Monday, May 4, 2020

The God of small things

පොතක් කියන්නෙ වෙලාවකට මහ පුදුමාකාර දෙයක්. සිනමාපටයක් හරි ගීතයක් හරි අන්තර්ජාලය හරහා අරගෙන ඇහුවත් බැලුවත් ඒකත් එක්ක භෞතික වශයෙන් බැඳෙන්න අපිට ඉඩක් නෑ. නමුත් පොත ඊට වෙනස්. කවරයෙ ඉඳන් ඇතුලෙ අකුරු වල ෆොන්ට් එක, මුද්‍රිත පිටු වල සුවඳ මේ හැම දෙයක්ම අපිට පොත එක්ක සමීප මිත්‍ර සම්බන්ධතාවක් ඇති කරගන්න උදව් වෙනව. වැදගත්ම දේ පොතක අන්තර්ගතය. යම් සාහිත්‍යයමය ලියවිල්ලක නම් කියවන අතරවාරෙ අපිට චරිත මුණ ගැහෙන විවිධාකාර චරිත, ඒ අයගෙ හැඩහුරුකම්, නගර, ගම් බිම්, නිවාස පවා අපි අපේ මනසේ ඇඳගන්නව. අවස්ථා සිදුවීම් හැම එකක් ම ඒ රූප රාමු වලින් අපේම මනස් ලෝක වල අපි ගොඩනගා ගන්නව. දේශසීමා මායිම් අතික්‍රමණය කරල කිසිදාක අපි පය නොතබපු ඉසව් වල දිවිගෙවන මිනිස්සු, සමාජ ක්‍රමයන්, කොතනක වාසය කළත් සියලු මනුෂ්‍යයන්ට පොදු වෙච්ච සංවේදනාවන් අපි ඉස්සරහ නිරාවරණය වෙනව. ඒ ඔස්සේ හිතන්න අපේ මනස අවුළුවනව. හොඳ ලීවීමක් කියන්නෙ ඒකට. රහ පිළිබඳ නිර්ණායකයන් පෞද්ගලික වුණත් හොඳ ලිවීමක් නම් කියවීම අවසානෙ පොත පෙරළා පැත්තකින් තබන්නෙ කියවීම ආරම්භ කල කෙනා නොවිය යුතුයි. කෙනෙකුගේ ජීවිත දැක්ම හැඩගස්වන යමක් අලුතෙන් එකතු නොවෙයි නම් මොනතරම් රහ වුණත් ඒක හොඳ ලිවීමක් කියල හඳුන්වන්නෙ කොහොමද ?

ඉතින් පොතක් එක්ක මේ විදිහට බැඳෙන එක අතිශය පෞද්ගලික වුණත් මිහිරි අත්දැකීමක්. සමහර පොතක් කියවා අවසාන කළාට පස්සෙ දැනෙන සාංකාව වචනෙන් කියන්න බෑ. ඒ අපිට පොත එක්ක ඇති වෙන බැඳීම වඩාත් වඩාත් සමීප එකක් වෙනකොට. හොඳම මිතුරෙක් වෙන්වී ගියා වගේ හැඟීමක් ඇති වෙන්නෙ එතකොට.

මේ තරම් දෙයක් කියන්න හේතු වෙන්නෙ අරුන්දතී රෝයි ගේ The God of small things නවකතාව අවසාන කලායින් පස්සෙ මට දැනුණ දේ කියන්න ඕන වුණ හින්ද. මේ ඇගේ පළමු නවකතාව බව දැකල මම පුදුමවණා. ඕනැම කෙනෙකුගේ පළමු ලිවීම මේ තරම් ප්‍රබල එකක් වීම පහදා දෙන්න පුලුවන් කොහොම ද? ඇය අවුරුදු පහක් මේ කතාව වෙනුවෙන් වෙහෙසුණ බව කියනව. 1992 ලිවීම ආරම්භ කල ඇයට පොත ප්‍රකාශයට පත්කරගන්න ලැබෙන්නෙ 1997 අවුරුද්දෙ. පොත රටවල් 21 ක පුරා ඉතාම ඉහළින් අලෙවි වෙනව. ඇය 1997 දී වසරේ හොඳම නවකතාවට පිදෙන Booker ත්‍යාගය දිනා ගන්නව. ඇය ඒ ත්‍යාගය දිනාගත් මුල්ම ඉන්දියානු ලේඛිකාව. අරුන්දතී රෝයි ගේ ජීවින චරිතය විමසා බැලුවොත් අපිට පෙනෙන්නෙ ඇය පෙරළිකාර, රැඩිකල් ගැහැණියක් බව. හීන් හඬින් කතාකරන මේ පුංචි ගැහැණිය ඇතුලෙ තියන එඩිතර බව, දෙයක් හරි පැහැදිලිව, කරුණු සහිතව කතා කිරීමේ හැකියාව විස්මයජනකයි. මේ පෙරළිකාර බව ඇයගේ නවකතාව ඇතුළෙත් වඩා මටසිළුටු බසකින්, ගැහැණියක සතු මෘදු බවින් ඈ අරගෙන එනව. හාස්‍ය උතුරායන, සරදම මුසු වුණ ඇගෙ භාෂා භාවිතාව භාෂාව එක්ක කරන සෙල්ලමකට සම කලාට වරදක් වෙන්නෙ නෑ.

