Tuesday, March 30, 2021

Gravity (2013)

ඔහුටත් ඇයටත් පැවරී තියෙන්නෙ පෘථිවි කක්ෂයේ පිහිටුවා ඇති හබල් දුරේක්ෂයේ අලුත්වැඩියා කටයුතු කිරීමේ රාජකාරිය. ඔහු අත්දැකීම් බහුල සුප්‍රකට ගගනගාමියෙක් වුණත් මේ ඇගෙ නම් මුල්ම අභ්‍යවකාශ ගමන. හාත්පස කෙළවරක් නොපෙනෙන අනන්ත අවකාශය. ඈත නිල් කොළ පාටින් බබලන පෘථිවිය. මේ දර්ශනය සාමාන්‍යයෙන් කෙනෙකුට ජීවිත කාලයෙදි දකින්න නොලැබෙන එකක්. මේ පසුබිමේ, ඔවුන් දෙදෙනා තමන්ට නියමිත කටයුත්තේ නියැලි ඉන්න අතරෙ ඔහු ඇයට කියනව කතාවක්. ඔහු තරුණ වයසේ ලැබූ එක් අත්දැකීමක්. නමුත් ඒ කතාව අවසාන කරන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. ඔවුන් දෙදෙනා අතරින් හමා යන්නේ අවකාශ සුන්බුන් රැගෙන වේගයෙන් හමා එන සුළඟක්. දෙදෙනාම විසිරී යනව පෘථිවි කක්ෂයේ ඈතට. ඔවුන් දෙදෙනා රැහැනකින් සම්බන්ධ කර ඇති නිසා ඔවුන් එකිනෙකාගෙන් ඈතට විසිරි යන්නෙ නෑ. සුළඟට හසුවුණු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ක්‍රමයෙන් ඔවුන් පැමිනෙනව. ඉන් සැහෙන ප්‍රමාණයක් විනාශ වී ගිහින්. සුළඟේ ගසා ගෙන යන දෙදෙනා කුමන හෝ තැනකින් අල්ලාගන්න උත්සහයක යෙදෙනව. නමුත් ඒ උත්සහය සාර්ථක වෙන්නෙ නෑ. අවසානෙ ඇගෙ පාදයක් පැරෂුටයකට සම්බන්ධ කර ඇති රැහැන් ගොඩක පැටලෙනව. හමා එන සුළඟට ඔහුත් ඇයත් සබැඳුණු රැහැන බිඳෙනව. ඇය එක අතකින් බිඳුනු රැහැනෙ පසෙකින් ග්‍රහණයට ගන්න සමත් වෙනව. එහි අනෙක් පස ඔහු දරා ඉන්නා ආතතිය නිසා ක්‍රමයෙන් ඇය පැටලුනු රැහැන ගිලිහන්න පටන් ගන්නව. "මාව අතහරින්න" ඔහු කියනව. "මාව අතහැරල ඔයා ජීවිතේ බේරගන්න". නමුත් ඇය අතහරින්න සූදානම් නැහැ. "අතහරින්න අවශ්‍ය මොහොතේදි අතහරින්න ඔයා ඉගෙනගන්න ඕන" ඔහු ගෙ වචනයට ඇය නම් අවනත වෙන බවක් පෙනෙන්න නැහැ. ඇයට අවශ්‍ය ඔවුන් දෙදෙනාගේ ම ජීවිත ගලවා ගන්න මිසක් අතහරින්න නොවෙයි. නමුත් ඈ තවදුරටත් රැහැන ග්‍රහණය කරගෙන සිටියොත් වෙන්නෙ ඔවුන් දෙදෙනාම වැනසී යාම. ඇය අතනොහරින බව වටහගන්න ඔහු රැහැනත් තමාත් අතර ඇති සම්බන්ධකය බිඳ දමනව. සීමාවක් නොපෙනෙන ඈත අවකාශයේ පාවී යන ඔහු අඳුරේ නොපෙනී යනව. ඔහුගෙ බරින් මිදුනු නිසා ඇයගේ ජීවිතය බේරෙනව. 

මේක 2013 තිරගත වුණු gravity චිත්‍රපටයෙ එක් සිදුවීමක් පමණක් වුණත් මේක මට චිත්‍රපටයක දැකපු අමතක නොවෙන අවස්ථාවක්. මිනිස්සු ජීවිතේට අල්ලල බැඳ තබන නැත්නම් ජීවිතයෙන් එලියට තල්ලු කරන ප්‍රබලම සාධකය මනුස්සය බැඳීම් බව මේ තරම් ලස්සනට පෙන්වා දුන්නු වෙන තැනක් නැති තරම්. හිතල බැලුවොත් විශ්වයෙ සියලු දේ පවතින්නෙ කුමක් හෝ තවත් වස්තුවකට තිබෙන සම්බන්ධතාව මත. සෞරග්‍රහ මණ්ඩලය පවා පවතින්නෙ ඊට අයිති සියලු ග්‍රහයන් සහ සූර්‍යයා අතර ඇති බැඳීම හින්ද. මිනිස්සු තමන්ගෙ නිවහන වුණු පෘථිවිය අතහැරල අවකාශය පුරා සැරිසැරුවත්  ඔවුන් බැඳී ඉන්නව මේ මහ පොළව මත යම් තැනකට. ඇත්තට පෘථිවියේ තිබෙන සැබෑම ගුරුත්වාකර්ෂණ බලය මනුස්සය බැඳීම් ද කියල හිතෙනව.

Gravity චිත්‍රපටය ගැන කතාකලොත් මේක කොහොම නිර්මාණය කලාද කියල හිතාගන්න බැරි මට්ටමේ එකක්. ඈත නිල් කොල පාටින් බබලන පෘථිවිය දර්ශනය වෙන පෘථිවි කක්ෂය. ඒ වටා අවකාශයේ පාවී යන ගගනගාමීන් හරහා මෙහෙයවෙන කැමරා ඇස. මේ අරුමැසි වටපිටාව නරඹන්නන් ඉදිරියේ මවන්නෙ විස්මයජනක රූප මාලාවක්. පසුතල නිර්මාණ, රූගත කිරීම් ඇතුලු චිත්‍රපටයෙ සියලු කටයුතු නිමා කරන්න වසර හතරකට වඩා ගතවී තිබෙන බවයි සඳහන් වෙන්නෙ.

 මේ කරුණු කාරණාවලට අමතරව Gravity චිත්‍රපටය අංශ ගණනාවකින්ම ඉතිහාසයගත එකක්. මෙතෙක් ලෝකයේ වැඩිම වියදමක් දරා නිපදවු සිනමා නිර්මාණ අතරට Gravity චිත්‍රපට එකතු වී තිබෙනව. ඒ වියදම ඉන්දියාවේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වැයකරන මුළු මුදල් ප්‍රමාණයටත් වැඩි බවයි කියවෙන්නෙ. චිත්‍රපටයක් සඳහා නිලියක් විසින් අය කල විශාලම මුදල වෙන්නෙත් Gravity ප්‍රධාන චරිතය වෙනුවෙන් සුප්‍රකට හොළිවුඩ් නිළි Sandra Bullock විසින් අය කල ඩොලර් මිලියන 70 ක මුදල. වැඩිම ඔස්කාර් සම්මාන ගණනකට නිර්දේශ වුණු චිත්‍රපට අතරේ රැඳෙන Gravity ඉන් සම්මාන 7 ක් දිනාගනිමින් වැඩිම සම්මාන ගනනක් හිමි කරගත් චිත්‍රපට අතරට එක් වෙනව. 

Gravity අධ්‍යක්ෂණය කරන Alfonso Curon මැක්සිකෝවෙන් හොලිවුඩයට පැමිණ සිනමා ලෝකය ජයගත්තෙක්. Children of men, Harry potter and the prisnor of Azkhaban, Roma ඔහු අතින් නිමැවුණු සිනමාපට කීපයක්. කුඩාකල පටන්ම ඔහු අභ්‍යවකාශගාමියෙක් නැත්නම් චිත්‍රපට අද්‍යක්ෂවරයෙක් වෙන්න සිහින දුටු බවයි කියවෙන්නෙ. Gravity චිත්‍රපටයෙන් ඔහු මේ සිහින දෙකම එකතැනට ගෙනඑනව. Sandra Bullock සහ George Clooney නම් හොළිවුඩයේ ගිනිසිළු දෙක මේ චිත්‍රපටය ඇතුලෙ දැකගන්න ලැබෙන්නෙ වෙනස්ම ආකාරයෙ වටපිටාවක් ඇතුලෙ. නිෂ්ශබ්දතාව පිරුණ, අනතුරු බහුල, අඳුර රජයන අභ්‍යවකාශයෙ drama/ thriller රසය වඩියෙන් මතුවන සිනමා අත්දැකීමකයි ඔවුන් අපිට මුණගැහෙන්නෙ. පොළවෙන් ඈත අවකාශයක පොළවේම ජීවිතය ප්‍රතිනිර්මාණය  වීම චිත්‍රපටය ඇතුලෙ කොයිතරම්  උත්ප්‍රාසාත්මක ද...



No comments:

Post a Comment