Tuesday, March 16, 2021

Creep (2014 - Psychological Horror)

Aron වෘත්තිමය වශයෙන් වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කරන්නෙක්. දවසක් අන්තර්ජාල මාර්ගයෙන් හඳුනාගන්න එක්තරා පුද්ගලයෙකුගෙන් Aron ට අපූරු කාර්‍යයක් පැවරෙනව. ඔහුට කරන්න තිබෙන්නෙ දිනපතා මේ පුද්ගලයා කරන කියන දේවල් ඔහු සමග සිටිමින් රූගත කිරීම පමණයි. ඒ වෙනුවෙන් ලැබෙන මුදලත් Aron බලාපොරොත්තු නොවුන විදිහේ විශාල එකක්. ඒ නිසා ඔහු දෙවරක් නොසිතා මේ රාජකාරිය බාරගන්නව. 

මේ පුද්ගලයා වාසය කරන්නෙ කඳුකරයේ වනාන්තරයක් මැද නිවසක හුදෙකලාව. ඔහුගේ නම Joseph. Aron නියමිත දිනයේ නියමිත වෙලාවට කැමරාවත් අරගෙන Joseph මුණ ගැහෙන්න ඔහුගේ නිවසට යනව. Joseph බොහෝම සුහදශීලීව Aron ව  තමන්ගේ නිවසට පිළිගන්නව. ඉන්පසුව දෙදෙනාම ඉක්මනින්ම අදාල කාර්‍ය ආරම්භ කරනව. Joseph ගේ මේ සුහද බව පමණට වැඩිවෙන බව Aron ට දැනෙනව. ඒ වගේම Joseph ගේ හැසිරීම් වල යම් අමුතු ස්වභාවයක් ඇති බවත් Aron වටහගන්නව. නමුත් බාර ගත් රාජකාරිය අවසන් කල යුතු නිසා Aron දිගටම Joseph ව රූගත කරනව. මේ හැමදෙයක්ම පිටුපස යම් රහසක් ඇති බවත් තමන්ගේ ජීවිතය තිබෙන්නෙ අනතුරුදායක තත්ත්වයක බවත් Aron ට දැනුණත් ඒ කුමක්දැයි ඔහුට වටහගන්න බෑ. ක්‍රමයෙන් සියලු දේ වෙනස් වෙන්නෙ Aron නොසිතූ පැත්තකට. 

හොඳ සිනමාත්මක අත්දැකීමක් ලබා දෙන්න නම් ලොකු මුදලක් වියදම් වෙන නූතනම තාක්ෂණයක්, විශාල නලු නිළි පිරිසක්, සංකීර්ණ පිටපත් අවශ්‍ය නොවෙන බව පෙන්වාදෙන්න හොඳම උදාහරණයක් 2014 අවුරුද්දේ තිරගත වුණු Creep චිත්‍රපටය. සරල කතාවක් නමුත් ඉදිරිපත් කර තිබෙන ආකාරය උඩයි creep චිත්‍රපටයෙ සාර්ථකවය රඳාපැවතිල තිබෙන්නෙ. චිත්‍රපටය මුළුමනින්ම දිගහැරෙන්නේ කැමරාවක සටහන් වුණ සැබෑ සිදුවීමක් ආකාරයට (Found footage) Blair witch project, Gonjiam hunted asylum, Paranormal activities, Noroi වගේ චිත්‍රපට බලල ඇත්නම් ත්‍රාසජනක බව කොයි තරම් තියුණු විදිහට මේ Found footage ආකාරයේ චිත්‍රපටයකින් නරඹන්නන්ට ලබා දෙන්න පුලුවන් ද කියන කාරණය ගැන ඔබට වැටහීමක් ඇති. Creep චිත්‍රපටයත් මේ Found footage ආකාරයට නිර්මාණය වුණු හොඳම චිත්‍රපට අතරට ඇතුලත් කරන්න පුලුවන් බව නම් සහතිකයි.

ජීවිතේ යම් අනතුරකට මුහුණදීල අනූනවයෙන් වගේ ගැලවුණු කෙනෙක් නම් ඒ ගැන සෑහෙන ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනව වෙන්න පුලුවන්. තමන් අනතුරින් ගැලවුණා යන සහනදායී බව ඉතිරි වෙන්න පුලුවන්. නමුත් ඇත්තටම එහෙම වෙලා නැති බව. සැබෑම අනතුර දැන් තමන් ඉදිරියේ මුහුණට මුහුණ ඇති බව දැනගන්න ලැබුණොත් ඔබට ඒක දැනෙන්නෙ කොහොමද?



No comments:

Post a Comment