කේරළය... බැලූ බැලූ අත ගහ කොළ වැවුණ කොළපාට, වලව් තාලෙ පරණ ගෙවල්, දියට නැමිච්ච පොල් ගස් තියන ගංගාවල්.. මලයාලි සිනමාපට වලින් මැවෙන සෞන්දර්ය උතුරන අරුමැසි පොළව.. අරුන්දතී රෝයි තමන්ගෙ නවකතාවෙ ආරම්භක වාක්‍ය කීපයෙන් කේරළයේ පරිසරය මවන හැටි බලන්න.

//May in Ayemenem is a hot, brooding month. The days are long and humid. The river shrinks and black crows gorge on bright mangoes in still, dust green trees. Red bananas ripen. Jack fruits burst. Dissolute bluebottles hum vacuously in the fruity air. Then they stun themselves against clear windowpanes and die, fatly baffled in the sun.//

පරිසර සුන්දරත්වයට යටින් මේ මිනිස්සුන්ගේ සැබෑ ජීවිත අරගලය පෙන්වා දීමටයි ඇය මේ නවකතාවෙන් උත්සහ දරන්නෙ. ආදරය, අනුරාගය, දේශපාලනය, පවුලක මානව සම්බන්ධතාවයන්, ඉන්දියාවේ බහුලව දකින්න ලැබෙන කුල භේදය. මේ දේවල් ඇගෙ God of small things නවකතාවෙ ඇතුළත් වෙනව.

කේරළයේ Siriyan Christians නමින් හඳුන්වන්නෙ ලෝකයේ පැරණිම කතෝලිකයන් පිරිසක්. කිතුණු දහම දේශනා කල, ජේසුස් වහන්සේගේ මුල්ම ධර්මදූතයෙක් වුණ තෝමස් අපෝස්තුළුවරයා ඉන්දියාවට පැමිණීමෙන් බිහිකළ මුල්ම කිතුණුවන් Siriyan Christians නමින් හඳුන්වනව. ඒ අය අදත් කේරළයේ වාසය කරනව. මේ Siriyan Christian පවුලක් වටා යි God of small things කතාව ගොඩනැගෙන්නෙ.

කතාව පරම්පරා තුනක් පුරා විහිදෙනව. විනාඩි ගණනක පරතරයකින් එකටම උපදින නිවුන් ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් වුණ Rahel සහ Estha ගැන කතාවෙ වැඩි වශයෙන් සඳහන් වෙන්නෙ. මේ දෙදෙනාගෙ මව Ammu, ඇගෙ සහෝදරයා Chako, Ammu ගෙත් Chako ගෙත් මව් පියන් Mamachchi සහ Pappachchi, Pappachchi ගේ සහෝදරිය Baby Kochamma. Chako ගේ යුරෝපියානු ජාතික බිරිඳ Margaret Kochamma සහ ඒ දෙදෙනාගෙ දියණිය, Estha ගෙත් Rahel ගෙත් ඥාති සහෝදරිය Sophie Mol. මේ අයගෙ පවුලෙ ව්‍යාපාරයේ වැඩ කරන පහත් විදිහට සම්මත කුලයට අයිති Velutha. මේ තමයි නවකතාවෙ හමුවෙන ප්‍රධාන චරිත.

මුල මැද අග ගැලපෙන සිදුවීම් මාලාවක් විදිහට ගත්තොත් නවකතාව ආරම්භ වෙන්නෙ කතාවෙ අවසානය කිට්ටුවෙන්. අවසන් වෙන්නෙ මැදින්. ඒ අතර කාල රේඛාවන් හුවමාරු වෙන්නෙ තරමක වේගයෙන්. හරියටම සිදුවුණේ මොකක්ද කියල පාථකයා දැනගන්නෙ අවසන් පිටුවත් කියවල අවසන් කළායින් පස්සෙ. 

God of small things කියවන්නෙකුට ඇති කරන්න පුලුවන් කම්පනය ඉතාම ප්‍රභලයි. දෙමව්පියන් ගෙ නොසැලකිලිමත් කම නිසා දරුවෙක් අපයෝජනයට ලක්වෙන හැටි විස්තර කෙරෙන්නෙ ඉතාම සංවේගදායක විදිහට. ඒ වගේම පහත් කුලයෙ විදිහට සම්මත මිනිස්සුන්ට අත්විඳින්න ලැබෙන සමාජ පීඩනයත් පොතට ඇතුලත් වෙනව. අඩු කුලයෙ කෙනෙක් පාරක යනකොට ඉදලක් වැනි දෙයක් අරගෙන පා සටහන් මකන්න ඕන. අඩු කුලයේ කෙනෙකුගෙ අඩි සළකුණක් පෑගීමත් පවක් විදිහට ඒ අය සලකන නිසා. මේක මොන සමාජයක්ද කියල හිතෙන්න පුලුවන්. නමුත් ඉන්දියාවේ දකින්න ලැබෙන බොහොම දුක්බර තත්ත්වයක් මේ.

