මූලිකම දේවල් කීපයක් ඇරුණහම ඕනෑම කෙනෙක් මේ ලෝකෙට බිහිවෙන්නෙ කිසිවක් නැතිව. හිස් කඩදාසියකට සමානව. ඉන් පස්සෙ ඒ බිහිවුණු දරුවගෙ දෙමව්පියන්, වැඩිහිටියන් එකතුවෙලා මේ හිස් කඩදාසියෙ ලියනව ඔහුගෙ නම, ආගම, ජාතිය.. වගේ දේවල් ටිකක්. ඉන්පස්සෙ ඔහු මුලු ජීවිත කාලයටම මේ දේවල් රැගෙන යා යුතුයි. උපන්දින සියලු දෙනා ලෝකෙට බිහිවෙන්නෙ එක සමානව නම් එක් ජාතියකට අයිති වුණ පමණින් කෙනෙක් උසස් හෝ පහත් වෙන්නෙ කොහොමද ?
බැලූ බැල්මට ඇත්ත වගේ පෙනුණත් ලෝකය වැඩකරන්නෙ එහෙම නොවෙයි. තමන්ටත් කවුරුන් හෝ පවරා දුන්නු ආගම හෝ ජාතිය නිතරම අනෙකාට වඩා උසස් බවයි හැමකෙනෙකුම සිතන්නෙ. ඒ මත ගොඩනැගෙන නොයෙක් දෘෂ්ටිවාදයන් , දේශපාලනයටත් බලයට ඇති තෘෂ්ණාවත් එක්ක මුහු වුණාම දකින්නට ලැබෙන්නෙ ඉතාම දරුණු තත්ත්වයක්. හරියට දෙවනි ලෝක යුද්ධ සමයේ යුරෝපයේ යුදෙව්වන් ඇතුළු සුලු ජාතිකයන් හිට්ලර් ගේ නාසි හමුදාව අතින් ඉතාම කෲර විදිහට මර්ධනයට ලක්වුණා වගේ. සුලු ජාතියක ඉපදීමේ පවට ඔවුන්ට ජීවිතයෙන් ගෙවන්න සිදුවුණ වන්දිය නම් අති විශාලයි.
Ludwig Zokolov, එහෙම නැත්නම් "ලලී" දෙවනි ලෝක යුද්ධයෙදි නාසි සිරකඳවුරු වල කල්ගත කරමින් බොහොම කටුක අත්දැකීම් වලට මුහුණදුන්නු ස්ලෝවේනියානු ජාතික යුදෙව්වෙක්. ඔහු 2003 අවුරුද්දෙ ජීවිතේ සැන්දෑ සමයෙදි තමන්ගෙ කතා පුවත Heather Morris නම් ලේඛිකාවට අනාවරණය කරනව. ඔහුගෙ කතාව ඇය The tatooist of Auschwitz නමින් ග්‍රන්ථයක් විදිහට රචනා කරනව. මේ නවකතාව පාථකයින් වැළඳගන්නෙ පිටපත් මිලියන 4 ක පමණ අලෙවි වාර්තාවකට හිමිකම් කියමින්. චන්දන ගුණසේකර මහත්මයා අතින් "අවුෂ්විට්ස් හි පච්චකොටන්නා" නමින් සිංහලට පරිවර්තනය වෙන්නෙ මේ නවකතාව.
බොහෝමයක් යුදෙව්වන්ට වගේ ලලීටත් සිද්දවෙන්න යන්නෙ මොකක්ද කියන්න හරි වැටහීමක් තිබුණේ නෑ. ජර්මානු රජයෙ ඉල්ලීමකට අනුව ස්ලෝවේනියාවේ යුදෙව්වන් රැගෙන යන දුම්රියට ඔහුත් ඇතුල් වෙන්නෙ අනාගතය ගැන අවිනිශ්චිත තාවකින්. නමුත් මහ විශාල විපත්තිදායක ඉරණමක් ඔවුන් ක්‍රමයෙන් වෙළාගනිමින් ඉන්නා බව ලලී වටහගන්නෙ දුම්රිය ඇතුළලත දී ම යි. මිනිස්සු නොවෙයි සත්තුන්වත් ප්‍රවාහනයට නුසුදුසු ආකාරයෙන් සිරගත කල මැදිරි වල ගාල් කරමිනුයි ඔවුන් රැගෙන එන්නෙ.
