මතක තියාගන්න "තනිකම" සහ "හුදෙකලාව" කියන්නෙ එකෙනෙකට වෙනස් දේවල් දෙකක්..
ඔයට අවශ්‍යයි කවුරුහරි කෙනෙක් ඔයා ළඟින් ඉන්න. ඔයාව අගය කරන්න. ඔයාට වටිනා කමක් දෙන්න. එහෙම කවුරුත් ලඟ නැති වුණාම දැනන පීඩාව තමයි තනිකම කියන්නෙ. ඒක වේදනාවක්. දුකක්. හිස් බවක්. ඇයි එහෙම වෙන්නෙ? ඔයා බලාපොරොත්තු වෙනව කවුරු හරි කෙනෙක් හෝ පිරිසක් ඔයා ලඟින් ඉඳීවි කියල. ඒ බලාපොරොත්තු වීමයි වේදනාව ගේන්නෙ. ඒත් මිනිස්සු වශයෙන් තනිකම් දැනීම වරදක් කියන්න බෑ. සේකර පවා කියනවනෙ "දෙනෝදහසක් අතරමැද වුව මහා තනියක් මට දැනේ කියල". මිනිස් පැවැත්ම ඇතුලෙ කිසිකෙනෙකුට බෑ සියලු දෙයින් වෙන්වෙලා පවතින්න. එකිනෙකා සමඟ බැඳුනු සහ ඒ බැඳීම් මතින් පවතින පැවැත්මක් වෙනුවෙන් සහජයෙන්ම අපි නිමවෙලා තියෙන්නෙ. ඉතින් ඒ හින්ද තනිකම කියන්නෙ ඔයාට ජීවිතේ ඇතුළෙ මඟනොහැර අත්විඳින්න සිදුවෙන සංවේදනාවක් බව වටහ ගන්න.
ඒත් ඔයා තනි විය යුතු නැහැ. ඔයා ලඟ ඉන්න ඕන ඔයාගෙ හදවත හඳුනගත්ත කෙනෙක්. බයක්, සැකක් නැතුව ජීවිතය බෙදාගන්න පුලුවන් කෙනෙක්. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ජීවිතයට අවශ්‍ය බව බුදුහාමුදුරුවො පවා දේශනා කළා නෙ. උන්වහන්සේත් තමන්ගෙ දහම ඇතුළෙ එහෙම දේශනා කළේ ඒක ඒ තරම් ජීවිත පැවැත්මට අවශ්‍ය නිසා. ඇත්තටම ඔයාට අවශ්‍ය ඔයා වටා මහ පිරිසක් නොවේ. ඔයාව හරියට වටහ ගත්ත ටික දෙනෙක් හොඳටම ඇති. එහෙම කවුරුත් නැහැ කියල හිතෙනව නම් ආයෙත් බලන්න ඔයාගෙම ඇතුළාන්තය දිහා. සමීප සබඳතාවක් ඇතුලෙ ඔයා කොයිතරම් අවංකද, විවෘත ද කියන කාරණාව ඇතුලෙ පිළිතුරක් හොයාගන්න පුලුවන් වෙයි. ඒත් බොහොම වෙලාවට අපිව පීඩා කරගන්නෙ අපි විසින්ම යි. කෙනෙකුගෙ ඇතුළාන්තය හරියට 100% ක් නිවැරදිව තව කෙනෙකුට කවදාවත් දැනගන්න පුලුවන් කමක් නෑ නෙ. ඉතින් අර මග හැරන දේවල් ඇතුලෙ අපි අපිවම තනි කරගෙන පීඩා විඳිනව. ඒ නිසා ජීවිතය ඇතුලෙ තනිකමින් මුළුමනින්ම මිදෙන්න අපිට බෑ. ඒ වගේ තනිකම ඇතුලෙම, ඒ මත්තෙම අපිට පවතින්නත් බෑ. අඩුවශයෙන් අපිව වටහත් ටික දෙනෙක් හරි ඉන්න බව යි එකම සහනය වෙන්නෙ.
හුදෙකලාව කියන්නෙ සහමුලින්ම වෙනස් දෙයක්. තමන්ට කිසිදාක නොගැළපෙන ඒ නිසාම ඇතුලාන්ත සහනය නැතිකර දමන කෙනෙකුගෙන් කණ්ඩායමකින්, එහෙම නැත්නම් සමාජ වටපිටාවකින් ස්වකැමැත්තෙන්ම ඈත් වීම හුදෙකලාව වෙන්නෙ. හුදෙකලාව තනිකම නොවෙන්නෙ ඒක අවබෝධයක් ඇතුලෙ සිදුකරන දෙයක් නිසා. තමන්ට නොගැළපෙන තමන්ගෙ ලෝක දැක්මට පටහැනි පිරිසක් මැද්දෙ හරි හුදෙකලා වීම සහනයක්. මේ හුදෙකලාව කියන්නෙ භෞතික වශයෙන් ඈත් වීම නොවෙයි. භෞතිකව පවතිමින් මානසික සම්බන්ධතාවක් ඇතිකර නොගැනීම. ඒ නිසා හුදෙකලාව ඇතුලෙ අර පීඩාකාරී හිස් කම නැහැ.
අපි පොතක් කියවනකොට, සිනමාපටයක් බලනකොට සිදුවෙන්නෙ මේ හුදෙකලා වීම තමා. මේ හුදෙකලාව අපේ ඇතුළාන්තය අවදි කරනව. පීඩාව වෙනුවට පරිකල්පනය විකසිත වෙනව. අපි තුළම අපි නොදන්න කලාපයන් විවර කර දෙනව. සිතීම කියන දෙය තවත් තියුණු වෙනව. ඒක ඉතා මිහිරි අත්දැකීමක් වෙන්නෙ ඒක අවබෝධයක් ඇතුළෙ සිද්ද වෙන නිසා.
"කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා" මෙහෙම ලියන්නෙ රන්බණ්ඩා සෙනවිරත්න මහත්මය. ගීතය ලියවෙන්න බලපාන පසුබිම් කතාවෙන් වෙන් කරල අරගත්තම මේ හිස්කම, තනිකමෙන් පීඩාවිඳීම කොයිතරම් මිනිස් ජීවිතයට සමීප අත්දැකීමක් ද කියන කාරණය වටහාගත හැකියි. බොහෝ වෙලාවට අපිට බැහැ බාහිරයෙන් අපිට ලැබෙන බලපෑම කොයිවගේද කියල තීරණය කරන්න. ඒත් අපිට පුලුවන් අපි ඒක බාරගන්නෙ කොහොමද කියල තීරණය කරන්න. අපේ සිතුවිලි, ඇතුළ් මනස මෙහෙයවා ගන්න. ඒ නිසා තනිවීම වේදනාකාරී හිස් කමක් කර නොගෙන හුදෙකලාව අත්විඳින්න.
ඒ නිසා හුදෙකලා විය යුතු තැන තනි නොවී හුදෙකලා වෙන්න...
No comments:
Post a Comment