අපි ආදරය කරන්න ඕන කාටද අපි ගරු කරන්න ඕන කාටද පහත් කර සලකන්න ඕන කාටද කියල සමාජ සම්මුතියක් හැදිල තියනව. ඉතින් අපි ආදරය කරන්න ඕන ඒ අනුව. පවුල, නෑදෑ හිතමිතුරන් අතරෙ පවත්වාගෙන යන්න ඕන සම්මුතික බැඳීම. විවාහය කියන්නෙත් මෙහෙම සමාජ සම්මුතීන්ට අනුව පිහිටුවාගත් දෙයක්. විවාහය කියන්නෙම සමාජ අවශ්‍යතා සපුරාලීමක්. ඉතින් මේ සමාජ අවශ්‍යතාව ඇතුලෙ ආදරය, රැකවරණය වගේ පුද්ගල අවශ්‍යතා ඉටුවෙන්නෙ නැත්නම් සිදුවෙන අනිවාර්ය ප්‍රතිඵලය ඒ විවාහය බිඳවැටීම.

සමාජ සම්මතයට පිටින් කෙනෙකුට ආදරය කිරීම ඉන්දියාව වගේ ගතානුගතික අදහස් කරපින්නා ගත් සමාජයක නම් සුවිසාල පවක්. ඒ පාපයේ බර පරම්පරා ගණනක්ම කර තියාගෙන යන්න සිදුවන තරම් බරක්. The God of small things නවකතාවට මුල් වෙන ඒ ඛේදජනක සිදුවීම පිටුපස්සෙ තියෙන්නෙ ඔය කාරණාව. 

දරුවන් දෙදෙනෙක් සමග සැමියාගෙන් වෙන්වුණු හුදෙකලා ගැහැණියකගෙ ආදරය සොයා යෑම දුක්බර ප්‍රතිවිපාකය මුළු නවකතාවට වස්තු විෂය සපයන කේන්ද්‍රීය සිදුවීම වෙන්නෙ. නමේම සඳහන් ආකාරයට ඉතා කුඩා දේවල් කොයිතරම් විශාලව ජීවිතයට බලපෑම් කරනවද කියන කාරණය මේ කතාවෙන් බොහොම අපූරුවට පෙන්වා දෙන්නෙ.

එක දවසක පැය කීපයක සිදුවීමක ප්‍රතිවිපාක මුළු ජීවිතය පුරාම අත්විඳින්න වුණ Estha සහ Rahel ගැන අඳුරු ශෝඛ බරිත හැඟීම ලේසියෙන් අමතක කරන්න පුලුවන් එකක් නෙමේ. 

මේ පොතට ලැබිය යුතු වටිනාකම ලැබිල තියනව. පොත ඒ හැම දෙයක් සඳහාම සුදුසුයි. මං හිතන්නෙ අරුන්දතී රෝයි ටත් මේ පරිමාව නැවත අතික්‍රමණය කරන්න බැරි වේවි. එහෙම අවශ්‍යත් නෑ. මේ එක පොතක් නිසා ලෝකයක් ම මේ අපූරු ගැහැණිය ගැන දැනගත්තා. අද මේ මොහොත වෙනකොටත් ඇය ඉන්දියාවේ කාලීන සමාජ දේශපාලන ගැටලු වෙනුවෙන් හඬ නගමින් ඉන්නව. පොත කියවා අවසානෙ ඇය ගැන ඇතිවෙන්නෙ විශාල ආදරයක්. 

The God of Small Things මම දන්න විදිහට පරිවර්තකයින් දෙදෙනෙකු අතින් දෙවතාවක්ම සිංහලට පරිවර්තනය වෙලා තියනව. සිංහල පරිවර්තනය කියවා නැති නිසා තත්ත්වය කොහොමද කියන්න දන්නෙ නැහැ. නමුත් මුල් පොතම හොයාගෙන කියවන්න. භාෂාව ඒ තරම් අපහසු නෑ. මුල් පොතේ දි ඇය භාෂාවෙන් කරන සෙල්ලම මම දන්නෙ නෑ රහ නොමැරෙන්න කොහොමද සිංහලට අරගන්නෙ කියල. පොතේ නියම රහ විඳගන්න කියවන්න කැමති කෙනෙක් මුල් පොතම හොයාගෙන කියවන්න.



Arundathi Roy


No comments:

Post a Comment