ගමනාන්තයට පැමිණියායින් පසුව ඇඳුම් පැලඳුම් ඇතුලු ඔවුන් ලඟ ඇති සියලු දේවල් ජර්මන් හමුදාව විසින් උදුරා ගන්නව. කිසිම පෞද්ගලික වස්තුවකට හිමිකම් කියන්න මේ යුදෙව්වන්ට අයිතියක් නැහැ. ඔවුන් එතැන් පටන් ඇඳපැළඳගත යුතු වෙන්නෙ හමුදාවෙන් ඔවුන්ට ලබා දෙන නිල ඇඳුමක්. ඔවුන් හැම කෙනෙකුගෙම අතේ අංකයක් පච්ච කොටනව. එතැන් පටන් ඔවුන් තවත් එක අංකයක් පමණයි. අවුෂ්විට්ස්, මිහිමත අපායක්, ලෝකයේ පැවති දරුණුම දේශ්පාලන සිර කඳවුරක්. දැන හෝ නොදැන ඔවුන් පැමිණිලා තියෙන්නෙ එතැනට.
මේ අලුතෙන් පැමිනෙන සිරකරුවන් ගේ අත් වල අංකයක් පච්ච කොටන බව කිව්වනෙ. පච්ච කොටන රාජකාරියත් පැවරෙන්නෙ සිරකරුවන් අතරෙන්ම කෙනෙකුට. ලලී එතැනට පැමිණෙන අවස්ථාවෙ පච්ච කෙටීමේ කාර්‍ය කරමින් උන්නේ එක් මහළු මනුෂ්‍යයෙක්. ලලී සමඟ හිතවත් වෙන ඔහු, ලලී ව තමන්ගෙ සහායකයා විදිහට බඳවාගන්නව. ටික දිනකින් ඔහුට සිදුවෙනව තමන්ගෙ කාර්‍ය තනියම ඉටු කරන්න. එතැන් පටන් අවුෂ්විට්ස් වල පච්චකොටන්නා බවට පත් වෙන්නෙ ලලී සොකොලොව්. පච්චකොටන්නාට අනෙක් සිරකරුවන් ට වඩා තරමක් වැඩි වරප්‍රසාද හිමිවෙනව. මහලු මනුෂ්‍යයා තමන්ට කර ඇත්තෙ වටිනා උපකාරයක් බවත් හැකි සෑම විටම අනෙක් සිරකරුවන්ට උදව් වීම තමන්ගේ යුතුකමක් බවත් ලලී වටහගන්නව.
ගීටාව හමුවීම ලලී ගේ ජීවිතය වෙනස්ම මාර්ගයකට යොමුවෙන්න හේතුවුණ බව කිව්වොත් නිවැරදියි. කාන්තා සිරකරුවන්ට කොණ්ඩය වැවීමට වත් ඉඩක් නෑ. ඔවුන් ඇඳිය යුත්තෙ තමන්ට නොගැළපෙන අප්‍රසන්න නිල ඇඳුම්. ඔවුන් අතරෙ යමක් ඇතිවෙන්නෙ ඒ කිසිදෙයක බලපෑමක් වුණේ නෑ. ඔහු ඇයගෙ සිනහවට ආශා කරන්න පටන් ගත්ත. තමන්ට දැනෙන දේ ඇයට ලියා යවන්න ඔහු පෙළඹුනා. ඔවුන් විටින් විට මුණගැසී කතාබහ කරන්න පටන්ගත්ත. ටිකෙන් ටික එය ආදරයක් දක්වා ලියලුවා. මේ අපායෙන් පැන ගිහින් තමන්ගේම ජීවිතයක් අලුතෙන් අරඹන්න ඔවුන් හීන දැක්කා.
නමුත් එය ලේසි පහසු වැඩක් නොවන බව දෙදෙනාම දැන හිටියා. මොකද අවුෂ්විට්ස් වලදි අහන්න දකින්න ලැබෙන දේවල් කෙනෙකුව නැවත ගොඩගන්න බැරි තරම් මානසිකව බිඳ වට්ටවන්න සමත්. ජාතිවාදයෙන් අන්ධ වුණු මිනිස්සු මේ තරම් තිරිසන් තත්ත්වයකට ඇදවැටෙන්න පුලුවන්ද කියල පුදුම හිතන තරම්. එතැන ජීවතයක් කියන්නෙ තවත් එක අංකයක් පමණයි. ජර්මන් හමුදා භටයෙකුය පුලුවන් තමන්ට හිතුණ මොහොතක තුවක්කුව ඇදල අරන් යුදෙව්වෙක් මරා දමන්ම. ඔවුන්ට ඒක තවත් අංකයක් මකා දැමීම පමණයි. මනුෂ්‍යත්වය මළගම් ගිය මෙවැනි තැනක වුණත් ආදරෙන් බැඳුන දෙදෙනෙක් හෙට දවසක් ගැන තමන් දකින හීන අතහරින්න සූදානම් ද? නැහැ කොහෙත්ම නැහැ.
සාමුහික පැවැත්මක් ඇතුලෙ අපි ආරක්ෂා වෙන්නෙ අපි විසින් අනෙකා ආරක්ෂා කරන තරමටයි. අපි තවත් කෙනෙකුට කල යහපත් ක්‍රියාවක් නිතරම අපවටා සිටිමින් යහපත් ප්‍රතිවිපාක ලබාදෙනව. අවසානෙ, ජිවිතේ එල්ලී ඉන්න අවසන් පිදුරුගහත් ගිලිහී යන මොහොතක කෙනෙකුට පිහිටට තියෙන්නෙ මේ තමන් කරපු කියපු හොඳ දේවල් පමණයි. හොඳම උදාහරණය ලලී සහ ජේකබ් අතර සිදුවීම. ලලී ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවස්ථාවකට පත් වුණ මොහොතෙ ඔහුගෙ උදව්වෙන් ජීවිතය බේරාගත්ත ජේකබ් නම් තව සිරකරුවෙක් ලලී ව ඒ අනතුරෙන් මුදවා ගන්නව. අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා ජීවිතයට කියා දෙන සෑහෙන වටින පාඩමක් ඒ.
"අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා" මොහොතක්වත් අතහරින්නෙ නැතිව කියවාගෙන යා හැකි ඉතාම රසවත් කතාවක්. යුදෙව් සිරකරුවන් විඳි අනන්ත දුක් ගැහැට ගැන කියවද්දි අපිත් ඔවුන් වෙනුවෙන් කම්පාවෙනවා. කිසිම පහසුකමක් නැති මේ සිර කඳවුරු වල ඔවුන් කොහොම ජීවිතේ ගෙව්වාද කියල පුදුම වෙනව. ලලී සහ ගීටා ආදරයෙන් බැඳෙද්දි ඒ ප්‍රේමනීය බව අපිත් අත්විඳිනව. මුල් ලේඛිකාව ඉතා අපූරුවට ඒ වියමන ගොඩනඟා තියෙනව. සිංහලට පරිවර්තනය කල චන්දන ගුණසේකර මහත්මයා භාවිතා කර ඇති භාෂාවත් කියවීමේ ආශාව දල්වන, ජීව ගුණයෙන් පිරුණු එකක්. කතාවෙ රසවත් බව නොනසා ඔහු ඒ පරිවර්තනය සිදුකර තිබෙනව. මේ ලෝක ප්‍රසිද්ධියට පත්වුණු ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරල සිංහලෙන් කියවන පාථකයාට කල සේවය වෙනුවෙන් ස්තූතියි කියන ගමන් ඉදිරි ලේඛක වැඩකටයුතු සාර්ථක වෙන්න ඔහුට සුබ පතනව.
ස්තූතියි! මෙය හොඳ පොතක් බව බොහෝ දෙනා කියමින්! ඔබේ ලිවීම ඒ කතා තහවුරු කිරීමක්!
ReplyDeleteඔව් මේ කතාව ඉතාම රසවත්... පරිවර්තනයත් අගෙයි..!
Delete