Monday, November 8, 2021

Monsoon wedding (2001)

ඉන්දියාව කියන්නෙ කොයිතරම් සංස්කෘතික විවිධත්වයක් තියන භුමියක්ද කියන කාරණේ මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පුදුමාකාර විචිත්‍රවත් බවක්, වර්ණවත් කමක් මේ කලාපය පුරා පැතිරිලා තියන නොයෙක් සංස්කතීන් වල දැගන්න පුලුවන්. ඇඳුම පැළඳුමේ ඉඳන් කෑම බීම සංගීතය ඇදහිලි විශ්වාස මේ හැම දේකම දකින්න ලැබෙන්නෙ ඒ විවිධත්වය. 2001 අවුරුද්දේ තිරගත වුණු Monsoon wedding චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන් මේ සංස්කෘතියෙ විශේෂම අංගයක් වුණු විවාහ උත්සවයක් ගැන. පන්ජාබයේ නව දිල්ලි නගරයේ ඉහළ මධ්‍යම පාන්තික පවුල් දෙකක් අතර සිද්දවෙන සාම්ප්‍රදායික විවාහ උත්සවයක් ගැනයි Monsoon wedding චිත්‍රපටයෙ කියවෙන්නෙ. මේ විවාහය දවස්ගණනක් පැවැත්වෙන සහ උත්සවශ්‍රීයෙන් පිරුණු එකක්. ඒත් විවාහක් කියන්නෙ උත්ස්වයක් විතරක් නොවෙයි නෙ. දෙදෙකු අතර තියන බැඳීම ආදරය අවබෝධය මේ හැමදෙයක්ම ඇතුවයි දෙදෙනෙක් විවාහයට ඇතුළුවෙන්නෙ. මේ විවාහයෙ මනාලියත් මනමාලයත් එකිනෙකා මුල් වරට දකින්නේත් මේ උත්සවයට සූදානම් වෙන අතරමයි. ඉතින් අර සැණකෙලි සැරසිලි මැද්දෙ මේ දෙන්නට මොකක්ද වෙන්නෙ.

අදිති, ඒ තමා ඇගෙ නම. ඈ සුරූපිනියක් බව ඈ දකින ඕනෑම කෙනෙක් කියාවි. අදිතිගේ අම්මාත් තාත්‍තාත් ඈට පණවගේ ආදරෙයි. ඒ නිසාමයි වැදගත් පවුලකට අයිති සහ හොඳ රැකියාවක් හිමි යහපත් ගති පැවතුම් ඇති තරුණයෙක් වුණු හේමන්ත් ව අදිතිට විවාහ කරන දෙන්න ඔවුන් සූදානම් වෙන්නෙ. හේමන්ත් රැකියාව කරන්නෙ ඇමරිකාවෙ. ඔහු ඉන්දියාවට එන්නෙ කිසිදාක නොදුටු අදිති හා විවාහ කරගැනීමේ අරමුණෙන්මයි. දෙදෙනෙක් විවාහ වෙන්නෙ පවුල් ජීවිතයක් ආරම්භ කරන්නෙ සෑහෙන කාලයක් ආශ්‍රය කරල එකිනෙකාව තේරුම්බේරුම් කරගන්න පුලුවන් බව හොඳහැටි දැනගෙන. (ඇත්තටම ඒක එහෙම වෙනවද කියන දේ වෙනම කතාවක්) නමුත් මෙතන වෙන්නෙ එහෙම නොවෙයි. මුලින් විවාහ වුණාට පස්සෙයි අනෙක් හැමදෙයක්ම සිද්දවෙන්නෙ. ඇත්තටම එහෙම බැඳිමක් කොහොමද ජීවිත කාලයක් පුරා පවත්වගෙන යන්නෙ? එක්වරම මුණගැහුණු දෙන්නෙක් බොහොම කෙටි කාලෙකින් කොහොමද එකිනෙකාව තේරුම් ගන්නෙ? ආදරයක් එතන කොහොමද ඇති වෙන්නෙ? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් ඔබට චිත්‍රපටය බලන්නම වෙනව. 

