Tuesday, June 12, 2018

Ottal - 2014 (භාෂාව මලයාලම්)


සමහර වෙලාවට චිත්‍රපටියක එහෙම නැත්තම් නවකතාවක ප්‍රධාන කතාවට 
ඒතරම් සම්බන්ධ නොවෙන අවශේෂ සිදුවීම්, චරිත අපිට බොහොම තදින් දැනෙන්න 
පටන්ගන්නව. ඒව අපිට වෙනම හිතන්න දොරවල් විවර කර දෙනව. කෘතියක ප්‍රධාන 
තේමාවට අමතරව හමුවෙන තවත් අතුරු පාරවල් වලින් හැරි හැරී අපි දිගටම ඒ කෘතිය 
දිගේ ගමන් කරනව. මෑතකදි නිර්මාණකල මලයාලම් චිත්‍රපටයක් වුණ Ottal බලද්දි 
මට එහෙම දෙයක් මුණගැහුණ.

චිත්‍රපටය ඇතුලෙ මේක ප්‍රධාන කතාවට ඒ තරම් බලපෑමක් ඇතිකරන සිද්ධියක් විදිහට 
අපි දකින්නෙ නෑ. ඒත් එක අතකින් අපිව යම් කම්පනයකට මේ සිද්ධිය සමත්වෙනව කියල 
මම හිතනව. කතාව මේකයි. චිත්‍රපටයෙ කතාව ගලායන්නෙ එක ගඟක් පසුබිම් කරගෙන. 
මේ ගඟේ මාලු අල්ලන ඔරු පාරු, නොයෙක් විදිහෙ බෝට්ටු විශාල ප්‍රමාණයක් එහා මෙහා 
යනව. මේ ගඟේ එක තොටුපළක තියනව උස කණුවක්. එක මනුස්සයෙක් මේ කණුව 
උඩ හැමදාම හවසට ලාම්පුවක් පත්තු කර තියනව. ඔහු මේක කාලාන්තරයක් තිස්සෙ කරගෙන 
එන දෙයක්. ඒක මුදල් වත් වෙන කිසිම දෙයක් වත් බලාපොරොත්තුවෙන් කරන දෙයක් 
නොවෙයි. ඒ ක්‍රියාවෙ අරමුණ තමා රෑට ගඟේ යන බෝට්ටු වලට පාර හොයාගන්න උදව් වීම. 
අද කාලෙ නම් ලාම්පුවක අවශ්‍යතාව ඒ තරම් තදින්ම දැනෙන්නෙ නෑ මොකද විදුලි ආලෝකය 
තියන නිසා. ඒත් අර මනුස්සයා වැඩේ නවත්තන්නෙ නෑ. කාට හරි මේ පහන් එළිය උදව්වක් 
වේවි කියල ඔහු මේක දිගටම කරගෙන යනව.

මේ සිද්ධිය, අපිව වෙනත් මානයකට අරගෙන යනව කියල මම හිතනව. අපේ 
ජීවිත දිහාම හැරිල බැලුවොතින්, අපි අඳුරේ ඉන්නකොට ආලෝකයක් වෙන පහන් එළි 
කොයිතරම් අපිට අපේ ජීවිත ඇතුලෙ මුණගැහෙනවද ..සමහට අපේ දෙමව්පියො වෙන්න 
පුලුවන්, නැත්තම් යාලු මිත්‍රයො වෙන්න පුලුවන්, කියවපු පොත පත වෙන්න පුලුවන්. කොයි 
අතට යන්නද, දැන් මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ඉද්දි ඒ පහන් එළි අපිට පාර 
පෙන්නා දෙනව. නැත්තම් මෙහෙම හිතුවොත්, අපි ඇත්තට මොනවද මේ ලෝකෙට දීල 
තියෙන්නෙ... අපිට පුලුවන් වෙලා තියනවද අන්ධකාරයෙදි ඒ පහන් ආලෝකය දල්වාතබන්න...
අපේ ජීවිත වලින් සමාජයට ලෝකෙට ඒ ආලෝකය විහිදෙනවද.. මේක අපිව වෙනම 
හිතන්න යොමුකර කාරණාවක්.

චිත්‍රපටය ගැන කියනව නම් මේක ඇන්ටන් චෙකොෆ් ගෙ "වන්කා" කියන කෙටි 
කතාවෙ ඉන්දියානු අනුවර්තනයක් විදිහට තමා හඳුන්වා දෙන්නෙ. ගඟක් ආශ්‍රිතව ජීවත් 
වෙන බොහොම දුප්පත් මහළු මනුස්සයෙක් සහ ඔහුගේ මුණුබුරා කුට්ටප්පායි වටා තමා කතාව 
ගෙතෙන්නෙ. කුට්ටප්පායි ට දෙමාපියන් නැහැ,  ඉන්න එකම ඥතියා තමන්ගෙ සීයා 
පමණයි. ඒ ලඟම ඉන්නව පෝසත් පවුලක්, ඒ පොසත් පවුලේ ඉන්න පොඩි දරුවා 
කුට්ටප්පායි ගේ හොඳම යාලුවෙක් වෙනව. දෙන්නාම එකම වයසේ වුණත් කුට්ටප්පායිට 
අනෙක් ළමයා වගේ ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න හැකියාවක් නෑ. ඒත් ඒ ළමයාගෙ 
ඉස්කෝලෙ පැවරුම් ඔක්කොම හදා දෙන්නෙ කුට්ටප්පායි, මොකද අලුත් දේවල් හදන්න 
අපූරු නිර්මාණශීලී හැකියාවක් එයාට තියන නිසා. එක දවසක් හිටිගමන් කුට්ටප්පායි ගෙ 
සීය අසනීප වෙනව. ඉන් එහාට කුට්ටප්පායි ගෙ ජීවිතේ කොහොම ගතවෙයි ද??

Ottal කියන්නෙ බොහොම සුන්දර පරිසරයක් පසුබිම් කරගත්ත චිත්‍රපටයක් ඒ සුන්දරත්වය 
මේ චිත්‍රපටයෙ අඩු නැතුව විඳින්න පුලුවන්. ඒත් ඒ පරිසරය ආශ්‍රය කරගත්ත මිනිස්සුන්ගෙ 
ජීවිත ඒ තරම්ම සුන්දර ද කියන ප්‍රශ්නය මතුවෙනව. Ottal  චිත්‍රපටය මට නම් හදවතට 
දැනෙන බොහොම සංවේදී සිනමා අත්දැකීමක් වුණා.





4 comments: