Thursday, March 25, 2021

A short film about love (1988)

ගැහැනියත් පිරිමියාත් සදාකාලිකව එකිනෙකාට දුරස්ථ ගොඩනැගිලි දෙකක වාසය කරන්නන් දෙදෙනෙක්. ඔහුට ඇයවත් ඇයට ඔහුවත් දකින්න ලැබෙන්නෙ ගොඩනැගිලි දෙකේ එකිනෙකට මුහුණලා පිහිටා තිබෙන කුඩා කවුලු දෙකකින්. මේ කවුලුවෙන් මැවෙන ඇයගේ පිළිබිඹුව හරහා ඇය ගැන ඔහු දක්වන ආසක්තතාව ඔහුගෙ "ආශා" කලාපය වෙන අතරෙ ඒ ආශාව ඔහු අතේ තියන දුරදක්නයකට සම කල හැකියි. එතකොට ඔහුගෙ මේ නිරන්තර නිරීක්ෂණයට ලක්වෙන ඇයයි ඔහුගේ ආශාවේ වස්තුව බවට පත්වෙන්නෙ. දුරදක්නය හරහා ඔහුගේ දෑස් මත මැවෙන ඇය ඔහුගේ හඹායාම වෙනව. මේ දුරේක්ෂයෙන් ඔහුගේ දැක්මට අසුවන ඇය වටා ඔහුගේ සිහිනමය ෆැන්ටසික අඩවිය ගොඩනැගෙනව. නමුත් එක මොහොතක් තිබෙනව එකිනෙකට දුරස්ථව පිහිටි ඔහුගේ ලෝකයත් ඇයගේ ලෝකයත් ඒ දුර අතික්‍රමණය කරල වඩා සමීපව එකිනෙනාට සම්මුඛ වෙන. එනම් ඔහුත් ඇයත් අර දුර කවුලුවෙන් දකින ඡායාමය ස්වභාවයෙන් මිදිල තමන් ගේ ස්වරූපයෙන් එකිනෙකාට නිරාවරණය වෙන. අන්න ඒ මොහොතේදි ඔහුට හමුවෙන්නෙ අර ආශාවේ දුරේක්ෂයෙන් නැරඹූ ඇය නොවෙයි. ඊට වඩා හාත්පසින් වෙනස් මනුස්ස ස්වරූපයක්. මෙන්න මේ සත්‍ය ඔහුට දරාගන්න බැරි වෙන තැන අර මෙතෙක් ඇය ගැන දුටු ෆැන්ටසික සිහින එකින් එක බිඳ වැටෙන්න පටන් ගන්නව. 

ඇය ගැන ගත්තොත් ඇයට සිදුවෙන්නෙ ඔහුගේ ආශාවේ වස්තුව විදිහට ඔහුගේ දුරේක්ෂ දෘෂ්ටියට නතු වීමට. ඔහුගේ ෆැන්ටසික සිහිනය තමන් බව ඇය දන්නව. තවදුරටත් ඔහු තමාවෙන නතු කර ගැනීමේ වසඟය ඇය සතුයි. නමුත් ඇය, ඔහු දකින ආකාරයට, හුදෙක් ආශාවට ලක්වෙන වස්තුවක් පමණක් නොවෙයි. ඇයටත් තිබෙනව තමන්ගේම සිහින, තමන්ගේම බලාපොරොත්තු, තමන්ගේම ආශාවන්. ඇයට අවශ්‍යයි දුකෙන් වේදනාවෙන් පෙලෙන කල සැනසීමට හැකි යමෙක්, කඳුලු සලන මොහොතේ ඇගේ කඳුළු පිස දමන කාරුණික දෑතක්, හිසතබා ගන්න විශ්වාසවන්ත උරහිසක්. ඇයට අවශ්‍යයි ආදරය ලබන්න. ලැබන ආදරය පෙරළා ආදරය කරන්න. නමුත් ඇයත් ඔහුත් සම්මුඛ වන මොහොතේ ඇයටත් සිදුවෙන්නෙ තමන්ගෙ බලාපොරොත්තු බිඳදමා ගන්න. ගැහැනිය සහ පිරිමියා එකිනෙකාට සමීපව සම්මුඛව මුණගැසෙන බොහෝම බැඳීම් වල අඩු වැඩි වශයෙන් සිදුවෙන්නෙ මෙයයි.

පෝලන්ත සිනමාකරු ක්‍රිස්ටොෆ් කිස්ලොව්ස්කි 1988 වර්ෂයේ නිර්මාණය කරන A short film about love චිත්‍රපටය පදනම් වෙන්නෙ මෙන්න මේ සංසිද්ධිය මත. ඔහු විසින් නිමැවනු ලැබූ Dekalog නම් රූපවාහිනි කෙටි චිත්‍රපට මාලාවක හය වැන්න විදිහටයි A short film of love නිර්මාණය වෙන්නෙ. Dekalog චිත්‍රපට මාලාවට පදනම් වෙන්නෙ බයිබලයේ තිබෙන දස පණත. එනම් කිතුනු ආගමිකයන් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නීති දහය. එක් එක් පණත තේමා කරගනිමිනුයි මේ එක් එක් චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. A short film about love මින් හයවෙනි පණතට අදාල චිත්‍රපටය.

එකිනෙකට මුහුණට මුහුණ පිහිටා තිබෙන මහල් නිවාස දෙකක ජීවත්වන ගැහැනියක් සහ යෞවනයෙක් වටා මේ චිත්‍රපටය ගොඩ නැගෙන්නෙ. ඔහු ලඟ තිබෙනව බොහෝ දුර තිබෙන දේ පැහැදිලිව නිරීක්ෂණය කල හැකි දුරේක්ෂයක්. ඔහුගේ කාමරයෙ කවුලුවෙන් බැලුවාම ඇගේ කුටිය ඔහුට පෙනෙනව. ඔහු දිනපතා රාත්‍රී කාලයේ දුරේක්ෂය ආධාරයෙන් ඇය දිහා බලා ඉන්නව. නිතර ඇය දැකබලා ගන්නත් ඇයට සමීප වෙන්නත් ඔහු උත්සහ කරනව. 

සරල කතා පුවතක් ඉතාම සිනමාත්මක ආකාරයට රූප මාධ්‍යට හසු කරගන්න කිසලොව්ස්කි සමත් වෙලා තිබෙනව. විශේෂයෙන් සමීප රූප බහුලව භාවිතා කරමින් චරිතවල මුහුණෙන් කරන හැඟීම් ප්‍රකාශනයන් විශිෂ්ට අන්දමෙන් චිත්‍රපටයෙ නිරූපණය වෙනව. චිත්‍රපටයක් නරඹනවට වඩා සැබෑම සිදුවීමක් සංස්කරණයට ලක්වෙලා දෑස් ඉදිරිපිට මැවෙන බව ඔබට දැනුනොත් පුදුමයක් නැහැ.  ජීවිතේ අපි අත්දකින  අපි තුල තිබෙන  යථාර්ථයක් නැවත සිනමාරූපීයව අපිට සම්මුඛ කරවීම මේ චිත්‍රපටයෙන් කරන්නෙ. ඒ යථාර්ථය බාරගන්න අපි කොයිතරම් සූදානම් ද?



No comments:

Post a Comment