Monsoon wedding චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ඉන්දියානු සිනමාව ලෝකයට විවර කරන්න මෑත කාලීනව ඉහලම දායකත්වයක් දුන්න සිනමාකාරියක් වුණු Mira Nair. ඉන්දියාව ලෝකයේ ලොකුම සිනමා කර්මාන්තයක් වුණත් එයින් පිටස්තර ලෝකයෙ අවධානය දිනාගන්න සිනමාපට බිහිවෙන්නෙ නම් තරමක් අඩුවෙන්. බොහෝවෙලාවට බටහිර රටවල මේ චිත්‍රපට ගැන තියෙන්නෙ ඒ තරම් හොඳ ආකල්පයක් නොවෙයි. නමුත් Mira Nair මේ සීමාව ඉක්මවා ගිය නිර්මාණකාරියක්. ඇගේ චිත්‍රපට ඉන්දියාවෙන් එහා ලෝකයෙ විශේෂයෙන් ඇමරිකාවේ සහ යුරෝපිය රටවල සෑහෙන ඇගයුමටත් ජනප්‍රියත්වයටත්  ලක්වෙනව.  Salaam Bombay, Mississippi Masala, Kama Sutra: A Tale of Love, Vanity Fair, The Namesake, Queen of Katwe මේ මීරා නායර් අධ්‍යක්ෂණය කල ඉන්දිය සහ ඉන්දියානු නොවන සිනමා නිර්මාණ. ඈ කොයිතරම් පරාසයක විහිදී ගිය සිනමාකාරියක් ද කියන කාරණය වටහ ගන්න පුලුවන් මේ නම් ලයිස්තුවෙන්.

සමාන්‍යයෙන් නැටුම් ගැයුම් කියන්නෙ නම් ඉන්දියානු චිත්‍රපටයක අනිවාර්ය අංගයක් වගේ දෙයක්. Monsoon wedding චිත්‍රපටයෙත් මේ දේවල් දැකගන්න පුලුවන්. නමුත් බහුලව හින්දි චිත්‍රපට වල දකින්න ලැබෙන අතාත්ත්වික ආකාරයෙන් නොවෙයි. ඒ තැන් වලදිත් චිත්‍රපටයෙ තියන යථාර්ථවාදි බව ආරක්ෂා කරගන්න Mira සමත්වෙලා තියනව. චිත්‍රපටයෙ ප්‍රධාන කතාවට අමතරව තියන අතුරු කතා ඉතාම සින්ගන්නාසුළු ආකාරයෙන් ඉදිරිපත් වෙනව. එක විවාහයක් ඇතුලෙ තව විවාහ කීපයකටම වැඩ සිද්දවෙන ආකාරය පෙන්නා දෙන විදිහ අපූරුයි. ඒ වගේම පවුල ඇතුලෙ සම්බන්ධතා, දෙමව්පියන් දූදරුවන් අතර බැඳීම, දෙදෙනෙක් අතරෙ ඇතිවෙන ප්‍රේමාන්විත බැඳීම්, මේ හැමදෙයක්ම මූලික කතා තේමාව ඇතුළෙ ගලපල තියන විදිහ අති විශිෂ්ටයි. Monsoon wedding මම දැක්ක ලස්සනම, වර්ණවත්ම ඉන්දියානු චිත්‍රපට කිහිපයට ඇතුලත් වෙන සිනමා නිර්මාණයක්. චිත්‍රපටය බැලුවොත් ඒ කාරණේ ඔබටත් එහෙමම අත්විඳින්න ලැබෙන බවට නම් සැකයක් නැහැ.

-hAsH-

Monsoon wedding 

- Directed by
Mira Nair

- Written by
Sabrina Dhawan

- Starring
Naseeruddin Shah
Randeep Hooda
Tillotama Shome
Lillete Dubey
Shefali Shah
Vasundhara Das
Vijay Raaz
Rajat Kapoor
Jas Arora



2 comments:

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  2. ස්තුතියි මා එය නැරඹුවා .අපූරු නිර්මාණයක් !

    ReplyDelete