත්තටම දැන් ඔයා කවුද? කියවද්දිත් නිකම් ඔලුවට මොකකින් හරි ගැහුව වගේ දැනෙනව නම් චිත්‍රපටය  බලද්දි ඒ හැගීම ඊටත් වඩා තදින්ම දැනේවි.

කතාව ගලාගෙන යන්නෙ රාත්‍රී ආහාරවේලකට එකට එකතුවෙන පවුලේ හිතමිත්‍රයන් අට දෙනෙක් වටා. ඒ රාත්‍රිය වැඩිදෙනෙකුගෙ අවධානයට ලක් නොවුනත් සුවිශේෂ එකක්. මොකද ඒ රාත්‍රියෙ කාලාන්තරයකට පස්සෙ ධූමකේතුවක් පෘථිවියට දර්ශනය වෙන නිසා. ඉතින් මේ එකතුවීම මැද්දෙ නොයෙක් සාද කතා අතරෙ ධූමකේතුව ගැනත් කතාබහක් ඇතිවෙනව. චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය විදිහට අපි දකින Emily, ධූමකේතුවක් දර්ශනය වුණ හැම අවුරුද්දකම සිද්දවෙච්ච අපූරු සිදුවීම් විස්තර කරනව. මේ අතරෙ හැමෝගෙම ජංගම දුරකතන සම්බන්ධතා අක්‍රිය වෙලා තිරය මතුපිට ඉරිතැලිලා යනව. අන්තර්ජාල සම්බන්ධතා පවා අක්‍රීයයි.  මේ අතර විදුලිය විසන්ධි වෙනව. මුළු පළාතම විදුලිය නැතිව අඳුරේ ගිලිල තිබ්බත් ගෙවල් දෙකකට එහායින් එක ගෙදරකට විතරක් විදුලිය ඇතිබව ඒ අය දකිනව. දෙන්නෙක් මේ ගැන හොයාබලන්න ඒ ගෙදරට පිටත්වෙලා යනව.  අමුතු දේවල් සිද්දවෙන්න පටන්ගන්නෙ ඉන්පස්සෙ.

මේ තිරපිටපත ලියන්න අවුරුද්දක විතර කාලයක් වැයවෙලා තිබුණත් මුළු චිත්‍රපටයම රූගත කරන්න ගතවෙලා තියෙන්න රාත්‍රීන් පහයි. එකම පසුබිමක මුලු චිත්‍රපටයම ගලායන නිසා චිත්‍රපටය රූගත කරල තියෙන්නෙ අද්‍යක්ශවරයාගෙ ගෙදර. මේ චිත්‍රපටයෙ නලු නිලියන් රංගනයෙ යෙදෙන්නෙ කතාව ගැන අදහසක් නැතුව බව තමා සඳහන් වෙන්නෙ. ඒ වෙනුවට ඔවුන්ට දවසකට නිශ්චිත දෙබස් ඛන්ඩ ගණනාවත් ඒ අතරට ඔවුන් අතින් එකතුවෙන දේත් අරගෙන තමා චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ. ඒ අවස්තාවන් පුලුවන් තරම් ස්වභාවිකව නිර්මාණය කර ගැනීමේ අරමුණෙන් තමා අද්‍යක්ශවරයා ඒ ආකාරයකට රූපගතකිරීම සැලසුම් කර තියෙන්නෙ. ඉතා අඩු වියදමකින් නැවුම් කතා සංකල්පයකින් කොයිතරම් හොඳ නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන කාරණය ඔප්පු කර පෙන්වන නිර්මාණයක් තමා Coherence කියන්නෙ.

මේ අවකාශය ඇතුලෙ යථාර්ථයන් හුවමාරු වෙන සිද්ධි ගැන මට කියවන්න ලැබී තියනව ඒත් ඒවයෙ නිවැරදිතාව ගැන 100% ක් තහවුරු කරන්න බැහැ. වතාවක් එක මනුස්සයෙක් හුරු පුරුදු වෙළඳසැලකට ගොඩවැදුණාම ඔහුට දකින්න ලැබිල තියෙන්නෙ 19 වෙනි සියවසේ පරිසරයක්. ආයෙමත් එළියට ඇවිත් බලනකොට සුපුරුදු වෙළඳසැලම එතන තිබිල තියනව. බැරිවෙලාවත් ඔයාට එහෙම දෙයක් වුණොත්. ගමනක් ගිහින් ගෙදර එනකොට ගෙදර එතැන නැත්තම් තියෙන්නෙ වෙනත් සියවසකට අයිති වෙනත් ගෙයක් නම්.  ?





6 comments: